දයා-සේන යුවළගේ මුල්ම කැසට්පටය

 ඡායාරූපය:

දයා-සේන යුවළගේ මුල්ම කැසට්පටය

ජීවිතය එක්තරා හාස්කමක් වැන්න. එහි නොසිතූ නොපැතූ නිමේෂයන්හි අරුමපුදුම සිදුවීම් සිදුවෙයි. ඒවා එක්තරා හාස්කම් යැයි සමහරු අරුත් ගන්වති. හාස්කම් යැයි කියූ නිමේෂයෙන් සියල්ලන්ටම සිහිපත් වනුයේ දේවත්වය හා බැඳි අදෘශ්‍යමාන සිදුවීම්ය. සත්‍ය හෝ අසත්‍ය හෝ මිනිස් ජීවිතයන්හි සිදුවන විවිධ විපර්යාස, දේවවාදී සංකල්පයන් විශ්වාස කරන්නෝ ඒවා "හාස්කම්" යැයි අරුත් ගන්වති. ඇයට එවැනි හාස්කමක් සිදුවී ඇත්තේ උත්පත්තියේදීය. ඒ ඇගේ ළයාන්විත ලෙලවන සුමධුර කටහඬයි. මේ සැරසෙන්නේ එකී කටහඬෙන් දයා නෙල්ලම්පිටිය කළ හාස්කමක් ඔබ හමුවේ තබන්නටය.

ඒ 1984 වර්ෂයයි. ඊට වසර කිහිපයකට පෙර විවෘත ආර්ථිකයට දොරටු විවර වී සමාජ ආර්ථික සංස්කෘතික විපර්යාසයන් සිදුවෙමින් පැවතියද මෙකල දේවවාදය විශ්වාස කරන්නෝ ශ්‍රී ලංකාව තුළ බොහෝ වූහ. එහි ප්‍රතිඵලය වූයේ ලාංකේය සාහිත්‍යය සහ ජන සංගීතය දේවවාදී මුහුණුවරක් ගැනීමය. මෙකල ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විශිෂ්ට ශ්‍රේණියේ ජන ගී ගායනා කරන දයා - සේන දෙපළටද අපූරු ආරාධනාවක් ලැබෙයි. ඒ ඇරයුම දයා නෙල්ලම්පිටියගේ ජීවිතයේ එක් සුවිශේෂී ඇරයුමකි.

"1984 අවුරුද්දේ ධර්මසිරි ගමගේගෙන් මටයි සේනටයි ආරාධනාවක් ලැබෙනවා කැසට් එකක් කරන්න. ධර්මසිරි ගමගේගේ යාළුවෙක් ඉන්නවා දෙහිවල නැල්සන් මහත්තයා කියලා. එයා කතරගම දෙවියන් ගැන ගොඩක් විශ්වාස කරන කෙනෙක්. කතරගම වෙච්ච සත්‍ය හාස්කම් ගැන එයා ගොඩක් දැනගෙන හිටියා. ඒවා විස්තර කරලා ඒ ආශ්‍රයෙන් පර්යේෂණාත්මක ගීත සංග්‍රහයක් කරන්න තමයි අපිට ඒ ආරාධනාව ලැබුණේ."

තම අතිජාත මිත්‍ර ධර්මසිරි ගමගේ විසින් රැගෙන ආ ඇරයුම ගැන දයා නෙල්ලම්පිටිය පැවසුවේ එසේය. තිස්වසරක් ගුවන්විදුලියේ සේවය කළ ප්‍රකට ජන ගී ගායිකාවක වූ දයා එතෙකුදු කැසට් පටයක් සඳහා තම හඬ මුහු නොකර තිබිණි. එම නිසා මේ ලැබුණු කදිම අවස්ථාව දයා - සේන යුවළ බාර ගත්තේ කතරගම "හාස්කම්" ජනගීයෙන් අරුත් ගැන්වීමේ අරමුණින්ය. ඈ පැවසූ ආකාරයට දෙහිවල නෙල්සන් මහත්තයා හෙවත් නෙල්සන් ආර්. තිලකරන් ධර්මසිරි ගමගේ හට තම කැසට් පටය ගායනයෙන් අර්ථවත් කිරීමට දයා නෙල්ලම්පිටිය සහ සේන ෆොන්සේකා යුවළට ආරාධනා කරන මෙන් ඉල්ලා ඇත.

"හාස්කම් කැසට් එකට ගීත රචනා කළේ ධර්ම ගමගේ මහත්මයා. ඒකට සංගීතය නිර්මාණය කළේ ඒ කාලේ නව පරපුරේ හිටපු දක්ෂ සංගීතඥයෙක් වුණු රෝහණ වීරසිංහ. එච්. එම්. ජයවර්ධනයි සන්දෝරිස් ජයන්තයි දෙන්නත් ඒකට සංගීතය නිර්මාණය කළා. උඩරට, පහතරට, හින්දුස්ථානි, සියලුම සංගීත භාණ්ඩ ඒකට සංගීතය සපයන්න එයාලා පාවිච්චි කළා. ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දය තමයි සංගීතය සැපයුවේ. රෝහණ බැද්දගේ මහත්තයා තමයි "හාස්කම්" කැසට් එකට ස්තෝත්‍ර ගායනා කළේ. ජන ගී ආශ්‍රිත ඒ ගායනා ඉදිරිපත් කළේ මමයි මගේ සැමියා සේන ෆොන්සේකායි."

"හාස්කම්" කැසට් පටය සඳහා දායකත්වය දැක්වූ පිරිස පිළිබඳව ඈ සිහිපත් කළේ එසේය. දයා නෙල්ලම්පිටියට ගුවන්විදුලියේ සේවය කරන තිස්වෙනි වසරේ හා හා පුරා කියා කැසට් පටයක් නිකුත් කිරීමේ අවස්ථාව උදාවෙන හෙයින් තමන් ගුවන්විදුලියේ සේවය කළ දශක තුනෙහි සැමරුමද "හාස්කම්" කැසට් පටය සඳහා නිමිති වුණු බව දයා නෙල්ලම්පිටියන් අප සමඟ පැවසීය.

මේ ආකාරයෙන් තම පළමු කැසට් පටය පිළිබඳ වතගොත එකිනෙක සිහිපත් කරමින් අප සමඟ පවසන ඇගේ කටහඬ සැණෙකින් ප්‍රබෝධමත් විය. ඈ මේ කියන්නට සැරසෙන්නේ "හාස්කම්" හා බැඳි තවත් අපූරු සිදුවීමක් බව ඉවෙන් මෙන් වැටහුණි. එම නිසා ඒ අපූරු විස්තරය ඇගේ වචනයෙන්ම මෙසේ සඳහන් කරමි.

"කැසට් එකේ ස්ටුඩියෝ තිබ්බේ බොරැල්ලේ තිබුණු ස්ටුඩියෝ එකක. සාමාන්‍යයෙන් රෙකෝඩින්ස් කරන්න අපි උදේ ගියාම එන්නේ හවස. වැරදීම් නිසා පටිගත කරන්න ටිකක් වෙලා යනවා. ඒත් එදා අපිට සම්පූර්ණයෙන් කියන්න පැයක් වගේ ගියේ. මුළු කැසට් එකටම එක දිගටම සින්දු කිව්වා. ඒකත් හාස්කමක් වගේ කියලයි අපිට හිතුණේ."

"හාස්කම්" කැසට් පටයේ හාස්කම් ගැන ඈ එසේ පැවසුයේය. ''හාස්කම්'' තුළින් ඔවුන් ගයන්නේ කතරගම දේවාලය හා බැඳි සත්‍ය සිදුවීම්ය. දෙවියන් පිළිබඳ මිනිසුන් දරන මතය විවිධාකාරය. එම නිසා දයාගෙන් දෙවියන් පිළිබඳ දරන මතය පිළිබඳව විමසන්නටද අප අමතක නොකළෙමු. එයට පිළිතුරු දුන් දයා,

"මගේ පළමු විශ්වාසය බුද්ධ, ධම්ම, සංඝ. බුදුදහම තමයි මම විශ්වාස කරන්නේ. දෙවියන් ගැනත් යම් විශ්වාසයක් තියෙනවා. ඒත් දෙවියන් වගේ අදෘශ්‍යමාන දේවල් ගැන මගේ ඒ තරම් විශ්වාසයක් නැහැ. හැම ආගමකම යම්කිසි ඇත්තක් තියෙනවා. ඒ නිසා විශ්වාස නොකළත් ඒ හැම ආගමකටම ගරු කරන්න අපි පුරුදු වෙන්න ඕනේ."

දයා - සේන යුවළ තම ගායන දිවියට තිස් වසරක් සැපිරීම නිමිත්තෙන් කළ "හාස්කම්" කැසට් පටය ඉස්ඉස්සෙල්ලාම පිළිගැන්වීමට තීරණය කළේ එවකට ජනාධිපති ධූරන්දර රණසිංහ ප්‍රේමදාස මහතාටය. දයා - සේන යුවළ ගයන විරිදු සහ ජන ගායනාවලට ප්‍රේමදාස ජනපති බොහෝ ප්‍රිය කළ හෙයින් ඔවුන්ගේ පළමු කැසට් පටය එතුමා බාරගත්තේ සතුටු සිතිනි. ඒ ගැන දයා පැවසුවේ මෙසේය.

"අපේ මුල්ම කැසට් එක පිළිගැන්නුවේ ජනාධිපති ප්‍රේමදාස මහත්තයාට. මමයි සේනයි දෙන්නා ගියා ජනාධිපති මන්දිරයට. කැසට් එක පිළිගැන්නුවට පස්සේ, ප්‍රේමදාස මහත්තයා මගෙන් ඇහුවා, 'ඇයි ජන ගී කැසට් එකක් කළේ? විරිදු එකක්නේ කරන්න තිබ්බේ' කියලා. ප්‍රේමදාස මහත්තයා අපේ විරිදු අහන්න ගොඩක් කැමතියි කියලා අපි දැනගත්තේ එදා. එවෙලේ ජනාධිපතිතුමාට මම කිව්වා, 'විරිදු කැසට් එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා, කියලා."

"හාස්කම්" කැසට් පටය සඳහා මූල්‍යමය දායකත්වය ලබාදී ඇත්තේ තම හිතමිතුරු ධර්මසිරි ගමගේගේ හිතවතකු වූ දෙහිවල නෙල්සන් මහත්තයා හෙවත් නෙල්සන් ආර්. තිලකරන්ය. හාස්කම් කැසට් පටය ජනතාව අතරට කොතෙක් ගියාද කිවහොත් නොසිතුවාටත් වඩා ඉක්මනින් කැසට්පට සියල්ලම විකිණුනු බව දයා නෙල්ලම්පිටිය අප සමඟ පැවසුවේ, "උණු කැවුම් වගේ ඒක විකිණුනා කියලා නැල්සන් මහත්තයාගෙන් අපිට ආරංචි වුණා" ලෙසය. කලා නිර්මාණයක් කොතෙක් ජනතාව අතරට ගියද ඒ සඳහා රසිකයන් දක්වන ප්‍රතිචාර කලාකරුවකුට ඉතා වැදගත්ය. එම නිසා "හාස්කම්" කැසට් පටය සඳහා ලැබුණු ප්‍රතිචාර ගැනත් දයාගෙන් අපි විමසුවෙමු.

"හැම තැනින්ම ගොඩක් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. අහපු හැමෝම වගේ අපිට කිව්වේ 'ඒ කවි ටිකත් හාස්කම් වගේ හරිම ලස්සනයි' කියලා. ගුවන්විදුලි සංස්ථාවෙනුත් අපිට හොඳ ප්‍රතිචාර ලැබුණා. ගුවන්විදුලියේ ඒ කවිත් නිතර නිතර විකාශය කළා."

කලාකරුවා කිසි දිනෙක තම සේවය මිල මුදල් ආදී වටිනාකම්වලට සමාන නොකරයි. ඒ ඔවුන්ගේ අමිල සේවය මුදලට සම කිරීමට ඇති අකමැත්ත නිසාය. එහෙත් කලාව තම වෘත්තිය කරගත් කලාකරුවාට ජීවත් වීමට සරිලන යම් මුදලක් අවැසි හෙයින් කලාකරුවා තමා ලබාදෙන සේවයට යම් මුදලක් අය කරයි. දයා සේන යුවළද එසේය. "හාස්කම්" කැසට් පටය සඳහා ඔවුන්ට ලැබුණු මුදල ගැන විමසූ විට දයා නෙල්ලම්පිටිය අපිට පැවසුවේ මෙසේය.

"ලොකු ගණන් බලාපොරොත්තුවෙන් නෙමෙයි අපි ඒ කැසට් එක කළේ. අපිට බොහොම සුළු ගාණයි දුන්නේ. අපි දෙන්නටම ඒකට ලැබුණේ

රු. 2000ක් වගේ සුළු ගාණක්. අපේ හඬට ලැබුණේ එච්චරයි. අනිත් අය ඊට වඩා ලොකු ලොකු ගණන් අය කළා. එයාලා වැඩකට යන්න කලින් ගාණත් කතා කරගෙනමයි යන්නේ. ඒත් අපි දෙන්නා එහෙම ගණන් කතා කරන්නේ නැහැ. දෙන ගාණක් ගන්නවා. අපි කලාව කළේ සල්ලිවලට නෙමෙයි. අදටත් මම එහෙමයි. මම සල්ලිවලට කලාව කළා නම් මෙහෙම නෙමෙයි ජීවත් වෙන්නේ."

ඈ අවසානයට පැවසූ දේ සත්‍ය බව නම් ප්‍රත්‍යක්ෂය. මන්දයත් ඈ ජීවත් වන ආකාරය දෙස බැලූ විට හා ඈ සමඟ ක්ෂේත්‍රයට පිවිසුණු ගායක ගායිකාවන් ආදිය ජීවත් වන ආකාරය සැසඳූ විට ඈ කලාවට මිල මුදල් අය නොකළ බව නම් සත්‍යය. දයා නෙල්ලම්පිටිය සේන ෆොන්සේකා වැනි කලාකරුවන් මෙසේ ඇගයිය යුතු වන්නේ ඒ නිසාවෙන්ම යැයි සිතමි.

දයා සේන යුවළගේ පළමු කැසට් පටයේ තොරතුරු කතාබහ එසේ අවසන් විය. එතෙක් පැවති ජන ගී සහ ජන ගායනා ශෛලීන්ගෙන් වෙනස් කොට නව සංගීත ආරකින් යුතුව දයා සේන යුවළ හඬ මුසු කළ "හාස්කම්" නම් පර්යේෂණාත්මක කැසට් පටය එකල රසිකයන් අතර බොහෝ ජනප්‍රිය වූවා සේම පුවත්පත් රාශියක ඒ ආශ්‍රිතව ලිපි පළ වී ඇත.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා