පාස්කු ඉරුදින ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරය

 ඡායාරූපය:

පාස්කු ඉරුදින ජපනුන්ගේ බෝම්බ ප්‍රහාරය

තිස් අවුරුද්දක් තිස්සේ පැවති රුදුරු යුද සංග්‍රාමය කෙළවරක් කරමින් ලංකාවාසී ජනතාව සැනසිල්ලේ සුසුම් හෙළන්නට ඉඩකඩ සැලසුවේ එවන් යුද කලකෝල ගැන නුවණින් තේරුම් ගෙන මොළයෙන් පිළියම් කළ නිසාය.

එහෙත් මෙදා මෙම වසරේ පාස්කු ඉරිදාවේ උදෑසන ලංකා ජනතාවට අසන්නට දකින්නට ලැබුණේ භීෂණය වෙනත් ආකාරයකින් එළිදැක්වී තිබෙන බවය. මේ වන විට සැකයට ලක් වූ පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවක්ද දැනගන්නට ලැබී තිබේ.

කෙසේ හෝ ජීවිත සිය ගණනක් මරුමුවට පත් කළ මේ මහා ඛේදවාචකය සිදු වූයේ 2019 පාස්කු ඉරිදාය. එසේම මෙයට වසර 77කට පෙර, එනම් 1942 වර්ෂයේ ජපනුන් ලංකාවට බෝම්බ හෙළූයේද පාස්කු ඉරිදාමය. මේ ලියුම්කරු මේ වන විට වයස හැත්තෑනවයක මහල්ලකු වශයෙන් කල දවස ගත කරන නමුදු මෙයට 77 වසරකට පෙර සිදු වූ දේ හා එයට පසුව සිදු වූ දේ පිළිබඳව පැහැදිලි චිත්‍රයක් පාඨක ඔබේ මනසේ මවන්නට මෙසේ ලියැවෙන කළු අකුරු සමත් වේ යැයි සිතමි.

වර්ෂ 1939 නොවැම්බර් පළමු වැනිදා පෝලන්තයට යුද ප්‍රහාරයක් එල්ල කරමින් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ආඥාදායක තෙමේ ප්‍රථමවරට සිය යුද වියරුව ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කළේය. ඒ සමඟම ඔහුගේ ගජ මිත්‍රයා වූ ඉතාලියේ ආඥාදායක සිංඥෝර් බෙනිටෝ මුසෝලිනීද තම සගයාගේ ක්‍රියාදාමයට එක් විය. මෙසේ තම යුද හමුදා බලය යොදවමින් හිට්ලර් මාසයකට එක් රටක් බැගින් යටත් කරගෙන යද්දී එය මුළු ලෝකයටම බරපතළ විනාශයක් ඇති කරවන්නක් මෙන්ම දෙවැනි වරටත් ලෝක යුද්ධයක් ඇති කරලන්නක් බව ලෝකයට හෙළිදරව් විය. සැබැවින්ම මෙහිදී තවත් මාස ගණනක් ගතවෙද්දී හිට්ලර්ගේ මෙම වියරු ක්‍රියාව යුරෝපාකරයටම බලවත් තර්ජනයක් වන බවද කා හටත් අසන්නටත් දකින්නටත් ලැබුණු හෙයින් එයට විරුද්ධව ප්‍රමුඛව පියවර ගැනීමේ අවශ්‍යතාවද මතු කෙරිණ.

