සිංහරාජයෙන් දුරස් කරන්නට දැරූ තැත වරදියි

 ඡායාරූපය:

සිංහරාජයෙන් දුරස් කරන්නට දැරූ තැත වරදියි

මාටින් විජේසිංහයන් තමන්ට විවේක සුවයෙන් වනය සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීමට තැනූ කටුමැටි ගැසූ ගේ කාමරය Martini's Lodge ලෙස වැඩි දියුණු වූ අයුරු අපි පසුගිය සතියේ ඔබට කීවෙමු.

වර්ෂ 1994 වන විට තම ජීවන මඟේ පනස්පස් වැනි විය පසු කළ මාටින් අයියා තම විශ්‍රාම ගැනීම තවත් වසර තුනකින් පමා කර ගත්තේය. ඒ තමන් අතින් ඉටුවිය යුතු තවත් යුතුකම් කොටසක් ඇතැයි යන හැඟීමෙන් විය යුතු යැයි මට සිතේ. එහෙත් ඒ වනවිට ඔහුගේ සිංහරාජයේ රාජකාරි කාලය වසර 26ක් ඉක්මවා තිබිණි. පනස්පස් වැනි විය සපිරුණු පසු මාටින් අයියා තවත් විශේෂ වූ කටයුත්තක් වෙනුවෙන් තම දායකත්වය ලබාදෙන්නට සමත් විය. ඒ මැග්ඩන් ජයසූරිය හා

පී.ඩී. කරුණාරත්නයන් සමඟ තෙත් කලාපීය වනාන්තර පිළිබඳව තොරතුරු සෙවීමයි.

ජීවිතයේ බොහෝ කාලයක් සිංහරාජ වනපෙතේ තොරතුරු එක්රැස් කළ මාටින් අයියාට මෙය ලැබුණු විශේෂ අවස්ථාවක් විය. එහිදී තමන් ලැබූ අත්දැකීම් ගැන මාටින් අයියා මෙසේ පැවසීය.

“මැග්ලන් ජයසූරිය මහත්තයයි, කරුණාරත්න මහත්තයයි සිංහරාජේ කරපු පර්යේෂණවලට මම උදවු වුණා. ඒත් මේක අලුත් අත්දැකීමක්. මොකද සිංහරාජය කියන්නේ මගේ ගෙදර වගේ. නමුත් අප ගිය සමහර වනාන්තරවලට මම කලින් ගිහින් තිබුණේ නැහැ. ඒවායේ පිහිටීම ගැන ඒ තරම් ලොකු දැනුමක් තිබුණෙත් නැහැ.

“කොහොම වුණත් අපි කන්නෙළිය, දෙදියගල, නාකියාදෙණිය, රූනකන්ද, ඇල්පිටිය බෙරලිය කැලේ, මතුගම රන්වලාගල, පැණියාවල මූකලාන, කළුගල කැලේ, මාතර බදුලු කැලේ වගේ පහතරට තෙත් කලාපයේ වනාන්තරවල පර්යේෂණ කළා.

මැග්ඩලන් ජයසූරිය මහත්තයා ශාක ගැන මහ දැනුමක් තිබුණු කෙනෙක්. පී.ඩී. කරුණාරත්න මහත්තයා ජාතික කෞතුකාගාරයේ වැඩ කරපු කෙනෙක්. ඒවගේම එයා සතුන් පිළිබඳ විවිධ පර්යේෂණවල නිරත වුණු කෙනෙක්.”

තමන්ට මහගෙදර වගේ වුණු සිංහරාජ වනපෙතින් පිට ගෙවූ මෙම කාලයේ අමතක නොවන සිදුවීම් ඇත්දැයි මම මාටින් අයියාගෙන් විමසුවෙමි. එවිට මඳ සිනහවකින් මුව සරසා ගත් මාටින් අයියා මෙසේ පැවසීය.

