නිහඬ බවේ මහා ස්වරය

 ඡායාරූපය:

නිහඬ බවේ මහා ස්වරය

එච්.එම්. ජයවර්ධන කියන්නෙ මං දන්න කියන කෙනෙක් නෙමෙයි. කිසිම දවසක සංගීත හෝ සංස්කෘතික හෝ සමාජීය සංවාදයක, කතිකාවක මට එච්.එම්.ගේ අදහසක් ඇහිලා නෑ. කිසිම දේශපාලනයක මට එච්.එම්. මුණගැහිලාත් නෑ.

එච්.එම්. කළේ කුමක්ද?

දේශපාලන, සමාජ, සංස්කෘතික තියරි සංවාද වගේ නෙමෙයි, අපේ අවිඥානික නාද විශ්වය අත්පත් කරගැනීම. එය වෙනස් එකක්. ඒත් එච්.එම්. ඒ අවිඥානික නාද විශ්වය අත්පත් කරගත්තා. අපේ සංවේදනා කලාප, හැඟීම්, දැනීම් කිසිම තර්කයක බාධකයක් නැතුව එච්.එම්. විසින් ඔහුගේ ස්වර ව්‍යවස්ථාවට අඩංගු කර ගත්තා. නිදහසේ තනු විදිහට පාවෙලා ඇවිත් කනෙන් ඇතුල් වෙලා හදවතේ මුල් බැහැලා අපේ ආදරය

එච්.එම්. විසින් නැවත ලියලා තියෙනවා. ඒක වාචික භාෂාවට වඩා දරුණු අල්ලාගැනීමක්. අපේ අතීත අත්දැකීම් මතකයන් විදිහට ලියවිලා තියෙන්නෙ එච්.එම්.ගේ ස්වර සංකලන මතින්. මේ තරම් සිංදු ගොඩක්, මේ තරම් අමතක නොවෙන තනු ගොන්නක්, නාද විශ්වයක්, එහෙම නිර්මාණයක් කරපු කෙනෙකුට මොකටද වෙනත් භාෂාමය පෙනී සිටීමක්?

එච්.එම්. සියඹලාණ්ඩුවේ බටනළාවක් පිඹ පිඹ ඉඳලා කොළඹ ආවා කියල ඔහුගේ ඉතිහාසය දන්න අය ලියනවා. ඊට පස්සෙ අසූ ගණන්වල ‘මුහුදු ලිහිණි’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සංගීතය සඳහා සම්මාන ලැබුණාම ඒක ‘තුන්වෙනි යාමය’ වෙනුවෙන් කේමදාසට දෙන්න ඕන කියල එච්.එම්. සම්මානය ප්‍රතික්ෂේප කරනවා. තමන්ගේ දේශපාලන හෝ මතවාදමය නොගැළපීම් අනුව සම්මාන ප්‍රතික්ෂේප කළ අවස්ථා ඕන තරම් අපි දැකලා තියෙනවා. ඒත් තමන්ගේ නිර්මාණයට වඩා අනෙකාගේ නිර්මාණය ප්‍රශස්ථයි, ඒ නිසා සම්මානය බාරගන්න බෑ කියන උත්තර මිනිසුන් අපට මුණගැහිලා නෑ. ඒක නිහතමානීකම නෙමෙයි. ඒක තමන්ගේ කුඩා වූ ආත්මය ඉක්මවා යමක්. දැකිය හැකි, බාරගත හැකි විසල් ආත්මයක ලකුණක්. ලංකාව වගේ රටවල කුදුගැහුණු ආත්ම අතරේ එවැනි ආත්ම අතිශය විරලයි.

එච්.එම්. කියන්නෙ සියඹලාණ්ඩුවෙන් ආපු ගැමියෙක් නෙමෙයි කියල මට සහතික ඒකයි. තමන් අමාරුවෙන් ලබාගත්ත දේ බදාගෙන ඒ උඩම වැජඹෙන ගැමිකම වෙනුවට සංගීත සාගර ජීවියෙක් ඒ කුඩා ශරීරය ඇතුළෙ සිටියා. මතයක්, බලයක්, රූපයක් නොවී මමත්වයෙන් තොර නාදයක් විදිහට ගලා බහින්නට එච්.එම්.ට පුළුවන් වුණේ ඒ නිසයි.

ඒක ඇත්තටම ආශ්චර්යමත් නික්මයාමක්. ඒ කිව්වෙ වචන අතර සිරවුණ ජීවිතයක් විදිහට නැතුව හදවතින් හදවත ජීවත් වෙන නාද රටාවක් හැටියට සුළඟට මුහුවෙන එක.

එච්.එම්. මැරෙන්න විදිහක් නෑ. මොකද අපි දැනගෙන හිටපු එච්.එම්. කියන්නෙ ශරීරයක් නොවෙන නිසා. ඒ අපේ මතක. අපේ අතීතය. අපේ ජීවිතය. අපේ කඳුළු.

ඒ හැම එකක්ම එකට ගැටගහන කම්පනයක්. ඒ කම්පනය තමයි එච්.එම්. කියන්නෙ. කම්පන මැකිලා යන්නෙ නෑ.

එච්.එම්. කියන්නෙ ශරීරයෙන් ස්වර කම්පනයක් බවට පරිනාමය වූ සදාකාලික පැවැත්මක්.

සඳ තරු නිහඬයි - ගහකොළ නිසලයි - මුළු ලොව සැතපෙයි

සිතුවිලි විතරක් අවදි වෙලා.....

[චින්තන ධර්මදාස]

මාතෘකා