රටම එකට වැඩ කරන හිරු මංගල්‍යය

 ඡායාරූපය:

රටම එකට වැඩ කරන හිරු මංගල්‍යය

සූර්ය සංක්‍රාන්තියේ සොඳුරු මංගල්‍යය වන බක්මහ මඟුල උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණයි. අතීතයේදී සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යනු පවුලක්, ගමක් පමණක් නොව රටම එකට එක්කළ අපූරු උත්සවයකි. නමුත් ශීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින සමාජය තුළ අතිශය කාර්යබහුල ජීවිත ගෙවන බොහෝ දෙනකුට අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමද ගැටලුවකි. අලුත් අවුරුදු චාරිත්‍රවල වැදගත්කම, එම චාරිත්‍ර ඉටුකිරීමෙන් සමාජයට ලැබෙන වටිනාකම ආදී කරුණු පිළිබඳ විවිධ අදහස් සමාජය තුළ වේ. මේ ඒ පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි.

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සතු සංස්කෘතික වටිනාකම් මොනවාද?

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අතීතයේ සිටම අපේ ජන ජීවිතයට බද්ධ වී තිබෙන පවුල් සංස්ථාව, ගම, රට යන සියලුදෙනා සංස්කෘතික වශයෙන් ඒකාබද්ධ කරන ප්‍රබල බැම්මක් ලෙස සැලකිය හැකිය. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ල දම්වැලක් සේ ඊට බැඳී තිබෙනවා. බටහිර ලිත් ක්‍රමය අනුව අලුත් අවුරුද්ද ලබන්නේ ජනවාරි මාසයේ වුවත් සිංහල ක්‍රමය අනුව අලුත් අවුරුද්ද ආරම්භ වන්නේ බක් මාසයෙන්. බක් මාසය යනු වසන්ත කාලයයි. ගොවියා මහ කන්නයේ අස්වනු නෙළාගෙන අටුකොටු පුරවා ගන්නා කාලයයි. විද්‍යානුකූලව සිතනවා නම් බුද්ධාගම අපේ රටට ලැබීමට පෙර සිටම අපි ඉර හඳ, ගස් ගල්, ගින්න වැනි අචේතනික සහ සචේතනික වස්තුවලට වන්දනාමාන කළ ජන සමාජයක්. විශේෂයෙන් සූර්ය වන්දනාව දකුණු ආසියාවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන අතර ඇතැම් බටහිර රටවලත් සූර්යයාට වැඳුම් පිදුම් කර තිබෙනවා. ලෝකයේ පැවැත්මට සූර්යයා අවශ්‍යයි යන්න ඒ තුළින් පිළිගෙන තිබෙන එක් සත්‍යයක්.

ජ්‍යෙතිෂය අනුව අවුරුදු උත්සවය පවත්වන කාලය යනු සූර්යයා අලුත් රාශියකට ගමන් අරඹන කාලයක්. එනම් 12 වැනි රාශිය වන මීන රාශියේ සිටි සූර්යයා 1 වැනි රාශිය වන මේෂ රාශියට පැමිණීම සංකේතවත් කරන අලුත් අවුරුද්දේ දී සූර්යයා නව ගමනක් යෑම ආරම්භ කරන බව ජනතාවගේ විශ්වාසයයි. එහෙමනම් අපිත් ඊට සාපේක්ෂව අපේ ජීවිත අලුත් කරගනිමින් ඊට ගැළපෙන චාරිත්‍රවාරිත්‍ර අනුගමනය කරමින් උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුද්ද සැමරීමේ කිසිදු වරදක් නැහැ. අලුත් අවුරුද්දත් සමඟ අලුත් වීම පවුලෙන් පටන්ගෙන ගම, රට ආදී වශයෙන් සමස්ත ජන සමාජය පුරාම පැතිරී යෑමට අවස්ථාව උදාකරදීම අලුත් අවුරුද්දේ තිබෙන මූලිකම සංස්කෘතික වටිනාකමයි.

අලුත් අවුරුදු චාරිත්‍රවල තිබෙන අපූර්වත්වය කුමක්ද?

රටේ සියලුදෙනා එකම දවසක, එකම වෙලාවක, එකම කාර්යයක යෙදෙන සිරිතක් ලෝකයේ වෙනත් රටක තිබේ යැයි විශ්වාස කළ නොහැකිය. අලුත් අවුරුද්ද දා මෙරට සිටින අපි සියලුදෙනා එකම වෙලාවකට සියලු වැඩ අත්හැරීමත් සුබ නැකතකට ළිපගිනි මෙළවීම, ආහාර පිසීම, අනුභව කිරීම, ගනුදෙනු කිරීම ආදී කටයුතු සිදුකිරීමත් තුළ කෙතරම් අපූර්වත්වයක් ගැබ්වී තිබෙනවාද?

‘‘අපි සියලුදෙනා එකට වැඩ කරමු. එකට විවේක ගනිමු. එකට සිටිමු’’ කියන මූලික සංකල්පය ඒ තුළ ගැබ් වී තිබෙනවා. අලුත් අවුරුද්දෙන් අපි ගතයුතු මූලික හරය එයයි. ඒ වගේම අවුරුදු උත්සවය යනු සකලවිධ ජාති, ආගම්, කුල භේදයෙන් තොරව පවත්වන පොදු ජාතික උත්සවයක් බව කිව යුතුයි. කිසිදු ජාති, ආගම් භේදයකින් තොරව අවුරුදු උත්සවයේ අංග සඳහා සියලුදෙනා එක්වීම සතුටට කාරණාවක්.

අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේ වැදගත්කම ඔබ දකින්නේ කෙසේද?

රටක ජනතාව තුළ තිබෙන භාෂාව, ආගම, ඇදහිලි වගේම සිරිත් විරිත් යනු මානව සම්මුතියෙන් ඇතිකරගත් දේවල්. සිරිත් යනු කළ යුතු දේවල් වන අතර විරිත් යනු වැරිය යුතු දේවල්. යහපත් සමාජයක් ගොඩනැඟීම සඳහාත් නූතන සමාජය ඉදිරියට ගෙනයෑම සඳහාත් සිරිත් විරිත් බලපානවා. සිරිත්විරිත් ඉටු නොකිරීම පිළිබඳ කිසිවකුට දඬුවම් කළ නොහැකි අතර ඒවා කිරීම තුළින් සමාජයක් ලෙස එකට බැඳී සිටීමේ ශක්තිය වැඩිවනවා. විශේෂයෙන් නූතන බාල පරපුරට එම සිරිත්විරිත් දායාද කළ යුත්තේ පොතපතින් නොව ප්‍රායෝගිකව ඒවා ඉටුකිරීම තුළින්. සමාජයක් විකෘති නොවී රටට ගැළපෙන සංස්කෘතික රාමුවක් තුළ මිනිසුන් හැසිරවීමට මෙවැනි සිරිත්විරිත් අත්‍යවශ්‍ය වනවා. එවැනි සමාජ සම්මත ඕනෑම සමාජයකින් තුරන් වුවහොත් එය හරසුන් අක්මුල් නැති සමාජයක් බවට පත්වනවා. එම නිසා අක්මුල් සහිත සංස්කෘතික අනන්‍යතාවක් සහිත රටක් ලෙස පැවතීම සඳහා අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, සිරිත්විරිත් ඉටුකිරීම අවශ්‍ය බව මගේ අදහසයි. නමුත් ඒ සඳහා කිසිවකුට බලකිරීමට අපට හැකියාවක් නැහැ.

කාර්යබහුල නාගරික සමාජය තුළ අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ අසීරුතා තිබෙනවා නේද?

ඕනෑම සමාජයක් තුළ පැරණි සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමේ අසීරුතා තිබෙනවා. නමුත් එවැනි අවස්ථාවල සමාජය විසින්ම ඒ සිරිත් විරිත් කාලානුරූපීව සකස් කරගැනීමක් සිදුවනවා. උදාහරණයක් විදිහට ගැමි කාන්තාවකට අලුත් අවුරුද්දට ළිඳත් සමඟ ගනුදෙනු කළ හැකිවුණත් නාගරික හෝ විදේශයක සිටින කාන්තාවකට එය සිදුකළ නොහැකියි. නමුත් තමා නිවසේ ජලය ලබාගන්නා කුමන හෝ ක්‍රමයක් සමඟ ඒ ගනුදෙනුව කිරීමේ කිසිදු වරදක් නැහැ. නැකතට ජල කරාමයකින් හෝ පළමු වරට වතුර කළයක් නිවස තුළට ගෙන ඒමෙන් ඒ චාරිත්‍රය ඉටු කළ හැකියි. එහෙත් එහි දී, ‘‘අපි මේ දේ කරන්නේ අපිට ළිඳක් නැති නිසයි. මෙම චාරිත්‍රය නිසි ආකාරයට ඉටුකරන්නේ ළිඳක් සමඟ" බව ඔබ ඔබේ දරුවන්ට පහදා දිය යුතුයි. දර ළිපක් නැතිනම් තමන්ට තිබෙන කුමන හෝ ළිපක් නැකතට මෙළවීම කළ හැකියි. දර ළිප කියන්නේ එහිදී අත්‍යවශ්‍ය සාධකයක් නොවන අතර වඩා වැදගත් වන්නේ චාරිත්‍රය ඉටුකිරීමයි.

