‘එක් තීරයක් එක් මාවතක්’ අපට ඵලදායී වේද?

 ඡායාරූපය:

‘එක් තීරයක් එක් මාවතක්’ අපට ඵලදායී වේද?

චීනය හඳුන්වා දුන් ‘එක් තීරයක් එක් මාවතක්’ (One Belt - One Rute) සංකල්පය ඉදිරියට පැමිණෙන්නේ චීන ජනපති ෂී ජින් පින් මහතාගේ සංකල්පයක් අනුව 2013 වර්ෂයේදීය. නමුත් සංකල්පමය වශයෙන් චීනය මෙය ලෝකයට හඳුන්වා දෙන්නේ 2015 වර්ෂයේ මාර්තු මාසයේදීය. මෙම සංකල්පයේ මූලික හරයන් පහක් හඳුනාගත හැකිය.

ප්‍රතිපත්ති සම්බන්ධීකරණය (Policy Coordination) - සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රාජ්‍යයන් අතර සම්බන්ධීකරණය මෙයින් අපේක්‍ෂා කරනු ලබයි.

සම්බන්ධතාව (Conectivity) - රේගු සහයෝගීතාව ගොඩනැඟීම තුළින් වෙළෙඳ ආයෝජන අවස්ථාවන් මහාද්වීපික තුන මැදිකොට ගනිමින් ඇති කිරීම

මූල්‍ය සහසම්බන්ධතාව ඇති කිරීම (Finance Integration) - රාජ්‍යයන් අතර මූල්‍ය සහයෝගීතාවක් ඇති කිරීම හා ඒ සඳහා පහසුකම් සැපයීම සඳහා නව බැංකු පද්ධතියක් (BRICS New Development Bank) ඇති කිරීමට යෝජනා කරයි.

කලාපය තුළ කාර්යක්‍ෂම නියාමන යාන්ත්‍රණයක් ඇති කිරීමත් ඒ තුළින් සංස්කෘතික හා අධ්‍යාපන හුවමාරුව, පුද්ගල හුවමාරුව, සංචාරක ප්‍රවර්ධනය, තරුණ හා කාන්තා හුවමාරුව අපේක්‍ෂා කරනු ලබයි.

ජනතාව ජනතාව අතර සහසම්බන්ධතාව (People to People contact) ඇති කිරීම -

මෙම සංකල්පයේ ප්‍රධාන ප්‍රවාහයන් දෙකක් දැකිය හැකි වේ.

Silk Road Economic Belt සේද මාවතේ ආර්ථික තීරය හා 21st Century Silk Rute ‐ විසිඑක්වන සියවසේ සමුද්‍රීය සේද මාවත වශයෙනි.

Belt - තීරයක් වශයෙන් ගොඩබිම් මාර්ගය හැඳින්වෙන අතර එය චීනයෙන් ආරම්භ වී මධ්‍යම ආසියාවේ සිට යුරෝපය දක්වා විහිදී යනු ලබයි. “Road” මාර්ගය වශයෙන් හැඳින්වෙන මෙය මුහුදු මාර්ගයෙන් සම්බන්ධ අතර එය ගිණිකොන දිග ආසියාවෙන් ආරම්භ වී අප්‍රිකාව, මැදපෙරදිග හරහා යුරෝපය කරා ළඟා වෙයි. මෙම ක්‍රමයන් දෙක හරහා ලෝකයේ රටවල් 65ක් සම්බන්ධ වන අතර ලෝකයේ ජනගහනය බිලියන 44ක් හා ලෝකයේ ජනගහනයෙන් සියයට 63ක් ආවරණය කෙරේ. එය ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය සඳහා සියයට 29%ක දායකත්වයක් සපයනු ලබයි. මෙම අලුත් මුහුදු හා ගොඩබිම් මාර්ගයන් සම්බන්ධ වීම නිසා ලෝකයේ ආර්ථිකය තවදුරටත් පුළුල් ලෙස පිබිදෙන අතර රටවල් අතර ආයෝජනයන් සඳහා වෙළෙඳාම පුළුල්වීම් සඳහා බලපෑම් කරනු ලබයි. එහි වාසිය චීනයට පමණක් නොව අනෙකුත් රාජ්‍යයන්වල ආයෝජනයන්ට හා වෙළෙඳාමටත් බලපානු ලබයි.

චීනය නව සේද මාවත සමඟ සම්බන්ධ වන රටවල් සමඟ සිදු කරන ගනුදෙනු පසුගිය කාලය තුළදී සියයට 18.2කින් වර්ධනය වී තිබේ. එය චීනයේ විදේශ විනිමය සඳහා සියයට 20ක දායකත්වයකි. චීනය සේද මාවත සමඟ සම්බන්ධවන රටවල්වල කරන ලද ආයෝජනද ඉහළ දමා තිබේ. එම ආයෝජන පසුගිය කාල පරිච්ජේදය තුළදී ඇ. ඩො. මිලියන 240 සිට ඇ. ඩො බිලියන 9.27 දක්වා ඉහළ දමා තිබේ. එය සියයට 44ක ඉහළ යෑමකි. උදාහරණයක් ලෙස 2016 වර්ෂයේදී චීනය හා ඉරානය යා කරමින් කි. මී. 10,399කින් යුතු දුම්රිය මාර්ගයක් සඳහා ආයෝජනය කරන ලද අතර එය සේද මාවතේ දුම්රිය (Silk Train) නමින් ප්‍රථම දුම්රිය ගමන දින 14කින් පසු ඉරානයේ ටෙහෙරානය බලා ළඟා විය. කසකස්ථානය, ටකිටිෂ්ථානය හරහා ගමන් කරන ලද්දේ චීනයේ නැඟෙනහිර ෂෙන්ජින් ප්‍රාන්තයෙන් ආරම්භ වීමෙනි. චීනය මේ වන විට පැරණි සේද මාවත නැවතත් පණ ගන්වමින් මතු වූ මාර්ගය ශක්තිමත් කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා

ඇ. ඩො. බිලියන 46ක් ආයෝජනය කරමින් චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව ආරම්භ කර තිබේ. එය චීනයේ කෂ්ගා ප්‍රදේශයේ සිට සිට පාකිස්තානයේ ගොවඩා දක්වා නගර යා කරයි. එසේම බංග්ලාදේශය-චීනය යා කරමින් චීනය හා මියන්මාරය යා කරමින් ආර්ථික කොරිඩෝවක් නිර්මාණය වෙමින් පවතී. එසේම දකුණු ආසියානු කලාපයේ චීනයේ ප්‍රධාන නැව් තොටක් වශයෙන් හඳුනාගෙන ඇති ශ්‍රී ලංකාව තුළ ඇ.ඩො. බිලියන 1.5ක් ආයෝජනය කරමින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය ආරම්භ කිරීමත් 2017 වර්ෂයේදී ඇ. ඩො. බිලියන 1.2 වැය කරමින් හම්බන්තොට වරාය සඳහා ආයෝජනයන් සිදු කර තිබේ. මෙම එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ චීනය මේ වන විට යුරෝපය තුළද ආයෝජනයන් කරමින් පවතී. ඒ යටතේ මධ්‍යම යුරෝපයේ බෙලරුසියාවේ චීන-බෙලරුස් කාර්මික උද්‍යානය සඳහාද ඩොලර් බිලියන 23.6ක් වැය කරමින් කසකස්ථානය තුළද විවිධ ක්‍ෂේත්‍ර ආවරණය වන පරිදි ආයෝජනයන් කර තිබේ.

චීනයේ වෙළෙඳාම සහ යුරෝපය සම්බන්ධ කරන ලද්දේ පැරණි සේද මාවත තුළිනි. එය ගොඩබිමේ සහ මුහුදු මාර්ගයන් ඔස්සේ සම්බන්ධ කර තිබිණි. චීනයේ සිට සේද රෙදි, කුළු බඩු වෙළෙඳාම, මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳාම යුරෝපයේ වෙළෙඳපොළ සඳහා අපනයනය කරන ලද්දේ සේද මාවත හරහාය. එහිදී ශ්‍රී ලංකාව නැව් මාර්ගයේ භූගෝලීය වශයෙන් ප්‍රධාන මාර්ගයක පිහිටා ඇති බැවින් නාවුක ගමනාගමනයේ සංධිස්ථානයක් බවට පත් වී තිබිණි. ලෝකයේ වෙළෙඳාමේ බටහිර සහ නැඟෙනහිර සම්බන්ධ කරන ලද්දේ කොළඹ වරාය වීම සුවිශේෂිතය.

මේ සියලු ආයෝජන සඳහා මෑතකදී ස්ථාපනය කරන ලද ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසිඑක්වන සියවසේ බහ‍ුප්‍රාර්ශ්වීය සංවර්ධන බැංකුවක් ලෙස කටයුතු කරයි. මෙම බැංකු හරහා ආසියානු කලාපය තුළ සියලු යටිතල පහසුකම් සංවර්ධනය, සෞඛ්‍යය, විදුලිබල නිෂ්පාදනය, ප්‍රවාහනය, නාගරික සංවර්ධනය, කෘෂිකර්මාන්ත සංවර්ධනය, විදුලි සන්දේශ, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය යන සියල්ල ආවරණය කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා චීනය ඇ.ඩො. බිලියන 100ක් මූලික ප්‍රාග්ධනයක් සිදු කරනු ලබයි. පළමු අවුරුදු පහ ඇතුළත ඇ.ඩො. බිලියන 10-15 අතර ප්‍රමාණයක් මෙම ක්‍ෂේත්‍රවල ආයෝජනය කිරීමට අපේක්‍ෂා කරනු ලබයි.

මේ වන විට චීනය ශ්‍රී ලංකාව තුළදී ආසන්න වශයෙන් ඇ.ඩො. බිලියන 8ක් ආයෝජනය කර තිබේ. එය ඇ.ඩො. බිලියන 24 දක්වා රැගෙන යෑමේ අවස්ථාව ලංකාවට හිමි වී තිබේ. චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ මූල්‍යමය වශයෙන් ලංකාවට වාසි අත්වනවා සේම ආනයන අපනයන වෙළෙඳාම පුළුල් කිරීම සඳහා මෙන්ම ලංකාව ලෝකයේ අනෙකුත් රාජ්‍ය සමඟ එකිනෙක වෙළෙඳාම මෙන්ම සංස්කෘතික වශයෙන් යා කිරීම සඳහාද උපකාරී වනු ඇත.

2017 වර්ෂයේදී ශ්‍රී ලංකාව චීනයෙන් ඇ.ඩො. බිලියන 4.15ක් ආනයනය සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව චීනයට අපනයනය කර ඇත්තේ ඇ.ඩො. මිලියන 415ක් පමණි. ඒ අනුව චීනය

ශ්‍රී ලංකාව වෙළෙඳ ගනුදෙනු අතර විශාල පරතරයක් දක්නට ලැබේ. එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය යටතේ චීන - ශ්‍රී ලංකා වෙළෙඳාම පුළුල් කිරීම සඳහා ඉදිරියේදී අවස්ථාවන් හිමි වනු ඇත. ඒ සඳහා රජය නිසි පියවරයන් ගත යුතුය. තෝරා ගත් භාණ්ඩ අපනයනය, තෝරාගත් ප්‍රාන්ත හා නව වෙළෙඳපළවල් සොයා ගැනීම සිදු කළ යුතුය. තවද චීනයේ සංචාරකයන් ආකර්ෂණය සඳහා එම වෙළෙඳපළ තවත් පුළුල් මැදිහත්මක් සිදු විය යුතුය. 2018 වර්ෂයේදී චීන සංචාරකයන් 233,000ක් පැමිණ ඇති අතර එය සියයට 10ක වර්ධනයකි. මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වැඩසටහන් ක්‍රියාත්මක කරන බව පෙනේ. එය තවත් පුළුල් කළ යුතුය.

චීනයේ මෙම පුළුල් වැඩපිළිවෙළ යටතේ ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය ලබා දී තිබේ. ඒ යටතේ විදුලිබල නිෂ්පාදනය, අධිවේගී මාර්ග, ගුවන්තොටුපළ, වරාය නිවාස හා සනීපාරක්‍ෂක පහසුකම්, සෞඛ්‍යය යන අංශයන් සඳහා ආයෝජනයන් සිදු කොට තිබේ. ලංකාව අනෙකුත් රටවල් සමඟ වෙළෙඳ සබඳතා පුළුල් කර ගැනීම සඳහා ඒ තුළින් චීනය පමණක් නොව මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වන අනෙක් රටවල් සමඟ වෙළෙඳ සබඳතා තර කර ගැනීම සඳහා චීනය සමඟ සාකච්ඡා කළ යුතුය. ලෝකයේ දෙවන ශක්තිමත් ආර්ථිකයක් හිමි චීනය සමඟ වෙළෙඳ සබඳතා තරකර ගැනීම මගින් වෙළෙඳ වාසිය උපරිමයෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ සඳහා ක්‍රමෝපායන් සකස් වීම වැදගත්ය.

මේ අවස්ථාවේදී ලංකාවේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව තිබේ. විශේෂයෙන් යටිතල පහසුකම් සංවර්ධනය හැරුණු කොට අපනයන වැඩි කර ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකය පුළුල් කිරීම සඳහා අවශ්‍ය කර්මාන්ත සඳහා ආයෝජනයන්වල දැඩි අවශ්‍යතාවක් ඇති වී තිබේ. ඉදිරි අවුරුදු කිහිපය තුළදී කර්මාන්ත ඇති විය යුතුය. එසේම ලංකාව කේන්ද්‍ර කොට ගනිමින් වරාය සංවර්ධනය තුළින් ප්‍රතිඅපනය වර්ධනය කිරීම මගින් මෙම සංකල්පයේ සම්බන්ධිත රටවල් වෙළෙඳාම යා කරන සංධිස්ථානයක් ලෙස දියුණු විය යුතුය. මේ වන විටත් ඒ බව චීනය හඳුනාගෙන තිබේ. හම්බන්තොට වරාය ආයෝජනය මගින් චීනය අපේක්‍ෂා කරන්නේද ඒ බව පැහැදිලිය. එහි වාසිය මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ලබා ගත යුතුය.

මේ වන විටත් ශ්‍රී ලංකාව චීනය සමඟ දේශපාලනික ආර්ථික හා සමාජීය වශයෙන් ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනඟා ගෙන තිබේ. චීන ශ්‍රී ලංකා තානාපතිවරයා පවසා සිටියේ මෙම සේද මාවතේ එක් තීරයක් එක් මාවතක් සංකල්පය සඳහා ප්‍රථම පහසුකම් සැපයූ රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ගෞරවය හිමි වන බවයි. එම ගෞරවය පමණක් නොව එහි ආර්ථික වාසියද ශ්‍රී ලංකාව ලබා ගත යුතු වේ. එපමණක් නොව ශ්‍රී ලංකාව කලාපීය ආනෙකුත් රටවල් සමඟ විශේෂයෙන් ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය පමණක් නොව ඇමරිකාව සහ ජපානය සමඟ මනා දේශපාලන, ආර්ථික සහයෝගීතාවක් පවත්වා ගැනීම විශේෂත්වයකි. මෙහි වාසිය ලබා ගැනීම සඳහා ලංකාව තවදුරටත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය. රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා වන පරිදි අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය වන පරිදි කටයුතු කිරීම අනාගත පරපුර වෙනුවෙන් රජයේ වගකීමකි.

ලංකාව භූගෝලීය වශයෙන් කේන්ද්‍රස්ථානයක (ආර්ථික, දේශපාලන හා සංස්කෘතික වශයෙන්) පිහිටීම නිසා චීනයේ එක් තීරයක් - එක් මාවතක් ව්‍යාපෘතිය සඳහා ක්‍රමෝපායික වශයෙන් ඉතා වැදගත් වේ. ජාත්‍යන්තර දේශපාලන භූමිකාව තුළ ලංකාව ඉතා වැදගත් වේ. මෙය චීනය දැනටමත් හඳුනාගෙන ඇති බැවින් ඉදිරියේදී තම ආර්ථික හා දේශපාලනික න්‍යායපත්‍රය සඳහා යහපත් හවුල්කාරීත්වයක් ගොඩනැඟිය හැකි බව වටහා ගෙන තිබේ. ලංකාව එය ක්‍රමෝපායිකව භාවිත කොට යහපත් ආයෝජනයන් සඳහා යහපත් හවුල්කාරීත්වයක් ඉදිරියේදී ගොඩනඟා ගත යුතුය.

 

[චිත්‍රාල් ජයවර්ණ]

මාතෘකා