හිත් හෙල්ලූ ප්‍රහාරයේ හද පෑරෙන අතුරු කතා

 ඡායාරූපය:

හිත් හෙල්ලූ ප්‍රහාරයේ හද පෑරෙන අතුරු කතා

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

ඡායා [රොෂාන් පිටිපන]

දෙවියන් වැඩ සිටින්නේ මිනිසුන්ගේ හදවත් තුළ මිස විසල් දේව මන්දිර තුළ නොවේ. එනමුදු මිනිසුන් දෙව්මැදුරු සහ දෙවොල් කරා යන්නේ දෙවියන් කෙරෙහි වන අප්‍රමාණ බැතියෙන් හදවත පුරවා ගන්නටය. එවැනි පින්බර මොහොතකට එක්වී සිටි දෙවියන්ගේ බැතිමතුන් උණුසුම් ලේ දහරාවලින් නහවන්නට හැක්කේ මිනිස් වෙස් ගත් යක්ෂයන්ට පමණි. පසුගිය ඉරිදා දෙවියන් සොයා දෙව්මැදුරු කරා ගිය බැතිමතුන් රැසකගේ ජීවිත ඉරණම එවැනි යක්ෂාවේශවූවෝ කිහිපදෙනෙක් විසින් කුරිරු ආකාරයෙන් අවසන් කර දැමූහ. දේවස්ථාන තුනක් සහ හෝටල් තුනක් ඇතුළුව ස්ථාන 8ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට 310 දෙනකු පමණ සිය ජීවිත හැරගොස් ඇත. පන්සීයකට අධික පිරිසක් තවමත් රෝහල් තුළ ජීවිතයත් මරණයත් හමුවේ පසුවෙති. මරාගෙන මැරෙන්නට තරම් ආවේගශීලී වූ කිහිපදෙනකුගේ එම කුරිරු ක්‍රියාදාමය හමුවේ රටම සැණින් දුක් සයුරක ගිලී ගියේය.

ආගම් භේද, ජාති භේද, පක්ෂ භේද කිසිත් නැතිව සියලු ශ්‍රී ලාංකිකයෝ කම්පාවට පත්කළ එම ඛේදවාචකය සිදුවී මේ වන විට දින දෙක තුනක් ගෙවී ගියද තවමත් සියලු සිත්සතන්වලට දැනෙන්නේ දැඩි කම්පාවකි. අගනුවර සසල කරමින් තැන තැන පුපුරා ගිය බෝම්බ ප්‍රහාරවලින් පසු අද අගනුවර ඇත්තේ ශෝකී නිහැඬියාවකි. වෙනදාට ජනාකීර්ණ කොළඹ සහ පිටකොටුවේ වීදිවල අද ඇත්තේ හිස් බවකි. සිදුවූ ඛේදවාචකය තුළ පුවත් මැවූ සහ මාධ්‍ය විසින් වැඩිපුර වාර්තා කළ සිදුවීම්වලට හසුනොවූ අතිශය සංවේදී සිදුවීම් කිහිපයක්ම පසුව වාර්තා විය. මේ ඒ පිළිබඳ සටහනකි.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමඟ නතර වූ ජීවිත ගණන මේ වන විට 25 ඉක්මවා තිබේ. හරියටම ඔවුන්ගේ ජීවිත නතර කළ මාරයාගේ නිමේෂය එළැඹි ඒ නපුරු වේලාවෙන් පසුව කොච්චිකඩේ සිද්ධස්ථානයේ විසල් ඔරලෝසුවේ කටු යළි කැරකු‍ණේ නැත. එය තවමත් පාස්කු ඉරිදා උදෑසන 8.45ට නතර වූ ගමන්ය. එහෙත් ඒ බියකරු අත්දැකීමට මුහුණ දෙමින් තම ආදරණීයයන්ගේ වියෝවෙන් තැවෙන මිනිසුන්ගේ සිත් තවමත් කම්පනයෙන්ය. ප්‍රහාරවලින් පසු අතුරුදන් වූ තම සමීපතමයන් සොයමින් ඔවුන්ගේ ඡායාරූප ඇතිව රෝහල්වල මෝචරි අසල හඬා වැළපෙන්නන් තවමත් අඩුවක් නැත. ඒ අතරේ හඳුනානොගත් මළ සිරුරු 41ක් තවමත් රෝහල් මෘත ශරීරාගාරවල තිබෙන බවද වාර්තා විය.

