ගෙවී යන අලුත් අවුරුද්ද...

 ඡායාරූපය:

ගෙවී යන අලුත් අවුරුද්ද...

මුළු පරිසරයටම හිරුගේ සරතැස අඩු නැතිව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්න වෙලා. ඒ දාහය අස්සේ කියැවෙන පණිවිඩය අපි කාටත් යමක් හිතන්න ඉතිරි කරනවා. “මේ මාසය මට වෙන් කරලා මා වෙනුවෙන් වන්දනාමාන කරනවා නම් ඊටත් කලින් මේ පරිසරය ගැන හිතා වැඩ කටයුතු කරන්න...” කියන පණිවිඩය හිරු අපට වචනයෙන් නොකියා දනවනවා.

අප්‍රේල් මාසය ගැන කතා කරද්දී ඒත් එක්කම අලුත් අවුරුද්ද ඈඳෙනවා. අපි අපේ මව්පියන්ගෙන් වගේම ඒ පරම්පරාවේ බොහෝ දෙනකුගෙන් අතීතයේ අවුරුදු අසිරිය ගැන නොයෙක් විස්තර අසා දැනුවත් වෙද්දී ඒ හැම විස්තරයකම බක් මාසේ එළැඹෙද්දී දෙවැට දිගේ රතු පැහැයෙන් රටා මවන එරබදු මල් කළාලය ගැනත් හැම නාදයක්ම යටපත් කරගෙන රැව් දෙන කෝකිල නාදය ගැනත් කියැවුණු වාර ගණන අපමණයි. ඉන් පස්සේ තමයි චාරිත්‍ර වාරිත්‍ර, කෙළි සෙල්ලම් ගැන කියැවුණේ. මේ අවුරුද්ද ගෙවිලා ගියේ ඒ කතාවලින් කියැවුණු විස්තරත් මම දැන් අත්විඳිමින් ඉන්න අත්දැකීම් සියල්ලත් එකිනෙක සන්සන්දනය කරන්න ඉඩ ඉතිරි කරමින්. මේ අවුරුද්දේ හිරු මංගල්‍යය ගැන අපට දැන ගන්න ලැබුණේ එක පෙළට තොරතෝංචියක් නැතිව විවිධ රූපවාහිනී නාලිකාවලින් තරඟයට වාගේ විකාශනය කරන දැන්වීම් නිසයි.

එරබදු ගහට මල් පිපෙන්න අමතක වෙලා. නැත්නම් අමතක කරලා. කොහා අපේ රටේ සීමාවට පියාඹලා එන්න තවමත් කල්යල් බලන හැඩයි. අහස ගුගුරවලා බක් මහ අකුණු ඇහෙන්නෙත් නැහැ.

අලුත් කියන වචනයේ අරුත වගේම හැම අලුත් අවුරුද්දක් සමීපයේම අපේ වැඩිහිටි නෑ සියන් බාහිර දේවලින් විතරක් නෙවෙයි, හිතින් පවා අලුත් වුණු හැටි මගේ කෙටි කාලයක් වුණු අත්දැකීම් අතරේ මතකයේ රැඳිලා තියෙනවා. මගේ ගෙදර ඉදිරියේ තියෙන අඳ කුඹුරේ මහන්සිය දිය කරන ගුණදාස අත්තා ගිය අවුරුද්දේ මුල් කන්නය වගාකර නෙලා ගත් අලුත් සහල් අස්වැන්නෙන් කොටහක් කිරිබතක් විදිහට සකස් කළ අපූරුව අදටත් මතකයේ ඇඳෙනවා. ඒ කිරිබත් පාන්දරින් තමන්ගේ හිස මත්තේ තියාගෙන බොහෝම ගෞරවයෙන් ගමේ පන්සලට පූජා කරන්න අරන් ගිය හැටි අද සිතුවමකට සීමා වෙලා.

ඒ වෙනුවට නගරයේ කෙළවරක තියන උකස් බඩු ආයතනයේ දිග පෝළිමේ අන්තිම කෙළවරේ හිටගෙන ඉන්න ගුණදාස අත්තා අද මහා සිනමාවක් මවනවා.

මට මෙදා අලුත් අවුරුදු දිනයේ අපේ ගමේ වෙනදා ඇහෙන හුරු පුරුදු නාදයන්ට වඩා, වෙනදා දකින චාරිත්‍ර වාරිත්‍රයන්ට වඩා අහන්න දකින්න ලැබුණේ වෙනස්ම අත්දැකීම් කිහිපයක්. කාලයකින් මුණ ගැහුණු නෑදෑයන් කිහිප දෙනකු අතර ඇති වුණු අඬදබර එහෙමත් නැත්නම් රණ්ඩු සරුවල්, තවත් තැනෙක තමන්ගේ ශරීර ශක්තිය ප්‍රදර්ශනය කරන්න වාගේ ගුටි පොර බැඳීමකට කරන ආරාධනාවක්. ඒ හැමදේම අතරේ පියවි සිහිය තමන්ම අහිමි කරගත්ත මාමා කෙනෙක්, තමන් පදවාගෙන ආ වාහනය නිවැරදිව පාරේ ගමන් ගිය කෙනකු අනතුරට පත් කරමින් නතර වුණු දර්ශනයක්. ඒ අනතුරින් තුවාල වූ කෙනෙක් නඟන වේදනාවේ අඳෝනාවන්.

අත්දැකීම්වල, සිරිත් විරිත්වල හැම කටයුත්තකම මුල් තැන ගන්න මෙහෙයවන අපේ ආදරණීය වැඩිහිටියන්ගෙන් මගේ පරම්පරාව වෙනුවෙනුත් මගෙන් පස්සෙන් පහු එන පරම්පරාව වෙනුවෙනුත් යමක් ඉල්ලන්න අලුත් අවුරුද්දේ හිත බල කරනවා.

ඇත්තෙන්ම ඔබ තබන පියවර හැමදාමත් අපට මඟ නොවැරදී ගමන් කරන්න පාර කියනවා. ඒත් වර්තමානයේ සිදුවන යම් යම් කරුණු දිහා විමසිල්ලෙන් බලද්දී අපේ හිත්වලට ඇති වෙන්නේ විමතියක් වගේම බියක්. අපේ අනාගතයට ඉතිරි වෙන සහ ඔබ ඉතිරි කරන දෑ මොනවාද කියා හිතූ වාරයන් අනන්තයි. එකම ගමේ එකම නෑසියන් දේශපාලනය හෝ වෙනත් මතයන් නිසා දෙපිළකට බෙදී දින දෙකකදී අවුරුදු උත්සව දෙකක් පවත්වද්දී අපට කියා දෙන එකමුතුකමේ ආදර්ශය සිහිනයක් නොවෙයිද? චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන සුබ මොහොතකදී පවා සව්දිය පිරෙද්දී සිරිත් විරිත්, එරබදු මල් පිපෙන තුරු බලා හිඳිවිද? ඇත්තටම සමහර වැඩිහිටි නෑදෑයන්ට නැකැත් හෝ මේ චාරිත්‍ර ගැන ඇත්තේ අඩුම විශ්වාසයක් වෙන්න ඇති. ඒත් ඒ අඩුම විශ්වාසය ඇති සිරිත් විරිත්වලින් කිහිපයක්වත් අපි වෙනුවෙන් ඉතිරි කර දෙන්න. ඔබ රස කරමින් කියන එදා අලුත් අවුරුදු අසිරිය අපිත් අපේ අනාගත පරපුරට ඒ අයුරින් රස කරමින් සිහිපත් කරන්න පොරොන්දු වෙන්නම්.

ඔබ හැමටම යහ සිතිවිලි අවදිවන සුබ අලුත් අවුරුද්දක් වේවා!

මාතෘකා