සැදෑසමය ඉසුඹුලන “දිසිතුරු” නිවහන මාටින් විජේසිංහ

 ඡායාරූපය:

සැදෑසමය ඉසුඹුලන “දිසිතුරු” නිවහන මාටින් විජේසිංහ

මාටින් විජේසිංහයන් “ශ්‍රී ලංකා තිලක” ජනාධිපති සම්මානයෙන් බහුමානයට පාත්‍ර වූ අයුරු පසුගිය සතියේ අපි ඔබට කීවෙමු.

කුමන ගෞරව සම්මාන ලැබුණද මාටින් අයියාගේ සිංහරාජ පරීක්ෂණ මධ්‍යස්ථානයේ මුරකරු යන රාජකාරි නාමයේ කිසිදු වෙනසක් නොවිණි. ඔහු කිසි විට තමන් සතු දැනුම අත්දැකීම් හෝ දැනහැඳුනුම්කම් රැකියාවේ උසස් වීමක් ලබාගැනීමට හෝ පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් යොදා ගැනීමට යොමු නොවිණි. ඒ ඔහුගේ ප්‍රතිපත්තිගරුක ජීවිතයේ එක් සුවිශේෂී ගුණාංගයකි. අනූව දශකය වනවිට වසර විසිපහකට වැඩි සේවා කාලයක් සපුරා තිබූ ඔහු ලැබූ එකම වරප්‍රසාදය වූයේ ‘අනියම් මුරකරු’ තනතුර ‘ස්ථිර මුරකරු’ ලෙස පත්ව තිබීම පමණි.

එසේ වුවද දෙස් විදෙස් පරිසරලෝලීහු සේම උගතුන් බුද්ධිමතුන් රැසක් මාටින් අයියාගෙන් ඉටුවන කාර්ය භාර්ය හොඳින් හඳුනාගෙන තිබිණි. ඔවුහු කිසිවිටෙක සිංහරාජයේ මුරකරුගෙන් ගුරුහරුකම් ලැබීමට පැකිලීමක් නොදැක්වූහ. ඒ කිසිවෙකුටත් නොදෙවෙනි ලෙස මාටින් අයියා තුළ තිබූ දැනුම් සම්භාරය හේතුවෙනි.

මාටින් අයියාගේ රාජකාරි ජීවිතයේ සුවිශේෂී චරිත කිහිපයක් හඳුනාගැනීමට හැකිවූ අතර එම පුද්ගලයන් ද ඔහු පිළිබඳ හොඳින් අධ්‍යයනය කර තිබිණි. එවන් සුවිශේෂී චරිත අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතා මාටින් අයියාගේ ජීවිතයට ප්‍රබල බලපෑමක් කිරීමට සමත් වූ අයකු ලෙස ඉතිහාසයට එක්ව ඇත. සිංහරාජය පිළිබඳ සිළුමිණ පුවත්පතට ලිපි පෙළක් රචනා කළ ධර්මසිරි ගමගේ මහතාට මාටින් අයියාගෙන් සුවිශාල මඟපෙන්වීමක් ලැබී ඇත. මාටින් අයියා සතු දැනුම හා බුද්ධිය පිළිබඳ හොඳින් නිරීක්ෂණය කළ ධර්මසිරි ගමගේ සූරීහු “සිංහරාජයේ මහාචාර්ය මාටින් විජේසිංහ” යැයි සිළුමිණට ලියූහ. එය පාඨක ප්‍රජාව මහත් සේ වැලඳගත්හ. එදා පටන් බොහෝ දෙනෙක් මාටින් අයියා හැඳින්වූයේ සිංහරාජයේ මහාචාර්යවරයා ලෙසිනි. මාධ්‍යවේදියකුගේ පෑන් තුඩින් ලියැවෙන වදනක් සමාජයට කෙතරම් බලපෑමක් කිරීමට සමත් වේද යන්නට එය කදිම නිදසුනකි.

1986 මාර්තු මස දෙවැනි දින සිළුමිණ පුවත්පතට රත්නපාල විතාන හා ප්‍රේමතිලක මාපිටිගම යන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීහූ මාටින් අයියා පිළිබඳ ලියූ ලිපියකට ‘මහකැලෑවේ වෙසෙන මහාචාර්ය මාටින්’ ලෙස සිරස්තලය යෙදිණි.

2000 වර්ෂයේ සැප්තැම්බර් 24 වැනි දින සිළුමිණ පුවත්පතේ ධර්මසිරි ගමගේ සූරීන් මාටින් අයියා ගැන මෙසේ සඳහන් කර ඇත.

“සිංහරාජ වනපෙත හා මාටින් විජේසිංහ යනු සිංහරාජය හා සිංහගල මෙන් සදාකල්හිිම එකට බැඳී ඇති නමකි. මාටින් අයියා නොදැක සිංහරාජය නරඹා වැඩක් නැත.”

එම ලිපියේ තවත් තැනක සිංහරාජ වනපෙතෙහි “මහා දෙවිඳුන් හෙවත් ඉටුදෙවියා” ලෙසත් භාරතයේ උත්තර ප්‍රදේශයේ නෛකාල් ගමේදී හමුවන “ජිම් කෝබට්ට” මාටින් අයියා සමාන බවත් ප්‍රකාශ කර ඇත. ඒ මාටින් අයියා මවුකුසින් බිහි වූදා පටන් සිංහරාජයේ තුළ සැරිසැරූ බැවිනි.

ධර්මසිරි ගමගේ මහතා සඳහන් කළ අන්දමට ඔහුගේ ජීවිතයේ තිබූ ප්‍රධාන ආශාවන් දෙකකි. ඉන් එකක් නම් “සඳ පහන් රැයක සිංහරාජ වනපෙතේ නිහඬ, නිශ්චල ගූඪ බව තුළට පිවිසීමය.” එම ආශාව ඉටුකර දී ඇත්තේ මාටින් අයියාය. අපි මේ සිදුවීම් මාලාව ගැන මාටින් අයියාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවසීය.

“මට අද වගේ මතකයි. ධර්මසිරි ගමගේ මහත්තයා සිංහරාජයේ ගල් ගුහාවක රැයක් සිටියා. එතුමා සොබාදහම හා අපූරු බැඳීමක් තිබුණු මාධ්‍යවේදියෙක්. එතුමාම තමයි සිළුමිණ පත්තරේ පළවෙනි සැරේට ‘සිංහරාජ මහාචාර්ය’ කියලා මං ගැන ලියලා තිබුණේ.”

ඒ මතකයන් සේම ජෝ අබේවික්‍රම, ජැක්සන් ඇන්තනී වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ද සිංහරාජයට පැමිණ මාටින් විජේසිංහයන් හමුවීම ඔහුගේ ජීවිතයේ අපූරු අමතක නොවන සිදුවීම් ලෙස මාටින් අයියා පවසයි. එතරම්ම එම හමුවීම විශේෂ ඇයි දැයි අප විමසූ විට,

“ජෝ මහත්තයා කිතුල් රා මුට්ටියක්ම හිස් කළා. අපේ ගෙදරට ඇවිල්ලා හොඳ සාජ්ජෙකුත් දැම්මා” යැයි අතීත සොඳුරු මතකයන් රැසක් සිහියට නඟමින් ඔහු පැවසීය. එවිට ඔහුගේ මුව සිනහවකින් පිරී තිබිණි.

1988 - 89 කාලයේ සිංහරාජය ලෝම උරුමයක් බවට පත් කරන්නට යන බව දැනගත් ගැමියෝ එයට විරුද්ධ වූහ. එයට ඔවුන් විරුද්ධ වූයේ කිතුල් මැදීම, දර එකතු කිරීම, ඖෂධ වර්ග සොයා ගැනීම ආදී වනජ ද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම ඔවුන්ගේ ජීවිකාවට බලපාන බැවිනි. එහිදී වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව මේ පිළිබඳ ගැමියන් දැනුම්වත් කරන ලෙස මහාචාර්ය සරත් කොටගම මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. එහිදී සරත් කොටගම මහැදුරු ගැමියන් දැනුම්වත් කිරීම “සංරක්ෂණ සඳහා පා නඟමු” වැඩසටහන මගින් සිදු කළ අතර එහි සම්පත් දායකයෙකු ලෙස මාටින් විජේසිංහයන් සම්බන්ධ කරගෙන ඇත. එහිදී සිංහරාජයට පිටින් පැමිණි පුද්ගලයින් සිංහරාජය ගැන කියන කතාවලට වඩා තම ගම් ප්‍රදේශයේ උපන් අයෙකු වූ මාටින් අයියා පැවසූ දේ ගැමියන් අතර වැඩි පිළිගැනීමකට ලක්වූ අතර එය ගැමියන්ගේ විරෝධය සමනය කරන්නටද සමත් විය.

මාටින් අයියාගේ ජීවන මංපෙත කෙමෙන් විශ්‍රාම දිවිය කරා ළං වෙමින් තිබිණි. සිංහරාජ මායිමේ පිහිටි මාහේන නම් බිම් කොටසේ තම අඹු දරුවන් සමඟ කල් ගෙවූ ඔහුට නිදහසේ ජීවත් වීමට සිත් විණි. ඒ අනුව නිවසට ඉහළි වූ බිම් කොටසේ වරිච්චි ගසා පුංචි කාමරයක් ඉදිකෙරුණි. පරිසරයට කිසිවිටෙක හානියක් නොකරන ප්‍රතිපත්තියට අනුව කටයුතු කළ ඔහු ඉතා සරල අයුරින් මේ කුඩා කාමරය නිවහනක් බවට පත් කළේය. එයට ‘දිසිතුරු’ යැයි නම් තැබිණි. මෙම නිවස ඉදිකිරීමේ සැලසුම් ශිල්පියා සේම පෙදරේරුවා හා වඩුකාර්මිකයාද මාටින් අයියා විය. මේ ගැන අප සමඟ අදහස් දැක්වූ මාටින් අයියා,

“මම විශ්‍රාම ගත්තාම නිදහසේ ඉන්න කියලා කටුමැටි ගහලා පුංචි ගේ කාමරයක් හදා ගත්තා. මගේ මතකේ හැටියට ඒ 1991 අවුරුද්දේ ” යැයි පැවසීය.

“ ‘දිසිතුරු’ කියලා ඒකට නම තිබ්බේ ඇයි? ” නම ඇසූ විට, ‘දිසි’ කියන්නේ පේනවා කියන එක ‘තුරු’ කියන්නේ ගස්වැල්වලට” යනුවෙන් එහි අරුත මාටින් අයියා විස්තර කළේය.

මාටින් අයියා පැවසූ පරිදිම “දිසිතුරු” නිවසට සතර අතින් පෙනෙනුයේ හරිත පැහැය ගැවසී ගත් තුරුපෙත් මුදුන්‍ ය. නැඟෙනහිර දෙසින් මුලාවැල්ල මුදුනද බටහිරින් කලවාන දෙසින් පෙනෙන කඳු පෙළද උතුරින් වළං කන්දද දකුණින් දෝතළුගලද ඈතින් ඈතට දර්ශනය වෙමින් මවන සිතුවම් පෙළ දෙස බලා සිටින විට වේලාව ගත වන බවක් නොදැණේ.

තුරුපෙත පිස හමා එන මඳ නළ ගතෙහි විඩාව දුරලන්නා සේම හරිත වර්ණයෙන් හෙබි තුරුමුදුන් පෙළ දෙස බලා සිටින ඕනෑම කලබලකාරී සිතක් සමාධිගත වීම නොවැලැක්විය හැකි කරුණකි. නවදදුන්, බෙරලියදුන්, තිනියදුන්, හොර, කීන, වනඉදල, අළුබෝ, වල්ජම්බු වැනි වනස්පතීන්ගේ මෙන්ම මාවේවැල්, වෙනිවැල්, පුස්වැල් ආදී නොයෙක් ලතාවන්ද විටෙක ළං වන්නේත්, තවත් විටෙක ඈත් වන්නේත් එකිනෙකා හා පෙම් බස් දොඩනා අයුරිනි. දිසිතුරු නිවසේ ආලින්දයේ පුටුවකට බර දුන් විට නොයෙක් වර්ගයේ කුරුල්ලන් රැසක් නිරායාසයෙන් දැක ගන්නට හැකියාව ඇත.

කටුමැටි ගේ කාමරයක් ලෙස ඇරඹි දිසිතුරු නිවස අද වන විට සිංහරාජය පිළිබඳ අධ්‍යයනය සඳහා පැමිණෙන හතළිහක පනහක තරම් පිරිසකට වුවද සෙවණ ලබා ගත හැකි ලෙස ගොඩනඟා ඇත. එදා මාටින් අයියාට විවේකයෙන් විශ්‍රාම සුවය විඳීමට සෑදූ නිවස අද මාටින්ගේ නවාතැන (Martin's Lodge) ලෙස ලොව පුරා ප්‍රකටව ඇත.

මුලින්ම ‘දිසිතුරු’ නිවසේ රාත්‍රියක් ගත කළ අමුත්තා වූයේ එවකට ජර්මන් තානාපති වූ ක්ලවුඩ් එම්. පැන්නියර් මහතායි.

මේ ගැන මාටින් අයියා අප සමඟ මෙසේ පැවසීය.

“මෙතැන නවතින්න පහසුමක් නැතැයි මම දිගින් දිගටම පවසද්දී එතුමාට ඕනේ වුණේ මෙහිම රාත්‍රිය ගත කරන්නයි. පස්සේ ගොමමැටි නොගා තිබූ පොළොවට වැලි ටිකක් දාලා ලෑලි කීපයකින් තට්ටුවක් හදලා නිදාගන්න පහසුකම් දුන්නා. එතුමා බොහොම සතුටින් මෙහෙ හිටියා. පසුදා එතුමා මෙහෙන් ගියේ මගේ සිතට අලුත් අදහසකුත් ඇති කරලා. ඒ අනුව තමයි මාටින් ලොජ් (Martin's Lodge) එක ගොඩනගන්නේ. මෙතන කිසිම ලාබ ලැබීමේ පරමාර්ථයක් නෑ. මේක පවත්වාගෙන යන්න යම් මුදලක් අයකරනවා.”

මාටින් අයියා පවසන පරිදි මෙය හුදෙක් විනෝද චාරිකාවක් ලෙස සිංහරාජයට එන පිරිසට නවාතැන්පළක් නොවේ. තොරතුරු දැන ගැනීමේ ආශාව පෙරදැරිව සිංහරාජය පිළිබඳ හැදෑරීමට පැමි‍ෙණන පිරිස වෙනුවෙන් වෙන්වූවකි. ඒ සඳහා පැමි‍ෙණන දෙස් විදෙස් පර්යේෂකයන් හා විද්‍යාර්ථීන් රැසක් මාටින් අයියාගේ නවාතැන තම පර්යේෂණ කටයුතු සඳහා යොදා ගන්නේ මාටින් අයියාගේ ගුරුහරුකම්ද ලැබෙන බැවිනි.

මාටින් අයියා රාජ්‍ය සේවයට ආයුබොවන් කියයි ලබන සතියේ....

මාතෘකා