දහදිය සුවඳට පෙම් බැඳි රජරට සේවයට හතළිහයි

 ඡායාරූපය:

දහදිය සුවඳට පෙම් බැඳි රජරට සේවයට හතළිහයි

මෙරට සංවර්ධනයට ප්‍රභාතයක් එක් කිරීමට දැක්වූ දායකත්වය මැනීමේදී රජරට සේවයේ කැප කිරීම රන් හා සමානය. කෘෂිකාර්මික පුනර්ජීවනය, නිදහස් සුභාවිත සංගීතය, ගීත සාහිත්‍යය, ජාත්‍යාලය දැනවීම යනාදී සෑම අංශයකින්ම ධනාත්මක රැස් මාලා විහිදවූ රජරට ගුවන් විදුලි කුමරිය පසුගියදා (2019 අප්‍රේල් 12 වැනිදා) හතළිස් වැනි උපන්දිනය සැමරීය. මේ සටහන එම නන්දනීය, වින්දනීය ගුවන්විදුලි අතීතය සිහිපත් කිරීම උදෙසාය. එමෙන්ම වත්මන් හැඩරුව දැනවීම සඳහාය.

සංවර්ධනයට මං සාදන රේඩියෝව

ලෝකයේ බොහෝ රටවල් සංවර්ධන පණිවුඩ ගෙනයෑම සඳහා බලවත්ම ජනමාධ්‍ය ලෙස යොදා ගන්නා මාධ්‍යයකි ගුවන්විදුලිය. සාමාන්‍යයෙන් සංවර්ධනයට අවශ්‍ය වන්නේ ජනප්‍රිය මාධ්‍යන්ට වඩා ජන හදට, ජන මනසට කඩිනමින් ළඟාවිය හැකි මාධ්‍යකි. ග්‍රාමීය සමාජවලට නවීන තොරතුරු ගෙන යෑමේදී සාක්ෂරතා ඥානය නැතත් අසා හැඳිනිය හැකි ළෙන්ගතු ආමන්ත්‍රණයකට ගුවන් විදුලිය කදිම සන්නිවේදන මාධ්‍ය ක්‍රමයකි. ආසියානු ගුවන්විදුලි සංගමයේ හිටපු ලේකම්වරයකු වන ශ්‍රීමත් චාල්ස් මෝසස් ගුවන්විදුලිය සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මෙබඳු අදහසකි.

“සංවර්ධනය වෙමින් පවතින රටවල සැබෑ ආර්ථික හා සමාජයීය ප්‍රගතිය ඇති කිරීමට ඒ ඒ රටවල මුළු මහත් ප්‍රජාවම සම්බන්ධ කර ගැනීම අවශ්‍ය බව පිළිගනිමු. ඒ සඳහා විවෘතව ඇති එකම මාධ්‍ය ගුවන්විදුලියයි.”

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා ඇරඹුම

යටත් විජිතයක පළමුව ගුවන්විදුලියක් ඇරඹීම සටහන් වන්නේ ශ්‍රී ලංකාවෙනි. ලෝකයේ ගුවන්විදුලිය අරඹා වසර කිහිපයකින් ශ්‍රී ලංකාව එහි අත්දැකීම ලබන්නේ ගුවන්විදුලියක් ඇරඹූ ප්‍රථම දකුණු ආසියාතික රට බවටද පත්වීමේ විරුදාවලියද සමඟයි. ඒ අනුව මෙරට ගුවන්විදුලියේ ආරම්භක දිනය ලෙස සනිටුහන් වන්නේ 1924 ජූලි 21 වැනිදාය. යටත් විජිත කාලයේ පටන්ගෙන මුලින් ඉංග්‍රීසි මුහුණුවරකින් එය ක්‍රියාත්මක වුවත් නිදහසින් පසුව මෙරට ගුවන් විදුලිය ජාතික සංවර්ධනයට වුවමනා දැනුම හා පෙලඹවීම එක්කළ ප්‍රබලතම සන්නිවේදකයා බවට පත්විණ.