මතු කළ මතු විය හැකි ලෝක යුද්ධයන් උදෙසා තම තමන්ගේ රාජ්‍යයන් රැකගැනීමේ අවශ්‍යතාව මතු වූ හෙයින් හිට්ලර්ගේ යුද ප්‍රයත්නයට විරුද්ධව මිත්‍ර පාක්ෂික පෙරමුණක් ගොඩනැඟිණි. එංගලන්තය, බ්‍රිතාන්‍යය යනාදී රටවල් රැක ගැනීම උදෙසාද ඇමෙරිකාව තම ආධිපත්‍යය රැකගැනීම උදෙසාද කොමියුනිස්ට් රාජ්‍යයේ සමාජවාදී ජනරජය තම රටවල් රැකගැනීම උදෙසාද හිට්ලර්ට විරුද්ධව 'මිත්‍ර පාක්ෂිකයන්' වශයෙන් මෙසේ එක පෙරමුණකට එක් වූහ. බල තණ්හාවෙන් ඉපිල ලෝක ආධිපත්‍යයට පියවර තබමින් රටරටවල්ද විනාශ කරන්නට පෙළඹී සිටි මේ තිදෙනාට විරුද්ධව එම තුන්ගොල්ල මෙසේ එක අරමුණකට යොමුවෙද්දී දක්නට ලැබුණු සිද්ධියක් නම් ලෝකයේ බෞද්ධ අධිරාජ්‍යයකු වශයෙන් ප්‍රකටව සිටි ජපානයේ හිරෝහිතෝ අධිරාජ්‍යයාද හිට්ලර්ගේ පක්ෂයට එකතු වීමය. එයට හේතුව මෙතරම් කල් ගත වී ගියද අදටත් හෙළි නොවූ අබිරහසක්ව ඇත. එය ලෝකයේ මැදහත් විචාරකයන්ටද පුදුමයට හේතුවක් විය. එම දේශය පිළිබඳව බලවත් හැඟීමක් ඇතිව ආගමික හැඟීමකින්ද යුතුව සිටි ලංකාවේ ජාතික නායකයන්ටද පඬිවරුන්ටද විශේෂයෙන් පත්‍ර කලාවේදීන්ටද ජපනුන් හිට්ලර්ගේ කුරිරු යුද ප්‍රයත්නයට සහයෝගය දීම බලවත් ප්‍රශ්නයක්ව පැවතිණ.

පසු කලෙක දෙවැනි ලෝක සංග්‍රාමය යනුවෙන් හැඳින්වෙමින් ලෝක ඉතිහාසයට එක් වූ එම යුද කලිකලහය මෙසේ ලොව පුරා පැතිර යද්දී එකල සිලෝන් රට - ලංකාව තම යටත් විජිතයක් ලෙස යටත් කරගෙන සිටි හෙයින් මෙය යුද මධ්‍යස්ථානයක් ලෙස සලකා කටයුතු කිරීමටද ලංකාවේ එවකට සිටි ආණ්ඩුකාරයා ඇතුළු බලධාරීහු සැලසුම් කළහ. එවකට ලංකාණ්ඩුකාර පදවියේ වැජඹුණු ශ්‍රීමත් ඇන්ඩ්‍රෑ කැල්ඩිකෝට් තුමාද යුද්ධාධිපති වූ ශ්‍රීමත් ජොෆ්රි ලේටන් මහතාද සිය නිල බලය තහවුරු කර ගැනීම පිණිස එවකට ස්වදේශ කටයුතු අමාත්‍ය පදවියේ සිටි ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමන් ප්‍රමුඛ ස්වදේශීය අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ සහයෝගයද ලබාගත්හ.

එවකට රටට ආහාර සම්පාදනය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වූයේ ආහාර ගෙන එන නැව් ජර්මන් සබ්මැරීන් මඟින් මුහුදේ ගිල්වා දැමීමේ කටයුතුවලද යෙදුණු හෙයිනි. එහෙයින් රට අභ්‍යන්තරයෙන්ම ජනතාව උදෙසා ආහාර නිෂ්පාදනය කර ගැනීමේ කටයුතු දියත් කෙරිණි. මේ තුළ ප්‍රශ්න උග්‍ර වන්නට ඉඩදිය නොහී මහජන ආරක්ෂක කොමසාරිස්වරයා කළ එක් කාර්යයක් නම් අලුත් අදහසක් ක්‍රියාවේ යොදවන්නට සැලසුම් කිරීමය. එනම් කොළඹ නගරයේ පවතිත තාප්පවල වගා කටයුතු පිළිබඳ වගන්ති සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ යන භාෂා තුනෙන්ම ඇඳ දැක්වීමය. එනම් 'අල්ලක් වවා මල්ලක් පුරවමු', 'අත සෙලවූවොත් කට සෙලවේ', 'වවන්නට හැකි හැම තැනකම ආහාරයට ගත හැකි දේ වගා කරමු' ආදී වශයෙන් වූ වගන්තිවලින් පිරවීමය. එය වැඩි දෙනෙකුට විනෝදටයත් එමෙන්ම ආදර්ශයටත් කාරණයක් විය.

