ආදරයට මෙපිටින්

 ඡායාරූපය:

ආදරයට මෙපිටින්

සමහරු මිථ්‍යාවක ගැලී සිටින්නේ මේ ප්‍රහාර ජන වර්ගයක් වෙතට බැර කරමිනි. ඒ තරම් වරදක් තවත් නැත. අමෙරිකාවේ ජාතික

ප්‍රති ත්‍රස්ත මධ්‍යස්ථානය 2011 වර්ෂයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ගතවූ වසර 5ක කාල සීමාව තුළ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් 82 – 97%ක් තරම් ප්‍රතිශතයකින් මුස්ලිම්වරු පීඩාවට පත්ව සිටිති.

1998 – 2000 කාලසීමාව තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් 2014දී පමණක් ඉරාකයේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ නිසා ත්‍රස්තවාදියාට ජාතියක් හෝ ජන්මයක් නැත. තිබෙන්නේ තිරස්චීන අරමුණක් පමණි.

රකුසන් හා යුද වදින්නන් ඒ නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය යනුවෙන් කතාවක් තිබේ.

ඊයේ ඔබ සමඟ බත්පත බෙදාගත් හිතෛශීවන්ත අන්‍ය ආගමික සොයුරා දෙස අද බලන්නේ 'සැකයෙන්නම්' ඔබ කිට්ටු වී සිටින්නේ ගෝත්‍රිකත්වයේ කූඩාරම වෙතටය. ආදරය තිබෙන්නේ ඊට මෙපිටින්ය.

2013 අප්‍රේල් 15 අමෙරිකාවේ බොස්ටන් නුවරට ලක්ෂ ගණනක් ජනතාව පැමිණියහ. ඒ එරට පැරණිතම මැරතන් තරගය දැක බලා ගන්නටය. විසිදහසක් ඉක්මවන ක්‍රීඩකයෝ පිරිසක් මේ තරගයට සහභාගි වෙති. පෙරවරු 9. 30ට තරගය ආරම්භ විය. ඔල්වරසන් සහ ජය ඝෝෂාවන්ගෙන් බොස්ටන් නුවර උද්දාමයට පත් විය. මිනිසුන්ගේ අව්‍යාජ සිනහව තරම් සුන්දර දෙයක් තවත් නැත.

හෝරා නික්ම ගොස් දහවල් 2. 29 සටහන් විය. ඔල්වරසන් හඬ පරයාලමින් මහා දෝංකාරයක් මතු විය. ලෝක ඉතිහාසයම සසල කරමින් 'බොස්ටන් බෝම්බය' පුපුරා ගියේය. ඒ දෝංකාරයට භීතියට පත්ව ඈත අහසට වැදුණු පක්ෂීන්ට ආපසු හැරෙන්නටවත් ඉඩ නොතබා ඊළඟ බෝම්බයත් පුපුරා ගියේය.

තුන්දහසකට මරු කැඳවූ 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් වසර 13කට පසු නැවතත් අමෙරිකාව සසල විය.

අමෙරිකානු ආරක්ෂක අංශ මෙහෙයුම පටන් ගත්තේය. අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවේ අක් මුල් සොයා යෑම ආරම්භ විය.

බොස්ටන් නගරය සහමුලින්ම සීල් තබන පොලිසිය මෙහෙයුම පටන් ගත්තේය. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට බලධාරීහු ශපත වූහ. ශිෂ්ටත්වයේ ක්‍රීඩා උලෙළට අශිෂ්ටත්වයේ මාරයා රැගෙන ආ නරුමයන් සොයා පොලිසිය, නගරය පීරන්නට විය.

පොලිසිය එක් සැකකරුවකු අල්ලා ගත් අතර ඔහු 19 වැනි වියේ පසු වූවෙකි. එක් අයකු අමෙරිකන් පොලිස් ප්‍රහාරයෙන් මියගොස් සිටියේය. ඒ අල්ලාගත් සැකකරුගේ අයියාය. මේ ප්‍රහාරය සැලසුම්කොට තිබුණේ ඔවුන් දෙදෙනාය. ඔවුන් පිටුපස සංවිධානගත ජාලයක් තිබී ඇත.

