ඉවසීම සමඟ බුද්ධිය ඇවැසි මොහොතක්

 ඡායාරූපය:

ඉවසීම සමඟ බුද්ධිය ඇවැසි මොහොතක්

අලුත් අවුරුදු උලෙළ නිමාවනවාත් සමඟ එළැඹුණු පාස්කු ඉරිදා පෙරවරුව කිතුනු බැතිමතුන්ගේ හදවත්වලට සැනසුමක් ගෙන දුන්නේය. එහෙත් එය පැවතුණේ සුළු මොහොතකි. දේවස්ථාන කිහිපයක බෝම්බ පුපුරා ගියේය. ඒ සමඟම අගනුවර ප්‍රකට සංචාරක හෝටලයක් වූ ෂැංග්‍රිලා හෝටලය ඇතුළු හෝටල් තුනක බෝම්බ පිපිරිණ. දෙමටගොඩ සහ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිටද බෝම්බ පිපිරී ගිය බව වාර්තා විය.

මේ සියලු පිපිරීම්වලින් 207ක් මිය ගොස් 450කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව අනාවරණය විය.

පිපිරීම් සිදුවන දිනය දක්වා පසුගිය අවුරුදු කිහිපයෙහි ස්වාභාවික විපත්වලින් සිදුවූ ජීවිත හානි හැර මෙවැනි බිහිසුණු සිදුවීම් මෙරට සිදුනොවීය. තිස්වසරක යුද්ධයෙන් පසුව පාතාල කල්ලිවල මරාගැනීම් හැරුණු විට බිහිසුණු ඝාතන සිදු වූයේද නැත. එහෙයින් මේ සිදුවීම මෙරට ජනතාවගේ සිත්වල ඇති කර තිබෙන්නේ දරුණු කම්පනයකි.

යුද්ධය නිමාවීමෙන් පසුව ඇතිවූ මේ තත්ත්වය කිසි විටෙක කිසිවකු බලාපොරොත්තු වූවක්ද නොවේ.

සිදුවීම් සම්බන්ධයෙන් නිගමන ඉදිරිපත් කිරීමේ හැකියාවක් ජනමාධ්‍යට නැත. එයට කළ හැක්කේ පවතින තත්ත්වය අසත්‍යයෙන් මුදා වාර්තා කිරීම සහ මහජන සුබසිද්ධියට අදාළව යම් නිරීක්ෂණ ඉදිරිපත් කිරීම පම‍ණි.

මේ පිපිරීම් සංචාරක හෝටල්වල සිදුවීමෙහි ප්‍රතිඵල ලෙස විදේශිකයන්ද මරුමුවට පත්ව ඇත; තුවාල ලබා ඇත. එහෙයින් මෙය සංචාරක කර්මාන්තය කෙරෙහි බලපෑමක් ඇතිකරනු වැළැක්විය නොහැක. එසේ වන බලපෑම කෙටිකාලීන එකක් බවට පත් කළ හැක්කේ රජය මේ සම්බන්ධයෙන් ගන්නා සෘජු තීරණ අනුවය.

බලපෑම විශාලයි

2018 වසර යුද්ධය අවසන් වීමෙන් පසුව වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණි වසර බවට වාර්තාගතය.

ඒ අනුව මෙබඳු බිහිසුණු සිදුවීම් සංචාරක කර්මාන්තය කෙරෙහි බලපායි. රජය පසුගිය වසරෙහි මෙබඳු ප්‍රගතියක් ලැබීමට සමත්වූයේ හේතු කිහිපයක් මතය. ඉන් පළමුවැන්න යුද්ධය අවසන් කළ නායකයන්ට කිරීමට බැරිවූ හෝ දැනුවත්ව අතපසු කළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කිහිපයක් රට තුළ ක්‍රියාත්මක කිරීමෙන් දේශීය හා විදේශීය වශයෙන් ඇතිවූ විශ්වාසයයි. ඒ වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ඇතිව තිබූ අඳුරු චිත්‍රයද වෙනස් කිරීමට රජය සමත් විය. එමෙන්ම විධායකයේද සහාය ඇතිව ක්‍රියාත්මක වූ දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ආණ්ඩුව සමත්වූ නිසා අරාජිකත්වයේ අඳුරු සෙවණැලිවලින් අත්මිදීමට හැකිවිය. මේ අනුව 2019 වසර රජයේ ආර්ථික වැඩපිළිවෙළ අත්හදා බැලීමේ අවස්ථාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.

ආර්ථික හා සමාජීය වශයෙන් රට ස්ථාවර වීම සියලු රටවැසියන්ගේ අපේක්ෂාව විය.