“කැලේ මාරු වුණා කියලා කොටියගෙ පුල්ලි මාරු වෙන්නේ නෑනේ. මට කොයි කැලෙත් එකයි. මේවා ඔක්කොම තෙත් කලාපේ වනාන්තර නිසා වැඩි වෙනසක් නැහැ. අපි ගිය බොහොමයක් කැලෑ අතීතයේදී සිංහරාජයත් එක්ක සම්බන්ධ වෙලා තිබිලා පස්සේ වෙන් වෙච්ච ඒවා. මේවායේ කරපු පර්යේෂණවලදී කටුසු වර්ග හා මොලුස්කාවන් (ගොළුබෙලි) විශේෂ ගැන කරුණාරත්න මහත්තයා ගොඩක් තොරතුරු හොයා ගත්තා. මාතර බදුලු කැලේදි අපට අලුත් ශාක විශේෂයක් හොයාගන්න ලැබුණා. ඒක කළුවර ගහට බොහොම සමීපයි. අලවත්තාගොඩ ප්‍රේමදාස මහත්තයාට කරන ගෞරවයක් විදියට ඒක dios phyros pemadasii කියලා නම් කළා. එතකොටත් අලවත්තාගොඩ මහත්තයා ජීවතුන් අතර නැහැ.”

වයස අවුරුදු පනස් පහ ඉක්මවුවද ඔහු තරුණයකු සේ වැඩ කරන්නට සමත් වී ඇත. තමන්ගෙන් රටට අනාගත පරපුරට විය යුතු යුතුකම් කොටස ඉටු කිරීමට ඔහු නොපිරිහෙලා කැප විණි. එසේ නොවන්නට තමන්ගේ රාජකාරි පරිසරයෙන් බැහැරව කිසිදු සැප පහසුකමක් නොමැතිව, අතින් කූඩැල්ලන් ගලවමින් තෙත් කලාපීය වනපෙත් රැසක සැරිසරන්නට ඔහුට අවශ්‍යතාවක් නොතිබිණි. “උපන්දා පටන් මියෙන තුරා අප පරිසරයෙන් පාඩම් ඉගෙන ගනියි” යන කියමන සැබෑ කරමින් මාටින් අයියා නිරන්තරයෙන් නව අත්දැකීම් සමඟින් තම දැනුම දියුණු කරගැනීම වෙනුවෙන් කැපවිණි.

කෙතරම් කැමැත්තකින් සිංහරාජයේ සේවය කළද 1997 වසර හමාර වනවිට මාටින් අයියාගේ සිත වෙනස් විය. එහි ප්‍රතිඵලය ලෙස වයස අවුරුදු 58 එළැඹෙත්ම ඔහු සිංහරාජයේ රාජකාරියට ආයුබෝවන් කීවේය.

“ඇයි තව අවුරුදු දෙකක් වැඩ කරන්න තියෙද්දී විශ්‍රාම ගියේ? කලින් අපරාදේ නේද?" මා ඇසූ විට ටිකක් නිහඬව සිටි මාටින් අයියා මෙසේ පැවසීය.

“මට ඒ වෙනකොට හැම පැත්තෙන්ම මේ රාජකාරිය කළා ඇති කියලා හිතුණා. දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ඒකට හරියන විදියට තමයි වැඩ කෙරුණේ. ඉතින් තවත් එතන ඉන්න ඕනේ නෑ කියලා මම තීරණය කළා.”

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිංහරාජයේ මල් පූදින කිතුල් ගස් ගණනය කිරීමෙන් රාජකාරිය ඇරඹූ මාටින් විජේසිංහයන් සිංහරාජ වනපෙතේ ගහකොළට ළංවෙමින් ගෙවූ විසිනව වසරක රාජකාරි ජීවිතය හමාර කරද්දී ‘සිංහරාජයේ මුරකරු’ යන තනතුරු නාමයේ කිසිදු වෙනසක් සිදුව නොතිබිණි.

සිංහරාජ බිමෙහි වැඩෙන නිදිකුම්බා ගසේ සිට මීටර් පනහක් හැටක් උස බෙරලිය, තිනියදුන් වැනි වනස්පතීන් ගැනත් සමනල පිලවාගේ සිට මහ හස්තීන් දක්වා සමස්ත සත්ත්ව ප්‍රජාව ගැනත් ඇතැඹුලක් සේ දැන සිටි මාටින් විජේසිංහයන්ට සුදුසු තනතුරක් ලබාදෙන්නට බලධාරීන්ගේ අවධානය යොමු නොවීම ගැන පාඨක ඔබ පුදුමයට පත් විය හැකිය. නමුත් මාටින් අයියා කියූ මේ කතාවෙන් එය එතරම් දෙයක් නොවේ යැයි මට සිතිණි.

“මාටින් අයියාගේ පැන්ෂන් පාටිය ගත්තේ කොහොමද?” යැයි මම විමසූ විට,

“එහෙම විශේෂයක් නෑ. මම පැන්ෂන් ගත්තා. ගෙදර නැවතුනා. එච්චරයි.” මාටින් අයියා පැවසීය.

අඩුම තරමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැත්තෙන් සමරුවක් ලබා දෙන්නට තරම්වත් එදා සිටි බලධාරීන්ට මාටින් අයියා ගැන වටිනාකමක් නොතිබිණි.

විශ්‍රාම දිවියට එළැඹියද මාටින් අයියා තමන් සතු දැනුම බෙදා දීම බිඳකින් හෝ අඩු නොකරන්නට තීරණය කළේය. ඒ අනුව ඔහු සිංහරාජයේ මඟපෙන්වන්නකු ලෙසින් කටයුතු කිරීමට අවසර ඉල්ලුවේය. එවිට එවකට සිටි බලධාරීන් පවසා සිටියේ සිංහරාජ පර්යේෂණ මධ්‍යස්ථානයේ සිට සංචාරකයන් දැනුවත් කරන්නට කටයුතු සලස්වන බවයි. නමුත් එයද වචනයට පමණක් සීමා විය. ඉන් නොසැලුණු මාටින් අයියා තවත් ඉල්ලීමක් ඉදිරිපත් කළේය. ඒ සිංහරාජය තුළට බාහිරින් එකතු වන පොලිතීන් වැනි කසළ ඉවත් කිරීමටය. එම ඉල්ලීමට ලිඛිතව ලැබුණු පිළිතුර වූයේ නිලධාරියෙක් සමඟ සිංහරාජයට ගොස් එම කටයුතු කරන ලෙසයි.

වන සංරක්ෂණ බලධාරීන්ගේ අරමුණ වී ඇත්තේ මාටින් අයියා හා සිංහරාජය අතර තිබූ සමීප සබඳතාව දුරස් කිරීමය. මාටින් විජේසිංහයන්ගේ නම සිංහරාජයෙන් ඉවත් කිරීමය. නමුත් එම කටයුත්ත ඒ තරම් පහසු නොවිණි. තමන් මෙසේ කටයුතු කරන්නේ ඉංග්‍රීසි ඉගෙන ගන්නට පළාත් කීපයක ගෙවල් ගානේ බැල මෙහෙවර කළ අධිෂ්ඨානශීලී මිනිසකුට බව ඔවුහු නොදැන සිටියහ. මාටින් අයියාගේ අදහසක් අනුව ඇරඹූ සිංහරාජයේ මඟපෙන්වන්නන්ගේ සේවයේ දොර මාටින් අයියාට වැසූවද ඔහු තුළ තිබූ දැනුම මකා දමන්නට කිසිවෙක් සමත් නොවිණි.

“මේ කාරණා දෙකම හරි ගියේ නැති වුණාම මාටින් අයියා මොකද කළේ?”

දිගු නිහැඬියාවක සිට මම ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් මාටින් අයියා,

“මට කළුතර, කොළඹ ඩී.එස්, විශාකා වගේ ඉස්කෝලවලින් ආරාධනා ආවා, පරිසරය හා සිංහරාජය ගැන පාසල් ළමයි දැනුම්වත් කරන්න දේශන කරන්න කියලා. මම ඒවා කරගෙන ගියා. සරත් කොටගම සර් තමයි මාව මේ සඳහා යෝජනා කරලා තිබුණේ” යැයි ඔහු පැවසීය.

මාටින් අයියාට වඩා අධ්‍යාපනය ලැබූ, පදවි තානාන්තර දැරූ, ඉහළ වැටුප් ලැබූ කොපමණ පිරිසක් සිංහරාජයේ රාජකාරි කරන්නට ඇත්ද? නමුත් ඔවුන් හා මාටින් අයියා අතර ඇත්තේ අහසට පොළොව හා තරම් වෙනසකි. ඒ වෙනසට හේතුව ඒ කිසිවකුටත් ඉටුකළ නොහැකි වූ කාර්යයක් මාටින් අයියා විසින් ඉටුකර තිබීමයි. ඒ සිංහරාජයට පිවිසෙන වැද්දාගල සිට කුඩව දක්වා මාර්ගය දෙපස රෝපනය සඳහා හොර හා නැදුන් පැළ 1600ක් ඔහු විසින් ස්වේච්ඡාවෙන් බඳුන්ගත කර ලබාදී ඇත. ඒ ගැන අප මාටින් අයියාගෙන් විමසීමේදී ඔහු මෙසේ තම මතකය අවදි කළේය.

“මගේ රාජකාරියට පිටින් හොර හා නැඳුන් පැළ 1600ක් පැකට් කළා. මගේ පවුලේ දූ දරුවන් සමඟ ඒ පැළ පාර දෙපස සිටුවන්නයි මම බලාපොරොත්තු වුණේ. ඒත් එවකට නියෝජ්‍ය වනසංරක්ෂකව සිටි පුෂ්පරාජ මහත්තයා ඒ පැළ ටික ඉල්ලුවා දෙපාර්තුමේන්තුවේ සිටුවන්න. මම පැළ කරපු ඒ පැළ තමයි අදත් වැද්දාගල ඉඳලා කුඩව දක්වා වියනක් වගේ පාර දෙපැත්තේ තියෙන්නේ.”

මාටින් අයියාට සිංහරාජයටත් පොදුවේ මේ ධරණී තලයටත් සිදුකර ඇති මෙහෙවර අගයමින් ජනාධිපති සම්මාන ලැබුණා සේම විවිධ සංවිධාන මගින් සම්මාන පුදා බුහුමනට පාත්‍ර වී ඇත. ඒ අතර මධ්‍යම පරිසර අධිකාරියෙන් පිරිනමන ලද "මිහිදරු සම්මාන 2004", කළුතර දිස්ත්‍රික් සොබාදහම් සිසු හවුල් අනුශාසකවරුන්ගේ සංගමයෙන් පිරිනැමන ලද සම්මානය, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය මගින් පිරිනමන ලද මිහිදරු ප්‍රසාදනී සම්මානය, ඇතුළු සමරු ඵලක රාශියක් මාටින් අයියාගේ ‘දිසිතුරු’ නිවසේ තැන්පත් කර ඇත. එය මාටින් විජේසිංහයන් සිදු කළ මෙහෙවර ගැන ලෝකයාට නිහඬව කියාපාන සාක්ෂි වේ.

“මිහිදරු ප්‍රසාදනී” සම්මානය සඳහා හේතු පාඨයේ මෙසේ සඳහන් වේ.

තුන්කල් දක්නා නුවණින් යුතු

පරාර්ථකාමී පරමාදර්ශයෙන් යුතු

අතිමහත් කැපවීමකින් කරන ලද්දාවූ

සදානුස්මරණීය යුග මෙහෙවර අගයනුවස්

තිරසර දිවිහුරුවක අනාගත අරුණලු දකින

ශ්‍රී ලාංකේය දූදරුවන් විසින් අතිමහත් ගෞරවයෙන් යුක්තව සිංහරාජයේ මාටින් විජේසිංහ මහතාණන් වෙත

මිහිදරු ප්‍රසාදනී සම්මානය... පුදන ලද වගයි.

සිංහරාජයේ වෙනස් වීම් ගැන මාටින් විජේසිංහයන් සමඟ කළ කතාබහ ලබන සතියෙන් බලාපොරොත්තු වන්න....

සටහන [පබුදු සපුතන්ත්‍රී]

ඡායා [චේනක වික්‍රමාරච්චි]

මාතෘකා