පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කලාකරුවන් කියූ දේ

 ඡායාරූපය:

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කලාකරුවන් කියූ දේ

එකමුතුව වැඩ කරන්න ඕන

ඉන්දිකා උපමාලි

ලංකාවේ ඉන්න හැමෝම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒක තමයි ජාති, ආගම්, කුල භේදවලින් තොරව ජීවත් වෙන්න ඕන කියලා. පවුල තුළ වුණත් යම් කිසි විදියකින් ආගමික භේදයක් පවතිනවා නම් පුළුවන් තරම් ඉක්මනට අපි ඒක අයින් කරලා දාන්න ඕන. ඊට පස්සේ එන්න ගම. ගමේ කණ්ඩායම් එකතුවෙලා බෙදීමක් තියෙනවා නම් ආගමික වශයෙන්, ජාති භේද වශයෙන් ඒකත් අපි මුළුමනින්ම උපුටා දමන්න ඕන. එහෙම නැත්නම් බලන්න අන්තිමට සිද්ධ වෙන්න මොකක්ද කියලා. අපි ඔක්කොම එකා වගේ හිතන්න ඕන. එකා වගේ වැඩ කරන්න ඕන.

දැන් බලන්න එදා සිදුවීමේදී වැඩියෙන්ම හානි වුණේ කිතුනුවන්ට. ඒත් අපේ මිනිස්සු එහෙම ආගම් භේද, ජාති බේද වශයෙන් වෙන් වුණේ නෑ. එහෙම හිතලා නෙවෙයි ලේ දන් දෙන්න ගියේ. විය යුත්තේ ඒකයි. අපි කලාකරුවෝ වශයෙන් පුළුවන් තරම් මිනිසුන් දැනුවත් කරන්න ඕන. දේශපාලකයන් අපි කියන දේවල් අහන්නෙ තැන්නම් අපි විසින් දේශපාලකයන්ට බල කරන්න ඕන.

මිනිසුන්ගේ ජීවිත කොච්චර වටිනවාද?

ගයාන් වික්‍රමසිංහ

මේක හරිම අනුවේදනීය සිද්ධියක්. අපි ඔළුව හදාගෙන හිටියනේ මෙච්චර කාලයක්; අවුරුදු දහයක් විතර තිස්සේ යුද්ධයක් නැහැ කියලා. ඒත් දැන් ආයෙත් දැනෙන්නෙ යුද්ධය තියෙන කාලෙ ඇවිල්ලා කියලා. බලාගෙන ගියාම රූපවාහිනිය කියන දේවල් අනුව හැමෝම දන්නවා මේ වගේ ප්‍රහාරයක් වෙනවා කියලා. ඉතින් මාධ්‍ය මගින්වත් කිව්වා නම් මෙහෙම දෙයක් වෙනවා කියලා මේ අහිංසක මිනිස්සු පල්ලිවලට යන්නෙ නෑනේ. මිනිස්සුන්ගෙ ජීවිත කොච්චර වටිනවද? වේලාසනින්ම මුලින් දවසේ මේවා දැනුවත් කළා නම් මිනිස්සු කවදාවත් මේ වගේ තැන්වලට එකතු වෙන්නේ නෑනේ. ඇත්තටම මේක ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. මීට වඩා දැනුවත් වුණා නම් මේ වගේ අපරාධයක් වෙන්නේ නෑ. පුදුමාකාර දුකක් සහ කලකිරීමක් තියෙන්නේ.

