ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරය පැමිණියේ සුළඟින්ද?

 ඡායාරූපය:

ශ්‍රී ලංකාවට ත්‍රස්ත ප්‍රහාරය පැමිණියේ සුළඟින්ද?

සාමාන්‍යයෙන් සෑම අඟහරුවාදාකම පළ කෙරෙන මේ ලිපියේ අන්තර්ගතය එහි ටැගයේ (tag) දැක්වෙන පරිදිම විදේශයක වන විශේෂ සිද්ධියක හුදු පුවත්මය මට්ටමෙන් ඔබට තත්ත්වය විග්‍රහ කෙරුමයි. එහෙත් විදෙස් යන්න කෙසේ වෙතත් පාස්කු ඉරිදා අපේ රටේ ප්‍රකට කතෝලික දේවස්ථාන තුනක, එක් සියොන් දේවස්ථානයක සහ ප්‍රමුඛ හෝටල් තුනක එකවර සිදු වූ භයානක පිපිරීම් වැල ගැන සලකා බලන විට දන්නා කාලයක ලොව කිසියම් තැනක මෙවැනි සිද්ධි වැලක් ගැන අසා නැති බැවින් එතරම් විසෙස් අන් කිසිවක් තිබිය නොහැකි බව වැටහිණි. ඒ ගැන ලියන්නට අප පෙළැඹවූ ප්‍රධාන හේතුව එයයි. අනෙක් කාරණය වන්නේ මේ වේලාවේ මොන දීපංකරේක මොන තරම් වැදගත් වෙනත් විෂයක් ගැන කතා කළත් තුන්සීයකට ආසන්න සාවද්‍ය මිනිස් ඝාතන දාමය ගැන කතා කිරීම තරම් පාඨක අවධානයට යොමු නොවනු ඇත.

මේ සිද්ධිදාමය මුළු ලොවම කම්පාවට පත් කළ බව අන්තර්ජාතික මාධ්‍ය හැමෙකකම පාහේ එය 21දා ප්‍රමුඛ පුවත බවට පත්ව තිබීමෙන් මෙන්ම ලොව පුරා රාජ්‍ය නායකයන්ගේ කම්පිත ට්වීටර් පණිවුඩ කියවන විටද පැහැදිලිය. තමාටම ආවේණික ලේඛන ශෛලියකින් ට්වීටර් පණිවුඩ නිකුත් කරන අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සිද්ධියෙන් කෙතරම් කම්පාවට පත් කළා දැයි කිව හොත් ඔහු, ඝාතනය වූ සංඛ්‍යාව 138ක් පමණක් බව මාධ්‍ය වාර්තා කොට තිබූ අවස්ථාවේ සංවේගය පළ කරමින් නිකුත් කරන ලද ට්වීටර් පණිවුඩයේ ‘ඝාතනය වූ මිලියන 138ක් ’

ගැන සඳහන් ව තිබූ බවත් පසුව ඔහු විසින් එය නිවැරදි කරන ලද බවත් එන්ඩීටීවී වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි. සහායයක් අවශ්‍ය නම් එය ලබා දිය හැකි බව ද ඔහුගේ පණිවුඩයේ දැක්වේ.

ලොව පුරා රාජ්‍ය නායකයෝ හා ආණ්ඩු නායකයෝද අමාත්‍ය මට්ටමේ අයද සිය සංවේගය, කෝපය සහ වේදනාව පළ කරමින් සිය ගණනක් පණිවුඩ නිකුත් කැර තිබෙනු අන්තර්ජාලයේ දැකිය හැකිය. එමතුද නොවේ. අප රට සාමාජිකත්වය දරන මෙන්ම නොදරන අන්තර්ජාතික සංවිධානද ඒවායේ සභාපතිවරු සහ බලධාරීහුද එසේම පණිවුඩ එවූහ.

මේ ප්‍රහාරවල වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති බැවින් සහ පරීක්‍ෂණ මෙතෙක් අවසන් නොමැති බැවින් මේ දාම ඝාතන කාගේ වැඩක්ද යන්න අනුමාන කිරීම පවා නොකළ යුත්තකි. එහෙත් අන්තර්ජාතික මාධ්‍යවල පළ වන කරුණු දෙකක් කෙරේ අපගේ සැලකිල්ල යොමු විය.

ඉන් පළමුවැන්න අමාත්‍ය රුවන් විජේවර්ධන විසින් පවත්වන ලද මාධ්‍ය හමුවේදී ඉදිරිපත් කරන ලද කරුණුය. ඉංගිරිසියෙන් කරන ලද අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ සංස්කරණය කරන ලද කොටසක් සිංහල උප සිරැසි සහිතව රූපවාහිනී නාලිකාවල විකාශය කරන ලදි.

21 දින ‘ද ගාඩියන්’ වෙබ් අඩවියේ 10:36ට යාවත්කාලීන කරන ලද බෙන්ජමින් පාර්කින් නම් වාර්තාකරු විසින් සපයන ලද වාර්තාවෙන් ගත් උධෘතයකි මේ: “තත්ත්වය සමනය වන තුරු ඇඳිරි නීතිය පනවන්නට ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හා මිලිටරි බලධාරීන් විසින් තීරණය කරන ලදි. ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනගේ ප්‍රකාශයකට අනුව චුදිතයන් මේ වනවිටත් හඳුනා ගෙන

ඇත. එය ත්‍රස්ත ක්‍රියාවක් සේ විස්තර කරන ඔහු මෙය ආගමික අන්තවාදීන්ගේ ක්‍රියාවක් විය හැකි බවට යෝජනා කරයි.”

දෙවැන්න AFP වෙබ් අඩවියේ පළ වූ වාර්තාවකි. දීර්ඝ වාර්තා අතර වැකි කිහිපයක් භාවිතයෙන් ඉදිරිපත් කරන මෙම කාරණය ඉතා බරපතළය.

“ප්‍රහාරයේ ස්වභාවය එක්වරම නිශ්චය කළ නොහැකි වූ අතර කිසිවකු වගකීම බාර ගත්තේද නැත.

එහෙත් AFP විසින් දක්නා ලද ලේඛනයක් වන

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රධානි පූජිත් ජයසුන්දර විසින් පොලිසියේ ඉහළ පෙළේ නිලධාරීන් වෙත යවන ලද ලිපියක ස්වයංඝාතක බෝම්බකරුවන් ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි දේවස්ථානවලට (churches) ප්‍රහාර එල්ල කරන්නට සූදානමක් ඇති බවට අනතුරු හඟවා ඇත. එම අනතුරු හැඟවීමේ නිවේදනයේ දැක්වෙන පරිදි, නැෂනල් තව්ෆික් ජමාද් සංවිධානය (NTJ) ප්‍රමුඛපෙළේ ක්‍රිස්තියානි දේවස්ථාන මෙන්ම ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්ක කැර ගනිමින් ස්වයංඝාතක ප්‍රහාර එල්ල කරන්නට සැලසුමක් ඇති බව විදේශීය රහස් ඔත්තු සේවා ආයතනයක් වාර්තා කොට ඇත. එන්ටීජේ යනු

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රැඩිකල් මතධාරී සංවිධානයක් වන අතර පසුගිය වසරේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිවලට සම්බන්ධ බවට අනාවරණය වී තිබිණි.”

පසුව අනාවරණය වී ඇති පරිදි මේ විදේශීය රහස් ඔත්තු සේවා ආයතනය යනු ඉන්දීය රෝ සංවිධානයයි.

මේ අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මාධ්‍ය හමුවකදී ඒ ගැන තමා හෝ විෂයබාර අමාත්‍යවරයා හෝ දැනුවත්ව නොසිටි බව පැවසී යැයි සඳහන්ය. විෂයබාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා විදෙස් ගතව සිටින අතර වැඩබලන අමාත්‍ය ධුරයේ කිසිවකු දිව්රුම් දී නැත.

ෆේස්බුක් වෙබ් අඩවියේ පළ වූ ලිපියක් ගැනද පොලිසියේ අවධානය යොමු වී ඇති අතර ඒ ගැන යමක් කිව නොහැකි බවත් වැඩිදුර සොයා බැලීමෙන් පසු නිශ්චිතවම යමක් කියන්නට අදහස් කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මේ වන විට ෆේස්බුක් අවහිර කරනු ලැබ ඇති හෙයින් ඒ ගැන විස්තර ඇතුළත් කිරීම අපහසුය. එහෙත් ඒ ලිපිය සිංහලෙන් ලියන ලද්දක් බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයකු විසින් අත්සන් තබා මුද්‍රාව තබා තිබුණු බවත් ලිපිගොනු අංකය ඉතා දීර්ඝ එකක් වූ බවත් සහිපත් කළ හැකිය. නියෝජ්‍ය පොලිස්පතිවරයකු සිය සමාන හෝ ඉහළ නිලධාරීන්ට සිංහලෙන් ලිපියක් ලියනු ඇතැයි විශ්වාස කිරීම තරමක් අසීරු වන අතර ඒ ලිපියේ ව්‍යාජ අව්‍යාජ ස්වභාවය පිළිබඳව සඳුදා මධ්‍යාහ්නය වනවිටත් නිවේදනයක් නිකුත්ව නොතිබිණි.

මේ කරුණු අනුව එළැඹිය හැකි නිගමන මොනවාද? අවදානම පිළිබඳව විදේශ මාධ්‍ය සංවිධානයක් පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමේදී එම ආයතනය ඒ පිළිබඳව දැන ගත් මූලාශ්‍රය දේශීයද නොඑසේනම් විදේශීයද යන්න ගැන කිසිවක් පොලිසිය වෙත දන්වන ලද්දේ දැයි අපි නොදනිමු. එහෙත් ඒ පිළිබඳව සාමාන්‍ය ජනයා තුළ සාධාරණ කුකුසක් ඇති වීම වැළැක්විය නොහැකිය. පොලිසිය දැන සිටියේ නම් ඒ පිළිබඳව ගන්නා ලද ක්‍රියාමාර්ග මොනවාද? එසේ නොගත්තේ නම් ඊට හේතු කවරේද?

මෙයින් පෙනීයන්නේ රට අනාරක්ෂිත බවද? රට කෙසේවෙතත් සාමාන්‍ය ජනයා නම් අනාරක්ෂිත බව ප්‍රකටය. ජනතාව ආරක්‍ෂක වැය ශීර්ෂය සඳහා අති විශාල මුදලක් වෙන් කරන නමුත් පාස්කු ඉරිදා දේව මෙහෙය අවසන් කරන්නට තරම් ආරක්‍ෂාවක් නොතිබිණි.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව පැහැදිලි යැයි ඇමති රුවන් විජේවර්ධන කියයි. දෙයක් වූ පසු ඒවා විශ්ලේෂණය කරන්නට අපහසුවක් නැත. එහෙත් වැදගත් වන්නේ කිසියම් දෙයක් සිදුවන්නට පෙර තාක්ෂණය සහ වෙනත් අයගේ අත්දැකීම් භාවිතයෙන් ලැබී ඇති තොරතුරු විශ්ලේෂණය කොට ඉදිරි පියවර ගැනීමය. ආරක්‍ෂක අමාත්‍යවරයාගේ සිට පහළම මට්ටමේ පොලිස් නිලධාරියා දක්වා විශාල පිරිසක් නඩත්තු කරන්නට මහජනතාව මුදල් ගෙවන්නේ ඒ සඳහාය. පාලකයන් සිටින්නේ ඒ බව නොදන්නවා මෙනි. පාලිතයන්ට නම් ඇත්තටම ඒ ගැන අවබෝධයක් නැත.

මේ ක්‍රියාවේ කර්තෘ කවුද, ඔවුන්ගේ අරමුණ කුමක්ද, ඔවුන්ට ප්‍රතිපාදන සහ පුහුණුව සහ පිටුබලය ලැබෙන්නේ කොහෙන්ද යන කරුණු ගැන කිසිවකු දන්නේ නැත. පෙර ත්‍රස්ත ක්‍රියා සිදු කරන ලද්දේ කුමක් හෝ අත්පත් කැර ගැනීමටය. එහෙත් දැන් එසේ නොවේ. මිනිස්සු මෙන්ම සංවිධානද ත්‍රස්ත ක්‍රියා කරති.

ත්‍රස්තයා සහ සටන්කාමියා අතරද පැහැදිලි වෙනස්කම් ඇත. ඉතා සරලව කියන්නේ නම් ත්‍රස්තයෙක් යනු අරමුණක් ඇතිව හෝ නැතිව තමන්ට කිසිදා ප්‍රහාර එල්ල නොකරන සිවිල් ජනයා සැලසුම්සහගතව ඝාතනය කරන්නෙකි. ඒ සඳහා ඔවුහු පුපුරන දෑ හෝ ගිනි අවි හෝ ඒ දෙකම භාවිත කරති. එහෙත් සටන්කරුවෙක් හෙවත් ගරිල්ලා භටයෙක් ඊට වෙනස්ය. ඔවුන් සන්නද්ධ වන අතර සටන් කරන්නේ සන්නද්ධ හමුදා සමගය. ඒ අනුව මෙය ත්‍රස්ත ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පාස්කු ඉරිදා සුදු මිනිසුන් විශේෂයෙන්ම සුදු පරමාධිකාරය (white supramacy) කර පින්නා ගත් මිනිසුන් සිටින රටක ක්‍රිස්තියානි දේවස්ථානයක මෙය සිදු වූවා නම් නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් ප්‍රහාරයට පිළිතුරක් ලෙස ගත හැකිව තිබිණි. එහෙත් මේ එවැන්නක් නොවේ. මඩකළපුවේ දේවස්ථානය Zion ලබ්ධිය අනුගමනය කරන්නකි. සියොන් ආගම (Zion) යනු ක්‍රිස්තියානි නොවේ. සියොන් යනු යෙරුසෙලමට භාවිත වෙනස් නමක් වන අතර දාවිත් සමයේ බිඳී අවුත් දෙවියන් වහන්සේ අදහන වෙනස් කණ්ඩායමකි. එය ජුදාගමෙන්ද වෙනස්ය. සියොන් සහ ජුදාගම යන දෙකම යුදෙව්වන් විසින් නිරිමාණය කැර ගන්නා ලද ක්‍රිස්තියානියෙන් බැහැර ආගම්ය.

අනෙක් කාරණය නම් මේ ත්‍රස්තයන් ප්‍රධානපෙළේ හෝටල් තුනකට ප්‍රහාර එල්ල කළේ ඇයිද යන්නයි. එහි අර්ථය සංචාරකයන් බිය වැද්දීම මිස අන්යමක් නොවිය හැකිය. ඒ ඔස්සේ විමර්ශනය කිරීමද රජයේ ආර්ථික අංශ සහ සැලසුම් සම්පාදකයන්ට වැදගත් විය හැකිය.

බොරදියේ මාළු බාන්නන් ගැනද කිසියම් සටහනක් තැබිය යුතුමය. ඇතැම් මාධ්‍ය මෙය මුස්ලිම් අයගේ ක්‍රියාවක් ලෙස මතයක් ස්ථාපනය කරන්නට තැත් කිරීම හෙළා දැකිය යුත්තකි. ඒවායේ ඇත්තේ තුට්ටු දෙකේ වාණිජ අරමුණුය. රහස් ඔත්තු සේවා අඩපණ වීම නිසා මේ විනාශය සිදුවිණි යැයි කියන අය දැන ගත යුතු කාරණයක් නම් රහස් ඔත්තු සේවාවක් යනු නිලධාරීන් කිහිප දෙනෙකු නැති වීම නිසා අඩපණ වනු ඇති එකක් නොවන බවයි. අනෙක රහස් ඔත්තු සේවා ඔය කියන තරම් සරල නොවේ. ඒවා ජාතික මෙන්ම අන්තර්ජාතිකවද බොහෝ වෙළීම් ඇති අගමුල නැති ජාලාවන්ය.

සිවුරේ බලය සහ සිරුරේ ජවය සිතට ගෙන ‘අබ සරණයි’ කියන අවස්ථාවේ එය නොකළ යුතු දෙයක් බව පෙන්වා දෙන ලද්දේ නම් අපේ රටට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු නොවනු ඇතිය යන්න අපගේ විශ්වාසයයි. ඒ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලා අනුදැන වදාළේ ඒ තරුණ භික්ෂුවගේ ප්‍රකාශවල ආකෘතියට තමන් වහන්සේලා එකඟ නොවන නමුත් අන්තර්ගතය අනුමත කරන බවයි.

මසකට පමණ පෙර බඩඉරිඟු වගාවට වින කරන සලබ විශේෂය මෙරටට පැමිණි ක්‍රමය සොයා ගත නොහැකි විය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කීවේ උන් ඉන්දියාවේ සිට සුළඟින් ගසා ගෙන ආ බවයි. මේ ත්‍රස්ත ප්‍රහාර ගැනද මතුයම් දවසක කිසිවකු එවැනි ප්‍රකාශයක් කළොත් අප පුදුම විය යුතු නැත.

මාතෘකා