මේ අතරම යුද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ‘යුද පෙරමුණ’ නමින් කුඩා පිටු 4ක පත්‍රිකාවක් සතිපතා බෙදා හරින ලද්දේ මහජනතාවට යුද්ධය පිළිබඳ වූ කරුණුවලින් දැනුවත් කිරීමටය. ඒ සමඟම යම් යම් තැන්වලදී වගා කළ හැකි, ආහාරයට ගත හැකි දේවල් පිළිබඳවද දැනුමක් සහිත ලිපි එහි පළ කර තිබිණ.

මෙසේ කටයුතු කරමින් තිබියදී වර්ෂ 1942 අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා උදේම කළු කුරුල්ලන් රෑනක් මෙන් කොළඹ වරාය අබියසට අහසින් ගලා ආ ජපන් ගුවන් යානා කිහිපයක් මඟින් කොළඹ වරායටද තදාසන්න තවත් ප්‍රදේශය කිහිපයකටද බෝම්බ හෙළන ලද්දේය. මෙය කිසි විටකින් ආරක්ෂක බලධාරීන්ට කලින් දැනගන්නට නොලැබුණු කාරණයක්ද විය. එහෙයින් ගුවනින් බෝම්බ හෙළන අවස්ථාවලදී යුද්ධයකදී තිබෙන භයානක බැරෑරුම් බව තේරුම් ගත් සුදු භටයින් සැඟවෙද්දී ඒවා පිළිබඳ අත්දැකීමක් නැති අපේ ඇත්තන් කළේ පෙරට පැන හැකි අයුරින් එම ගුවන් යානාවලට සුළු වශයෙන් හෝ අනතුරු කිරීමේ අපේක්ෂාවෙන් පිට පිට වෙඩි තැබීමය. මෙම අවස්ථාවේදී අපේ ඇත්තන්ගේ වාසනාවට මෙන් එම ගුවන් යානා සමූහයෙන් කිහිපයක්ම සුළු වශයෙන් හෝ අනතුරට ලක්වීමෙන් කඩා වැටෙනු දක්නට ලැබිණ.

මෙවේලේ උදේ 10.15 පමණ වූ හෙයින් අගනුවර ආසන්න අංගොඩ ප්‍රදේශයේ ගොඩනැඟිලි කිහිපයක් අතරින් අහසට දුම් ගුළි විහිදෙනු එක් ජපන් නාවිකයකු විසින් දක්නා ලද්දේය. මෙහිදී ඔහු නියත වශයෙන්ම සිතුවේ මේ නම් ආණ්ඩුවේ කම්හල විය යුතු බවය. එම නිසා ඔහු කළේ ගොඩනැඟිලි සංකීර්ණයට බෝම්බ කිහිපයක්ම හෙළා දමා එතැනින් පියාසර කර ඉවත්ව යෑමය. එහෙත් ඔහුගේ අනුමානය වැරදිය. එය අපේ ලංකාවේ පිස්සන් කොටුවය. එම බෝම්බ ප්‍රහාරයෙන් පිස්සන් කිහිප දෙනකුම මියගිය අතර සෙසු පිස්සන් කළේ එයින් පැන නොයෙක් අත පලායෑමය. මෙහිදී එවකට වයස අවුරුදු දෙකේ වූ මට පසුව දැනගැනීමට ලැබුණු කාරණයක් ගැන සඳහන් කළ හැකිය. එනම් අංගොඩ ප්‍රදේශයට මෙහා ගොතටුව පාරේ අයිනේ පිහිටි අපේ නිවස ඉදිරිපිට වූ විදුලි කණුවට බඩගෑ එක් පිස්සකු එහි මුදුණේදී විදුලි සැර වැදී රිළවකු මෙන් එල්ලී සිටි බවය. ඒ සමඟම පෙරදා තොවිලයකින් පසු පාරේ අයිනට ගෙනැවිත් තබන ලද පෙරේත තට්ටුවකට වහ වැටුණු පිස්සන් කිහිපදෙනකු එහි තිබූ දෑ කා දමා ඇති බවද පසුව ආරංචි විය. ඒ සමඟම කොටිකාවත්ත අසල සමහර වෙල් ප්‍රදේශයකටද ජපන් යාත්‍රා කිහිපයක් කඩා වැටුණු බවද අපට අසන්නට ලැබිණ. එය සිදු වූයේද අපේ ඇත්තන්ගේ ක්‍රියාදාමයක් වශයෙන් බව පසුව හෙළිකෙරිණ.

