පොලිසියට ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙනෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

 ඡායාරූපය:

පොලිසියට ජාත්‍යන්තර පිළිගැනීමක් ගෙනෙනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව, අන්තර්ජාතික වශයෙන්ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (08) කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ පොලිස් නිලධාරිනියන්ගේ විසිර යෑමේ පෙළපාළි උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

“අපේ රටේ පොලිසිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවාවන්, වගකීම්, යුතුකම් පිළිබඳව ඔබට මේ වනවිට ඉතාමත් පැහැදිලි අවබෝධයක් තිබෙනවා. පොලිස්පතිතුමාගේ කතාවේදී මා අහගෙන හිටියා මේ පුහුණුව ලැබූ සියලු නිලධාරිනියන් දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා තුනත්, පරිගණක පුහුණුවත් ලැබූ බව. ඔබේ පුහුණු කාල සීමාව තුළ කාලයට ඉතාමත් අත්‍යවශ්‍ය දේ තමයි ඔබ ලබාගෙන තිබෙන්නේ. අද නව තාක්ෂණය තුළ සියලු අංශයන්හි තිබෙන තරගකාරීත්වය ජයග්‍රහණය කරන්න පරිගණක දැනුම අවශ්‍යයි. එමෙන්ම මේ රටේ ජීවත්වන සිංහල, දමිළ, මුස්ලිම් ජන කොටස්වලට ඔබේ සේවාව නිසි ලෙස ලබාදීමට නම් ඒ භාෂා දැනුම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. උතුරු නැඟෙනහිර ප්‍රදේශවල සේවය කරන නිලධාරීන්ට සහ නිලධාරිනියන්ට දෙමළ භාෂාව පිළිබඳ පුළුල් අවබෝධයකුත් ලංකාවේ අනෙක් ප්‍රදේශවල සේවය කරන අයට සිංහල භාෂාව පිළිබඳ දැනුම සහ පුහුණුවත් අත්‍යවශ්‍යයි. අපේ රටේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයට හේතු වූ කරුණු ගණනාවක් තිබෙනවා. එක් කාරණයක් තමයි භාෂාවේ තිබෙන වෙනස්කම් නිසා එකිනෙකා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් ඇතිවන සැකය සහ අවිශ්වාසය. භාෂාවන් කතා කිරීමට තමාට අවබෝධයක්, දැනුමක් තිබෙනවා නම් සැකයෙන් අවිශ්වාසයෙන් සහ බියෙන් තොරව කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා තමයි අද පාසල් දරුවන්ට දමිළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම අනිවාර්ය කර තිබෙන්නේ. ඒ තුළින් සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගනිමින් ඔබේ සේවාව වඩාත් හොඳින් ඉටු කිරීමට ඔබට පුළුවන්කම ලැබෙනවා.

“ශ්‍රී ලංකා පොලිස් ගීතය මා අසා සිටියා. ඒ ගීතයෙන් කියවෙන අර්ථයත් මම කල්පනා කළා. මම පොලිසිය බාර ගෙන මාස 04යි. ඒ මාස හතරට පෙර මම දැක්කේ පොලිසිය පිටතින් විතරයි. පොලිසියේ අභ්‍යන්තරය මම දැක්කේ මේ මාස හතර තුළයි. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පොලිසියේ බාහිර පැත්ත දුටු මම මාස හතරකට පෙර පොලිසිය බාර ගැනීමෙන් පසු පොලිසියේ අභ්‍යන්තර තත්ත්වය දැක ගැනීමෙන් හා දැන ගැනීමෙන් මා ලැබූ අවබෝධය ගැන මටම පුදුමයි. පොලිසිය මේ වගේ සේවාවක් කරනවාද කියලා මට හිතුණා. ඔබේ සේවාවේ ඔබට තිබෙන අපහසුකම්, බාධවන් ගත් විට නීතිමය බාධවන්, සම්පත්වල බාධාවන්, පෞද්ගලික ජීවිතයට තිබෙන බාධාවන් ආදි සියල්ල ගත් විට මේ රටේ ලක්ෂ 16කට ආසන්න රාජ්‍ය සේවකයන් අතරින් 85,000කට ආසන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඔබ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට නොදැනෙන දුක් ගැහැට රාශියකට මුහුණ දෙනවා. රාජ්‍ය සේවාව තුළ පමණක් නෙවෙයි පෞද්ගලික අංශය වේවා, රාජ්‍ය නොවන සේවාවක් වේවා ඒ කුමන සේවාවක වුවත් සේවයේ නිරත යම් පුද්ගලයකුට සිය සේවාව වඩාත් උසස් ප්‍රමිතියකින් ගුණාත්මකභාවයකින් ඉටු කිරීම සඳහා යහපත් තෘප්තිමත් මානසිකත්වයක් තියෙන්නට ඕනෑ. ඒ නිදහස්, තෘප්තිමත් මානසිකත්වය නොමැති නම් කෙනෙකුට වැඩ කිරීම ඉතාමත් අපහසුයි.