2011 වසරේදී මෙවන් ප්‍රහාරයක් පිළිබඳව රුසියානු ආරක්‍ෂක අංශ ඇමරිකානු ආරක්‍ෂක අංශ වෙත අනතුරු අඟවා ඇතත් එෆ්. බී. අයි. නිලධාරීන් ඒ ගැන තැකීමක්‌ කර නැත. එෆ්. බී. අයි. නිලධාරීන් පවසා ඇත්තේ මොහුගෙන් ත්‍රස්‌ත තර්ජනයක්‌ එල්ල විය හැකි බවට කිසිදු සැකයක්‌ නැති බවය.

කෙසේ වෙතත් සහෝදරයෝ දෙදෙනෙක් ප්‍රහාරය එල්ල කළහ.

පසුගියදා හරියටම බොස්ටන් ප්‍රහාරයට වසර හයකට පසු අප්‍රේල් මාසයේම මෙරටදී සිදුවූ ප්‍රහාරයද පැති කිහිපයකින් බොස්ටන් ප්‍රහාරයට සමානය.

මෙරට ප්‍රහාරය සිදුවූයේ දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙනය; ඉලක්කය බැතිමත්තුය. බොස්ටන් ඉලක්කය ක්‍රීඩාලෝලීහුය.

මෙරට සීසීටීවී කැමරාවල පටිගත වීම් අනුව ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීම් දෙකක් සිදුව ඇති අතර දෙකම සිදුකර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු විසිනි. හෝටලය තුළ පිපිරවීම කර ගත් පුද්ගලයා බෝම්බය තිබූ බෑගය පිටේ එල්ලාගෙනම හිඳ ඇත. අනෙක් පුද්ගලයා පහත මාලයේදී සිය පුපුරුවා ගැනීම සිදුකර තිබේ.

කොච්චිකඩේ පල්ලිය තුළ බෝම්බ පිපිරවීම සිදුකරන ලද පුද්ගලයා අපහසුවෙන් බෑගයක් රැගෙන පූජාව අවසන් වීමට කිට්ටුව පැමිණ මැද බංකුවක අසුන් ගන්නවා සීසීටීවී කැමරා පද්ධතියේ සටහන්ව තිබේ. මෙරට ප්‍රහාරය සිදු කළේ සහෝදරයන් දෙදෙනෙකි. බෝම්බ රැගෙන විත් තිබුණේ පිටේ බෑගයක් සේ එල්ලා ගෙනය.

බොස්ටන් ප්‍රහාරකයෝ ආවේද එලෙසය. බොස්ටන් ප්‍රහාරයේ සොයුරන් බෝම්බ රැගෙන ආවේ තම බෑග්වල දමාගෙනය. කැප් තොප්පි පැලඳ මේ දෙදෙනා මැරතන් තරග බිමට පැමිණෙන අයුරු කැමරාවල මෙන්ම එහිදී ගත් ඡායාරූපවලද ඉතා හොඳින් සටහන් වී තිබිණි. 19 හැවිරිදි ප්‍රහාරක ශෝකාර් පස්‌වරු 2.45ට මෙම බෝම්බය පිපිරුණු ස්‌ථානයට පැමිණ ඇත.

සිය බෝම්බ බෑගය දෙපා මුල තබාගෙන ජංගම දුරකථනයෙන් මේ බෑගයේ ඡායාරූපයක්‌ද ගනී. පළමු පිපිරීමට තත්පර 30කට පෙර සිය දුරකථනයෙන් තත්පර 18ක ඇමතුමක්‌ ගනී. පළමු බෝම්බය පුපුරා යන්නේ පස්‌වරු 2.49ටය. ප්‍රහාරකයා සිය බෑගය දමා වේගයෙන් ඉවත්ව යයි. දෙවැනි බෝම්බය පුපුරා යන්නේ පළමු පිපිරීමෙන් තත්පර 10කට පසුවය.

බොස්ටන් ප්‍රහාරයේ ප්‍රධානියා වන ටමෙර්ලාන් 19 වැනිදා ඝාතනය වන අතර පොලිසිය සැකකරුවන්ගේ නිවස වටලනු ලැබීය. එහි තිබී බෝම්බ ඇතුළු ආයුධ සොයා ගනී. අනෙක් සැකකරු අල්ලා ගත්තද උගුර හරහා එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සදාකාලික ගොළුවකු බවට පත් විය.

සිදුවීම බොහෝ විට එකින් එක ගැළපේ. සමහර විටෙක එකී ගැළපීම් අහඹු විය හැක. තවත් විටෙක අතීත සිදුවීම් පූර්වාදර්ශ ලෙස ගෙන වර්තමාන ක්‍රියාකාරකම් සිදු කරනවා විය හැක.

ලෝකය පුරා සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අපමණ සිදුව තිබේ. ලෝක පොලිස්කාරයාගේ පෙන්ටගනයද සුනුවිසුනු කිරීමට වතාවක් ත්‍රස්තයකුට හැකි විය.

2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අල්කයිඩා ත්‍රස්තවාදීන් විසින් ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව තවමත් ලෝකය භීතියෙන් සිහිපත් කරයි.

එදින උදෑසන අල්කයිඩා ත්‍රස්තවාදීන් 19 දෙනකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන් යානා හතරක් අතරමඟදී පැහැරගන්නා ලදී. ඉන්පසු මේවායෙන් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු නිවුන් කුලුනුවල ගැටීමට සලස්වන ලදී. තවත් එක් ගුවන්යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩාවැදීමට සලස්වන ලදී. ඉතිරි අනෙක් ගුවන් යානයද තවත් මෙවැනිම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී මගීන්ගේ කලහකාරී හැසිරීම නිසා පාලනය කරගත නොහැකිව අතරමඟදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපොළකට කඩා වැටිණි. මෙම සමස්ත ප්‍රහාර මාලාවෙන්ම 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්විය. මෙය ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරය වේ.

මීට තෙවසරකට පෙර රාමසාන් සමයේ අවසන් දින කිහිපය ගෙවී යමින් තිබියදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් මදීනාවේ සිදුවිය. බෝම්බකරු යාඥාවේ යෙදී‍ සිටි බැතිමතුන් ආසන්නයටම ළඟා වී මෙය සිදු කළේය.

මුස්ලිම් ලෝකයේ හදවත බඳු තැනක සිදුකළ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන් කම්පනයට පත් කරනු ලැබීය. රාමසාන් සමයේදී පැය 24ක් තුළ සවුදි අරා‍බියේ මරාගෙන මැරෙන ප්‍රහාර 3ක්ම සිදුවිය. පළමු ප්‍රහාර 2 අසාර්ථක වූ අතර තුන්වැන්න මදීනා ප්‍රහාරයයි.

බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයකින් සිය දරු පවුල්, අසල්වාසීන් සමඟ එක්ව රාමසාන් සැමරීමට සූදානම් වූ අහිංසක මිනිසුන්ගේ සිහින සුන් කොට දමා දෙසිය ගණනක් ගොදුරු කරගත්හ.

සමහරු මිථ්‍යාවක ගැලී සිටින්නේ මේ ප්‍රහාර ජන වර්ගයක් වෙතට බැර කරමිනි. ඒ තරම් වරදක් තවත් නැත. අමෙරිකාවේ ජාතික ප්‍රති ත්‍රස්ත මධ්‍යස්ථානය 2011 වර්ෂයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ගතවූ වසර 5ක කාල සීමාව තුළ ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් 82 – 97%ක් තරම් ප්‍රතිශතයකින් මුස්ලිම්වරු පීඩාවට පත්ව සිටිති.

1998 – 2000 කාලසීමාව තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් 2014දී පමණක් ඉරාකයේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ නිසා ත්‍රස්තවාදියාට ජාතියක් හෝ ජන්මයක් නැත. තිබෙන්නේ තිරස්චීන අරමුණක් පමණි.

රකුසන් හා යුද වදින්නන් ඒ නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය යනුවෙන් කතාවක් තිබේ.

ඊයේ ඔබ සමඟ බත්පත බෙදාගත් හිතෛශීවන්ත අන්‍ය ආගමික සොයුරා දෙස අද බලන්නේ 'සැකයෙන්නම්' ඔබ කිට්ටු වී සිටින්නේ ගෝත්‍රිකත්වයේ කූඩාරම වෙතටය. ආදරය තිබෙන්නේ ඊට මෙපිටින්ය.

නිපදවූ සෑම තුවක්කුවක්මත් දියත් කළ සෑම යුද නැවක්මත් පත්තුකළ සෑම රොකට් වෙඩිල්ලක්මත් එක්තරා ආකාරයකට බයෙන් පෙළෙන්නාවූත්ද ආහාර නොදුන්නාවූත්ද සීතලයෙන් පීඩා විඳින්නාත්වූද වස්ත්‍රයක් නොදුන්නාත්වූද සමූහයාගෙන් කෙරෙන්නා වූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි; විද්‍යාඥයන්ගේ ඥානයයි; දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වලාකුළ පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි කියා කියන්නේ ඩ්වයිට් ඩී. අයිසන්හවර්ය.

මාතෘකා