මා කලින් සඳහන් කළ පරිදි රජයේ කම්හල යැයි සිතා අංගොඩ පිස්සන් කොටුවට බෝම්බ දැමීම පිළිබඳව පසුව ජපන් රජය අපේ රජය වෙත සිය කනගාටුව ප්‍රකාශ කළ බවද හෙළි විය. ඉන් පසු කලෙක ආරෝග්‍ය ශාලාවල පියස්සෙහි අහසට පෙණෙන පරිදි රතු කුරුසය ඇඳ තබන්නටද බලධාරීහු කටයුතු කළ බවද කියති.

මෙම හදිසි අකරතැබ්බයෙන් පසුව නගරයේ මෙන්ම නගරාශ්‍රිත ප්‍රදේශවලද වැඩිදෙනා අතට හසු වූ දෙයක් පොදි බැඳගෙන එම ප්‍රදේශවලින් පිටිසර ප්‍රදේශවලට පලා ගියහ. විශේෂයෙන් කොළඹ ව්‍යාපාරිකයන් වශයෙන් කටයුතු කළ ආහාර ගබඩා ඇත්තන්, රෙදිපිළි ගබඩා ඇත්තන් සහ එදිනෙදා කටයුතුවල යෙදුණු වෙළෙන්දෝ එසේ තම ගබඩාවලට යතුරු දමා පලා ගිය බව කියති. මේ අතර අගනුවර ඇති වූයේ බරපතළ ආහාර හිඟයකි. එහෙයින් සමහරුන් එම වසා ඇති ගබඩා කොල්ලකෑමට සැරසෙන බවක්ද මහජන ආරක්ෂක ඔලිවර් ගුණතිලක මහතාට ආරංචි වී තිබිණ. එම ආරංචිය ලද මොහොතේම ඒ මහතා කළේ තම නිලධාරීන් කිහිපදෙනකුද කැටුව ගොස් එම ගබඩා විවෘත කර ආහාර ද්‍රව්‍ය නියම මිලෙන් භාගයක මිලකට විකිණීමය. මෙහිදී නුවරුන් බලවත් හැඟීමකින් යුතුව එම ආහාර මිලදී ගනු දක්නට ලැබිණ. එම අවස්ථාවේදී ඒ පිළිබඳ අසන්නට ලැබීමෙන් පසුව කැල්ඩ්කෝට් ආණ්ඩුකාර තුමාද එහි පැමිණ ඔලිවර් ගුණතිලක මහජන ආරක්ෂක තුමාගේ මේ ක්ෂණික ස්ථානෝචිත ප්‍රඥාව අනුව සිදු කෙරුණු කටයුත්ත දැක සතුටට පත්වූ බවද පසුව හෙළිවිණ.

මෙසේ වර්ෂ 1942 පාස්කු දිනයේදී ජපනුන් කොළඹ රැඳී සිටියේ පැයකට කිට්ටු වේලාවක් නමුදු ඉන් පසුව ත්‍රිකුණාමලයේ වරායට බෝම්බ දැමීමෙන් පසු ඔවුනගෙන් ආපසු යන්නට ඉතිරි වූයේ යානා කිහිපයක් පමණි. එසේ නමුදු ඔවුන් හමුවේ ජයග්‍රාහී වූ අපේ සෙබළුන් මෙය තමන්ගේ රටේ ඉතිහාසයටද ගෞරවයක් කරගත් බව සඳහන් කළ හැක්කේය.

මහා යුද්ධයක් පිළිබඳව බියට පත්ව පලාගිය

ව්‍යාපාරිකයන්ගේ ආහාර ගබඩාද වෙනත් අත්‍යවශ්‍ය ගබඩාද බලයෙන් විවෘත කරවා අහල පහල සිටි ඇත්තන්ට ලබාදීමටද එවේලේ රජය කටයුතු කළේ අත්‍යවශ්‍ය සේවාවලට බාධා පැමිණවීමෙන් ජනයාට අවහිරයක් නොවන පරිද්දෙනි. එහෙත් එහි නියම හිමිකරුවන් ගම්බද ප්‍රදේශවලට ගොස් මාස ගණනකට පසු ආපසු එන විට නීතියෙන්ම ඔවුනට එම දේපළ අහිමි වී තිබිණ.

ඉංග්‍රීසි ආණ්ඩුවේ යටත් විජිතයක් වශයෙන් ලංකාවේ ජන ජීවිතය ආරක්ෂා වන පරිද්දෙන්ද තමන්ගේ කටයුතු ඉෂ්ට වන පරිද්දෙන්ද කවරාකාරයෙන් හෝ ලොවම ගිනි ගන්නා ගිනිදැල් නිවාදැමීමේ අරමුණින් යුතුව කැල්ඩිකෝට් ආණ්ඩුකාරතුමා සහ ලේටන් යුද්ධාධිකාරින් විසින් මේ වන විට තමනට සෑහෙන ලෙස මහෝපකාරී වූ මහජන ආරක්ෂක කොමසාරිස් ඔලිවර් අර්නස්ට් ගුණතිලක මහතාටද ගොවිකම් ඇමති ඩී. එස් සේනානායක මහතාට මෙන්ම අධ්‍යාපන ඇමති සී. ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමන්ටද මහත් ගෞරවයෙන් සැලකුවේ ඔවුන් තිදෙනාගේම කාර්යභාරයන් නිසා ලංකා ජනතාවට බඩගින්නේ සිටීමට අවස්ථාවක් නොලැබුණු හෙයිනි.

ගොවිකම් ඇමති සේනානායක මැතිතුමා රට පුරා වගා සංග්‍රාමයක යෙදී සිටි අතර කන්නන්ගර අධ්‍යාපන ඇමතිතුමා යුද ගිනි දැල් ඇවිළෙන්නට අවුරුදු ගණනකට පෙර වර්ෂ 1934 සිට තමන්ගේ පාසල් ආදියෙහි ඉඩකඩම්වල ඉඩ තිබෙන තැන් බලා නොයෙක් දේ වගා කරන්නට කටයුතු කළ හෙයිනුත් පාසල් හි 'වතුවැඩ' විෂයක් වශයෙන් හඳුන්වා දුන් හෙයිනුත් දරුවනුත් ඒ අනුව වැඩිහිටියනුත් ගොවිතැනට හුරු පුරුදු වී වගා කර ගැනීම මෙම යුද අවස්ථාවේ මහත් රුකුලක් බවට පත්වී තිබිණ.

මෙසේ මිත්‍ර පාක්ෂික යුද පෙරමුණ වෙත ලංකාවෙන් දෙන ලද මහ මෙහෙය නිසාද ශ්‍රීමත් වින්ස්ටන් චර්චිල් තුමා මහා බ්‍රිතාන්‍යයේදී සැලසුම් කරන ලද විධිමත් යුද සැලසුම් නිසාද අන්තිමේ වර්ෂ 1945 මැයි මාසයේදී ජර්මනියේ හිට්ලර්ටත් ඉතාලියේ මුසෝලිනිටත් ජපානයේ රජතුමාටත් යටත් වන්නට සිදු විය. එයට අතිබිහිසුණු පරමාණු බෝම්බයද බලපෑ බව කනගාටුවෙන් වුවද කිව යුතුය.

ලෝකය පුරාම ඇවිළෙමින් පැවති භීෂණ තත්ත්වය එදා අපට කුඩා අවදියේ සිටි සමයේ වුවද සුළු වශයෙන් හෝ අත්දකින්නට ලැබිණ. පසුගියදා අප නිමා කළේ තිස් වසරක් පුරා ලංකාවේ පැවති ත්‍රස්තවාදී භීෂණයයි. එය ක්‍රමානුකූලව නුවණින් යුතුව නිමා කරවන්නට අපේ පාලකයන්ට හැකි වූ බැවින් අපි මෙතෙක් කල් සැනසුම් සුසුම් හෙළමින් සිටියෙමු. නමුත් මෙවර පාස්කු දිනයේදී කිහිප තැනකම බිහිසුණු බෝම්බ පුපුරවමින් මිනිස් බෝම්බ මඟින් යළිත් භීෂණය ඇති කරවන්නට කටයුතු කිරීම අතිශයින්ම සංවේගජනකය. එය මෙයින්ම කෙළවර කර මින් ඉදිරියට මෙවැනි කටයුතු නොවන්නට මඟ සැලසීම පාලකයන්ගේ යුතුකමය. එය එසේ කරන්නට මහජනතාව වශයෙන් සාමූහිකව සහාය දීම අප සියල්ලන්ගේම යුතුකමය.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා