අවසාන අවස්ථාව !

 ඡායාරූපය:

අවසාන අවස්ථාව !

අනාරක්ෂිත ජීවිත

ඔබේ ජීවිතය සෑම මොහොතකම අනාරක්ෂිතය. කුමන පාටකින් ආවද ඔවුන්ට ඔබේ ජීවිතය සුරක්ෂිත කිරීමට හැකියාවක් ලැබී නැත. එසේත් නැත්නම් අවශ්‍යතාවක් තිබී නැත. ඔබේ මරණය විකුණන්නට මාධ්‍ය ඕනෑම මොහොතක සූදානම් නිසා ඔබ ජීවත් වීමේ ඒ තරම් වැදගත්කමක් නැත.

තවත් පැත්තකි. ඒ කුමන පාටකින් ආවද ඉතිහාසය පුරාවටම මේ රටේ විනිර්මුක්තිය කියන වචනයට සහ එම ක්‍රියාවලියට වැදගත්කමක් ලැබී නැත. විනිර්මුක්තිය කියන්නේ අපරාධවලට අදාළව යුක්තිය ඉටු කිරීමය. ඒ නිසා තවදුරටත් අපරාධකරුවන් සැහැල්ලුවෙනි.

ඊයේ දවස

මේ සියල්ල අස්සේ ඊයේ (21) පාස්කු ඉරිදාවේ සිදු වූ පිපිරීම් සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරිණි. ඒවා ආගමික ගැටුම් ලෙස හඳුන්වන්නටත් වාර්ගික ගැටුම් ලෙස හඳුන්වන්නටත් උත්සාහ දරනු පෙනෙන්නට තිබිණි. මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින්නන්, සිවිල් සංවිධාන නියෝජිතයන් සේ පෙනී සිටින්නන් මේ මත සමාජගත කරනු දැකිය හැකි විය. සමාජ මාධ්‍ය ඔස්සේ මෙසේ අසත්‍ය වපුරුවන්නට ඔවුන්ට ඉඩ ලැබුණේ පෙර වැරදි නිසාය.

වරද කාගේද?

‘අවුරුද්දකට සැරයක් රට පුරා තැනින් තැන ආගමික ස්ථානවලට පහරදෙන්නේ ඇයි?

ප්‍රශ්නයක් විදිහට ඇසිය යුතු, එහෙත් පිළිතුරක් ලැබී නැති මේ වගේ ප්‍රශ්නයක් මේ රටේ තිබේ.

‘අවුරුද්දකට සැරයක් කොහෙන්ද? එහෙම නෑ. කොරහෙ කිඹුල්ලු දකින්න එපා.’

කවුරු හරි එහෙම කිව්වොත් එහි පුදුම වන්නට දෙයකුත් නැත. ඒකට හේතුව අපටත් ඔය හැම එකම ටක් ගාන පරක්කුවට අමතක වීමය. නැත්නම් අමතක කර දැමීමය. එසේත් නැත්නම් අමතක කර දමන්නට බල කිරීමය.

‘කවුද එහෙම බල කරන්නේ?’

ඒක ඇත්තය. මනුස්ස පරාණයක් ඇවිත් මෙන්න මේක අමතක කරපන් කියන්නේ නැත. ඒත් ඒ වෙනුවට ඇති පදම් ප්‍රශ්න තිබේ. ජීවත් වීමම ප්‍රශ්නයකි. කන්න පැහෙන්නේ නැත. අලුත් වීවල බත් කෑ මිනිසුන්ට පල් කළ හාල් කන්නට බල කරමින් සිටී. එදා වේල හොයාගැනීමේ ගැටුම ඔක්කොටම වඩා බරපතළය.

පෙර වැරදි

කොහොම කිව්වත් ගැටුම් තිබේ. කොහොම අමතක කරන්නට හැදුවත් ගැටුම් මතු වේ. ගිය අවුරුද්දේ මාර්තු මාසයේ අම්පාර සහ මහනුවර ගැටුම් ඇති විය. ගැටුම් කියන වචනයත් වැරදිය. ගැටුමකට පාර්ශ්ව දෙකක් හරි හරියට සම්බන්ධ විය යුතුය. ඒත් මේ තැන්වලදී සිද්ධ වී ඇත්තේ එක් පාර්ශ්වයක් තවත් පාර්ශ්වයකට පහරදීමය.

ඊටත් පෙර, එනම් 2017 අවුරුද්දේ අප්‍රේල් 16 වැනිදා සිට මැයි 22 වැනිදා දක්වා මෙවැනි සිදුවීම් 16ක් සිදු විය. අප්‍රේල් 16 වැනිදා ගොඩපිටියේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්, අප්‍රේල් 20 වැනිදා මායක්කාලි ප්‍රදේශයේ ඉඩම් අත්පත් කරගැනීමක් පිළිබඳ ගැටුමක්, අප්‍රේල් 25 වැනිදා ඉරක්කමාම් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් තර්ජනය කිරීමක්, මැයි 08 වැනිදා මියන්මාර් සරණාගතයන් රඳවාගැනීම පිළිබඳ තර්ජනය කිරීම් සහ පහරදීම්, මැයි 14 වැනිදා පොළොන්නරුවේ, ඕනෑගමදී ආගමික ස්ථානයකට තර්ජනය කිරීමක්, මැයි 15 වැනිදා ත්‍රිකුණාමලයේ සෙල්වනගර් ප්‍රදේශයේ ආගමික කණ්ඩායමකට තර්ජනය කිරීම් සහ නිවසකට පහරදීමක්, මැයි 15 වැනිදා පානදුර ප්‍රදේශයේ ආගමික ස්ථානයකට ගිනිතැබීමක්, මැයි 15 වැනිදා කොහිලවත්තේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 16 වැනිදා ආගමික සංවිධානයක් විසින් තවත් ආගමික කණ්ඩායමක විශ්වාසයන් සහ ඇදහිලිවලට ගැරහීමක් සහ තර්ජනය කිරීමක්, මැයි 16 වැනිදා තෝපූර් පුදේශයේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 17 වැනිදා පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැල් දෙකකට පහරදීමක්, මැයි 18 වැනිදා වෙන්නප්පුවේ රෙදිපිළි වෙළෙඳසැලක් ගිනිතැබීමක්, මැයි 21 වැනිදා කුරුණෑගල, මල්ලවපිටිය ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදීමක්, මැයි 21 වැනිදා ඇල්පිටියේ සුවඳ විලවුන් වෙළෙඳසැලක් ගිනිතැබීමක්, මහරගම, විජේරාම ප්‍රදේශයේ සපත්තු වෙළෙඳසැලකට ගිනිතැබීමක් මේ සිදුවීම් අතර වේ.

විනිර්මුක්තියේ තරම

මේ සිදුවීම් සම්බන්ධයෙන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනිණි. එහෙත් ඊටත් වඩා වේගයෙන් ඔවුන්ට ඇප ලැබිණි. ඉන්පසු ඇතැම් සිදුවීම් සමථයකට පත්කරගෙන තිබේ. පොලිසිය පවසන්නේ මේ නඩු ගොනු පවත්වාගෙන යෑමේ හැකියාවක් නැති බවයි. සාක්ෂිකරුවන් ඉදිරිපත් නොවීම මීට ප්‍රධාන හේතුවක් වී ඇත.

 

ඉතිරි වූ සිත් රිදීම්

එහෙත් මේ සියලු සිදුවීම්වලට අදාළ සිත් රිදවීම් ඉතිරි වී තිබේ.

එයින් මාස දෙකකට පසු තවත් ආගමික ස්ථාන ගණනාවකට පහරදීම් සිදු වී තිබේ. නුගේගොඩ, ජුබිලි කණුව, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයක මේ පහරදීම් සිදු වී ඇත. කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගත් පිරිස් මේ පහරදීම්වලට පැමිණි බවට පැමිණිලි ඉදිරිපත් වී තිබේ.

එසේ 2017 අවුරුද්ද අවසන් වී 2018 ආවේය. 2018 මාස තුනක් ගතවන විට අම්පාරේ, මහනුවර සිදුවීම් කරළියට ආවේය. නැතහොත් ගෙනාවේය. ඒ අතර මන්නාරමේ, වව්නියාවේ සහ මඩකලපුවේ ආගමික ස්ථාන ගණනාවකටද පහරදීම් සිදු වී තිබේ. ඒ නාඳුනන කල්ලි, කණ්ඩායම් විසින්ය. බෞද්ධ වේවා, ඉස්ලාම් වේවා, කතෝලික වේවා මේ පහරදීම් ඔස්සේ සිදුවන්නේ උදේහවා මුණගැසෙන මිනිසුන්ගේ සිත් රිදෙන එකය.

මාධ්‍යයේ වගකීම

මාධ්‍ය ආපහු සැරයක් පුරුදු විදිහටම ගණන් හිලව් හැදුවේය. 2009 මැයි 18 වැනිදාට කලින් වගේම ගණන් තිබ්බේය. ඒ ගණන් අතර පවා අහසට පොළොව තරමේ පරස්පරතා තිබිණි.

එක්තරා ජාතික පුවත්පතක කතුවැකියේ ලියා තිබුණේ අම්පාරෙන් ආගමික කණ්ඩායමක තරුණයන් පිරිසක් මහනුවරට පැමිණ ඇති බවත් ඔවුන් ආගමික ස්ථානවල රැකවල්ලා සිටින බවත්ය. තවත් තැනක ලියා තිබුණේ ඉදිරිය අවදානම් බවය. මාධ්‍ය සහ දේශපාලනඥයන් ඔවුන්ගේ බලාපොරොත්තුවලට ගිනි තිබ්බේත් තව තවත් ගිනි තියන්නට උත්සාහ දරමින් සිටින්නේත් ඒ ආකාරයටය.

මේ කතා සියල්ල අස්සේ අවිශ්වාසයක් සහ භීතියක් දළුලෑවේය.

 

දැවැන්ත තීරණ

ඡන්ද කුට්ටිය ගැන නොසිතා දැවැන්ත තීරණ ගන්නට රට කරවන ඇත්තන්ට හැකියාවක් නැත. ඔවුන් අසමත්ය.

‘මොනවද මේ දැවැන්ත තීරණ කියන්නෙ?’

ඒකට මේ වගේ උදාහරණයක් දැක්විය හැකිය. 2009 යුද්ධය අවසන් වීමෙන් පසු එක් පාර්ශ්වයක් කිරිබත් කෑවේය. රතිඤ්ඤා දැමීය. ඒ වෙලාවේ සිටි රටේ රාජ්‍ය නායකයාද ඒ පාරේම ගියේය.

එහෙත් ඒ වෙලාවේ රාජ්‍ය නායකයා මෙවැනි ප්‍රකාශයක් කළේ නම්...

‘ඔයගොල්ලො කිරිබත් කන්න. ඒකට මට තහංචි දාන්න බෑ. අවුරුදු තිහක් තිස්සෙ සිද්ධ වුණු හැම විනාශයක්ම අපි දැක්කා. රාජ්‍ය නායකයා විදිහට මට දකුණත් එකයි, උතුරත් එකයි. ඒක නිසා මාසයක් කල් ගමු. ඊට පස්සෙ අපි එකතු වෙලා රට හදමු.’

එහෙම කීමෙන් නොනැවතී ක්‍රියාවෙනුත් කළේ නම් තවදුරටත් දකුණ තමන්ගේ අනෙකා ලෙස උතුර දෙස නොබලන්නට ඉඩ තිබිණි. උතුර තමන්ගේ අනෙකා ලෙස දකුණ දෙස නොබලන්නට ඉඩ තිබිණි. එහෙත් එවැනි දියුණු ඔළු ඇති, දැවැන්ත තීරණ ගත හැකි රාජ්‍ය නායකයෙක් සිටියේ නැත. ඒ වෙනුවට තවමත් අවුරුද්දක් ගාණේ ඒ විනාශය සමරන්නේය.

අඩු තරමේ අවිශ්වාසය සහ භීතිය රජ කරන ජනතාවගේ මානසිකත්වය හදන්නට වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුය. එය මහනුවරට හෝ අම්පාරට පමණක් සීමා කළ යුතු නැති, රට පුරා විහිදවිය යුතු ක්‍රියාවලියකි. එහෙත් සත්‍ය හා සංහිඳියා කොමිසමක් පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගැනීම පවා දවසින් දවස කල් දාන්නේය. ජිනීවා මානව හිමිකම් කොමිසම මතක් වෙනකොට ඒ ලිපිගොනු උඩට ගන්නේය. ආපහු තමන්ගේ බලය පවත්වා ගැනීම වෙනුවෙන්, මිනිසුන් බෙදා වෙන් කර පාලනය කිරීමට ඒ ලිපිගොනු ලාච්චුවට දමන්නේය. මහින්ද රාජපක්ෂට, මෛත්‍රිපාල සිරිසේනට, රනිල් වික්‍රමසිංහට කියා ඒවාගේ කිසිදු වෙනසක් නැත. ඔවුන් දවල්ට සතුරු - රෑට මිතුරන්ය.

අවස්ථාවාදීන්

ඊයේ තත්ත්වයේ යටි පෙළ මීට වඩා වෙනස් බවට වාර්තා පළ වේ. එහෙත් ඒ හරහාද මිනිසුන් අතරේ අවිශ්වාසය ඇති කරන්නට ඇතැම් පාර්ශ්ව කටයුතු කරනු දැකිය හැකි විය. ඔවුන්ට අවශ්‍ය වන්නේ විනාශයකි. මළගමකි.

අවසාන අවස්ථාව

මේ පිපිරීම් කළේ කවුද, ඊට සම්බන්ධ මෙරට ප්‍රබලයන් කවුද යන්න හෙළිදරව් කර ගැනීම විමර්ශන අංශවල වගකීමය. මේ වතාවේ හෝ විනිර්මුක්තිය නම් වචනයට වටිනාකමක් දිය යුතුය. එනම් අපරාධවලට අදාළව යුක්තිය ඉටු කළ යුතුය. එසේ වුවහොත් යළි මිනිසුන් අතර විශ්වාසය ඇති කරන්නට එයින් පටන්ගත හැකිය.

ඇතැම් විට මේ අවසාන අවස්ථාව විය හැකිය.

[ශාලික විමලසේන]

මාතෘකා