ජාතික ආරක්ෂාවට ඇති සැබෑ තර්ජනය

 ඡායාරූපය:

ජාතික ආරක්ෂාවට ඇති සැබෑ තර්ජනය

[තිඹිරියාගම බණ්ඩාර]

යුද්ධය නිමාවීමෙන් දස වසරකට පසු සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් ලක්සමාජය සසල වී සිටී. ජනවාර්ගික යුද්ධයක් ඇවිළී ගිය අවස්ථාවක් නොවන හෙයින් මෙය බරපතළ සිදුවීමකි.

මිය ගිය අය පිළිබඳ ගණන් හිලව් නැවත ඉදිරිපත් කිරීමේ තේරුමක් නැත. 2004 සුනාමි ව්‍යසනයෙන් මිය ගිය සංඛ්‍යාව පිළිබඳ තවමත් විවාද පවතී. ගංවතුර මරණ පිළිබඳ තත්වයද එපරිදිමය.

චෝදනා

මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීම් සඳහා මුල්වූ පාර්ශ්ව පිළිබඳ මේ දිනවල විශේෂ අවධානය යොමු වී ඇත. එමෙන්ම මේ අනතුර පිළිබඳ පූර්ව දැනුම් දී තිබියදී අවශ්‍ය පියවර නොගැනීම සම්බන්ධයෙන් හතර අතට චෝදනා එල්ල වෙයි. මේ චෝදනා එල්ල කරන අයටද චෝදනාවලට ලක්වූ අයටද වගකීමෙන් නිදහස් විය නොහැක. එමෙන්ම පසුගිය කාලයේදී විවිධ ආගමිකයන් හා ජනවර්ග අතර ගැටුම් ඇවිළවීම සඳහා සෘජුව හා වක්‍රව කටයුතු කළ හැම අයකුම ඝාතනවලට අනුබල දීමේ චෝදනාවෙන් නිදහස් නොවනු ඇත.

2009 වසරේදී තිස් වසරක යුද්ධයක් අවසන් වීමෙන් පසුව රට තුළ යහපත් වාතාවරණයක් ඇතැයි කවුරුත් අපේක්ෂා කළහ. එහෙත් සිදුවූයේ අනෙකකි. විවිධ ආගමික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් ප්‍රහාර මාලාවක් එල්ල විය. දේපළ හානිවලට අමතරව පූජකවරුන්ට පහරදීම්ද සිදු විය. මෙහිදී ප්‍රහාරයට ලක් වූ ආගමික මධ්‍යස්ථානවලින් බහුතරය ක්‍රිස්තියානි හෝ කතෝලික බව පෙනේ. ඊළඟට වැඩියෙන්ම ප්‍රහාරයට ලක්වූයේ මුස්ලිම් හා හින්දු ආගමික මධ්‍යථානයයි බෞද්ධ ආගමික මධ්‍යස්ථාන කිහිපයක්ද ප්‍රහාරයට ලක් විය. පසුගිය ආණ්ඩු පාලන සමයෙහි මේ ප්‍රහාරවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නට නොතිබුණි. දරුණුම ප්‍රහාරය දියත්වූයේ අලුත්ගම දර්ගා ටවුන් ආශ්‍රිතවය. බොදු බළ සේනා වැනි අන්තවාදී සංවිධාන එම ප්‍රහාර සඳහා විවිධ පාර්ශ්වවලට එළිපිටම සහයෝගය දුන් බව පෙනුණි. එහිදී සිදු වූ ජීවිත හා දේපළ හානි සම්බන්ධයෙන් වන්දි ප්‍රදානය කළා මිස අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම යහපාලන ආණ්ඩුවෙන්ද සිදු වූයේ නැත. මේ ක්‍රියාදාමයෙහි අවසන් ප්‍රතිඵලය ලෙස ඉස්ලාම් අන්තවාදය මෙරට ක්‍රියාත්මක වුව හොත් එය කෙතරම් බියකරු ප්‍රතිඵල ගෙන දේද යන්න විද්වතුන් අතර සාකච්ඡාවට ලක්විය.

අන්තවාදය

විවිධ ආගමිකයන් එල්ල කරමින් දියත්වූ ප්‍රහාර රට පුරා පැතිරෙන ගැටුමක් බවට පත් නොවී අතරමැද වළක්වා ගැනීමට හැකි වූයේ යහපාලන ආණ්ඩුව යටතේ අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය තරමක් දුරට හෝ පාලනය වූ හෙයිනි. එහෙත් අන්තවාදීන් පෝෂණය කරන දේශපාලන හා මාධ්‍ය ක්‍රියාකාරිත්වය පාලනය කිරීම අතින් වත්මන් ආණ්ඩුවේද අඩුපාඩු තිබූ බව පිළිගත යුතුය.

පාස්කු ඉරුදින ඉලක්ක කරගනිමින් එල්ල වූ බෝම්බ ප්‍රහාර මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් විසින් කරන ලද්දක් බව රසපරීක්ෂකවරුන් හඳුනාගෙන හමාරය. එමෙන්ම මේ සිදුවීම්වලට ජාත්‍යන්තර සම්බන්ධයක් ඇතැයි ආරක්ෂක අංශද ප්‍රකාශ කරයි. එසේ නම් එය අතිශය බරපතළ තත්ත්වයකි.

වත්මනෙහි සෑම ආගමික සංස්ථාවකම ශාස්තෘවරුන්ගේ දැක්මට හතුරු වූ අන්තවාදයක් ක්‍රියාත්මක වෙයි. ඉස්ලාම් අන්තවාදය ඒ අතරින් වඩාත් කැපී පෙනෙන බව කවුරුත් දනිති. අල්ලා දෙවියන් නාමයෙන් මිනී මරන, මිනිස් බෝම්බ බවට පත් වූ විවිධ කණ්ඩායම් ලොව පුරා ක්‍රියාත්මක වෙයි. මේ ඇතැම් කණ්ඩායම් රටකට සීමාවෙයි. ඇතැම් කණ්ඩායම් ලොව පුරා පැතිරී සිටී.

මිනිස් බෝම්බ

යුරෝපය හා ඇමරිකාව ඇතුළු දියුණු රටවලටද මේ මිනිස් බෝම්බවලින් මිදිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. එබඳු මිනිස් බෝම්බ ක්‍රියාත්මක වීමේ පරිසරයක් රට තුළ ක්‍රමයෙන්

ගොඩ නැගී තිබීම ලාංකිකයන්ගේ අනාගතය සම්බන්ධයෙන් කනගාටුදායක තත්ත්වයකි.

මුස්ලිම් ව්‍යාප්තවාදයක් ඇති බව නොදන්නා කෙනකු නැත. එහෙත් මුළුමනින්ම මුස්ලිම් ජනයා ජීවත්වන රටවල මෙන්ම අඩුවෙන් ජීවත්වන රටවලද මුස්ලිම් බහුතරය මූලධර්මවාදය ප්‍රතික්ෂේප කරති.

කිතුනු හා කතෝලික ආගමිකයන්ගෙන් බහුතරයද එම ආගම්වල හරය යටපත් කරගෙන මතු වී ඇති කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය ප්‍රතික්ෂේප කරති.

බෞද්ධයන් බහුතරයක් ජීවත්වන රටක් වන ශ්‍රී ලංකාවේ බොදු බල සේනා, රාවණා බළකාය යනාදී අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය සැබෑ බෞද්ධයන් අනුමත කරනු ඇතැයි සිතිය නොහැක. භික්ෂු සංස්ථාවෙහි බහුතරයද එම ක්‍රියා ප්‍රතික්ෂේප කරයි. ඊට හේතුව බුදු දහම අහිංසාවාදී දැක්මක් ඇති දහමක් හෙයිනි. එහෙත් මේ අන්තවාදී සංවිධානවල ක්‍රියාකාරිත්වය නතර කිරීම සඳහා මහනායක හිමිවරුන් ප්‍රමුඛ ආගමික ප්‍රධානින් ප්‍රමාණවත් මැදිහත්වීමක් කර ඇතැයි පිළිගත නොහැක.

දහමට එරෙහිව

මෙයින් සිදු වූයේ බුදුන් දෙසූ අහිංසාව වෙනුවට හිංසකයන්ගේ ක්‍රියාකාරිත්වය කැපී පෙනීමය. මෙය ථෙරවාදී බුදු දහම ආරක්ෂා වී ඇති රටක් හැටියට ජාත්‍යන්තර වශයෙන් තිබූ පිළිගැනීමද පළුදු කිරීමට ද බලපෑවේය. රාජ්‍ය පාලකයන් මෙබඳු අන්තවාදීන්ට යට නොවී වැඩ කිරීමේ ගුණය හිටපු නායකයන් වූ ජෝන් කොතලාවල සහ ජේ.ආර්. ජයවර්ධන යන අයගෙන් ඉගෙන ගත යුතුව තිබිණ.

"ස්වාමීන් වහන්සේලාගෙන් අහන්නැතුව කිසි දෙයක් කරන්නෑ"යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් භික්ෂුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් පිළිගැනීම රාජ්‍ය පාලකයන්ට නොහොබී.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, දණ්ඩ නීති සංග්‍රහය වෙනස් කිරීම, අපරාධවලට සම්බන්ධ භික්ෂූන් හා ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම යනාදී විවිධ කටයුතුවලදී බාධාකරමින් නීතියේ ආධිපත්‍යයට අභියෝග කරන ආගමික පාර්ශ්වවලට දේශපාලකයන් බියවීමේ ප්‍රතිඵලය රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටීමය. මේ ගැන දැන්වත් අන්තරාවලෝකනයක යෙදීම පාලකයන්ගේ වගකීමය.

බුද්ධි අංශ දුබලද

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වළක්වා ගත නොහැකි වූයේ බුද්ධි අංශ දුර්වල කිරීම හා බුද්ධිඅංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම නිසා බවට විවිධ පාර්ශ්ව චෝදනා කරති. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු මේ අතර කැපී පෙනෙති. ඇතැම් භික්ෂූහුද කාදිනල් මැල්කම් රංජිත් පියනම ඇතුළු වෙනත් පාර්ශ්වද මීට සමාන මත පළ කරති.

බුද්ධි අංශ දුර්වල කිරීමේ චෝදනාවට සහේතුකව පිළිතුරු දිය යුත්තේ චූදිත පාර්ශ්වයි. එහෙත් විවිධ අපරාධ චෝදනා නිසා අත්අඩංගුවට ගෙන සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නිසා බුද්ධි අංශ දුබල වී ඇතැයි කිසිවකු චෝදනා කරන්නේ නම් ඔවුන් සතුටට පත්වන්නේ කෙබඳු බුද්ධි අංශයකින්දැයි සිතාගත හැකිය.

"බුද්ධි අංශ නිලධාරීන්ගෙන් බාගයක් හිරේ. රට ආරක්ෂා වෙන්නේ කොහොමද?"

විපක්ෂ නායකයා මාධ්‍යට කීවේය.

මෙහි ඇත්ත නැත්ත කුමක්ද? මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සහ ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය ඇතුළු සිදුවීම් පිළිබඳ දීර්ඝ විමර්ශනයකින් පසුව හමුදා බුද්ධි අංශ අංශ සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන සිටින්නේ කරුණු ගැඹුරට පරීක්ෂා කිරීමෙන් පසුවය. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටද චෝදනා එල්ල වී ඇත. ඔහු විපක්ෂ නායකවරයාගේ සහෝදරයා බව මොන්ටිසෝරි දරුවෝද දනිති. එහෙයින් විපක්ෂ නායකවරයාගේ බෑඟිරි ගෑම පුද්ගලික ප්‍රශ්නයකි. බුද්ධි අංශ දුබල වී ඇත්නම් ඒ කෙසේද යන්න තර්කානුකූලව පෙන්වා දීම ඔහුගේ වගකීමයි.

අත පෙවීම්

හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට නොගන්නැයි ජනපතිගෙන් ඉල්ලා සිටි ප්‍රකට භික්ෂුවක්ද හමුදා බුද්ධි අංශ දුබල කිරීම ගැන චෝදනා කරමින් සිටී.

කාදිනල් මැල්කම් රංජිත් පියනම හමුදා බුද්ධි අංශ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ ආගමික නායකයකුගේ සීමාව ඉක්මවා යෑමක් පමණක් නොව නීතිය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතනවල පටිපාටිය හෑල්ලුවට ලක් කිරීමකි.

යුද්ධය පැවති සමයේත් ඉන්පසුවත් යුද්ධයට මුවා වී දේශපාලන බලපෑම් හෝ පුද්ගලික ඕනෑකම් මත අපරාධ කළ අය නිදොස් කිරීමට බලපාන ප්‍රකාශ නිකුත් කිරීම ආගමික නායකයන්ගේ වගකීම නොවිය යුතුය. නීති අංශවලට ඒ කටයුතු කරන්නට හැර තමන්ට නියමිත වගකීම ඉටුකිරීම ආගමික පාර්ශ්වවල කාරියයි.

මෙය හැඳින්විය හැක්කේ බොරදියේ මාළු බෑමක් ලෙසය. ජාතිවාදයට හා සිංහල මහෝත්තමවාදයට පාර කපමින් පරාජිත දේශපාලන බලවේගවලට ජීවය පිඹින ඊනියා මාධ්‍යද වගකීමකින් තොරව කරන ප්‍රකාශ ජාතික වැදගත්කමක් ඇති ප්‍රකාශ ලෙස උපුටා දක්වති. මේවාට පිළිතුරු දීමේ හයියක් ආණ්ඩුවට තිබිය යුතුය. විධායකය සහ ආණ්ඩුව අතර ඇති කඹ ඇදීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම වළක්වා ගත යුතුය.

මාතෘකා