5 වසර ශිෂ්‍යත්වය දරුවන්ට වදයක්ද?

 ඡායාරූපය:

5 වසර ශිෂ්‍යත්වය දරුවන්ට වදයක්ද?

අප රටේ පවත්වන සියලු විභාග අභිභවමින් වැඩි වශයෙන් කතාබහට ලක්වන්නේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයයි. අනෙක් විභාගවලට වඩා මවුපියන් තුළද විශේෂ උනන්දුවක් මේ සඳහා පවතී. මෙම තත්ත්වය පිළිබඳ ඇසෙන කතාබහ එතරම් සතුටුදායක තත්ත්වයක් නම් නැත. වසරකට ලක්ෂ 03ක් පමණ විභාගයට පෙනී සිටින අතර සමත් වන පිරිස අඩකටත් වඩා අඩුය. මෙයිනුත් ශිෂ්‍යාධාර ලබන පිරිස මෙන්ම ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට සුදුසුකම් ලබන පිරිසද සීමාසහිත වී ඇත. විභාගයට සම්පූර්ණ ලකුණු 200ක් හිමිවන අතර 200ම හෝ 190ට වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට තම දරුවා යොමු කිරීම බොහෝ මවුවරුන්ගේ සිරිතක්ව ඇත. එහෙත් එම අවස්ථාව ලැබෙනුයේ ඉතා සීමිත පිරිසකටය.

ශිෂ්‍යත්වයට පෙනී සිටින තෙක් දරුවාගේ ඕනෑඑපාකම් පිළිබඳව විශේෂයෙන් උනන්දු වන මවුවරු විභාගය අවසන් වූ පසු යම් තරමකට එම උනන්දුව පවතින්නේ විභාග ප්‍රතිඵල නිකුත් කරන තෙක් පමණක්ය. විභාගය සමත්ව ඇත්නම් ලකුණු ප්‍රමාණය ගැන මැසිවිලි නඟන අතර පාසලේ අනිත් අයත් සමඟ සසඳා අදහස් පළකරයි. අසමත් වුවහොත් එතෙක් වියපැහැදම් කළ මුදල්, මිඩංගු කළ කාලය, තබාගත් බලාපොරොත්තු යන මේ සියල්ල විනාශ වූ බව සඳහන් කරමින් නොයකුත් විදියේ දෝෂාරෝපණවලට දරුවා ලක්කරයි. ඉහළ ලකුණු ලබා සමත් වන දරුවන් නිවසේදීත් පාසලේදීත් සමාජයේදීත් පැසසුමට ලක්වන අතර ඒ අය පිළිබඳ විවිධ තොරතුරු මාධ්‍ය මඟින්ද ප්‍රචාරය කිරීමට කටයුතු සලස්වයි. ශිෂ්‍යත්වයෙන් අසමත් වන දරුවන් විශාල මානසික පසුබෑමකට ලක්වෙමින් තම ඉදිරි ඉලක්ක පිළිබඳව දෙගිඩියාවෙන් පසුවෙයි. බුද්ධිමත් මවුපියන් සහ ගුරුවරුන් දරුවන් මෙම තත්ත්වයෙන් මුදාගෙන ඉදිරියට ගෙන යාම සිදු කළත් බොහෝ තැන්වලදී අසමත් වන දරුවා අමතක කර හැකි අය ඉදිරියට ගෙන යෑම ඇතැම් අවස්ථාවල දක්නට ලැබේ. ශිෂ්‍යත්වයෙන් සමත්ව උසස් අධ්‍යාපන කටයුතුවලට යොමු වන දරුවන්ට මවුපියපියන් තුළ තිබූ මඟපෙන්වීම හා උනන්දුව ගිලිහී යයි. ඉන්පසු ඉදිරි අධ්‍යාපන කටයුතු සහ ඉදිරියට මුහුණ දෙන විභාගවල තත්ත්වයන් සහ ප්‍රතිඵල කෙරෙහි යම් සමීක්‍ෂණයක් පවත්වන්නේ නම් ශිෂ්‍යත්ව විභාගය ඉදිරි අධ්‍යාපනය සඳහා එකම කඩඉම නොවන බව පෙනී යනු ඇත.

නිදහස් ආර්ථිකය තුළ ඕනෑම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ හැකියාව ඇත. ඒ අනුව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ තරගකාරී වටපිටාව සමඟ ශිෂ්‍යත්වයට පෙනී සිටින කාලය තුළ විවිධ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වේ. පාසලේ ඉගැන්වීම්වලට අමතරව පෞද්ගලික උපකාරක පන්තිවලටද දරුවා රැගෙන යෑම මවුපියන්ගේ අනිවාර්ය කාර්යයකි. අද සියලුම මවුපියන්ට දරුවා පෞද්ගලික උපකාරක පන්තිවලට යැවීමේ හැකියාවක් නැත. දරුවන් තිදෙනෙක් අධ්‍යාපනය ලබන්නේ නම් නිල ඇඳුම්, පොත්පත් රජයෙන් ලැබුණත් ඔවුන්ට අවශ්‍ය වන අනිකුත් උපකරණ, පාවහන්, අතිරේක ඇඳුම් පැලඳුම් විවිධ උත්සව අවස්ථා වෙනුවෙන් වැය කළ යුතු මුදල් උපයා ගැනීමට සොච්චම් මුදලකට දවස පුරා කුලී වැඩ කරන මවුපියන්ට හැකියාවක් නොමැත. එසේ නොවුණු තැන මවුපියන් මෙන්ම දරුවන්ද දැඩි මානසික පසුබෑමකට ලක් වේ. හරිහැටි කෑමක් නැතිව දුක් විඳින මවුපියෝ විශාල පිරිසක් මේ ශිෂ්‍යත්ව රැල්ලේ අතරමං වෙති. ශිෂ්‍යත්වය වෙනුවෙන් වෙළෙඳපොළට එවන විවිධ පොත්පත්, ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල දරුවාට මෙන්ම මවුපියන්ටද මහත් වදයක් වී ඇත. පහ වසර යනු දරුවාගේ ළමා කාලයයි. මෙම අවධියේ දරුවාගේ මානසික වර්ධනය දරාගැනීමේ හැකියාව බාහිර ක්‍රියාකාරකම් පරිසර අත්දැකීම් පිළිබඳ කිසිම අධ්‍යයනයකින් තොරව දවසේ පැය 10ක් 12ක් එකදිගට පොතපතට හිරකර ඇත. ඇතැම් විට උදෑසන 5.00ට උපකාරක පන්ති ආරම්භ වේ. ඇතැම් පන්ති අවසන් වන්නේ රාත්‍රී 10.00 ආසන්න වන විටය. මෙවන් තත්ත්වයක් තුළ ළමා මනස කෙසේ හැඩ ගැසේද යන්න සමීක්‍ෂණයට ලක් කළ යුතු කරුණකි. ශිෂ්‍යත්ව ලකුණු ප්‍රමාණය ගැන සාකච්ඡා වුවත් ළමයා ලක්වන මානසික ආතතිය හා පීඩාකාරී තත්ත්වය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදුකර නැත.

ජීවිතයේ එකම අරමුණ විය යුත්තේ ශිෂ්‍යත්වය සමත් වීම නොව යහපත් අධ්‍යාපනයක් ලබා තම හැකියාව අනුව ගැළපෙන ක්‍ෂේත්‍රය ඔස්සේ ඉදිරියට ගොස් රටට වැඩදායක පුරවැසියන් වීමයි. ඒත් අද මේ තත්ත්වය රජය මගින් දරුවාට අහිමි කර ඇත. මීට වසර 50කට පමණ එපිටද ශිෂ්‍යත්ව විභාගය පැවතුණත් මෙතරම් තරගකාරී තත්ත්වයක් හෝ මානසික පීඩාවක් දරුවන්ට හෝ මවුපියන්ට නොතිබිණි. පාසලේදී උගන්වන විෂය කරුණු ඔස්සේ පෙනී සිටින විභාගයෙන් වැඩි ලකුණු ලැබූ අය මධ්‍ය මහා විද්‍යාලවලට තේරුණු අතර අනිත් දරුවෝ කිසිදු කම්පාවකින් තොරව එම පාසලේම අධ්‍යාපනය ලැබූහ.

කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන යුගයේ මෙරට උසස් අධ්‍යාපනය විවිධ හේතූන් මත එක්තරා පන්තියකට පමණක් සීමා වී තිබිණි. මුදල්හදල් වැඩිපුර ඇති ප්‍රභූ පවුල්වල දරුවන් නගරයේ උසස් විද්‍යාලවලට යවා ඉංග්‍රීසි අධ්‍යාපනයද ඔවුන්ට ලබාදිය හැකි විය. ග්‍රාමීය ප්‍රදේශවල වැඩි දෙනකුට මෙම තත්ත්වය අහිමි වූ අතර එයට විසඳුමක් ලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවල මධ්‍ය මහා විද්‍යාල 50ක් ඇති කළහ. ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලැබූ අය මේ සඳහා තෝරා ගැනීම නිසා ගමේ දිළිඳු මවුපියන්ගේ දරුවන්ටද දක්ෂතාව අනුව මධ්‍ය මහා විද්‍යාලවලට ඇතුළුවීමේ අවස්ථාව උදාවිණි. නිදහස් අධ්‍යාපනය ලෙස හැඳින්වුවත් මුදල් වියදම් කර පෞද්ගලික පන්තිවලට යෑම සෑම විභාගයකම අත්‍යවශ්‍ය කරුණකි. පෙර පාසලේ සිට උසස් පෙළ දක්වාම මෙම තත්ත්වයන් ඒකාකාරී ලෙස ක්‍රියාත්මක වේ. පාසල්වලට දක්ෂ ගුරුවරු භෞතික පහසුකම් කෙතරම් ලබාදී තිබුණද මෙම තත්ත්වය වෙනස් වී නොමැත.

ඇති හැකි සියලුදෙනාටම පෞද්ගලික උපකාරක පන්තිවලට යෑමට සිදුවීමෙන් ආර්ථික අපහසුකම් ඇති මවුපියන්ට මෙය දැවැන්ත දුෂ්කර කාර්යයකි. විශේෂයෙන් අ.පො.ස සා.පෙළ සහ උ.පෙළ විභාගවලදී පන්ති ආරම්භ කළ මුල් මාස කිහිපය හැරුණු විට විභාගය පවත්වන තෙක් සිසුන් බහුතරයක් පෞද්ගලික උපකාරක පන්තිවලට පමණක් සහභාගී වීම අද මෝස්තරයක් බවට පත් වී ඇත. ඇතැම් අවස්ථාවල උපකාරක පන්තිවලට නොපැමිණෙන දරුවන්ට පාසලේදී විවිධ බලපෑම්වලට ලක්වීමට සිදුවන අවස්ථාද සමාජ සමීක්‍ෂණවලින් හෙළි වී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ඇති නැති පරතරයත් පන්ති භේදයත් දැඩි ලෙස වර්ධනය වී ඇත. ආර්ථික හැකියාවන් ඇති අය තම දරුවා වෙනුවෙන් ගුරුවරු නිවසට කැඳවාගෙන අධ්‍යාපනය මුදලට ලබාගනිති.

මේ තත්ත්වය තුළ නිදහස් අධ්‍යාපන සංකල්පය කෙතෙක් දුරට සුරක්ෂිත වී ඇත්දැයි සාකච්ඡා විය යුතු කරුණකි. අධ්‍යාපනයෙහි ඇති තරගකාරී තත්ත්වය මෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතනද රට තුළ පැවතිය යුතුය. එහෙත් ඒ තුළින් පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරගැනීම හෝ රජයේ විශාල මුදලක් වැය කරන ගුරු භවතුන් භෞතික සම්පත්වලට සිදු කරන වියදම් නොසලකා හැරීමකි. එමෙන්ම පෞද්ගලික අධ්‍යාපන ආයතන රජයේ නිසි අධීක්‍ෂණයක් ඇතිව පාසල් අධ්‍යාපනයට හානියක් නොවන සේ ක්‍රියාත්මක කිරීමට රජයේ වැඩපිළිවෙළක් තිබිය යුතුය.

පෙර පාසලේ සිටම දරුවන් ශිෂ්‍යත්වය ඉලක්ක කරගෙන මෙහෙයවීම මවුපියන්ගේ අරමුණ වී ඇත. අවුරුදු 03 සිටම අද දරුවාට ටියුෂන්ය. මවුපිය සෙනෙහස ලැබෙන්නේ කලාතුරකිනි. නිවසේදී දරුවාට තහංචි පැනවීම, නියෝග දීම හැර නිදහසේ කටයුතු කරන්නට ඉඩ ප්‍රස්ථා නැත. පරිසර ක්‍රියාකාරකම්, ක්‍රීඩා කිරීම් විනෝද ගමන්, නෑ හිතවතුන් හමුවීම්, අන්‍යයන්ගේ උත්සවවලට සහභාගී වීම් සඳහා දරුවාට අවස්ථාවක් නැත. ශිෂ්‍යත්වය පසුවන තෙක්ම දරුවා මවුපියන්ගේ සිරකරුවකු ලෙස නිවාස අඩස්සියේ තබා ගනී. මෙම තත්ත්වය සමස්ත ළමා පරපුරටම උරුම වී ඇත. සමාජ ආශ්‍රයක්, පරිසරය සමඟ ජීවත්වීමක් නොමැති දරුවා නිර්මාණාත්මක දරුවකු ලෙස වර්ධනය නොවේ. නිතර පීඩනයෙන් පසුවන දරුවා තම මවුපියන්ට අකීකරු වන අතර බාහිර සමාජයට වෛර කරන, තනිව හැසිරෙන තත්ත්වයට පත් වේ. බාහිර සමාජ වටාපිටාවටද නිරන්තරයෙන් වෛරී ස්වභාවයක් පෙන්වයි.

සමාජයට වෛර කරන එවන් පිරිස් විශ්වවිද්‍යාලවලදී පවා හඳුනා ගැනීමට හැකි වී ඇත. එයින් පසු අප ඉහළ ක්‍ෂේත්‍ර ලෙස සලකන වෛද්‍ය, ඉංජිනේරු, පරිපාලන, ගුරු ක්‍ෂේත්‍රයේ පවා තම වෘත්තියෙන් අනෙකා පීඩාවට පත් කිරීම, තමන් සමඟ එකට කටයුතු කරන පිරිස අතර පවා අසමගිකම් වර්ධනය කරවීම වැනි අවස්ථා පුවත්පත්වල වාර්තා වී ඇත. විශේෂයෙන් අද සමාජයේ ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය වැනි විවිධ සමාජ අපචාරවලට දරුවා යොමු වන්නට මෙම සමාජ වටපිටාව තෝතැන්නක් වී ඇති බව පෙනී යයි. මේ අතර සමාජයට, පරිසරයට ආදරය කරන පුරවැසියන්ද බිහි නොවනවා නොවේ. ළමා වියේ සිටම දරුවා පීඩනයට පත් කර අසතුටට පත් කරන 5 වසර ශිෂ්‍යත්ව ක්‍රමවේදය අවසන් කිරීමට කාලය එළැඹ ඇත. මෙය ආරම්භ වන කාලයට වඩා ග්‍රාමීය පාසල් පවා අද දියුණු මට්ටමකට පත්ව ඇත. ශිෂ්‍යත්වයෙන් සමත් වන සිසුන් විශේෂිත පාසල්වලට යොමු කිරීමට වඩා අධ්‍යාපනය, ක්‍රීඩාව, නර්තනය, සංගීතය, පරිසර හිතකාමීත්වය, ගවේෂණය, නව සොයාගැනීම් වැනි විවිධ ක්‍ෂේත්‍රවලට දස්කම් දක්වන දරුවන්ට ඒ සඳහා ඉඩකඩ ලබාදීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීම තුළ ශිෂ්‍යත්වයෙන් දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වා ගත හැකි වනු ඇත.

මේ සඳහා ගමේ පාසලද අවශ්‍ය භෞතික සහ මානව සම්පත නිසි පරිදි ලබාදීම සිදු කළ යුතුය. ඇතැම් පාසල්වල දරුවන්ට සුදුසු වැසිකිළි කැසිකිළි පහසුකම්, ජල පහසුව, ඉඳගැනීමට සුදුසු ඩෙස් බංකු සුදුසු ගොඩනැඟිලි නොමැතිකම නිසා අන්ත අසරණභාවයට පත් වූ පාසල් ගැනද වාර්තා වෙයි. මේ සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරමින් අධ්‍යාපන කාර්යාල මට්ටමින්, කලාප කාර්යාල මට්ටමින් මෙවැනි පාසල් පිළිබඳව තොරතුරු ලබාගෙන අවශ්‍ය පහසුකම් ලබාදීමට අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය යොමු වීම කාලීන අවශ්‍යතාවකි. එසේම දේශපාලන හේතූන් මත ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවට විද්‍යා පීඨ හෝ ගුරු අභ්‍යාස විද්‍යාල වඩාත් නවීකරණය කර සියලුම ගුරුවරු එම ආයතන හරහා බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුය.

[සෝමදාස කන්දෙගේ]

මාතෘකා