විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය (අවසන් ෙකාටස)

 ඡායාරූපය:

විශ්වයේ අප තනිවීදැයි සොයා දෙන ඩ්‍රේක් සමීකරණය (අවසන් ෙකාටස)

ඩ්‍රේක් සමීකරණය යනු අපි ජීවත් වෙන විශ්වයේ, අපි මේ ඉන්නා මන්දාකිණියේ (ගැලැක්සිය) හෙවත් "මිල්කිවේ" (ක්ෂීරපථය) නමින් අප හඳුන්වන සර්පිලාකාරය මන්දාකිණියේ වෙනත් ග්‍රහලෝක සමඟ "සන්නිවේදනය කළ හැකි" එහෙමත් නැත්නම් වෙනත් ග්‍රහලෝකවල ජීවය සමග "සබඳතා පවත්වා ගත හැකි" මට්ටමට දියුණු වෙච්ච ජීවය සහිත ශිෂ්ඨාචාර තියෙන ග්‍රහලෝක කීයක් තියෙනවාද යන්න අනුමාන කිරීම සඳහා සකස් කරපු සමීකරණයක්. ඒ ග්‍රහලෝකවල තිබෙන ශිෂ්ටාචාර මේ පෘථිවියේ ඉන්න අපි එක්කම සබඳතා තියාගන්න එකට විතරක් නෙමෙයි මේක සීමා වෙන්නෙ. ඔවුනොවුන් අතරෙ වුණත් සබඳතා තියාගන්නවා වෙන්න පුළුවන්. වෙනත් ග්‍රහලොවක සිටින ජීවීන් සමග සන්නිවේදනය කිරීම තමයි මෙතනදි අදාළ වෙන්නේ. මෙම විශේෂාංගයේ පළමු සහ දෙවැනි කොටස් පෙර කළාපවල පළවිය.

නැවතත් ඩ්‍රේක්ගේ පරීක්ෂණය වෙත..‍.

ඩ්‍රේක් මේ පරීක්ෂණය මාස 4ක කාලයක් කළා..... එකම එක අවස්ථාවකදි ඒ වගේ පැටර්න් එකක් නිරීක්ෂණය කරන්න මේ අය සමත් වුණා.....නමුත් පස්සෙ හෙළි වුණා, ඒ පැටර්න් එක ඒ අසල පිහිටි ඇමරිකානු ගුවන් හමුදා නිරීක්ෂණ කඳවුරක පරීක්ෂාවට ලක් කරපු අලුත් සංඥා බාධක පද්ධතියක් ( සිග්නල් ජෑමර්ස් ) නිසා මේ ටෙලස්කෝප් එකට ඇතිවෙච්ච බලපෑම කියන එක.....ඒ හැර වෙන කිසිවක් මේ අය හොයාගත්තෙ නෑ......

නමුත් මේ පරීක්ෂණය කරගෙන යන සමයේ ඩ්‍රේක්ට අපූරු අදහස් කිහිපයක් පහළ වුණා.....ඒවා තමයි

වෙනස් සංඛ්‍යාතයන්ට සුසර කරපු එක් එක් ටෙලස්කොපික් ඇන්ටෙනාවල දත්ත "වියුක්තව" අරගෙන විශ්ලේෂණය කරනවට වඩා, ඒ සියල්ල එක තනි සංඥා ග්‍රහණයක් ලෙස "සමස්තයක් " විදියට අරගෙන විශ්ලේෂණය කරන්න පුළුවන් නම්, සමහරවිට අපිට මීට වඩා ප්‍රතිඵල ලැබෙයි කියන එක.... ( Array Control)

ඒ ඔස්සේම හිතුවාම තව කල්පනා වෙච්ච දෙයක් තමයි, අපි දන්නා පරිදි ජීවය පිහිටන්න අවශ්‍ය සියලු සාධක "තිබිය හැකි" තාරකා, ග්‍රහ මණ්ඩල, ඒ තත්ත්වයන් ආදිය ගුණනය කරලා ගත්තොත් විශ්වයේ අපේ මන්දාකිණිය තුළ හෝ අර උඩදි මම විස්තර කරපු "තමන් සිටිනා බව අන් ග්‍රහලෝකවලට දන්වන්න පුළුවන් තරම් දියුණු තාක්ෂණයක් සහිත ශිෂ්ටාචාර " කීයක් තියෙනවද කියන එකවත් අනුමාන කරගන්න පුළුවන් කියන එක.......ඒ වෙනකොටත් කෙරීගෙන ගිය අනෙකුත් තාරකා භෞතික විද්‍යාත්මක පරීක්ෂණවලින් මම මේ සටහන් මාලාවේ පළවෙනි එකෙන් කියපු "තරුවක ගෝල්ඩිලොක්ස් සෝන්" එකේ පිහිටපු, ජීවය සඳහා අවශ්‍ය සියලු සාධක තිබෙන ග්‍රහලෝක කීයක් මේ අප ජීවත් වන මන්දාකිණියේ තියෙන්න පුළුවන්ද කියන එක ගැන දළ අදහසක විද්‍යාඥයො හිටියෙ......

