බෙහෙත් බිඳුවකින් සියලු රෝග සුවකළ දොස්තර සැමුවෙල් හානිමාන්

 ඡායාරූපය:

බෙහෙත් බිඳුවකින් සියලු රෝග සුවකළ දොස්තර සැමුවෙල් හානිමාන්

ලෝක හෝමියෝපති දිනය සමරමු !

(දොස්තර සැමුවෙල් හානිමාන් මැතිතුමාගේ 264 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙනි)

අප්‍රේල් 10දා සිට 16දා දක්වා කාලය හොමියෝපති සතිය ලෙස නම් කර තිබේ. ඒ විවිධ රෝගවලින් පීඩා විඳිමින් සිය රෝග සුවකර ගැනීමට විස්වාසවන්ත මාර්ගයක් නොමැතිව සිටි ලෝක ජනතාවට එක් බෙහෙත් බිඳුවකින් ඉක්මනින් හා පූර්ණ ලෙස එම රෝග සුවකළ හැකි ක්‍රමයක් වන හෝමියෝපති ක්‍රමයට කරන ගෞරවයක් වශයෙන්ය. මෙම වෛද්‍ය විද්‍යාව ලොවට දායාද කර ඇත්තේ දොස්තර ක්‍රිස්ටියන් ෆ්‍රෙඩ්රික් සැමුවෙල් හානිමාන් මහතා වන අතර ඔහුගේ ජන්ම දිනය අප්‍රේල් 10 වැනිදාට යෙදී තිබේ.

හෝමියෝපති වෛද්‍ය විද්‍යාව

ශ්‍රී ලංකා ජන රජය පිළිගත් වෛද්‍ය විද්‍යාවකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණ කාර්ය සඳහා හෝමියෝපති වෛද්‍ය සභාවක්, රජයේ හෝමියෝපති රෝහලක් (වැලිසර) සහ පළාත් පාලන ආයතන මඟින් පාලනය වන නිදහස් බෙහෙත් ශාලා කිහිපයක් හා රජයේ ලියාපදිංචි හෝමියෝපති වෛද්‍ය වෘත්තිකයන්ගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන මඟින් හෝමියෝපති වෛද්‍ය සේවා සැපයේ.

තුරුණු වියේදීම භාෂා විශාරදයකු, පර්යේෂකයකු, ලේඛකයකු හා බුදධිමතකු ලෙස ප්‍රසිදධ වූ සැමුවෙල් හානිමාන් 1779 (අවුරුදු 24)දී බැවේරියාහි එලැන්ගන් විශ්වවිද්‍යාලයෙන් බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ එම්. ඩී. උපාධියෙන් පිදුම් ලැබීය.

වෛද්‍ය උපාධිය ලැබීමෙන් පසු රෝගීන්ට ප්‍රතිකාර කිරීම ඇරඹූ වෛද්‍ය සැමුවෙල් හානිමාන් එවකට පැවති බටහිර වෛද්‍ය ප්‍රතිකාරයන්හිදී රෝග සඳහා සංකීර්ණ ඖෂධ මිශ්‍රණ ලබා දීම, වේදනාකාරී අපහසු ප්‍රතිකාර ක්‍රම යෙදීම හා අතුරු අබාධ ඇතිවීම ආදිය නිසා මහත් කණස්සල්ලට පත්විය. නිරෝගී සුවය පතා තමා වෙත පැමිණෙන සියලුම රෝගීන් පූර්ණ ලෙස සුවපත් කිරීමේ උදාර පරමාර්ථයෙන් වෛද්‍ය සේවාවට පිවිසි වෛද්‍ය සැමුවෙල් හානිමාන් එම ප්‍රතිකාර නිසා තමා “අසරණ රෝගීන්ට හානියක් කරන්නේය” යන සිතිවිල්ල ඇතිවී 1784දී සිය වෛද්‍ය ප්‍රතිකාර නවතා දැමීය.

ඉන් පසු ඔහු සිය ජීවිකාව කර ගත්තේ වෛද්‍ය විද්‍යා, විවිධ විද්‍යා හා කලා විෂයයන් පිළිබඳ ලියැවුණු කෘති පරිවර්තනය කිරීම හා ස්වාධීන ලේඛන කලාවයි. එසේම එතුමා රසායන විද්‍යාව අධ්‍යයනය කිරීම හා විවිධ විද්‍යා පර්යේෂණවලද නිරත වූ බව සඳහන් වේ.

1789දී පමණ එතුමා ජර්මන් බසට පරිවර්තනය කරමින් සිටියේ දොස්තර විලියම් කලන් විසින් ඉංග්‍රීසි බසින් රචිත ඖෂධ නිඝන්ඩුව (Materia Medica)යි. එහි දැක්වූ සින්කෝනා ගසේ පොත්තේ යුෂය මිනිස් සිරුර තුළ ඇතිකරන බලපෑම පිළිබඳව වෛද්‍ය හානිමාන් තුළ මහත් කුතුහලයක් ඇති විය. එම නිසා එම යුෂ තමාම පානය කර ඇතිවන වෙනස්කම් පරික්ෂා කරන ලදී. එහිදී උණ සුවකිරීමට ගන්නා එම යුෂයට නිරෝගී මිනිස් සිරුරක් තුළ උණ ලක්ෂණ ඇති කළ හැකි බව තහවුරු විය. මෙලෙස විවිධ ද්‍රව්‍ය මෙම ක්‍රමය මඟින් තමා තුළත් ස්වේචාවෙන් ඉදිරිපත් වූ නිරෝගී මිනිසුන් තුළත් පරීක්‍ෂා කොට අවසානයේදී මේ කෘතහස්ත මානුෂවාදී වෛද්‍යවරයා “සමාන දෙයින් සමාන දෙය සුව කිරීමේ නියාමය” ලොවට ඉදිරිපත් කරන ලදී. හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ මූලිකම මුලධර්මය වන මෙහි අදහස “රෝගියකුගේ සියලු රෝග ලක්ෂණවලට සමාන ලක්ෂණ නිරෝගී පුද්ගලයකු තුළ ජනිත කළ හැකි ද්‍රව්‍යයක බල ගන්වන ලද කුඩා මාත්‍රාවක් දීමෙන් එම රෝගියා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි” බවයි. ඔහු එය හෝමියෝපති ලෙස නම් කරන ලදී.

මේ ආකාරයට විවිධ ද්‍රව්‍ය හා මිනිසුන් යොදාගෙන කරන ලද පර්යේෂණ රැසකින් අනතුරුව වෛද්‍ය සැමුවෙල් හානිමාන් මැතිතුමා ග්‍රන්ථ හා ලේඛන රැසක් පළකරන ලදී.

හෝමියෝපති වෛද්‍ය විද්‍යාවේ නිර්මාතෘවරයා මෙන්ම මානුෂවාදී වෛද්‍ය විද්‍යාඥයකු, පර්යේෂකයකු ආදී වශයෙන් ක්‍ෂේත්‍ර රැසකට සිය දායකත්වය සැපයූ දොස්තර සැමුවෙල් හානිමාන් ශ්‍රීමතාණෝ 1843 ජූලි 2 වැනි ඉරු දින සිය පරාර්ථකාමී ජීවිතය නිම කළහ.

ශ්‍රී ලංකාවේ රෝගී ජනතාව හෝමියෝපති වෛද්‍ය විද්‍යාව පිළිබද සත්‍යාවබෝධය ලබාගෙන මෙම අනගි හෝමියෝපති බෙහෙත් සඳහා යොමු වුවහොත් ඉතාම පහසුවෙන් එම එක් එක් රෝගියාට ගැළපෙන පරිදි නිවැරදිව තෝරාගත් හෝමියෝපති බෙහෙත් බිඳුවකින් ප්‍රතිකාර කිරීමෙන් දැනට සිටින රෝගීන් සංඛ්‍යාවෙන් හරි අඩකට සම්පූර්ණ සුවය ලබා දිය හැකි බවද කිව යුතුය.

මහාචාර්ය [‍ජේ.එස්.පී. ලියනගේ]

මාතෘකා