වෙළෙඳපොළෙන් එළවළු පලතුරු තෝරාගන්න හරි විදිහ

 ඡායාරූපය:

වෙළෙඳපොළෙන් එළවළු පලතුරු තෝරාගන්න හරි විදිහ

මේ උත්සව සමයේ ප්‍රියසාද සම්භාෂණවලින් අඩුවක් නැත. ඒ නිසාම වෙනදාට වඩා වැඩි වශයෙන් එළවළු, පලතුරු පාරිභෝජනය කිරීමට සිදුවේ. නමුත් බොහෝදෙනකු ඒ සඳහා එළවළු පලතුරු මිල දී ගන්නේ වෙළෙඳපොළෙනි. වෙළෙඳපොළේ අලෙවි කරන එළවළු සහ පලතුරු සඳහා බොහෝවිට පළිබෝධ නාශක භාවිත කර තිබිය හැකි අතර ඒවා ආහාරයට එක්කර ගැනීම සෞඛ්‍යයට හිතකර වන්නේ නැත. එම නිසා පළිබෝධනාශක පරිහරණය කරන්නන් ජාතික වගකීමකින් යුතුව ආරක්ෂාකාරී ලෙස පළිබෝධනාශක භාවිත කළ යුතුවා මෙන්ම අස්වැන්න නෙළීමට ඉතා ආසන්නම කාලය තුළ පළිබෝධනාශක භාවිත කිරීමෙන් ඒවා පාරිභෝජනය කරන්නන්ට සෞඛ්‍යමය ගැටලු රැසක් ඇතිවිය හැකි බව අමතක නොකළ යුතුය. එමෙන්ම පාරිභෝගිකයන් තුළද ඒ පිළිබඳ නිසි දැනුවත් වීමක් තිබීම අත්‍යවශ්‍ය වේ.

කෙටි කාලයක දී අස්වනු නෙළන බණ්ඩක්කා, බෝංචි, තක්කාලි වැනි එළවළු වර්ගවල සහ ගොටුකොළ, මුකුණුවැන්න වැනි පළා වර්ගවල කෘමි සහ දිලීර රෝග පාලනය කිරීම සඳහා දිගු කලක් විෂ ඉතිරිව පවතින පළිබෝධනාශක භාවිත කිරීම අවශ්‍ය නොවේ. එයට හේතුව ඉහත කී බෝග අතරින් සමහර වර්ග කිසිදු පිසීමකින් තොරව ආහාරයට ගන්නා අවස්ථා තිබෙන නිසාය. එහෙත් වෙළෙඳපොළෙන් මිල දී ගන්නා එළවළු, පළා වර්ග සහ පලතුරුවලට ආරක්ෂාකාරී ලෙස පළිබෝධනාශක යොදා ඇති බවට නිශ්චිත වශයෙන් දැනගත නොහැකි නිසා ගෘහණියක ලෙස ආහාර පිළියෙල කිරීමේ දී සහ පිසීමේ දී ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.

බෝගයකට යම් පළිබෝධනාශකයක් යෙදූ පසු ආලෝකය, ජලය, බෝගය තුළ ඇති රසායනික ද්‍රව්‍ය සහ වෙනත් සාධක නිසා යෙදූ පළිබෝධනාශක ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩුවීමක් සිදුවේ. බෝගය සහ පරිසරයේ ස්වාභාවික සංසිද්ධීන් මඟින් අක්‍රිය කරන තුරු එසේ යෙදූ පළිබෝධනාශක වර්ග බෝග කොටස් තුළ යම් කාලයක් රඳා පවතී. එම නිසා ආහාර වර්ග පාරිභෝජනයට ගැනීමට පෙර සේදීම හා පොතු හැරීම ආදිය තුළින් පළිබෝධනාශක සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත් කරගත හැකිය. එම නිසා වෙළෙඳපොළෙන් මිල දී ගෙනා එළවළු සහ පලතුරු ආහාරයට ගැනීමට හෝ සැකසීමට පෙර හොඳින් අතුල්ලමින් ගලා යන ජලයෙන් සේදිය යුතුය. ගලා යන ජලය භාවිත කිරීම නිසා ආහාර මත ඇති රසායනික හෝ දූවිලි අංශු හොඳින් ඉවත් වන අතර ආහාර පෙඟීමක් සිදුනොවන නිසා යම් යම් රසායනික ද්‍රව්‍ය ආහාර තුළට ගමන් කිරීම වළක්වා ගත හැක.