මෙන්න මේ දෙවැනි අදහසින් තමයි, සුප්‍රකට ඩ්‍රේක් සමීකරණය උපන්නෙ.....

ඩ්‍රේක් සමීකරණය

අපි මුලින්ම මේ සමීකරණය බලමු ... ඒක මෙහෙමයි....

N = R * fp * ne * fl * fi * fc * L

N = දැන් මේ එන් (N) අකුරින් සංකේතවත් වන්නේ "විශ්වයේ", අප ජීවත් වන මන්දාකිණිය (ගැලැක්සි) හෙවත් ක්ෂීරපථයේ, අනෙකුත් තාරක මණ්ඩලවල, ග්‍රහලෝකවලට පණිවිඩ සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තිබෙන තාක්ෂණයක් සහිත සමස්ත ශිෂ්ටාචාරයන් සංඛ්‍යාව..... මේ වචන කොටස්වලට කඩලා කියවන්න.... එතකොට තේරුම් ගන්න පහසුයි....ඩ්‍රේක් මේ සමීකරණය ගොඩනඟන්නේ මෙන්න මේක හොයාගන්න....

R = මේ ආර් අකුරෙන් නියෝජනය වෙන්නේ, අපේ ගැලැක්සියේ ජීවය පවත්වා ගන්නට නම් අත්‍යවශ්‍ය වන තාරකා බිහිවීමේ ශීඝ්‍රතාව/ ප්‍රවණතාව..... මෙතනට දාන අගය තමයි, අපේ මන්දාකිණියේ වසරකට අලුතින් තරු කොපමණ ප්‍රමාණයක් බිහිවෙනවාද කියන එක.....

මේ සමීකරණය විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධි නිබන්ධන සඳහා භාවිතා කරනකොට නම්, මෙන්න මේ ආර් අගයට, එසේ බිහිවන තරු අතරින්, ප්‍රමාණයෙන් සහ ශක්ති විමෝචනයෙන් අපේ සූර්යයාට සමාන තාරකා ප්‍රතිශතයකුත් අරගෙන, මේ ආර් අගය යම් "වැටයීමක්" කරලා තමයි ගන්නෙ..... ඒකට හේතුව අපි "ජීවය අප දන්නා පරිදි" යම් තැනක පිහිටන්න නම්, හොඳම තත්ත්වය දෙන්නේ අපේ තරුව හා සමාන ශක්ති ප්‍රභවයකින් බවට අනුමාන කරන නිසා....

අපේ හිරුට වඩා සුවිශාල තාරකාවක් නම්, වඩා ප්‍රබල ශක්ති විමෝචනයක් නම්, එම තරුවේ ගෝල්ඩිලොක්ස් කලාපවල තියෙන කක්ෂ දුරත් ඒ හා සමපාතව සුවිශාල වශයෙන් වැඩිවෙනවා...... නැත්නම්, ඒ තාරකාවලින්, අපි මේ අපේ හිරුගෙන් ඉන්නා තරම් දුරක හිටියොත්, ජීවය පවතින්න බැරි තරම් විශාල තාප ශක්තියක් තමයි ලැබෙන්නෙ......අපේ හිරුට වඩා අඩු ශක්ති විමෝචනයන් සහිත හෝ කුඩා තාරකා තිබේ නම්, ඒවාට අපි දැන් මේ හිරුගේ සිට ඉන්නවාට වඩා අඩු දුරකින් ඉන්න ඕන..... මේ විදියට ගණන් හදන්න ගියොත් නිබන්ධනයක් ඉවර කරගන්න ලැබෙන එකක් නෑ..... මොකද එකිනෙකට වෙනස් විශාලත්ව පරිමාවන් මිලියන පන්සීයක පමණ ශ්‍රේණිවලින් යුතු තාරකා බිලියන 400ක් මේ අපේ මන්දාකිණියේ තිබෙන නිසා..... අන්න ඒ නිසා නිබන්ධන සඳහා ව්‍යුත්පන්න කරගන්නේ අපේ හිරුගේ පරිමාවේ තාරකා පමණයි මේ ආර් අගයට..... (Samitha Sumedha මම හිතන්නේ මේ සටහන් මාලාවේ පළමුවැන්නෙදි ඔබ මගෙන් අසන ලද පැනයට මෙතනින් පිළිතුර උකහා ගන්න පුළුවන්)

fp = ඔබට බැලූ බැල්මට පේනවා ඇති මේක සමීකරණයේ "උප සාධකයක්" කියන එක......මේකෙන් කියන්නේ අන්න ඒ ඉහත ආර් නම් වූ තාරුකා සම්බන්ධ ප්‍රධාන සාධකය සමග ගත්තොත් ඒ තාරුකාවලින්, තරුව වටා කක්ෂ ගතව පරිභ්‍රමණය වන ග්‍රහලෝක සහිත තාරකාවන් කීයක් භින්න භාගයක් හෙවත් fraction එකක් වශයෙන් පවතීද කියන එක......

මේ පිළිබඳව විද්‍යාඥයන් විවිධ උපකල්පන කරනවා .... ඒ උපකල්පනත් ගැලැක්සියෙන් ගැලැක්සියට, ඒවායේ තාරකා බිහිවුණු අයනික වලාවන්ගේ පැවති ඝනත්වය අනුව එහෙම වෙනස් වෙනවා... සමහර ගැලැක්සිවල සෑම තාරකාවක් වටේම ග්‍රහලෝක තියෙන්න පුළුවන් කියලා කල්පිතයන් පවතිනවා... එතකොට ඒවායේ මේ ෆ්‍රැක්ෂන් එක 1.00 ලෙස ගන්නවා... අපේ මන්දාකිණිය පිළිබඳව අදහස් දක්වන එක්, එක් තාරකා භෞතික විද්‍යාඥ ගුරු කුළය එයට වෙනස් අගයන් යොදනවා... ඒවායින් 0.45, 0.70 ආදී අගයන් දෙක තමා වඩා ප්‍රසිද්ධ අගයන් දෙක....

ne = මේකෙන් කියන්නෙ, අන්න ඒ ඉහත කියපු ග්‍රහලෝකවලින් කොපමණ ෆ්‍රැක්ෂන් එකකද (භින්නයකද) අප දන්නා ආකාරයේ, එහෙමත් නැත්නම් අපේ පෘථිවියේ තිබෙන ආකාරයේ, පරිසර පද්ධතියක් (Ecosystem) පවතින්න පුළුවන් කියන එක.....යම් යම් ග්‍රහලෝක ඒ ඒ තරුවේ සිට පවතින දුර, ග්‍රහලෝකය ඝණීභවනය කරගත් දූලි වළාවේ ස්කන්ධය, වායුගෝලයක් තියෙන්න පුළුවන්ද කියන එක, ඒ වායුගෝලයේ සංඝටක වශයෙන් පවතින මූලද්‍රව්‍යවල අනුපාතය (ඒවා හොයාගන්නේ ඒ ඒ ග්‍රහ මණ්ඩලවල සිට අප දෙසට එන ආලෝක වර්ණ ගන්වලා, අන්න ඒ වර්ණ විශ්ලේෂණය කරලා..... හීලියම් තියෙනවා නම්, හීලියම්වලින් විමෝචනය වන වර්ණයේ තීව්‍රතාව මේ වගේ.... හයිඩ්‍රජන් තියෙනවා නම් හයිඩ්‍රජන් සම්මත වර්ණයේ තීව්‍රතාව මේ වගේ නම්, මෙච්චර හයිඩ්‍රජන් ප්‍රමාණයක් ඒ ග්‍රහයා අවට වායුගෝලයේ ඇති.... ඔන්න ඔය වගේ අනුමානවලින් තමයි සකස් කරගන්නේ) ... ඔය වගේ දේවල් විශ්ලේෂණය කරල තමයි අපි මේ සාධකයට යොදන ෆ්‍රැක්ෂන් එක අරගන්නෙ.....

fI = මෙයා වැදගත්ම සාධකයක්.....අර ඉහත සඳහන් විචල්‍ය සාධකයේ තියෙන පරිසර පද්ධතියක් සකස් විය හැකි ග්‍රහලෝකවලිනුත් "ජීවයට පවතින්න පුළුවන්" ග්‍රහලෝක ප්‍රමාණය භින්න භාගයක් ලෙස ඉදිරිපත් කිරීම තමයි මෙතනින් කරන්නෙ.....

එතනදි ඒ ග්‍රහලෝකවල වයස තමයි සැලකිල්ලට ගන්නා ප්‍රධානම කරුණ වෙන්නේ..... පෘථිවියේ වයස වසර බිලියන 4.5යි.....එයින් වසර බිලියනක් විතර ගත වුණේ පෘථිවිය සහ මේ සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝක හටගැන්මෙන් පසුව මෙහි ඉතිරි වූ තාරක නෙබියුලාවේ ඉතිරි කොටස් තැන් තැන්වල කුඩා ගුරුත්ව කේන්ද්‍ර දෙසට ඝනීභූත වෙලා, ඇතිවෙන ඇස්ටෙරොයිඩ, මීටියොරොයිඩ ආදිය, අලුතින් ඉපදෙමින් සිටි පෘතුවියේ ගුරුත්ව කේන්ද්‍රයට ආකර්ෂණය වෙලා ඇවිත් වැදෙමින් ..... පෘථිවිය මේ දරුණු අහස් ප්‍රහාරයට අවුරුදු බිලියනයක් වගේ මුහුණ දීලා, ඊට පස්සෙ ඒ ග්‍රාහක සහ ඒවා පෘථිවිය මත ගැටීමෙන් ඉහළට විකේන්ද්‍රනය වුණු "ඉජෙක්ටා"වල සංඝටකවලින් ක්‍රමයෙන් වායුගෝලයක් විකසනය කරගෙන, ඒ වායුගෝලයේ.... ඔහොමනෙ අපේ කථාව......ඔය අපේ කථාවෙ ජීවය පහළ වුණේ පෘථිවියේ මූලික සැකැසුම් සිදුවෙලා වසර බිලියන එකහමාරකින් විතර..... (ආදිතම සයනො බැක්ටීරියා වන සිග්නස් සයනො බැක්ටීරියා වසර බිලියන 3ක් පමණ පැරණියි)

ඉතින් අපිට සමාන කථාවක් තියෙන ජීවයක් යම් ග්‍රහලෝකයක තියෙන්න නම්, ඒ ග්‍රහලෝකයේ දිගහහැරිච්ච කථාවත් අපේ කථාව වගේම වෙන්න ඕන කියන කල්පිතය මත අපි පෘථිවියට සමාන වයසකින් යුතුයි කියා සිතෙන ග්‍රහලෝක වැඩි සැලකිල්ලකට ගන්නවා......

fi = දැන් ඔය ඉහත කියපු විචල්‍ය සාධකයේ තියෙන "ජීවය හටගත්තු " ග්‍රහලෝක වලිනුත්, "බුද්ධි ජීවය" (Intelligent Life) හටගත්තු ග්‍රහලෝකවල භින්න භාගය තමයි මේ තියෙන්නෙ....ජීවය නිකම් තිබ්බා කියලා, අනෙක් ග්‍රහලෝකවලට තමන් ඉන්නවා කියන එක පණිවිඩයක් හැටියට සම්ප්‍රේෂණය කරන තාක්ෂණයක් බිහි කරගන්න ලැබෙන්නෙ නෑනෙ..... ඒකට "බුද්ධිමත් ජීවීන් " පහළ වෙන්න එපැයි.... අපේ නම් ඒක කරන්නෙ අපි......

fc = මේකෙන් කියන්නෙ ඔය ඉහත කියපු "බුද්ධි ජීවය" නම් වූ විචල්‍ය සාධකය පවතින ග්‍රහලෝකවලිනුත් අන්තර් තාරක පණිවිඩ සන්නිවේදනය කරන්න පුළුවන් තාක්ෂණ‍යක් සහිත ශිෂ්ටාචාර පවත්වා ගන්නා බුද්ධි ජීවය සහිත ග්‍රහලෝක කොපමණ භින්නයක්ද තියෙන්නෙ කියන එක.......

L = මේ විචල්‍ය සාධකය කියන්නෙ ඒ බුද්ධි ජීවය අපිට නිරීක්ෂණ පරාසයට හසු කරගන්න පුළුවන් වෙන තරම් තාක්ෂණික හැකියාවන් සහිත ශිෂ්ටාචාරයක් කොපමණ කලක් පවත්වා ගනියිද ... කියන එකයි... මේකට දාන්නෙ ඒ අනුමානයේ අවුරුදු ගාණ..... බුද්ධි ජීවයක් එසේ තාක්ෂණ තන්ත්‍රයක් පවත්වා ගත්තත් වැඩක් නෑනේ, ඔවුන් අපිට ඒ බව දැනුම් දෙන්න පුළුවන් වෙන්න කලින්ම යුද්ධ කරගෙන විනාශ වෙලා ගියොත්.....නැත්නම් ස්වභාවික කරුණු කාරණ නිසා විනාශ වුණොත්..... ඔන්න අපි නම් අපේ යුතුකම කරලා, දැනුම් දීලයි තියෙන්නෙ......

ඉතින් මේ සියලු සාධකයන් සහ ඒවායේ භින්නයන් ගුණනය වෙලා තමයි අපි බලාපොරොත්තු වෙන උත්තරය ලැබෙන්නේ.... මේක ඉතාම සියුම් අනුමානයක් පමණයි...

ඔන්න ඕක තමයි ඩ්‍රේක් සමීකරණය.....දැන් මේකෙදි ඔබට පේනවා ඇති විශ්වයේ අපට පරිබාහිර වෙනත් ග්‍රහලෝකවල, වෙනත් තාරකා ග්‍රහ මණ්ඩලවල තිබිය හැකි ජීවය හඳුනා ගැනීම කියන පරිචයේ අපි මොන තරම් ප්‍රාථමික අවදියකද තවම ඉන්නෙ කියන එක..... ඒක මේ කල්පිත අරගත්තු විදියෙන් ඔබට හිතාගන්න පුළුවන්..... ආයෙමත් අපි පොඩි රිවිෂන් එකක් කරමු මේ ගත්තු කල්පිත ටික.... එතකොට තේරෙයි.....

1. අපි "ජීවය" කියලා අනෙක් ග්‍රහලෝකවල හොයන්නෙ "අපි දන්නා පරිදි ජීවය".

එහෙනම් මේ අපරිමිත විශ්වයේ "අපි නොදන්නා පරිදි" ජීවය ලෙස හඳුනා ගන්න පුළුවන් ජීවය සහිත ග්‍රහලෝක කොපමණ තිබුණත් මේ අපි කථා කරන විද්‍යාත්මක ගණිතයේ භාෂාවෙන් ඒවා නියෝජනය වෙන්නෙ නෑ...

2. "අපි දන්නා පරිදි ජීවය" හොයන කොට, ඒ ජීවය පවත්වාගන්න උවමනා සාධක වශයෙන් අපි ඒ ග්‍රහලෝකවල හොයන්නෙත් අපේ ග්‍රහලෝකයේ ජීවය බිහිවෙන්න රුකුල් දීපු සාධක ටිකමයි.

උදා: තරුවේ සිට දුර, ගෝල්ඩිලොක්ස් කලාපය, ප්‍රශස්ත ආලෝක තීව්‍රතාවය, ප්‍රශස්ථ උෂ්ණත්ව පරාසයන්, වායුගෝලය, වායුව සහ අනෙකුත් මූලද්‍රව්‍ය ලෙස අප හඳුනාගත් මූලද්‍රව්‍ය

3. අපි මේ ඩ්‍රේක් සමීකරණයෙන් සැලකිල්ලට ගන්නේ අපේ සර්පිලාකාර සරල මන්දාකිණියේ, තමන් ඉන්නවා කියලා අනුන්ට පණිවිඩයක් දෙන්න තරම් බලවත් "බුද්ධි" ජීවය පැවැතීමේ සම්භාවිතාව විතරයි.

අප ජීවත්වන මන්දාකිණියේ බුද්ධි ජීවය ලෙස අප තරම් සංකීර්ණ නොවන ජීවය පවතින ග්‍රහලෝකවත් මේකට අයිති වෙන්නෙ නෑ......

4. ඩ්‍රේක් සමීකරණයෙන් සැලකිල්ලට ගන්නේ අපේ සර්පිලාකාර සරල මන්දාකිණියේ ජීවය පමණයි.....

බිලියන දෙසීයක් පමණ වෙච්ච මන්දාකිණි පිරිවරක්ම පවතින දෘශ්‍යපථ විශ්වයේ අනෙක් මන්දාකිණිවල තත්ත්වය අපි තාම හිතාගන්නවත් පටන් ගෙන නෑ.....ඒක ගණිතමය භාෂාවෙන් මූලික ගණනයන් හැටියට ගොනු කරන තැනටවත් අපි තාම පය තියලා නෑ.....

මාතෘකා