මිනිස්සු නොබෙදා ආදරය බෙදන්න

 ඡායාරූපය:

මිනිස්සු නොබෙදා ආදරය බෙදන්න

පසුගිය පාස්කු ඉරිදා දින ලංකාවේ විවිධ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් කතෝලික දේවස්ථාන තුනක්, හෝටල් හතරක්, නිවාස සංකීර්ණයක් ඇතුළු ස්ථාන 08ක සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගල හා දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදුවිය. මෙම සිදුවීම හා සම්බන්ධ සැකකරුවන් පිළිබඳ සමාජයේ විවිධ මතවාද මේ වන විට සංසරණය වන අතර එම සැකකරුවන් ඈඳා වාර්ගික හා ආගමික බෙදීම් සිදුකිරීමේ ප්‍රයත්නයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවේ සියලු ජාතීන් හා ආගම් එකිනෙකා එක්ව එකට කටයුතු කළ යුතු මොහොතක මෙවැනි වාර්ගික හා ආගමික බෙදීම් සමාජය තුළින් නිරූපණය වන හෙයින් මේ මොහොතේ නැවත රට තුළ සංහිඳියාව සහ සමගිය ඇති කොට සියලු දෙනා එකට කටයුතු කළ යුත්තේ කෙසේද යන්න සර්ව ආගමික නායකයන්ගෙන් අපි විමසුවෙමු.

මනුෂ්‍යත්වයෙන් යුතුව කටයුතු කරන්න 
මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි

සංහිඳියාව කියන්නේ හැමදෙනාටම නිදහසේ එකට ජීවත් වීමට හැකි වීමයි. ලංකාවේ පසුගිය දශකය තුළ සියලු ජනවර්ග සියලු ආගම් එකට නිදහසේ ජීවත් වුණා. ඒ නිදහස උපරිමයෙන් භුක්ති වින්දා. ඉතිහාසය දිහා බලනකොටත් අපිට පේනවා සියලු ආගම් හා ජාතීන් සමගිව සමාදානයෙන් ජීවත් වුණු වටපිටාවක් ලංකාවේ තිබුණු බව. නමුත් මේ සියල්ල නැති කළේ ත්‍රස්තවාදය. ඒකට ආගමක් නැහැ. ත්‍රස්තවාදය කියන්නේ ත්‍රස්තවාදයට. වර්තමානයේ ඇති වුණු සිදුවීම්වලටත් ආගමකට චෝදනා කරන්න බැහැ. ඒක ආගමික අන්තවාදයක් කියන්න බැහැ. කවර තැනක හෝ රටට ජාතියට විපතක් කරන්න යම් කණ්ඩායමක් උත්සාහ කරනවා නම් ඔවුන් ආගම්වාදීන් නොව ත්‍රස්තවාදීන්. මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක මනුෂ්‍යත්වයෙන් යුතුව කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ. සියලු දෙනාම එක්වෙලා මනුෂ්‍යත්වයෙන් වැඩ කළොත් තමයි ඇති වෙලා තියෙන විනාශකාරී වාතාවරණය සමනය කරන්න පුළුවන් වෙන්නේ. මේ වෙලාවේ මිනිස්සු හැමදෙනාගේම යහපත වෙනුවෙන් වගකීමෙන් වැඩ කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා.

මිනිස්සු බෙදුණොත් ත්‍රස්තවාදයට උදව්වක් වේවි
ගල්කන්දේ ධම්මානන්ද හිමි

පාස්කු ඉරිදා දින සිදුවුණු ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විශාල පිරිසක් මියගියා. ඒ මිනිස්සුන්ගේ ජීවිතය පුදලා කරපු කැප කිරීමවත් පාඩමකට අරගෙන සියලු දෙනාම එකට එක් වෙලා මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි හැමෝටම අන්තවාදය පරාජය කරන්න පුළුවන් වෙන්නේ. අපි බෙදුණොත් ඒ බෙදීම තමයි අන්තවාදීන්ට ලබාදෙන විශාලම සහයෝගය. ඒ නිසා එම ආගමික ජන කොටස් භේදභින්න වෙන විදිහට හැසිරෙන්න එපා. ඒ ජන කොටස්වලට අන්තවාදී ලේබල් අලවන්න එපා. එක්තරා ත්‍රස්ත කල්ලියක් කරපු ව්‍යසනයකට අනෙක් අහිංසක මිනිස්සු පීඩාවට පත් කිරීම වැරදි දෙයක්. 1983 කළු ජූලිය; මිනිස්සුන්ට මේ සිදුවීම සමඟ හොඳ පාඩමකට ගන්න පුළුවන්. ඒ නිසා අපි කෝප ගන්නවා වෙනුවට එකී ජන ප්‍රජාව එක්ක එකට වැඩ කරන්න ඕනේ. පාස්කු දින සිදුවුණු සිදුවීම සම්බන්ධයෙන් ඊට පෙර එම ජන කොටසෙන්ම පැමිණිලි ඇවිත් ඇති බවට පුවත් තියෙනවා. ඒ නිසා ඒ මිනිසුන් සමඟ හොඳින් කටයුතු කිරීම තුළයි ඒ ජන කණ්ඩායම තුළ පවතින ත්‍රස්තවාදය පළවා හරින්න පුළුවන් වෙන්නේ.

ආවේගශීලී වුණොත් පිරිහෙන්නේ අපේ රට
කොළඹ අගරදගුරු පදවි එඩ්මන් තිලකරත්න පියතුමා

පාස්කු ඉරිදා දින ලංකාවේ ප්‍රධාන පල්ලි තුනක කතෝලික ප්‍රජාව ඉලක්ක කරලා ප්‍රහාරයක් කළේ ත්‍රස්තවාදී කල්ලියක් විසින්. ඒ ත්‍රස්තවාදී කල්ලි වෙනත් ජාතියක් සමඟ සමාන කරන්න බැහැ. මේ බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් දෙනවා මිස වෙනත් ආගමකට හෝ ජාතියකට අපිට චෝදනා කරන්න බැහැ. මේ අවස්ථාවේදී ආවේගශීලී වුණොත් ඒකෙන් පිරිහෙන්නේ අපේ රටම තමයි. වසර තිහක යුද්ධයක් අත්විඳපු ඒකෙන් පීඩනයට පත් වුණු රටක් හැටියට අපි පටු විදිහට නොහිතා මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ කියලා මම හිතනවා. ඒ වගේම තමයි හැම කෙනෙක්ම එකතු වුණොත් තමයි මීට වඩා ශක්තිමත් සමාජ ව්‍යුහයක්, හැමෝටම නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ගොඩනඟන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි මම රටේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කිසිම ආකාරයකට කලබල වෙන්න එපා; ඉවසීමෙන් වැඩ කරන්න; සමාව දීලා කටයුතු කරන්න කියලා.

මිනිස්සුන්ට සමාව දෙන්න මේක අවස්ථාවක් කරගන්න
ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතේ හිටපු කර්තෘ ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියනම

පවතින ව්‍යසනයට රට පත් කළ කල්ලිය අමානුෂික, ම්ලේච්ඡ, ආත්මාර්ථකාමී අන්තවාදී කල්ලියක්. එකී කල්ලිය කිසිම ආගමක් හෝ දර්ශනයක් අනුගමනය කරනවා කියලා විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසා ඒ ක්‍රියාවට ඔවුන් අදාළ වෙන ජාතියට හෝ ආගමට චෝදනා එල්ල කරන්න බැහැ. මම හිතන විදිහට ඔවුන් කිසිම ආගමකට හෝ ජාතියකට අයිති නැති කණ්ඩායමක්. කිසිම ආගමක දර්ශනයක මේ වගේ ම්ලේච්ඡත්වය අනුමත කරන්නේ නැහැ. ඒ නිසා මේක අනෙක් ජන කොට්ඨාසයට චෝදනා එල්ල කරන්න නෙවෙයි ඔවුන් සමඟ එකට එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාවක් කරගන්න. එකිනෙකාට සමාව දෙන්න මේක අවස්ථාවක් කරගන්න. නමුත් ක්‍රියාවේ නිහීනකමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. සියලු ලංකාවාසීන් එකිනෙකාට ගරු කරලා මනුෂ්‍යත්වයෙන් යුතුව කටයුතු කරන්න.

ඔක්කොම එක රටක් විදිහට හිතලා වැඩ කරන්න
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ඉර්හාන් රෂාඩි මවුලවිතුමා

අපි ඔක්කොම එක ජාතියක්. භාෂාව, ඇඳුම් පැළඳුම්, ජීවන රටාව වෙනස් වුණාට අපේ ඇඟේ දුවන්නේ එකම ලේ. අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ. පාස්කු ඉරිදා සිදුවුණු සිදුවීමට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඔක්කොම වග කියන්න ඕනේ. ඔක්කොම එකට එකතු වෙලා මේ වෙලාවේ කටයුතු කරන්න ඕනේ. මේ සිදුවීම සියයට දෙසීයක්ම අපි හෙළා දකිනවා. මනුෂ්‍ය ජීවිතයක් කොයිතරම් නම් වටිනවද කියලා ඒ ත්‍රස්තවාදීන්ට අවබෝධයක් නැහැ. මේ තත්ත්වය නැවත ඇති නොවෙන විදිහට අපි හැමෝම වගකීමෙන් වැඩ කරන්න ඕනේ. ආගමික නායකයන් තමයි මේකට මූලික විය යුත්තේ. දැන් අපේ රට මූණ දෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ නම් ජාති ආගම් භේද අත ඇරලා එකට එක් වෙන්න ඕනේ. මේ අසමගිය නිසා තමයි තාමත් ලංකාව දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම එක රටක් විදිහට හිතලා මේ වෙලාවේ වැඩ කරන්න.

අපි හැමෝම පුරවැසියෝ
සමස්ත ලංකා ඉස්ලාම් වියතුන්ගේ සංගමයේ ලේකම් අර්කන් නූරාමි මවුලවිතුමා

අවුරුදු ගාණකට පස්සේ මිනිස්සුන්ට ආයෙමත් බියෙන් සැකයෙන් ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඒ බය සැක නැවත ඇති නොවන්නත් දැන් ඇති වෙලා තියෙන කලබලකාරී තත්ත්වය සහ ජීවිත අවදානම නැති කරන්නත් හැමෝටම තනි තනිව බැහැ. ඒකට හැමෝම එකාවන්ව, එකට වැඩ කරන්න ඕනේ. ඒ වගේම තමයි අපි ඔක්කොම මිනිස්සු. එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වරදකට මුළු මහත් සමාජයටම චෝදනා එල්ල කරන්න එපා. මේ සිදුවීම ගැන අපි හැමෝම අතිශය කනගාටුවට පත්වෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මේක සිදු කරපු ත්‍රස්ත කණ්ඩායමට දඬුවම් දිය යුතුයි. මේ වෙලාවේ හැමෝම කල්පනා කරන්න ඕනේ ලංකාවේ ඉන්නේ ආගම්, ජාතිවලට බෙදුණු මිනිස්සු නෙමෙයි අපි හැමෝම පුරවැසියෝ කියලා. එහෙම වැඩ කළොත් තමයි මේ සියලු බලවේග අපිට පරාජය කරන්න පුළුවන් වෙන්නේ. එසේ නොවන තාක්කල් ශ්‍රී ලාංකිකයෝ කියන්නේ එක එක වර්ගවලට බෙදුණු, නිතරම රණ්ඩු වෙන ගහමරා ගන්න දියුණු නොවුණු මනුස්ස කොට්ඨාසයක්.

මොළේ කල්පනා කරලා වැඩ කරන්න
රාමචන්ද්‍ර කුරුකල් බාබුශර්මා පූජකතුමා

වසර දහයක් තුබුණු යුද්ධයක් ඉවර වෙලා වසර දහයකට පස්සේ ආයෙමත් ත්‍රස්තවාදය ගැන මිනිස්සුන්ට දැනෙන්න අරගෙන තියෙනවා. මිනිස්සු ආයෙමත් බයෙන් ජීවත් වෙන්නේ. පාස්කු ඉරිදා වුණු බෝම්බ ප්‍රහාරයෙන් සිද්ධ වුණු ජීවිත හානි ගැන සියලුම හින්දු ජනතාව වෙනුවෙන් මගේ ශෝකය පළ කරනවා. සමගියෙන් මිනිස්සු ජීවත්වෙන රට භේදකරන්න කවුරුන් හෝ උත්සාහ කරනවා. මේ ප්‍රහාරයෙන් මිනිස්සුන්ට හානි වුණා වගේම ඒ නිසා මිනිස්සු අසමගි වෙන්නත් පටන් අරගෙන ඉන්නවා. මේ වෙලාවේ මිනිස්සු හදවතින් නෙවෙයි මොළේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. ජාති ආගම් කියන්නේ මිනිස්සු හදාගත්ත දේවල්. ඒත් මනුස්සකම කියන්නේ මිනිස්සු ඉපදුණු දවසේ ඉඳන් මැරෙනමේ මිනිස්සු ළඟ තියෙන දෙයක්. ඒ නිසා ඒ මනුස්සකම මේ වෙලාවේ පාවිච්චි කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. හැමෝම මනුස්සකමෙන් මේ වෙලාවේ වැඩ කරන්න ඕනේ.

එකමුතුකම පෙන්වන්න හොඳම වෙලාව මේක
ජාතික සාම මණඩලයේ සභාපති රත්නම් ධර්මුකරුකල් පූජකතුමා

මේක රටක් විදිහට හැමෝම ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න ඕන වෙලාවක්. පාස්කු ඉරිදා රටට එල්ල වුණු ප්‍රහාරය හැමෝටම නැවත සිහිබුද්ධියෙන් කටයුතු කරන්න කියලා කරපු දැනුම් දීමක් විදිහට මම දකිනවා. මොකද මේ රටේ වගකිවයුතු නිලතලවල සිට අනිත් හැමෝම වැඩ කරන්නේ වගකීම් විරහිතව. ඒ නිසා දැන්වත් අපි හැමදෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ. මේ රටේ හැම ජාතියක්ම හැම ආගමක්ම නිදහසේ ජීවත් වෙන්න ඕනේ. ඒකට මිනිස්සු මුලින්ම තමන් ඉන්න රාමු ඇතුළෙන් එළියට ඇවිල්ලා පුළුල් විදිහට ලෝකය දිහා බලලා වැඩ කරන්න ඕනේ. තමුන් වගේම අනිත් මිනිස්සුත් ජීවත් වෙන්න ඕනේ කියලා හිතලා වැඩ කරන්න ඕනේ. ඒක කරන්න පුළුවන් පුළුල් බුද්ධි මට්ටමක් තියෙන මිනිස්සුන්ට විතරයි. හැමෝම අනෙකාගේ යහපත උදෙසා කටයුතු කරන්න ඕනේ. මේ වගේ වෙලාවකවත් ලංකාවේ මිනිස්සුන්ගේ එකමුතුකම පෙන්වන්න.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා