හිස් වූ ගමක ජීවිත හොයන මිනිස්සු

 ඡායාරූපය:

හිස් වූ ගමක ජීවිත හොයන මිනිස්සු

ක්‍රිස්තුස් වහන්සේ පාපයෙන් මිනිසා ගලවා ගැනීමට මහ සිකුරාදා දිනයේදී කුරුසයේ ජීවිතය පූජා කොට මළවුන්ගෙන් නැඟිටින්නේ පාස්කු ඉරිදාය. බැතිමතුන් දින හතළිහක් තිස්සේ චතාරික කාලය තුළ සූදානම් වන්නේ ක්‍රිස්තුත් වහන්සේගේ ඒ කැප කිරීමට සිය ගෞරවය ආදරය පළ කිරීමක් වශයෙනි. නත්තලටත් වඩා කතෝලික බැතිමතුන් පාස්කුව උත්කෘෂ්ටතම දිනය ලෙස සලකන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාව හේතුවෙනි. පසුගිය අප්‍රේල් 21 වැනිදා උදාවේ මුළු ලොවම වෙසෙන කතෝලික බැතිමතුන් දේවස්ථාන කරා එන්නේ එතරම් ගෞරවාදරයට ලක්වූ පාස්කුවේ කෙරෙන විශේෂ දේව මෙහෙයට සහභාගී වීමටය. කොටහේන කොච්චිකඩේ දේවස්ථානය, මඩකලපුව සියෝන් කතෝලික දේවස්ථානය සහ මීගමුව කටාන කටුවපිටිය ශුද්ධ වූ සෙබෙස්තියන් මුණිතුමාගේ දේවස්ථාන ත්‍රිත්වයට දෙවියන් සොයා පැමිණි මිනිසුන් අතරට සිත්පිත් නැති යක්ෂයෝද පැමිණ ක්‍රියාත්මක වෙමින් සිටියහ. දේව මෙහෙය අවසන් වෙමින් තිබිණි. දරුවන් - මවුපියන් - සහෝදරයන් - නෑදෑයන් - අසල්වාසීන් - මිතුරන් වියෝගයට ලක් කරමින් සැලසුම් සහගත ක්‍රියාකාරිකයෝ බෝම්බ ප්‍රහාර එල්ල කළහ.

මරාගෙන මැරෙන බෝම්බකරුවා දේවස්ථානය කරා පැමිණෙන අයුරු සීසීටිවි දර්ශන ඔස්සේ දැක ගත හැකි විය. ඔහු කඳවල පල්ලියට ගොස් නැවත කටුවපිටිය දේවස්ථානය කරා පැමිණ ඇති බවට තටු ලැබුණු කටකතාවකි. කටුවාපිටිය දේවස්ථානය තුළ සිදු කළ බෝම්බ පිපිරීමෙන් මිය ගොස් සිටින පිරිස 104කි. මෙම ලිපිය ලියන අවස්ථාව වන විට බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය සමස්ත සංඛ්‍යාව 290කි. තුවාල ලැබූ පිරිස 550කි.

මීගමුව රෝහලේ විශේෂඥ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි දීප්ත විජේවර්ධන, වැඩබලන ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මලින්ත ද සිල්වා, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි රණසිංහ, ගිහාන් මධුශංක සහ රාගම රෝහල, මාරවිල රෝහල, හලාවත රෝහල, මාතලේ රෝහල, කළුබෝවිල ඇතුළු රොහල් කිහිපයක අධිකරණ වෛද්‍ය නිලධාරීහු එක්ව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කළහ. පිපිරීමක් හේතුකොටගෙන ඇති වූ බරපතළතුවාල හා අධික රුධිර වහනය හේතුකොටගෙන සිදුව ඇති මරණ ලෙස පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල සඳහන් කර ඇත.

කාන්තා සහ පිරිමි 51 දෙනක් මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. එක් අයෙක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. හය දෙනකුගේ තත්ත්වය බරපතළ බව කියැවේ. කටුවාපිටිය දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්වූ දාහත් දෙනක් කොළඹ ජාතික රෝහලේද ප්‍රතිකාර ලබති. මීගමුව හරිශ්චන්ද්‍ර ජාතික පාසලේ එකොළොස්වන ශ්‍රේණියේ සහ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සහෝදරියන් දෙදෙනකුද ඔවුන්ගේ පියාද අවාසානාවන්ත අන්දමින් මිය ගොස් තිබිණි. මව ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි. මීගමුව ලොයලා විද්‍යාලයේ 6 වන වසරේ ඉගෙනුම ලබන පිරිමි දරුවකුද ශාන්ත ජූඩ් විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන දරුවකුද දේව මෙහෙයට සහභාගි වෙමින් සිටියදී මිය ගොස් තිබිණ. මේ කටානෙන් ඇහෙන ශෝකී කතා දෙකක් පමණි. මෘත ශරීර තැබීමට තරම් රෝහලේ මෘත ශරීරාගාරය ප්‍රමාණත් නැත. ජීවිතවලින් වන්දි ගෙවූවන් එතරම්ය.

මිය ගිය පුද්ගලයන්ගේ ශරීර මේ වන විට මල් ශාලාවලින් කටුවාපිටිගේ නිවෙස්වලට ගෙන එමින් ඇත. ගමම සසළ කරමින් ඇසෙන්නේ ශෝකී සුසුම්ය. ගලා යන්නේ තම මිහිරිතමන්ගෙන් වෙන්වීමේ වේදනාවේ උණු කඳුළුය.

පාස්කුවේ ක්‍රිස්තුස් වහන්සේ මිනිසුන් වෙනුවෙන් ජීවිතය කැප කළහ. උන්වහන්සේගේ කැපවීම වෙනුවෙන් බැතිමත්හු කඳුළු සැලූහ. අපරිමිත ගෞරවයෙන් යුතු, කඳුළින් බර වූ බැතිමතුන් විනාශ කර දමන්නට තරම් යමකුට සැලසුම් කළ හැකි නම්, සංවිධානය විය හැකි නම්, බැතිමතුන් නසා දැමිය හැකි නම් එම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් මිස අන් කවරක් ලෙස හැඳින්විය හැකිද? දේව මෙහෙයට සහභාගි වෙමින් සිටි අහිංසක, වෙන්නේ කුමක්දැයි, ජීවතයෙන් වන්දි ගෙවන්නේ ඇයිදැයි නොදන්නා බැතිමතුන් මරා දැමීමට තරම් සාහසික වූයේ කෙසේද? සැනසීම සොයා දෙවියන්ට අමතන මිනිසුන් අහිංසකය. එය වරදක්යැයි යමකුට කිව නොහැකිය. ඇත්ත යුත්ත වහාම පරීක්ෂණ මඟින් සොයා බැලිය යුත්තේ මෙවැනි අහිංසක ජනතාවක් විනාශ කිරීමට තරම් සැහැසි විය හැකි ප්‍රස්තුතය කුමක්ද යන්න සොයා බැලීමටය. වහා සොයා බලා එම ප්‍රස්තුත, අංකුර, වසා පැතිරුණු මුල් ඇත්නම් ඒවා මුලිනුපුටා දැමිය යුතුයි. එසේ නොවුණහොත් තවත් වරක් නිරපරාදේ ජීවිත මෙලෙස විනාශ වනු ඇත. මව්පියන්, දරුවන්, සහෝදරයන්, නෑදෑයන්, මිතුරන් අහිමි වනු ඇත. එවැනි ඛේදවාචකයකට නැවතත් ඉඩකඩ විවර කළ යුතු නැත. ඉඩක් හැදේ නම් එය වහා වහා පිළිසකර කළ යුතුය. ඒ සඳහා කළ යුත්තේ සිවිල් වැසියන්ට නීතිය අතට ගැනීමට ඉඩ නොදී අදේශපාලනිකව මේ තත්ත්වය විග්‍රහ කර නොගෙන අවශ්‍ය පියවර ගැනීමය.

[රසිකා හේමමාලි] කොච්චිකඩේ විශේෂ [ඩී. මිහිඳුකුල]

මාතෘකා