“රජයේ නිලධාරියෙක් උදේ නිවසින් පිටවී සවසට නිවසට යන විට කාර්යාලයේ පැය 8ක රාජකාරි සිදු කරන්න නම් නිවසේදී ඔහුගේ මානසිකත්වය යහපත් වෙන්නට ඕනෑ. එහි වගකීම දරන්නේ බිරිඳ සහ දරුවනුයි. ඒ වගේම ඥාතීන්. රාජ්‍ය සේවය වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක සේවයක් වෙන්න පුළුවන් යම් නිලයක, යම් තනතුරක, යම් සේවාවක ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන් තෘප්තිමත් මානසිකත්වයකින් වැඩ කරන්න නම් එහි පරිසරය, පසුබිම ඒ සඳහා සකස් විය යුතු වෙනවා. එහිදී අපි පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් එහි ඉහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් පහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් මා දකින්නේ දෙයාකාරවයි. පොදු තත්ත්වයක් නෙවෙයි. ඉහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් පහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් දෙපාර්ශ්වය හඳුනා ගැනීම ඉතාම අවශ්‍ය වෙනවා. අපි සෑම කෙනෙක්ටම පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න තිබෙනවා. ආර්ථික ප්‍රශ්න තිබෙනවා. සමාජමය ප්‍රශ්න තිබෙනවා. ඒ වාගේම තමන් ඇසුරු කරන සමාජයෙන් යම් යම් අභියෝග තිබෙනවා. ඒවා පදවි, නිළයන්, තානාන්තර විදියට නොව, ඒවා මනුෂ්‍යයන් විදියට මුහුණ දෙන්නා වූ ප්‍රශ්නයි. ඒක නිසා යම් නිලයක කටයුතු කරන කෙනෙක් මනුෂ්‍ය ස්වභාවයෙන් පිට බලන්න පුළුවන්කමක් නැහැ. ඕනෑම නිලයක් ඉහළද පහළද යන්න වෙනුවට ඒ සෑම කෙනෙක්ටම වඩා ඉහළින් මනුස්සකම පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. බෞද්ධ දර්ශනය වේවා, ක්‍රිස්තු දර්ශනය වේවා, ඉස්ලාම් දර්ශනය වේවා ඒ ඕනෑම දර්ශනයක පළමුවෙන්ම කියන්නේ මිනිසුන්ට ආදරය කරන්න, සියලු සත්ත්වයාට ආදරය කරන්න, කරුණාවෙන් දයාවෙන් සෙනෙහසින් සලකන්න කියලයි.

“මා පාසල් යන කාලේ පටන් අද දක්වාම අසා තිබෙනවා මිත්‍රශීලී, මහජනතාවට වඩාත් සමීප මහජන හිතකාමී පොලිස් සේවාවක් පිළිබඳව. ඒ කාරණාව කොතෙක් දුරට ඉටු වී තිබෙනවාද කියා අපේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු වෙනවා. මේ රටේ 85,000කට ආසන්න පිරිසක් සිටින පොලිස් සේවයේ ඔබ මේ තනතුරුවලට පත්වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නයි. රට ගොඩනඟන්නයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඔබේ වගකීම්වල ප්‍රමුඛත්වය ඔබ දැරුවත් ඉන් එහා බාහිර කොතෙකුත් දේ ඔබ ඉටු කරනවාද, සමාජ සේවාව තුළ ඔබ කොතෙක් දේ කරනවාද, මහජන සම්බන්ධතාව තුළ ඔබ කොතෙක් දේ කරනවාද? ගංවතුර, සුළි සුළං, නියඟය, නාය යෑම් ආදී ස්වාභාවික විපත් පැමිණි විටත් එයට මුහුණ දෙන්නේ ඔබයි. ඉන් පසුවයි අනෙක් අය එතනට එන්නේ. ඒ නිසා ඔබේ සේවාව නීතිය හා සාමයට කිසිවිටෙකත් සීමා වන්නේ නැහැ. ඒ මිනිසුන්ට දක්වන ආදරය, දයාව හා කරුණාව පිළිබිඹු කරන සේවාවන් රාශියක ඔබ නිරත වෙනවා. ඔබ ඒ වෙනුවෙන් කිසි විටෙකත් ඔබ ලබන වැටුපට සීමා වෙන්නේ නැහැ. එවැනි සිදුවීම් අපිට අනන්ත අප්‍රමාණව කියන්න පුළුවන්. ඔබෙන් වෙන විශිෂ්ට සේවා පිළිබඳව පොත් සිය ගණනක් ලියන්න පුළුවන්. ඔබ ඔබේ මාතෘ භූමියට ඔබේ ජනතාවට ඉතාමත් විශිෂ්ට සේවයක් කරනවා. අපරාධ මර්දනය කරන්න, යහපත් සමාජයක් හදන්න, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්න වගේම සමාජය තුළ විවිධ අභියෝගවලට මුහුණ දෙන්න කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වගකීම ඔබටයි. ඔබේ මෑණියන්, පියාණන්, සහෝදර සහෝදරියන්, ඔබේ දරුවන් දෙස ඔබ බලන්නේ කෙසේද ඒ ආකාරයෙන්ම ඔබ අනෙක් ජනතාව දෙස බැලීම අත්‍යවශ්‍යයි.

“අදට අනුව පොලිස් සේවාවේ විය යුතු වෙනස්කම් රාශියක් තිබෙනවා. ලෝකයේ සංවර්ධනය වූ ඉහළ ආර්ථිකයක් තිබෙන රටවල්වල පොලිස් සේවාවේ මුහුණුවර හා සම්ප්‍රදායන් සහ බොහෝ නීති රීතිවල වෙනස්කම් තිබෙනවා. අප ඒ තත්ත්වයට පත්විය යුතුයි. මම උත්සාහ කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මාගේ බාරයේ තිබෙන කාලය තුළ උපරිම ලෙස ඒ ජයග්‍රහණ කරා ඔබව ගෙන යෑමටයි. ලෝකයේ අනෙක් රටවල්වල තිබෙන පොලිස් සේවාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පොලිස් සේවාවක් බවට පත් කිරීමයි ඔබේ විෂයභාර ඇමතිවරයා විදියට මගේ අරමුණ වන්නේ. මා මුලින් සඳහන් කළ ආකාරයට පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් බළ ඇණියක විසිර යෑමේ අවස්ථාවටයි අපි මේ එක් වී සිටින්නේ. කාන්තා බළ ඇණියක් පිළිබඳව කතා කරන විට තව බොහෝ දේ කතා කරන්න පුළුවන්. අපේ රටේ ජනගහනයෙන් සියයට 52කට ආසන්න පිරිසක් කාන්තාවන්. ලක්ෂ 16කට ආසන්න රජයේ සේවකයන් අතුරින් සියයට 70කට වැඩියෙන් කාන්තාවන් සිටිනවා. ඒ වගේම අපේ රටේ විභාගවලට පෙනී සිටින පිරිසගෙන් සියයට 60ක් 70ක් සමත් වන්නේ කාන්තාවන්. ඒ නිසා මා විශ්වාස කරනවා තව වසර 10ක් 15ක් යනවිට රපේ රට පාලනය කිරීමේ වගකීම කාන්තා ඔබේ අතට පත්වේ යැයි කියලා. මම එයට සුබ පතනවා.

“අපි කැනඩාව වගේ රටක් ගත්විට ඇමති මණ්ඩලයේ අඩු වශයෙන් තුනෙන් දෙකක් කාන්තාවන් ඉන්නවා. බොහෝ වෙලාවට දෙකෙන් එකක්වත් කාන්තාවන්. කාන්තාවන් වැඩිපුර රාජ්‍ය සේවයට දේශපාලනයට එක්වීම රටකට සුබ පෙර නිමිත්තක් වෙනවා. රටක් යහපත් වෙන්න, කාන්තාවන් තුළ තිබෙන මාතෘත්වය, සෙනෙහස, දයාව, ආදරය, සහ සේවාව හේතු වෙනවා. සාර්ථක පුහුණු වීමක් අවසානයේ විසිර යන ඔබ සියලු දෙනාට මා සුබ පතනවා. ඔබට මහජන හිතකාමී යහපත් සේවාවක් ඉටු කරන්නට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මා පෙර කී පරිදි ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් අන් අයට තිබෙන ප්‍රශ්නත් හඳුනාගෙන ඉතාම ආකර්ෂණීය සේවාවක් සැපයීමට ඔබට ශක්තිය ලැබේවා කියා පතමින් ඔබෙන් සමුගන්නවා.”