ගුවන්විදුලිය තවදුරටත් ජනතාව අතරට ගෙන යා යුතුය යන අදහස සමඟ මෙරට පාලන තන්ත්‍රය විසින් ප්‍රාදේශීය ගුවන්විදුලි සේවා ආරම්භ කිරීමට තීරණය කරන ලදී. එහි පුරෝගාමීන් වූයේ, එවක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස්, ගුවන්විදුලි සංස්ථාවේ එවක සභාපති ඒමන් කාරියකරවන වැනි මහත්වරුන්ය. ඔවුන්ගේ මැදිහත් වීමෙන් 1979 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන්විදුලි සේවාව ඇරඹිණි. ඈත පිටිසර ගම් දනව්වල සැරිසරමින් ජනතාවගේ ගැටලු රජයටත් රජයේ තොරතුරු රජරට ජනතාවටත් ගෙනයන මනරම් වේදිකාවක් බවට රජරට සේවය පත්වූයේ කෙටි කාලයකිනි. එයට ඇතිව තිබූ ජනප්‍රසාදය කියා නිම කළ නොහැකි එකක් බව තතු දත්තෝ කියති. කල් නොගොස්ම රුහුණු හා කඳුරට නමින් තවත් ප්‍රාදේශීය සේවා ඇරඹෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි.

කණ්ඩායම් හැඟීම හා රජරට සේවයේ නැඟීම

අද ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් දකින්නට ඇත්තේ අනන්‍ය වූ නවීකරණයක් නොවේ. එය විදේශීය වෙස් ගත් බොරු දියුණුවකි. රටක් නඟන්නට ගුවන්විදුලියකට කළ හැකි මෙහෙය අපමණ බව රටටම කියූ සාර්ථක පර්යේෂණයක් බඳුව ක්‍රියාත්මක වූ රජරට සේවය පිළිබඳ අතීතාවර්ජනය, පවා සිත් තොස් වඩන්නේය. ගම් දනව් සිසාරා යමින් ගොඩ ගත් සැඟවුණු දැනුම රටට දායාද කළ වග රජරට සේවා ඉතිහාසය පිරික්සා බැලීමෙන් ගම්‍ය වේ.

ප්‍රාදේශීය සේවාවක මුඛ්‍ය ලක්ෂණය විය යුත්තේ එම ගුවන්විදුලියේ ප්‍රචාරයට හසුවන ශ්‍රවණ කලාපයේ ජනයාගේ සිතුම් පැතුම් සම්ප්‍රදායන්, ජීවන රටා, සංස්කෘතික ලක්ෂණ පාදක කරගෙන එම ජනතාවට ඉතා සමීප සාරගර්භ සේවාවක් සැපයීම බව රජරට සේවයේ හිටපු පාලකයකු වූ නිව්ටන් ගුණසේකර මහතා නිතර කියූ කතාවකි. රජරට සේවයට එක් වූ බොහෝ ශිල්පීහු ප්‍රාදේශීය සේවාවක තිබිය යුතු එම ගුණය මනාව රැක්කාහ. රජරට දනන්ගේ ගොවි කටයුතුද ගෙයි කටයුතුද වැව් කටයුතුද එකී නොකී බොහෝ කටයුතුද ගැන මනා අවබෝධයක් ලද රජරට සේවා කණ්ඩායම සැබැවින්ම ජන හද දිනීය. ඊට හේතුව ජන හදගැස්ම රඳවාගෙන ගම් දනව්හි සැරිසැරීමය. වෙල්, කමත්, ඇළ දොළ, කඳු, කඩමණ්ඩි මේ කිසිවක් රජරට සේවයේ ශිල්පීන්ට ආගන්තුක නොවීය.

එහි මුල්ම ශිල්ප කණ්ඩායමේ සිටම පැවැති මනා කණ්ඩායම් හැඟීමත් වගකීම හා වගවීමත් රජරට සේවය කොළඹ ගුවන්විදුලියටත් වඩා රට තුළ ජනප්‍රිය කිරීමට පාර කැපීය. රජරට ගුවන්විදුලි කුමරිය වැව් බැඳි රටේ ජනයාට නැතිවම බැරි තෝතැන්නක් බවට පත් විය.

රජරට සේවා පළමු ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරයා වූයේ සිරිල් රාජපක්ෂ මහතාය. එතැනින් පටන්ගෙන ලියන නම් වැළම රටෙහි ජනයාගේ මුවට හුරු, හදේ කිඳා බැසගත් ප්‍රවීණයන් පිරිසකි. ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, සේන ගුණසේකර, ප්‍රේම කීර්ති ද අල්විස්, විජයානන්ද ජයවීර, සෝමසිරි චන්ද්‍රසේන, කුලසේන ෆොන්සේකා, නිව්ටන් ගුණසේකර, ශ්‍රීපාලී වයමන්, තිලක සුදර්මන් ද සිල්වා, ගුණදාස කපුගේ යනාදී වශයෙන් තවත් දිගැති නම් ලැයිස්තුවක් සටහන් කළ හැකිය. ඔවුහු රජරට පමණක් නොව, මුළු දිවයිනේම නම රැන්දූ විශිෂ්ටයන් ලෙස සැලකේ. එම ප්‍රවීණයන් නොමැකෙන ලෙස නම් දිනා ගත්තේ සමූහයක් ලෙස ජනතා සේවයට කැප වෙමින් රජරට හුදී ජනයාට හිතවාදීව ස්වකීය සේවාව සැපයූ නිසාය.

රජරට සේවයේ කලා ලීලාව

රජරට සේවා ශිල්පීන් විවිධ කලා හැකියාවන්ට සුරුකම් පෑ ප්‍රමුඛයන් වූ, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, ප්‍රේමකීර්ති ද අල්විස්, ගුණදාස කපුගේ වැනි නාමයන් නොදන්නේ කවුරුන්ද? මොවුන්ගේ සේවාවන්ගෙන් ජවය ලබා රට තුළ බැබළීමට වාසනාව හිමිකරගත්තෝ රැසකි.

ගීත නිබන්ධකයන්, කවියන්, ගායක ගායිකාවන් රැසක් රටට දායාද කළ රජරට සේවය කලා ක්ෂේත්‍රයට දුන් ජීවය කියා නිමකළ නොහැකිය. නුවර කලාවියේ කැලෑ මල් ජාතික තලයට ඔසවා තැබීමට සැබෑ වාරුව වූයේ රජරට සේවයයි.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි, මහින්ද චන්ද්‍රසේකර, රෝහණ දන්දෙණිය, මහින්ද දිසානායක, කරුණාරත්න ජයතිලක, රංජිත් රූපසිංහ, පොඩිරත්න අඟමලේ වැනි කවි, ගීත නිබන්ධකයන්ට කලා ලොවේ ඉහළටම පා තැබීමට රජරට සේවයද මහා පන්නරයක් විය.

නාලක අංජන කුමාර, උපාලි ජයලත්, ප්‍රේම් රංජිත් විජේවික්‍රම, සිරිල් පෙරේරා වැනි සංගීත ශිල්පීන්ටද කරුණාරත්න දිවුල්ගනේ, ජයතිලක බණ්ඩාර, කුමුදුනී ජයවර්ධන ජානකී සුමිත්‍රා දිසානායක, වික්ටර් ලියනගේ, සේනානායක වේරලියද්ද, ඇනස්ලි නානායක්කාර වැනි ගායන ශිල්පීන්ටද කලා දිවියේ තිඹිරි ගෙය වූයේ රජරට සේවයයි.

රජරට සේවයේ රඟ මඞල අර්ථාන්විත හා හාස්‍යද උපහාසයෙන්ද පිරුණු එකකි. ඒ බව ඒත්තු ගන්වන මෑත කාලයේ හද ප්‍රිය ශිල්පීන් දෙදෙනෙකි ගුණදාස මදුරසිංහ හා මහින්ද පතිරගේ යන දෙදෙනා. මේ රජරට සේවයේ නිර්මල නිෂ්පාදනයන්ය.

රජරට සේවයේ යළි නැඟිටීමේ සුබ නිමිති.

වර්තමානයේද රජරට සේවයේ සුවඳ විහිදන ශිල්පීන් සිටිති. දක්ෂ යොවුන් ශිල්පීහු මෙන්ම ඔවුන්ට වාරු දෙන ප්‍රවීණයන්ගේ සංකලනයක් රජරට සේවයේ තවමත් තිබේ. ජෝතිපාල තෙබුවන, රංජිත් රූපසිංහ වැනි ප්‍රවීණයන්ගේ මුහුණු මෙම ගුවන්විදුලියට යනඑන අයට තවමත් දකින්නට ලැබේ. ඔවුහු යෞවනයන්ට ගුරුහරුකම් දෙති. මහාචාර්ය සේන නානායක්කාර මහතාට මෙම ගුවන්විදුලිය නැවතත් පෙර සේ ජන හදට ළං කරන්නට ඇත්තේ පුදුමාකාර උනන්දුවකි. විශිෂ්ට නොවන ජනප්‍රිය රැල්ලට හසුවී සිටින ශ්‍රාවකයා එයින් මුදා ගැනීම සඳහා මහා සටනක නිරත විය යුතු යැයි සේන නානායක්කාර මහාචාර්යවරයා පවසයි.

කෙසේ වුවද රජරට සේවය යළි පුබුදින බවට පෙර සලකුණු පෙනේ. 2018 වසරේ දෙවන වරට පැවැති රාජ්‍ය ගුවන්විදුලි සම්මාන උලෙළේ රජරට සේවයට හිමි වූ ස්ථානයෙන් එය පැහැදිලිව පෙනිණි. එයින් රජරට සේවයට ලැබුණු සම්මාන හා සහතික ගණන හයකි. ප්‍රශස්ත කථික ලෙස ගුවන් විදුලි නාලිකා 50කට අධික සංඛ්‍යාවක නිවේදකයන් අභිභවා සම්මානයට පාත්‍ර වූයේ රජරට සේවයේ ප්‍රසන්න දිසානායක සහෘදයායි. මීට අමතරව ලිලී වඩුගේ මහත්මියගේ “සිරිලිය වරුණ”, ජී.ආර්. පියසේන මහතාගේ “වෑ කරඹ මල්”, වැඩසටහන, මාලක දේවප්‍රියගේ “රේඩියෝ කතා” වැනි වැඩසටහන් මෙම උලෙළේදී ඉහළින් ඇගයිනි. රජරට ගුවන්විදුලිය තවමත් රේඩියෝ සන්නිවේදනයේ ප්‍රමිතිය පහළ දමාගෙන නොමැත. නෙක වාරු පිට නැගී සිටියද රජරට සේවයට විහිදීමට ඉඩක් නැත. සාමාන්‍යයෙන් පොදුවේ පෙනෙන්නට තිබෙන ගුවන්විදුලි විකෘතියට නොයා රැකගෙන ආ ජනාභිලාශී සංවර්ධනාත්මක ප්‍රමිතියෙන්ම එය නැංවීම අගන. මෙහි සිටින සියලු දෙනාම තැත දරන්නේ එයටයි.

40 වන උපන්දිනය සැමරීමට වැඩසටහන් මාලාවක්

හතළිස් වන වියට පා තබන රජරට සේවය ගැන එම සැමරුමත් සමඟ සුබ නිමිති පෙනෙන්නට පටන් ගෙන ඇති නිසා එම වාරුව වර්ණවත් කළ යුතුය. ඒ නිසාම උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර සරත් ඒකනායක මහතාත් පළාත් ප්‍රධාන ලේකම් එච්.එම්.පී. බණ්ඩාර දිස්ත්‍රික් මහ දිසාපති නීතිඥ ආර්.එ්. වන්නිනායක යන මහත්වරුත් එක්ව බොහෝ දෙනාගේ මැදිහත්වීමෙන් රජරට සේවයේ හතළිස් වන සංවත්සරය සැමරීමට සැරසේ. ඒ එක්වීම ශක්තියකි. රජරට දක්ෂයන්ගේ පබැඳුම්, නාද රටා, ඇතුළත් ගී තැටියක් එළිදැක්වීමත් රජරට සේවය පිළිබඳව ලිපි සංස්කරණයක් හා රජරට සේවා එළිමහන් රංග පීඨයේදී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමත් මේ සැමරුම් කටයුතු අතර ප්‍රධාන වේ. මීට අමතරව රජරට සේවා ප්‍රවර්ධන වැඩසටහන් රැසකි.

මේ රජරට සේවයෙන් වැඩ ගතයුතුම කාලයයි. මන්ද මේ ගෙවෙමින් පවතින්නේ එහි පරිණතම කාලය වන බැවිනි. එනයින් අවස්ථාව අපතේ නොයවා සියල්ලන්ගේම ශක්තියෙන් අහස සිඹින කොත් ඇති, පොළව සිඹින කෙත් ඇති පිංසරු රජරට සිසාරා පැතිරෙන පෙර සේ ජනතාවාදී සංවර්ධනාත්මක ගුවන්විදුලියක් බවට රජරට සේවය පත් කළ යුතුමය.

[ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර]

මාතෘකා