කුඩා දරුවන් වැඩිපුර ආහාරයට ගන්නා පලතුරු වන ඇපල්, දොඩම්, අඹ වැනි ඒවායේ බාහිර පොත්ත කපා හෝ සූරා ඉවත් කරන්න. ගෝවා වැනි කොළ වර්ගවල බාහිරින් ඇති කොළ ඉවත් කරන්න. එමඟින් ආහාර මත ඇති දුවිලි අංශු පළිබෝධනාශක කොටස් මෙන්ම ආහාර ආරක්ෂා කිරීම සඳහා භාවිත කරන ඉටි ආවරණද ඉවත් කළ හැකිය. එහෙත් ඒ තුළින් ආහාරයේ සමහර පෝෂ්‍ය පදාර්ථ (විටමින් ඒ හා සී සහ කෙඳි වර්ග) ඉවත් විය හැකි බව ද මතක තබාගන්න.

මේදය අධික ආහාරවල පළිබෝධනාශක තැන්පත් වීමට වැඩි ඉඩක් ඇති බැවින් ආහාර සැකසීමේ දී මස් වර්ගවල තෙල් කොටස් මෙන්ම කුකුළු මස් සහ මාළුවල සම ඉවත් කිරීම කළ හැකිය.

ආහාර වර්ග පිසීමෙන් හෝ පිලිස්සීමෙන්ද එම ආහාර තුළට අවශෝෂණය වී ඇති පළිබෝධනාශක ප්‍රමාණය අඩුකර ගත හැකිය. එහෙත් වැඩි වේලාවක් පිසීමෙන් ආහාරයේ ඇති පෝෂ්‍ය පදාර්ථ විනාශ විය හැකිය.

කාලයක් සමඟ පරිසරයේ බලපෑම් මඟින් ආහාරවල අඩංගු වී ඇති පළිබෝධනාශක විනාශයට පත්විය හැකි බැවින් හැකි සෑම අවස්ථාවකදීම එළවළු හා පලතුරු වර්ග කල්තබා ආහාරයට ගන්න. එහෙත් ශීතකරණයක් තුළ තැන්පත් කිරීම ඒ සඳහා එතරම්ම සුදුසු පියවරක් නොවේ. මෙහි දී පරිසරයේ පවතින උෂ්ණත්වයේ බලපෑමට අනුව හිරු එළියේ පාරජම්බුල කිරණ මඟින් විෂ ඉවත් කිරීමේ ක්‍රියාවලියට වන දායකත්වය නොලැබී යන අතර එළවළු සහ පලතුරුවල ස්වභාවික කාර්මීය ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයේ දී අඩපණ කර දමන බැවින් එමඟින් සිදුකරන පළිබෝධනාශක විනාශ කිරීමේ ක්‍රියාවලියද නැවතේ. මේ නිසා ශීතකරණ තත්ත්ව යටතේ දී ආහාරවල විෂ දීර්ඝ කාලයක් පැවැතිය හැකිය.

කෙසේ වෙතත් පාරිභෝගිකයකුට වෙළෙඳපො‍ෙළ්දී එළවළුවක හෝ පලතුරක පළිබෝධනාශක අඩංගුවී ඇති බවට ස්ථිරවම නිගමනයකට එළැඹිය නොහැකිය. ඒ සඳහා රසායනික විශ්ලේෂණයක් සිදුකළ යුතුය. එහෙත් අධි තාක්ෂණ, විශ්ලේෂණ උපකරණ, රසායනික ද්‍රව්‍ය හා පුහුණු පිරිස් මේ සඳහා අවශ්‍ය වන බැවින් අපට එම විශ්ලේෂණ සිදුකර ගැනීමේ බාධාවන් තිබේ.

එම නිසා ඉහත කරුණු සැලකිල්ලට ගැනීමේ දී ගෙවතු මට්ටමින් තමන්ගේ නිවසේ පාරිභෝජනයට අවශ්‍ය එළවළු, පලතුරු සහ පලා වර්ග වගා කර ගැනීම ඉතා සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමය වේ. එමෙන්ම වෙළෙඳපළෙන් එළවළු, පලතුරු මිල දී ගැනීමේ දී සුළු වශයෙන් කෘමි හානියට පත් එළවළු සහ පලතුරු වර්ග මිල දී ගැනීම වඩාත් සුදුසු වේ. එවැනි නිෂ්පාදනයක පළිබෝධනාශක නොමැති හෝ ඉතා සුළු වශයෙන් ඇති (අස්වනු නෙළීමට ආසන්න කාලයේ පළිබෝධනාශක යොදා නොමැති) බවට තහවුරු වීමක් වේ. වෙළෙඳපොළෙන් එළවළු සහ පලතුරු මිල දී ගැනීමේ දී ඒවායේ දීප්තිමත් ආකර්ෂණීය පෙනුම ගැන පමණක් සිතීම නුවණට හුරු නැති බවත් මතක තබාගත යුතු කරුණකි.

(කොළඹ ජාතික රෝහලේ විෂ තොරතුරු මධ්‍යස්ථානය නිකුත් කළ මාර්ගෝපදේශන සංග්‍රහයක් ඇසුරිනි)

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා