මොනවද ඒ කිරි? රුහුණේ මී කිරි!

 ඡායාරූපය:

මොනවද ඒ කිරි? රුහුණේ මී කිරි!

අතීතයේ රුහුණට නෑගම් යන්නට මී කිරි යනු දිව්‍ය භෝජනයකි. ආහාර වේලට අනිවාර්ය අතුරු පසකි. එලෙස රසවත් මී කිරි සාදා ගැනීමට පැරැන්නන් භාවිත කළ ක්‍රම පිළිබඳව කරන ලද පර්යේෂණයක් හරහා මෙම ලිපිය සකසන ලදි. මහ පැලැස්ස, තිස්සමහාරාමය, මත්තල ප්‍රදේශවල පුරාණ මී කිරි සංස්කෘතිය අධ්‍යයනය කිරීම මෙහිදී සිදු විය.

වත්මන් මී කිරි නිෂ්පාදනය නවීන තාක්ෂණය යොදා ගනිමින් සිදු වේ. නමුත් මෙම ප්‍රදේශයේ අතීත කිරි නිපදවන්නන් භාවිත කර ඇත්තේ ඉතා සරල ක්‍රම වේදයක් වූ අතර ඒවා වත්මන වන විට සම්පූර්ණයෙන්ම වාගේ අභාවයට ගොස් තිබෙන බව පවසන්නට සිදු වීම කනගාටුවට කරුණකි. එමෙන්ම පුරාණයේ මී කිරි නිපදවීම අතිශය ගෞරවනීයව සිදු විය.

නවීන තාක්ෂණය පහසු වුව ද ඉන් නිපදවන මී කිරිවල රසය පිළිබඳ ගැටලු පවතී. කර්මාන්තයේ යෙදී සිටි පැරැන්නන් පවසන අයුරින් එවකට තිබූ මී කිරි රසවත් බවින් ඉහළය. එසේම ඔවුන් පවසනුයේ එවක කිරිවල ඝනත්වයද වත්මනට වඩා ඉහළ බවයි. කිරි එරණ අවස්ථාවේ අතේ කිරි මිදෙන තරමට එහි ඝනත්වයක් තිබූ බව පවසන ඔවුහු මේ වන විට එවැනි තත්ත්වයක් දක්නට ‍නොලැබෙන බව පවසති. විශේෂයෙන්ම මෙම කිරි නිෂ්පාදනය වටා සැකසී තිබූ කලාවද මේ වන විට මිය ගොසිනි. යොදාගත් පැරණි උපකරණ සොයාගැනීමට නොහැකි තරම්ය. මෙම කර්මාන්තයට සමගාමීව සැකසී තිබූ ඇදහිලි හා විශ්වාසයන්ද මේ වන විට පැරැන්නන්ට පවා අමතකව ගොසිනි.

පැටවකු බිහි කළ මී දෙනකගෙන් මුලින්ම කිරි බීමට දෙනුයේ පැටවාටය. ඉන් පැටවුන්ට දීර්ඝායුෂ ලැබෙන බව කියැවේ. මී වහු පැටියකුට දින 45කට පසු කිරි දෙවීමට බඳිනු ලැබේ. මුල් කිරිවල සම්පූර්ණ අයිතිය පැටවා සතු බව ඔවුන්ගේ මතයයි. පැටවා කුලුඳුලේ වදන පැටවකු නම් එම කිරි දවස් 3ක් යන තුරු කිසිවක් සඳහා ප්‍රයෝජනයට නොගනී. එය එම ප්‍රදේශවල හඳුන්වනු ලබන්නේ “තුන්මුරේ නගනවා” යනුවෙනි. එම කිරි කොහෙත්ම ආහාරයට නොගන්නා අතර විකිණීමෙන්ද වළකී. උපරිමයෙන්ම දෙනකුගෙන් කිරි ලබාගනු ලබන්නේ මාස 9ක් පමණ කාලයකි.

අතීතයේ කිරි දොවන පුද්ගලයන් සඳහා නිශ්චිත ඇඳුමක් තිබී ඇති අතර කිසිවිටෙක පාවහන් පැලඳ ගාලට ඇතුළු නොවීම ද චාරිත්‍රයක් ලෙස පැවත විත් තිබේ. සුලබව දක්නට නොලැබුණද අද වන විටත් මෙම චාරිත්‍ර නැතුවාම නොවේ. මුල්ම කිරි දෙවීමට “පැටවුන් පොවනවා” යනුවෙන් රුහුණු ජනවහරෙහි භාවිත වේ. කිරි දෙවීමට මැටි හා තඹ කළ පමණක් අතීතයේ භාවිතා කර ඇත. කිරි දෙවීමට පෙර කිරි බුරුල්ල හොඳින් සෝදනු ලබන අතර පිරිසිදු මී කිරි මුදවා ගැනීමට එය උපකාරි වේ. හොඳින් නොසේදූ කිරි බුරුල්ලෙන් ලබා ගත් කිරි උණු කිරීමට ප්‍රථම පොල් මැඩි ලෙස කැටි ගැසෙන බවත් ඒවා කෑමට සුදුසු නැති බවත් පැවසේ.

දොවා ගත් කිරි උණු කිරීම වී අටුව ආසන්නයේ සිදු නොකිරීමට පැරැන්නන් වග බලා ගෙන ඇත. එයට හේතුව ඉන් අටුවේ බීජ වලට හානි සිදුවිය හැකි හෙයිනි. කිරි මිදීම වේගවත් වීම සඳහා “මුහුන්” යනුවෙන් හැඳින්වෙන ද්‍රාවණයක් මිශ්‍ර කරන අතර මුදවනු ලැබූ කිරි වල ඉහළින් බැ‍ඳෙන ඝනත්වයෙන් යුතු කොටස මේ සඳහා යොදා ගැනේ. සාමාන්‍ය ව්‍යවහාරයේ මෙය “ ලෙඳේ” යනුවෙන් වහරනු ලැබේ. පැරණි ගැමියා මාස තුනකට පමණ සෑහෙන මුහුන් සාදා මැටි හට්ටියක දමා නිවසේ ඉහළින් එල්ලා තැබේ. එය “උඩහැල්ල” නමින් හඳුන්වයි. මයිල ගසේ පට්ටා උපයෝගී කර ගනිමින් සාදනු ලබන දරණයක මුහුන් සහිත මැටි හට්ටිය තබා එම පට්ටාවලින්ම සෑදු ලණු තුනක් උපයෝගී කරගෙන ඉහළින් එල්ලනු ලැබේ. ලණු තුන එකට එකතු වන තැන විදින ලද පොල් කටුවක් තබා ගැටගසනු ලබයි.

එවිට මීයන් වැනි සතුන්ට මුහුන් සහිත හට්ටිය අසලට පැමිණීමට අපහසු බැව් ගැමියෝ පවසති. මයිල පට්ට යොදා ගනු ලබන්නේ එහි ඇති ශක්තිමත් බව සලකා මෙන්ම මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහාය. හොඳින් උණු කරගනු ලබන කිරි නැවුම් හට්ටිවලට දමා උඩට උඩු වියන් බැඳි ස්ථානයක තබා මිදෙන්නට හරිනු ල‍ැබේ. එය අප මී කිරි ලෙස ආහාරයට ගනු ලබන රසවත් ආහාරයයි. හට්ටිය ඉතාම නැවුම් වන තරමට කිරිවල රසයද වැඩිවන බව හා එය ආහාරයට ගන්නා විට කිරි රසට මිශ්‍ර වූ දුම් රසක් දැනේ නම් ඒ නියම මී කිරි රස බව පැවසේ. හට්ටිවල හොඳින් මිදී ඇති කිරි ගමන් බිමන්වලට ගෙන යෑමට ඇසිරීම සඳහා පැරණි අපේ මුතුන්මිත්තෝ පොල් කොළ උපයෝගී කරගත්හ. එසේ අසුරණ ලද කිරි සශ්‍රීකත්වයේ සංකේතයක් විය.

මෙම සියලු කාර්යයන් අවසානයේ කිරි දොවනු ලැබූ හා උණු කරනු ලැබූ මුට්ටි සොදා ළිප උඩින් මුනින් අතට තබනු ලැබේ. ඉන් විෂබීජ නැසෙන බව හා කිරිවල රසය වැඩි වන බව පවසති. මී කිරි හැරුණු විට ඒ හා සමගම නිර්මාණය වී ඇති අතුරු නිෂ්පාදන කිහිපයක්ද පවතී. එළඟි තෙල් හා දුම් තෙල් යනු ඒවාය. එළකිරිවලින් එළගි තෙල් ද මී කිරිවලින් දුම් තෙල් ද සාදනු ලැබේ. දුම් තෙල් ආහාර සෑදීමට යොදා ගන්නා අතර එළඟි තෙල් බත් ද ඉතා ප්‍රචලිත ආහාරයකි. මසකට වරක් දුම් තෙල් බත් දානයක් දීමෙන්ම අතීතයේ තිස්සමහාරාම ප්‍රදේශයේ කෙතරම් මෙම තෙල් නිෂ්පාදනය සිදු වුවාද යන්නට උදාහරණ සපයා ඇත. එළගි තෙල් සාදනු ලබන්නේ එළ කිරිවල මිදෙන කොටස යොදා ගනිමිනි. එයට ලෙ‍ඳේ යනුවෙන් ග්‍රාමීයව වහර වේ. දින කිහිපයක් මෙම ලෙ‍ඳේ එකතු කර හොඳින් උණු කරනු ලැබේ.

එය නූලක් තරම් බේරෙන ප්‍රමාණය වන තෙක් රත් කරනු ලැබේ. අතීතයේ මේ සඳහා කිරි පොල්ලක් භාවිතා කර ඇති අතර එහි නම මේ වන විට සම්පූර්ණයෙන්ම ව්‍යවහාරයෙන් ඉවත් වී ඇති බැවින් සොයා ගැනීමට නොහැකි විය. එලෙසම මෙම කිරි උණු කිරීමට යොදා ගනු ලබන හැන්ද කිසි දිනක ‍සෝදනු නොලබයි. කාලයක් ගත වූ පසු හැන්දේ බැඳී ඇති කිරි සූරා ඖෂධයක් ලෙස යොදා ගනී. ගෙඩි වෙදකම් සඳහා සාදනු ලබන පැලැස්තර සාදනුයේ මේවායින් බව බොහෝ දෙනෙක් නොදනී. එලෙසම කිරි උණු කරන භාජනයේ කිරි ඉවත් කළ පසු එම භාජනයට වතුර දමා මඳ වෙලාවක් තබා කෝප්පයකට ගෙන ඊට සීනි දමා පානය කරනු ලබන අතර එය “මෝරුව” ලෙස හඳුන්වනු ලබන පානයයි.

මීට අමතරව කිරි කර්මාන්තය සමඟ බැඳී ඇති වචන රාශියක් ද පොදු ජන වහරෙන් දුරස්ව පවතී. හරක් බඳින ස්ථානය “හරක් ගාල” නම් වන අතර හරක් බඳින ලණු “ කඳු හාන” ලෙස රුහුණේ භාවිත වේ. එම ලණුව හරකාගේ බෙල්ලේ ගැට ගැසීම සඳහා එහි අග ගැටයක් ගසනු ලැබේ. “කනු කැටිය” ලෙස හඳුන්වනු ලබන්නේ එයයි. එපමණක් ද නොව පොල් ගෙඩියක් ගෙන එහි මදේ කාලක් පමණ ඉවත් කොට දෙපසින් හිල් කර උගයක් දමනු ලැබේ. කිරි ගොවීන් එය “කිරි කැටිය” ලෙස හඳුන්වා කිරි දෙවීමට යොදා ගනී.

අතීතයේ හරක් බැඳීමට උපකාරී කර ගෙන ඇත්තේ වත්මනේ මෙන් ලණු නොවේ. වරමඳු, බෙලි පට්ට, නාග පට්ට, නියද පට්ට, මයිල පට්ට ආදී ගස්වල පට්ටවලින් සාදනු ලබන කඹ වේ. මින් වරමඳු යනු මුව හම් වලින් සාදනු ලබන කඹයකි. හරකුන්ගෙන් තම වගාවන් ආරක්ෂා කර ගැනීමටත් අතිශය දුර්ලබ වූ උපක්‍රම මෙම ප්‍රදේශයේ ජනතාව භාවිත කර ඇති බව පවසන්නේ සතුටිනි. දිවකරණ, සිංහකරණ ආදී නැකැත්වලදී දඬු වැටක් හෝ ඉනිවැටක් බැඳි විට කිසිදු හානියක් සිදු නොවන බව කිරි ගොවීන් පවසන්නේ දැඩි විශ්වාසයකිනි.

මී කිරි කර්මාන්තය හා රුහුණු ගැමියාගේ ජීවිත එකිනෙක සම්බන්ධ වී ඇත්තේ අතීතයේ සිටන්මය. පැරණි සිංහලයා මී කිරි නිපදවීම හරහා විශාල ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා නොකළ අතර එදිනෙදා ආහාරයට ගන්නා රසවත් අතුරුපසක් සාදා ගැනීම පමණක් ඔවුන්ගේ අවශ්‍යතාවෙ වූ බව මෙම ලිපිය සැකසීමට අවැසි තොරතුරු සෙවීමේදී අවබෝධ වූ වැදගත්ම කරුණක් බව පැවසිය යුතුය.

ඈත අතීතයේ පවා මී කිරිවලට රුහුණ ඉතා ප්‍රචලිත බව ලිඛිත මූලාශ්‍රවලින් පැහැදිලි වේ. R.L. Brohier මහතා විසින් රචනා කොට, සිංහලට පරිවර්තනය වූ “බ්‍රෝහියර් දුටු ලංකාව” පොතෙහි දක්වා ඇති අයුරින් වර්තමානයේ තණමල්විල ප්‍රදේශයට ආසන්නයේ පිහිටි බලහරුව නම් ගම්මානය එකල රාජ නියමයෙන් ගවපට්ටි නඩත්තුව සිදු වූ ප්‍රදේශයකි. එම ග්‍රන්ථය දක්වන අයුරින්,

මා 1923 තෙලුල්ල හරහා වැ‍ටී ඇති සැතපුම් 20ක් දුර මාර්ගයේ හම්බෙගමුවට ගොස්, ආපසු එන ගමනේදී හල්දුම්මුල්ලට නැග්ගෙමි. එකල ඒ වනාන්තර මාර්ගය ඔස්සේ තිබුණේ එකම එක ගමකි. එයද පිටස්තර ලෝකයාගෙන් සපුරාද වෙන්වී තිබිණි. මේ කුඩා ගම්මානයේ සිටි මිනිස්සු කටුක දේශගුණය සමඟද, ලෙඩ දුක් සමඟද සටන් කරමින් අන්ත දුගී ජීවිතයක් ගත කළහ. බලහරුව නම් ඒ ගම හෙල රජ සමයේ ගෝණබැද්ද දිශාව යටතේ පාලනය වූ අතර ඒ දිසාවගේ විශේෂ වගකීම වූයේ රජවාසල සඳහා ඉතා හොඳ ගව පට්ටි මේ ප්‍රදේශයේ නඩත්තු කිරීමයි.”

එලෙසම ඈත අතීතයේ හම්බන්තොට ප්‍රදේශීය පාලකයකු වූ මිණිකිරුළ රජු ගිරවාපත්තුවේ සිටින සමයෙහි පට්ටියවෙල හා තාරපේරිය ප්‍රදේශවල බහුල වශයෙන් ගව පාලනය සිදු කර ඇති බවට ජනප්‍රවාදයේ තිබේ.

සිංහල ඉතිහාසයට අනුව කදිරා යනු ගව පරපුරේ උප්පත්තිය හා සහසම්බන්ධ වූ සත්ත්වයා වේ. කදිරාට ගැහැනු සතුන් තිදෙනෙක් සිටි බවත් ඔවුන් නම් වශයෙන් නාමලී, සෝමලී හා අලංකාරී බවත් ඔවුන්ගෙන් ගහ පරපුර බිහි වූ බවත් මත්තල ප්‍රදේශයේ වාසය කරන ගාල්ලේ ගම්භාර මහතා මා සමඟ පැවසුූඅතර ඔවුන් ජීවත් වන ප්‍රදේශය කදිරාගොඩ බවත් ඔහු තවදුරටත් පැවසුවේය.

අතීතයේ මෙම ප්‍රදේශයේ සෑම නිවසකම පාහේ එක් හරකෙකු හෝ රැකබලාගෙන ඇත. හරක් පට්ටියක් අයිති පුද්ගලයා රජෙකුට සමාන වූ අතර ඔහුට “හරක් කාරයා” යැයි පහතරට පෙදෙස්හි වහරනු ලැබේ.

එලෙසම ගමේ ගම්බාර මහතාද හරක් විශාල පිරිසකට උරුමකම් කීවේකි. අපට මේ සියලු තොරතුරු ලබා දෙන්නේ ද කලකට ඉහත විශාල ගව සම්භාරයකට උරුමකම් කියූ කේ.ඒ. පියසේන ගම්බාර මහතා හා ගල්ලේ ගම්බාර මහතා විසිනි. අතීතයේ හරක් පට්ටියක මී හරකුන් 500ක් පමණ සිට බව ඔවුන් අප සමඟ පැවසූහ. හරකුගෙන් කිරි ගන්නා අතරම ගොවිතැන් කටයුතු සඳහාත් යොදාගෙන ඇත. එම නිසා ගොවිතැන් කටයුතුද කාර්යක්ෂම අයුරින් සිදු වී තිබිණ.

වී.පී. නිකිනි සෞභාග්‍යා

මාතෘකා