එපමණක් නොව ජීවිතය අහිමිවූ තම ආදරණීයයන් වෙනුවෙන් හදවතේ ඇවිළෙන වේදනාව දෙවියන්ට කියමින් දේවස්ථානය ඉදිරිපිට ගිනි අව්වේ හඬා වැළපෙන මිනිසුන් අදත් කොච්චිකඩේ දේවස්ථානය අසලදී දැකගත හැකිය. ආදරණීයයන් මුණගස්වන ස්ථානයක් වන දේවස්ථානය බොහෝ දෙනකුට මාරයා මුණගැස්වූ ස්ථානයක් බවට පත්කළේ රුදුරු ත්‍රස්තවාදියකු වුවද ඒ වේදනාව සැබවින්ම දැනෙන්නේ මියගිය අයට නොව ජීවත් වන්නන්ට බව මේ ඛේදවාචකය යළි යළිත් පසක් කරමින් තිබේ. සිය මවත් පියාත් සමඟ පාස්කු ඉරිදා දේව මෙහෙයට පැමිණි සිටි තුන් හැවිරිදි සිඟිති දියණිය ජෙනීටාට දෙවියන් අබියසදීම සිය මව අහිමි වී තිබේ. බෝම්බ ප්‍රහාරය හමුවේ ලේ විලක් මැද ජීවිතය අතැර ගොස් සිටි මව සහ මරණීය තුවාල ලැබ වැටී සිටි පියාගේ තුරුලට වී ජීවිතය සොයමින් සිටි ඇය පසුව වෙරළබඩ පොලිසියේ නිලධාරීන් විසින් වත්තල ප්‍රදේශයේ පදිංචි ඇයගේ ඥාතීන් වෙත බාර දී තිබිණ. මව සොයා හඬන ඇය සනසන්නට නොහැකිව ඇගේ ඥාතීහු අසරණ වී සිටිති. වඩාත් ශෝචනීය තත්ත්වය වන්නේ පුංචි ජෙනීටා දියණියගේ මවගේ මෘත දේහය බදුල්ලේ පිහිටි ඇගේ නිවස වෙත ගෙනයන්නට තරම්වත් ආර්ථික හයියක් ඔවුන් වෙත නොවීමය.

බෝම්බ ප්‍රහාරයෙන් පසු කොච්චිකඩේ සිද්ධස්ථානයේ බිම තැන තැන විසිරී තිබූ මළ සිරුරු කොටස්, හිස පලඳන වේල්, කුඩා කොන්ත, යාච්ඥා පොත් සහ ජංගම දුරකථන අතර එක දිගට නාදවෙමින් තිබූ දුරකථනයේ අයිතිකාරිය රිගන් රූත් නමැත්තියකගේ බවද දැන් හෙළි වී තිබේ. ඇයට එසේ එක දිගට ඇමතුම් ගෙන තිබුණේ කනගලිංගම් රූබන් නමැත්තෙකි. රූත් යනු ඔහුගේ මල්ලීගේ බිරිඳය. බිරිඳ, සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ දෙවියන් යදින්නට ආ ඔවුන් දැන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර පසුවෙති.

"දෙවියන් එක් කළ හදවත් මිනිසුන් විසින් වෙන් නොකෙරේවා"

විවාහයේ උතුම්කම පිළිබඳව ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන්නේ එසේය. නිවිතිගල පදිංචිව සිටි සෙල්වනායගම් ජෝන්(42) සහ සෙල්වදොරේ පත්මසිරියා(32) යන අඹුසැමියන් වසර පහක පමණ කාලයක් විරසක වී එකිනෙකාගෙන් වෙන්ව සිටි යුවළකි. ඔවුන් දෙදෙනා යළි සමාදාන වී සිය විවාහ දිවිය අලුත් කරගැනීමටත් ඒ සඳහා දෙවියන්ගේ ආශීර්වාදය ලබාගැනීමටත් පාස්කු ඉරිදා කොච්චිකඩේ දේවස්ථානයට පැමිණ තිබේ. දෙවියන් හමුවේ සිය පව් කමාකරගත් ඒ යුවතිපතීන්ට යළි තම ඥාතීන් වෙත පැමිණ ඒ සතුට සමරන්නට ත්‍රස්තවාදියා ඉඩ දුන්නේ නැත. බෝම්බ පිපුරුමෙන් ඔවුන් දෙදෙනා දේවස්ථානය තුළදීම මරු වැලඳ ගත්හ. බෝම්බ පිපිරී ගිය හැම තැනකින්ම ඇසෙන්නේ මෙවැනි ශෝචනීය කතා පුවත්ය.

මරණයේ සහ අහිමිවීමේ වේදනාව දේවස්ථානය හෝ තරු පහේ හෝටලය කියා වෙනසක් නොවන බව ඒ බොහෝ කතා පුවත්වලින් සනාථ වේ. අගනුවර තරු පහේ හෝටල්වල පිපිරී ගිය බෝම්බවලින් ජීවිතය හැරගියවුන්ගේ කතා පුවත්ද ශෝකයෙන් අඩුවක් නැත. ශ්‍රී ලංකාවේ අසිරිය විඳින්නට මෙරටට පැමිණ සිටි විදේශිකයෝ 31කට ජීවිතය අහිමි කළ මෙම ඛේදවාචකයෙන් ෂැංග්‍රිලා හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිතය අහිමි වූවන් අතර ඩෙන්මාර්කයේ ධන කුවේරයකු වන ඇන්ඩර්ස් පෝවල්සන්ගේ දරුවන් තිදෙනකු සිටින බවත් එක් දියණියක තවමත් අතුරුදන්ව ඇති බවත් වාර්තා වේ. එමෙන්ම ඇමරිකානු ජාතිකයකු වන ලුවිස් ඇලන්ටද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට එල්ල වූ ප්‍රහාරයේදී සිය බිරිඳ අහිමි විය. මෙරටට ආදරය කළ විජාතිකයකු වන ඔහු 2017 වසරේදී රත්නපුර රෝහලට ළමා වාට්ටුවක් ස්ථාපිත කිරීමටත් රෝහලේ තවත් අංග කිහිපයක් නවීකරණය කිරීමටත් සිය ධනය පරිත්‍යාග කළ අයෙකි. ඔහු මෙවර මෙරටට පැමිණ තිබුණේ සිය පරිත්‍යාගය තුළින් ශ්‍රී ලාංකික ජනතාව ප්‍රතිලාභ ලබන අයුරු සිය බිරිඳ මොනික් ඇලන්ටත් පුතු ජේසන්ටත් දැකබලා ගැනීමට ඉඩ සලසන අරමුණිනි. එහෙත් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ උදෑසන ආහාර ගනිමින් සිටියදී එල්ල වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරයෙන් ඇලන්ට සිය බිරිඳ සදහටම අහිමි වූ අතර පුතුනණුවන්ද තුවාල ලැබීය.

"අපි ශ්‍රී ලංකාවට ආදරෙයි. මගේ බිරිඳ කැමතිම රට ශ්‍රී ලංකාව. ඒ නිසයි අපි විටින් විට මේ රටට ආවේ. මේ සිද්ධ වුණු දේ මට තවමත් විශ්වාස කරන්න බැහැ. මම මේ සිදුවීමෙන් පස්සේ පුතාවයි බිරිඳවයි හෙව්වා. රෝහලේදී මට පුතා හමුවුණා. ඔහුගේ හිසට තුවාල වෙලා තිබුණා. පස්සේ මම මොනික්ව හෙව්වා. රෝහලේ මෝචරියේදී මළ සිරුරුවල එකින් එක රෙදි ඉවත් කරලා බලද්දි මම ප්‍රාර්ථනා කළේ ඒ මොනික් නොවේවා කියලයි. ඒත් අන්තිමට ඒ අතරේ මොනික් හිටියා. මට තාමත් මේක විශ්වාස කරන්න බෑ"

ඔහු මාධ්‍ය හමුවේ කම්පාවෙන් පැවසීය. සුවහසක් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් රෝහල් වාට්ටුවක් තනා දෙන්නට පරිත්‍යාගශීලී වූ ශ්‍රී ලංකාවේදීම ඔහුගේ ජීවිතයේ සැනසීම අහිමි වී යෑම ශෝචනීයය. ශ්‍රී ලංකාවේ දරුවන් වෙනුවෙන් ඔහු ළමා වාට්ටුවක් තනා දෙද්දී කොහේ හෝ සිට පැමිණි ත්‍රස්තවාදීන් කිහිපදෙනකු දරුවන් රැසකගේ ජීවිත උදුරා ගැනීම මෙම ඛේදවාචකය පිටුපස තිබෙන තවත් අතිශය වේදනාත්මක කතාවකි. ඒ මෙම පිපිරුම්වලින් මියගිය දරුවන්ගේ සංඛ්‍යාවද විසල් අගයක් ගන්නා නිසාය.

දැනට ලැබී ඇති දත්ත අනුව මීගමුව කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීමෙන් දරුවන් 22ක් හා මඩකළපුව දේවස්ථානයේ පිපිරීමෙන් දරුවන් 14ක් මියගොස් තිබේ. ලෝකයාට කිසිදු වරදක් සිදුකර නැති මල් වැනි අවිහිංසක දරුවන් මෙසේ මරාදමන්නට ත්‍රස්තයන් දරුණු වෙද්දී ජීවිතය ගැන දහසක් සුබ සිහින දුටු තරුණ තරුණියන්ද මේ ව්‍යසනයට ලක්වූවන් අතර වේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ හෝටල් කළමනාකරණ පුහුණුව ලබමින් සිටි වවුනියාවේ පදිංචිකරුවකු වන නිෂාඩ් නලීෆ් වයස අවුරුදු 22ක තරුණයෙකි. ඔහු සිය පාඨමාලාව අවසන් කරන්නට තබන්නේ තවත් මාසයක කාලයක් පමණි.

ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානය පිහිටි කටුවාපිටිය ගම්මානය එකම මළ ගෙයක් බවට පත්කිරීමට මෙම ඛේදවාචකයට හැකිවිය. දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගි වෙමින් සිටියදී පාස්කු දේව මෙහෙයට එල්ල වූ එම ප්‍රහාරයෙන් මේ වන විට 107 දෙනකු මියගොස් තිබෙන බවත් තවත් මළ සිරුරු 18ක් පමණ මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් වාර්තා විය. එම ඛේදවාචකයෙන් පසුව ආරක්ෂක හේතූන් මත දේවස්ථානයට පිටස්තර පුද්ගලයන් ඇතුළුවීම සීමා කර තිබුණද දේවස්ථානය අසල විශාල පිරිසක් තම ඥාතීන් ගැන ශෝක වෙමින් කල්ගත කරනු දැකගත හැකි විය. දේවස්ථානයේ තාප්පයේ කවුළු තුළින් එබෙමින් අහිමි වූ ආදරණීයන් ගැන හඬා වැලපෙන්නන් එහි අඩුවක් නොවීය.

"මගේ පුතා නැතිවුණේ මේ පල්ලියේ. කාටද මේ දුක කියන්නේ? ජේසුනේ මගේ පුතා ගෙනියනවා පෙනුණේ නැද්ද" සිය පුතු වියෝවීමෙන් ඇතිවූ වියෝ ගින්නෙන් ඇවිළෙමින් වියපත් මවක් දෙවියන්ට එලෙස ගතු කියනුද දකින්නට ලැබිණ. සිය පුතු මුනුබුරු මුනුබිරියන් පස්දෙනකු සමඟ සිය පවුලේ පස්දෙනකුම දේවස්ථානයේදී මරු වැලඳගත් පුවතින් කම්පා වෙමින් බරපතළ තුවාල ලබා දියණිය සහ ලේලිය සමඟ රෝහල්ගත වී සිටි තෙරේසා ප්‍රනාන්දු නමැති මව විලාප දෙමින් හැඬුවේ "මගේ පවුල ඉවරයි. ඇයි දෙයියනේ ඔබ වහන්සේ මේ වගේ අපරාධයක් වෙන්න ඉඩ දුන්නේ?" කියාය. පාස්කු ඉරුදින දිව්‍ය පූජාවට සහභාගි වීම කිතුවන්ට ඉමහත් ආශීර්වාදයකි. එම නිසාම එය පැහැර හැරීමට ඉඩදීම කිතුනුවකුගේ සිතට මදිකමකි. තිඹිරිගස්කටුව දුටුගැමුණු මාවතේ පදිංචිව සිටි ක්‍රිස්ටීන් ප්‍රනාන්දු මහත්මිය පාස්කු ඉරිදා උදෑසන නින්දේ සිටි තම පුතු ලහිරු ප්‍රසංග සහ ඔහුගේ බිරිය දිලිනි සංජීවනි ඇහැරවා කටුවාපිටිය දේවස්ථානයේ දිව්‍ය පූජාවට යැව්වේ සිහිනෙනුදු ඔවුන්ට එවැනි විපතක් වේවි යැයි සිතාගෙන නොවේ.

"මගේ දරුවො දෙන්නා හරිම සතුටින් හොඳින් ජීවත් වුණා. අපි ජීවත් වුණේ කොයිතරම් බලාපොරොත්තු තියාගෙනද? මම එදා දෙන්නව පූජාවට පිටත් නොකළා නම් මගෙ දරුවෝ අදටත් මා එක්ක ජීවත් වෙනවා" එම මව හඬා වැලපෙන්නේ ඔවුන්ට සිදුවූ විපතේ වරද තමා පිට පවරාගෙනය. උතුම් මාතෘත්වය එසේය. ත්‍රස්තවාදී නරුම හිත්වලට නොපෙනුණේ මෙවැනි ආදරණීය බැඳීම්ය.

මිනිසත්කම යනු එවැනි අපූර්වතම හැඟීමකි. මියගිය අය අතර තමාගේ ඥාතීන් හෝ මිතුරන් නොවූවද ඒ ඛේදවාචකයෙන් මියගිය අය වෙනුවෙන් අපේ නෙතට කඳුළු උපදින්නේත් හදගැස්ම වැඩිවන්නේත් මිනිසත්කමේ සංවේදී බව නිසාවෙනි. කටුවාපිටිය දේවස්ථානය තුළ මියගිය අය වෙනුවෙන් එහි තාප්පයේ කවුළුව මත මල් පොකුරක් තබමින් හැඬූ තරුණයා පසක් කරන්නේ ඒ සත්‍යයයි.

"මගේ කවුරුත් නැතිවෙලා නෑ. ඒත් මේ නැතිවෙලා තියෙන අය සේරම මගේ ගමේ අය. මගේ සහෝදරයෝ. හරිම අහිංසක අය. ත්‍රස්තවාදීන්ට පෙනුණේ නැද්ද මේ අයට මෙහෙම දෙයක් කරලා ලැබෙන දෙයක් නැහැ කියලා. "

ඒ පැනයට පිළිතුරු දන්නේ මෙවැනි නිහීන අපරාධයක් කළ අයම පමණි. ජාති, ආගම් භේද කිසිත් නොතකා දෙවියන් දකින්නට ආ මිනිසුන් මරාදමන්නට තරම් දරුණු විය හැක්කේ ත්‍රස්තවාදීන්ටම පමණි. උපතින්ම ඉස්ලාම් දැරියක වන ෆාතිමා අස්ලා නම් දැරිය කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේ පාස්කු මෙහෙයට සහභාගි වූයේ තම කිතුනු මිතුරිය නිසාය. එහෙත් දෙව්මැදුරට ආ රුදුරු ත්‍රස්තවාදියකු ඇයගේ සුන්දර ජීවිත ගමන නිමා කළේය. පාස්කු ඉරිදා කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ ඛේදවාදචකයෙන් මියගිය වූවන් අතර ඔරුගොඩවත්තේ පදිංචිව සිටි එකම පවුලේ පියා, මව සහ දරුවන් දෙදෙනකුද වේ. ජාතිය, ආගම යනු මිනිසුන් විරසක කරවන පොදු සාධක යැයි බොහෝ දෙනා නිගමනය කළද ඒ හැඟීම පුස්සක් කළ සිදුවීම් මෙම ඛේදවාදකය අතරද අඩුවක් නැතිව දක්නට ලැබිණ. ජාති භේද නොතකා මේ ව්‍යසනයේදී සියලු ජාතීන් එක්ව දුක බෙදාගන්නා අයුරු ඒ සඳහා කදිම සාක්ෂියකි.

මාතෘකා