අපි හැමෝටම පොදුවේ වුණ තර්ජනයක්

නයනා කුමාරි

තාමත් මට හිතාගන්න බෑ මේ මොකක්ද වුණේ කියලා. මට දැනුණු කම්පනය තාමත් එහෙමමයි. මේ වගේ දේවල්වලට මිනිස්සු ඔළුව හදාගෙන හිටියේ මීට කාලෙකට ඉස්සර වෙලා. මේ අහස පොළොව නුහුලන අපරාධය වුණේ සිංහල දෙමළ මුස්ලිම් කියන මිනිස්සු ඔක්කොටම පොදුවේ. මිනිස්සු කිසිම කෙනෙක් හිතුවේ නැති මේ වෙච්ච අපරාධය නිසා දැණුනු සහ දැනිච්ච වේදනාව කියලා නිම කරන්න බෑ. මේ අපරාධයට සම්බන්ධ හැමෝටම නිසි දඬුවම් ලබා දෙන්න ඕන. කතෝලික භක්තිකයන්ට විතරක් වුණු දෙයක් විතරක් නෙවෙයි මේක. අපි හැමෝටම පොදුවේ වුණු තර්ජනයක්. අපි හැමෝම ඉන්නේ තාම මානසික ව්‍යාකූලත්වයක.

අපේ ගමම අද අසරණයි

ක්ලීටස් මෙන්ඩිස්

මං පුදුමාකාර කම්පනයක ඉන්නේ. මගේ ගමේ මිනිස්සු ඔක්කොම වගේ නැතිවෙලා. මේ වෙච්ච කම්පනයට මට තාමත් කතා කර ගන්න බෑ. ඇයි අපිට වේලාසනින් මේවා කිව්වේ නැත්තේ. එහෙනම් අද අපට මේ වගේ කරදරයක් සිද්ධ වෙන්නේ නෑ. මට තවමත් කතා කර ගන්න බෑ.

මේ වෙලාවේ වුණත් කිසිම තැනක එකලාසයක් වෙලා නෑ. අපි හැමෝම තාමත් මළ සිරුරු එකතු කරනවා. දැන් ආරක්ෂාව දීලා ඇති වැඩකුත් නෑ. සිද්ධ වෙන්න තියන දේවල් ඔක්කොම වෙලා ඉවරයි. ඒ වුණත් ත්‍රිවිධ හමුදාව කරන මෙහෙයට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. මගේ හිතවතුන්ගේ, නෑදෑයන්ගේ, මිත්‍රයන්ගේ සියලු දේහයන් එකතු කරලා අපි ඔක්කොම එක තැනක මිහිදන් කරනවා.

ඒ වුණත් තව සුමානයක් ගියාට පස්සේ අපේ ගමේ අම්මලාට දරුවෝ නෑ, දරුවන්ට අම්මලා නෑ. මවුපියෝ අසරණයි. අපි හැමෝම දුක් ගින්නක ඉන්නේ.

අපේ රට අපි ආරක්ෂා කරගන්න ඕන

ගයත්‍රී ඩයස්

මේ සිද්ධිය වුණු වෙලාවේ ඉඳලා මේ මොහොත වෙනකම් තාමත් මං ඉන්නේ පුදුමාකාර කම්පනයක. අපි ළඟ ඉන්න සමීපතම අය පවා මේ සිද්ධිය නිසා ජීවිතවලින් ඈත් වෙලා ගියා. මීට කාලෙකට ඉස්සර වෙලා යුද්ධය තිබුණා තමයි. ඒත් මේ වගේ සිද්ධියක් අපි දන්න ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ. ඇත්තටම මගේ හිතේ තියෙන දුක මට වචනයෙන් නම් ප්‍රකාශ කරන්න බෑ. අනිවාර්යයෙන්ම වගකිවයුත්තෝ මේ ගැන හොඳින් හොයලා බලලා විසඳුමක් දෙන්න ඕන.

අපිට මේ රට අතඇරලා යන්න බෑනේ. එහෙම ගියත් මේ රටේ මිනිස්සු ඔක්කොම අරගන්න තවත් රටක් කොහේවත් නෑනේ. ජාති භේද ආගම් භේදවලින් තොරව කොහොම හරි මේ පුංචි ලංකාව අපි ආරක්ෂා කර ගන්න ඕන. මේ අපේ රට.

මාතෘකා