යටිතල පහසුකම් නැංවීම, විදේශ ආයෝජන කැඳවීම යනාදී වශයෙන් බලාපොරොත්තු තැබිය හැකි වාතාවරණයක් ඇති විය. මේ සුබදායී තත්ත්වය වෙනස්වීමට බලපෑ හැකි සංඥා නිකුත්වීම කනගාටුදායක තත්ත්වයකි.

යුද්ධය අවසන් වීමෙන් පසුව යුද්ධෝමාදයෙන් ජනතාව මුසපත් කිරීම මිස මුළු රටම එක්සත් කෙරෙන වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට පාලකයෝ අසමත් වූහ. එනිසා සියලු ජාතීන්ට සමගි සමාදානයෙන් ජීවත්වීමේ අයිතිය තහවුරු නොකෙරිණ.

ජනතාව බහුතර ඡන්දයෙන් නව ජනාධිපතිවරයකු සහ නව ආණ්ඩුවක් පත්කරගත්තේ එහි ප්‍රතිඵල ලෙසය.

අවස්ථාවාදියෝ

ආණ්ඩු වෙනසට දායක වූ ජනතාව බලාපොරොත්තු වූ මට්ටමෙන් නොවුණත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට තුඩුදෙන ප්‍රතිසංස්කරණ කිහිපයක් දියත් විය. ජාතික සංහිඳියාවට බාධා කෙරෙන අන්තවාදී කල්ලිවලට අනුබල නොදීම හා ප්‍රමාද වී හෝ එවැනි ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම ජනතාවගේ පාර්ශ්වයෙන් ලද ජයග්‍රහණයක් බව කිව යුතුය. එසේ තිබියදීත් ගැටුම් ඇවිළවීමට ඇතැම් අන්තවාදී කල්ලි උත්සාහ දැරූහ. ආණ්ඩු විරෝධී දේශපාලන කල්ලි ඒවා පිටුපස ක්‍රියාත්මක වූහ. පසුගිය ආසන්න සමයෙහි ආණ්ඩුව ද්විත්ව බල අරගලයකට මුහුණ දෙමින් මේ තත්ත්වය කළමනාකරණය කළේ අසීරුවෙන් බව කිව යුතුය.

2019 වසර එළැඹුණේ රටේ අනාගතය පිළිබඳ නව අපේක්ෂා ඇති කරමිනි. සාමය සහ සංහිඳියාව ආරක්ෂා කරමින් ආර්ථික කළමනාකරණය ඔස්සේ තමන්ට සහන සැලසෙනු ඇත යන විශ්වාසය බොහෝ අයට තිබිණි.

විවාදපන්න තැන් ගැන කියවුණත් මෙවර අයවැයද ඊට බලපෑවේය.

අනෙක් අතින් මෙය මැතිවරණ කාලයකි.

නුදුරේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක් පිළිබඳ කථිකාවක් ගොඩනැඟෙමින් පවතී. එය ජයගැනීමට අපේක්ෂා කරන්නන් අතර ඇත්තේ සීතල යුද්ධයකි. තවම එය එළිපිට ගැටුමක් බවට පත් වූයේ නැත.

බොර දියේ මාළු

රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම ප්‍රජාතන්ත්‍රවාදය අගයන නායකයන්ගේ සතුටට හේතුවෙයි. රට අරාජික වීම දූෂිත දේශපාලකයන්ගේ සතුටට හේතුවකි. බොරදියේ මාළු බෑම දූෂිත දේශපාලකයන්ගේ ස්වභාවයයි. බෝම්බ පිපිරීම් සහ එම දේශපාලන අරගලය අතර සම්බන්ධයක් ඇතිදැයි දැන්ම කිව නොහැක. එසේ කීමට ඉක්මන් විය යුතුද නැත. එහෙත් රට තුළ මෙතෙක් සිදුවී ඇති විනාශකාරී ක්‍රියා පිළිබඳ ඇති පූර්ව අත්දැකීම් අනුව මහජන සිත්හි විවිධ සැකසංකා මතු වීම පුදුමයක් නොවේ. ඒ සැකසංකා දුරුවන්නේ අපරාධ පිළිබඳ පරීක්ෂණයෙන් ලැබෙන ප්‍රතිඵල අනුවය. ඒ කටයුතු නිසියාකාරව ඉටුකිරීමට වගකිවයුතු අංශවලට හැකියාව ලැබේවා යනු සාධාරණ සමාජයක් අපේක්ෂා කරන්නවුන්ගේ පැතුමයි.

මේ සිදුවීම දේශපාලන අවස්ථාවාදය සමඟ ගැට ගැසීමටද සමහරු ඉක්මන් වෙති. එය එසේ වන්නේ අතීතයෙහි ලද නරක අත්දැකීම් අනුවය.

සියලු තුරුම්පු අවසන් වීමෙන් පසුව අන්තිම තුරුම්පුව සෙවීමේ භාවිතයක් බූරුගසන්නන් අතර පවතී. දේශපාලනයේද මෙවැනි උත්සාහයන් තිබිය හැක. එහෙත් ඒ තත්ත්වය මේ මොහොත සමඟ සන්සන්දනය කිරීමට ඉක්මන් නොවෙමු. ඊට හේතුව පොලිසියේ රාජකාරිය ජනමාධ්‍යයේ රාජකාරිය නොවන හෙයිනි.

බෝම්බ පිපිරීම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී.

බෝම්බ පිපිරීම්වල වගකීම විවිධ පාර්ශ්වවලට පැවරෙන ප්‍රකාශ සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය විය. ඇතැම් ප්‍රකාශ ආවේග අවුස්සනසුලුය. ඇතැම් ප්‍රකාශ විචාරවත්ය. මේ වන විට මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලාවලටද තාවකාලික වාරණයක් පනවා ඇත.

මොළකරු සෙවීම

මෙවැනි බිහිසුණු බෝම්බ පිපිරවීමේ ක්‍රියාදාමයක් මෙරට සිදුවූ පළමු අවස්ථාව මෙයයි. යුද්ධයේදී ආරක්ෂක හමුදාව, ත්‍රස්තවාදී කණඩායම් මෙන්ම අතුරු හමුදාද ක්‍රියාත්මක විය. එහිදී සිදුවූ ඇතැම් ඝාතන තවමත් අපහැදිලිය. යුද්ධයේ ස්වභාවය එයයි. එහෙත් යුද්ධයක් නොපවතින මෙහොතක එක් දිනක් තුළ එකපෙළට සිදුවූ බෝම්බ පිපිරවීම් නිසා සිදුවූ ජීවිත විනාශය සුළුකොට තැකිය නොහැක.

මෙහි මොළකරු කවුදැයි දැන්ම කිව නොහැක. මෙය පුද්ගලික පළිගැනීමක් හෝ හුදෙකලා සිදුවීමක්ද නොවේ. සැලසුම්සහගත ක්‍රියාවලියකි. එමෙන්ම පියවරෙන් පියවර සැලසුම් කරන ලද්දකි. සමහර විට මෙය තව දිගුවීමට ඉඩ ඇත. එක ගලකින් කුරුල්ලන් කිහිපදෙනකු දඩයම් කිරීමේ අරමුණ මෙහි ඇති බව පෙනේ.

යටි අරමුණු

පාස්කු ඉරිදා යනු කිතුනු දේවස්ථානවල බැතිමතුන් පිරෙන අවස්ථාවකි. එවැනි අවස්ථාවක බෝම්බ පිපිරවීමෙන් විශාල පිරිසකට හානි කළ හැකිය. අනෙක් අතට එහිදී ආගමික සංහිඳියාවට දරුණු අනතුරක් ඇති කළ හැකිය.

අගනුවර සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ඉලක්ක කරගෙන බෝම්බ පිපිරවීම ඔස්සේ විදේශීය සංචාරකයන්ගේ ජීවිතවලට හානි කිරීමෙන් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු කලාපයක් ලෙස ලෝක මට්ටමේ මතයක් ඇති කළ හැක. එය සංචාරක කර්මාන්තය සහ එතෙර ආයෝජනවලට බලපෑමෙහි ප්‍රතිඵල ලෙස ලංකාවේ ආර්ථිකයට මරු පහරක් එල්ල වේ. ඒ අනුව මහජන පීඩනය උග්‍රවීමෙන් අසාර්ථක ආණ්ඩුවක් පිළිබඳ අඳුරු චිත්‍රයක් මහජන සිත්හි ඇති කළ හැකිය.

බෝම්බ පිපිරවීම පිළිබඳ වගකීම අයිඑස්අයිඑස් සංවිධානය විසින් බාරගත් බවට සීඑන්එන් පුවත් සේවය වාර්තා කර ඇතැයි සමාජ මාධ්‍ය මුලින් වාර්තා කළේය. එය අසත්‍යයක් බවට පසුව එම මාධ්‍යයෙහිම පළ විය. මෙය ලියන මොහොත වන විටද අපරාධයෙහි වගකීම කිසිවකු බාරගෙන නොමැත. එහෙයින් වගකීම අසවලා බාරගත යුතුයැයි කීමේ හැකියාවක් ජනමාධ්‍යට නොමැත. එහෙත් ජනමාධ්‍යට වගකීමක් ඇත. එනම් වගකීම්සහගත වාර්තාකරණයයි. මේ සිදුවීම පදනම් කරගනිමින් ගෝනි බිල්ලන් මැවිය යුතු නොවේ.

නීතියේ පාලනය

ආරක්ෂක අංශවලට ස්වාධීනව පරීක්ෂණ කටයුතු කිරීමට ලැබීමෙන් වැරදිකරුවන් අනාවරණය කරගැනීම අසීරු නොවනු ඇත. එහි ජාත්‍යන්තර මුල් තිබේ නම් ඒ බැව්ද අනාවරණය කරගත හැකි වනු ඇත.

එහෙත් යුද්ධ සමයෙහි පැවති බිහිසුණු වාතාවරණය වහල් කරගනිමින් තරුණයන් දොළොස් දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට වගකිව යුතු පුද්ගලයන් නිවැරදිව අනාවරණය කරගෙන තිබියදීත් පරීක්ෂණ අඩාළ කිරීම සඳහා ඉහළින් බලපෑම් එල්ලවූ බව අනාවරණය විය. ඇතැම් අපරාධ පරීක්ෂණ ඇණ හිටියේ මෙකී බලපෑම් අනුවය. මේ නිසා අපරාධකරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳව දුන් ප්‍රතිඥාව යම් පමණකට කඩවූ බව පිළිගැනීමට සිදුවේ. අපරාධ මෙහෙයවූවන් දේශපාලන ප්‍රභූන් වූ විට මෙවැනි තත්ත්වයක් උද්ගත වේ. මෙය කනගාටුදායක තත්ත්වයකි. ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා එතෙර අධිකරණයකින් යුක්තිය අයැදීම අහම්බයක් නොවේ. එනිසා පරීක්ෂණ ස්වාධීනව කරගෙන යෑම සඳහා ඉඩ දිය යුතුය.

බෝම්බ පිපිරවීම නිසා මියගිය සියලු දෙනාට හා ජීවත්ව සිටින ඥාතීන්ටද තුවාලකරුවන්ටද යුක්තිය ඉටු කළ හැක්කේ නිසි පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් කවර තරාතිරමේ අය වුවද ඔවුන්ට දඬුවම් දීමෙනි. ඒ සඳහා ප්‍රභූ බලපෑම්වලින් තොරව පරීක්ෂණ ඉදිරියට යා යුතුය. කෙටි කලක් තුළදී දේශීය හා විදේශීය වශයෙන් ඇතිවූ යහපත් වාතාවරණය එක රැයකින් පළුදුවීම අවාසනාවකි.

යහගුණය

මියගිය හා විපතට පත්වූ අය කවර ජාතියකට හෝ කවර ආගමකට අයත් වුවද ඔවුහු මෙරට පුරවැසියෝ වෙත්. ඔවුන්ගේ ජීවත්වීමේ අයිතිය කිසිවකු විසින් උදුරාගනු ලැබ තිබේ. විපතට පත්වූ විදේශිකයන් මෙරටට පැමිණියේ ශ්‍රී ලංකාව තුළදී තම ජීවිත සුරක්ෂිත වනු ඇතැයි යන බලවත් විශ්වාසයෙනි. එම විශ්වාසය ආරක්ෂා කිරීමට අසමත් වීම රටවැසියන් වශයෙන් අප ලැජ්ජාවට පත් විය යුත්තකි. මෙයින් ඇතිවූ නරක ප්‍රතිරූපය වෙනස් කිරීම දුෂ්කර කටයුත්තකි.

සිද්ධීන් සැළවූ වහාම ජනතාව ප්‍රතිචාර දක්වන්නට විය. තුවාලකරුවන් සඳහා රුධිරය පරිත්‍යාග කිරීමට බොහෝ අය ඉදිරිපත් වූහ. මෙය කෘතවේදී හැඟීම් ඉස්මතු වූ මොහොතකි. එය මෙරට ජන සමාජයට ආවේණික ලක්ෂණයකි. එය අගය කළ යුතුය. එහෙත් අනතුර සිදුවූ ස්ථාන නරඹන්නට යෑම නීතිය ක්‍රියාත්මක කිරීමට හා සිවිල් පාලන කටයුතුවලට බාධාවකි.

මෙහිදී අවස්ථාවාදීන් වාර්ගික හා ආගමික ගැටුම් ඇවිළවීම සඳහා පුවත් නිර්මාණය කිරීමට ඉඩ තිබේ. කොත්තුවල වඳ පෙති ඇතැයි දේපළ සංහාරයක් දියත් කළ රටක වෙසෙන අත්දැකීම් ඇති ජනතාව මෙහිදී සබුද්ධිකව කටයුතු කිරීම වැදගත්ය.

[තිඹිරියාගම බණ්ඩාර]

ඡායා[සමන් මෙන්ඩිස්]

[රොෂාන් පිටිපන]

[ප්‍රසාද් පූර්ණමාල්]

මාතෘකා