අලුත් අවුරුද්දේ චාරිත්‍ර රැසක් ගොඩනැඟී ඇත්තේ කාන්තාව මූලික කරගෙනයි. ඒ අනුව අලුත් අවුරුද්දේ අන්තර්ගත සංස්කෘතික හා සමාජමය වටිනාකම් සුරැකීම සඳහා කාන්තාව සතු වගකීම් මොනවාද?

කවුරුන් කුමක් කීවත් තවමත් අපේ රටේ පවතින්නේ පීතෘ මූලික සමාජයක්. ඒ තත්ත්වය අලුත් අවුරුද්දේදී වෙනසක් වනවා. අවුරුද්දේ මාස 12ක්ම පිරිමි පක්ෂය සිය පවුල වෙනුවෙන් මොන මොන යුතුකම් වගකීම් ඉටුකළත් අලුත් අවුරුද්ද කියන්නේ කාන්තාවට වැඩි ඉඩක්, වැඩි අවස්ථාවක් ලබා දෙන උත්සව සමයකටයි. ඒ වගේම අවුරුදු සමය කියන්න වගේම කාන්තාවට සුවිශේෂී වගකීම් පැවරෙන, ඇයගේ අගය වැඩිපුර දැනෙන කාලයක්.

අවුරුද්දට සූදානම් වෙමින් කුස්සිය සුද්ධ පවිත්‍ර කරන්නේ කාන්තාවයි. කැවිලි පිසීමට පිටි කොටන්නේ, තෙල් වළං ලිප තබන්නේ, ළිඳ සමඟ ගනුදෙනු කරන්නේ, ළිප ගිනි මොළවන්නේ, කිරි උතුරවන්නේ, ආහාර පිසින්නේ මේ සියලු කටයුතුවලට මුල්වෙන්නේ කාන්තාව වගේම ඒ සියල්ල ඉටුවන්නේත් ඇය අතින්මයි. පිරිමියා කරන්නේ කෙසෙල් ඉදවීමට ඒවා දුම් ගැස්සවීම, වළ දැමීම වැනි දෙයක් සහ අලුත් අවුරුදු උදාවේදී නැකතට පවුලේ සියලු දෙනාට පළමු ආහාර පිඬ කැවීමයි.

ඒ තුළින් සංකේවත් වන්නේ ගිය අවුරුද්ද පුරාවට මම ඔබ සියලු දෙනාට කන්න දුන්නා වගේ මේ අවුරුද්දෙත් මගේ ඒ යුතුකම ඉටු කරනවා කියන අදහසයි. ඒ වගේම නොනගතය වෙලාවේ පවුලේ සියලු දෙනා එකරාශී කරගෙන පන්සල් ගොස් ආගමික වතාවත්වල යෙදීමට මුල් වන්නේත් කාන්තාවයි. ගෘහණිය අරපිරිමැස්මෙන් යුතුව කටයුතු කිරීම ආරම්භ කරන්නෙත් අලුත් අවුරුදු දවසේ සිටයි. නෑ හිතවතුන්ට අසල්වැසියන්ට යවන අවුරුදු කෑම පංගුව සූදානම් කරන්නෙත් ඇයයි. ඇය ඉතාම අරපිරිමැස්මෙන් එය සිදුකරන අතර අවුරුද්ද වෙනුවෙන් වැඩිහිටි ඥාතීන්ට බුලත් දෙන්නට යන ගමන්වලට මුල්තැන ගන්නේද කාන්තාවයි. එපමණක් නොව අසල්වැසියන් සමඟ ගනුදෙනු කරන්නේද කාන්තාවයි. එම නිසා අලුත් අවුරුද්ද යනු අන් කවර අයකුටත් වඩා කාන්තාවන්ට සුවිශේෂී වන ජාතික උත්සවයක් කීම වරදක් නොවෙයි. අවුරුද්දේ මාස දොළහ තුළම නොලැබුණු අවස්ථාවක් අවුරුදු සමය තුළ කාන්තාවට හිමිවන නිසා අලුත් අවුරුද්දේ සංස්කෘතික හා සමාජමය වටිනාකම් රැකගැනීමට කාන්තාවට විශේෂ වගකීමක් තිබෙනවා. ඒ වගේම අප සාමාජයේ සම්ප්‍රදායික කාන්තාව වැඩිපුරම රැඳී සිටින්නේ මුළුතැන්ගෙය තුළයි. එහෙත් අවුරුදු උත්සව කාලය තුළ ඇයට මුළුතැන්ගෙයින් පිටතට පැමිණ සමාජය සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව උදාවනවා. එම නිසා මේ චාරිත්‍ර වාරිත්‍ර රැකගැනීමට මෙන්ම අනාගත පරම්පරාවට ඒවා දායාද කරදීමේ වගකීම පැවරී තිබෙන්නේද කාන්තාවටයි.

සාකච්ඡාව [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

ඡායාරූප [සුදම් ගුණසිංහ]

මාතෘකා