ලියන කියන හිතන නිදහස

 ඡායාරූපය:

ලියන කියන හිතන නිදහස

මුහුණු පොතේ පළ කළ ‘කෙටි කතාවක්’ හේතුවෙන් තරුණ කෙටිකතාකරුවකු වන ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීමේ සිදුවීම ඔස්සේ අදහස් පළ කිරීමේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳ කතිකාවතක් ඇති වෙමින් තිබේ.

ලේඛකයාට එරෙහිව පියවර ගැනීම සඳහා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත [ICCPR] යොදාගැනීම බොහෝ පාර්ශ්වවල විවේචනයට ලක්ව ඇති අතර, විවිධ මත දැරීමට හා අදහස් පළ කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම අරමුණු කරගත් පනතක් නිර්මාණකරුවකුට එරෙහිව යොදාගැනීම වැරදි බව එම විවේචකයෝ පෙන්වා දෙති.

චෝදනාවට පදනම් වූ, අදාළ පනතේ 3[1]ඡේදය මෙසේය.

"කිසිම තැනැත්තකු විසින්, යුද්ධය පැතිරවීම හෝ වෙනස් සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙලඹවීම නොකළ යුතුය."

අදාළ කෙටිකතාව ඉහත කී අගතීන්වලට තුඩුදී තිබේද යන්න විවාදාපන්න මාතෘකාවක්ව පවතී. එමෙන්ම ඉහතකී අගතීන් සිදුවන අවස්ථා මඟහැර මෙවැනි පියවරක් ගැනීම පිළිබඳවද විවිධ චෝදනා පැන නැඟී ඇත. මේ සංවාදය ඉහත කරුණු සියල්ල සැලකිල්ලට ගනී.

නිර්මාණයේ ගුණ දොස් විමසිය යුත්තේ සමාජයයි
- නීතිඥ එස්.ජී. පුංචිහේවා

මෙතන ප්‍රශ්න කිහිපයක් පටලැවිලා තියෙනවා. ආගමික අදහස්වලට හානි වන ලෙස යමක් ප්‍රකාශ කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදක්. පොලිසියෙන් අත්අඩංගුවට දැමීමෙන් පසු මහෙස්ත්‍රාත් උසාවියට නඩු විමසන්න පුළුවන්. එක්සත් ජාතීන් සමඟ ඇති කර ගත් සම්මුතියකට අනුව ආගමකට හෝ ජන විශ්වාසයකට හානියක් වන පරිදි යම් ප්‍රකාශයක් කළ විට එවැනි දෙයකට දඬුවම් දෙන්න අයිතියක් තියෙනවා. කලාකාරයකුට නිර්මාණයක් කරන්න පුළුවන්. ඒක හොඳද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් වෙන්නේ සමාජයට. ත්‍රස්තවාදීන් වගේ සංවිධානය වී යම් පිරිසක් පොලිසියටත් බලකරනවා නම් ඒක ත්‍රස්තවාදයක් තමයි. බෞද්ධ භික්ෂුන් වහන්සේලා කරන්න ඕන ඒ පුද්ගලයාව හම්බවෙලා බණක් කියලා අඩුපාඩු පෙන්වා දෙන එක.

මෙහෙම ගියොත් අප බයෙන් සිටින මිනිස්සු වෙනවා
- ග්‍රන්ථ ප්‍රකාශක ජනක ඉනිමංකඩ

පුද්ගලයකු සම්බන්ධව හෝ ලියන ලද නිර්මාණය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නෙවෙයි මෙතැනින් තියෙන්නේ. කෙනකුගේ භාෂණයේ නිදහස, නිර්මාණකරුවකුට නිර්මාණකරණයේ යෙදෙන්න කොයිතරම් නිදහස් අවකාශයක් තියෙනවාද යන්න පිළිබඳවයි මෙහිදී විමසන්න අවශ්‍ය. යම් අදහසක් ඉදිරිපත් කරන්න මට තියෙන බාධා ප්‍රමාණය කොයිතරම්ද කියන එක මත ඒ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදය තීරණය වෙනවා. මේ කෙටි කතාවට අදාළ මතුවෙච්ච ප්‍රශ්නය වන්නේ අන්තවාදී ආගමික එකමුතුවක් විසින් ඉදිරිපත් කරපු අදහසකට නීතිමය වශයෙන් වටිනාකමක් හිමි වෙලා තියෙනවද එකයි. යම් හේතු මත ඕනෑම කෙනකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. ඒත් ඉදිරිපත් කරන චෝදනාව කොතරම් දුරට හරිද වැරදිද කියලා සොයා බලනවා වෙනුවට එය කරන්න පටන් ගන්නෙම හිර ගත කරලා. යමක් ප්‍රකාශ කිරීම තුළ තමන්ට හානියක් ඇති වෙනවා කියලා අනියත බියක් ඇති වෙනවා නම් සමාජය පිළිබඳව එතැනදී ගැටලුවක් ඇති වෙනවා. අපි බයෙන් සිටින මිනිස්සු කොටසක් බවට පත්වෙනවා.

ප්‍රබන්ධවලට තහංචි පනවන්න කාටවත් බෑ
- නිර්මාණවේදී මාලක දේවප්‍රිය

භාෂාව කියන්නේ සංකේත පද්ධතියක්. සංකේත පද්ධතිය කාටවත් අයිති නෑ. බොහෝ නිර්මාණකරුවන් කරන්නේ භාෂාව යොදාගෙන ධ්වනිතාර්ථ, ව්‍යංගාර්ථ, හාස්‍ය නිෂ්පාදකාර්ථ, උපමා යොදාගෙන වෙනත් ප්‍රකාශන කිරීමයි. බෞද්ධ සාහිත්‍ය, හින්දු සාහිත්‍ය, මුස්ලිම් සාහිත්‍ය කියන්නෙත් නිර්මාණකරුවකුගේ ප්‍රබන්ධයන්. පන්සිය පනස් ජාතක පොත කියන්නේ ප්‍රබන්ධයක්. බයිබල සාහිත්‍ය කියන්නේ ප්‍රබන්ධයක්. ප්‍රබන්ධවලට තහංචි පනවන්න බෑ කාටවත්. පොලිසියට හරි, ආගමික නායකයන්ට හරි, දේශපාලනඥයන්ට හරි ඕන විදිහට නිර්මාණකරුවන් නිර්මාණ කරන්නේ නෑ. නිර්මාණකරුවන්ට නිර්මාණකරණයේ නිදහස තියෙනවා. එය ශිෂ්ටත්වය විසින් අත්පත්කරගත් තත්ත්වයක්. නිර්මාණ වාරණය කරලා, නිර්මාණවලට විරුද්ධව නඩු දාලා, තහංචි පනවනවා කියන්නේ අශිෂ්ට ලක්ෂණ.

ප්‍රකාශනයේ නිදහස කියන්නෙ මානව සංහතියේ පැවැත්ම
- සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර

ප්‍රකාශ කරන එකම තමයි කලාකරුවාගේ වෘත්තිය. කලාකරුවා වෘත්තියකටත් එහා ගිහින් ප්‍රකාශනය කියන දේ තමන්ගේ ජීවිතය කරගන්නවා. නැත්නම් වෘත්තීමය කලාකරුවෙක් වෙන්නත් බැහැ. ඒ ප්‍රකාශනය සිනමාව, රචනය, නාට්‍යකරණය හෝ වෙනත් මොනයම් මාධ්‍යකින් වුවද සිදුවෙන්න පුළුවන්. ප්‍රකාශනයකින් තොරව කලාවක් පවතින්නේ නැහැ. කලාව කියන්නේ මිනිස් සංහතියේ සීමා නැති කරන්න මිනිසා උදෙසා නිර්මාණය වූවක්. කලාකරුවාගේ ප්‍රකාශන මිනිස්සු විවිධාකාරයෙන් බාරගන්නවා. කලාකරුවා 100%ක් ප්‍රකාශනය අතින් නිදහස් පුද්ගලයෙක්. ඔවුන්ට සීමා නැහැ. ලෝකයේ කලාකරුවා වාරණය කළ ඉතිහාසයක කවුරුත් ජයග්‍රහණය කරලා නැහැ. යම් සමාජයක් තුළ ලෝකයේ කලාකරුවා වාරණය කරලා තියෙනවා නම් එකී සමාජයේ පිරිහීම අපිට දැක ගන්න පුළුවන්. කලාවට පවතින නිදහස කියන්නෙම මානව සංහතියේ පැවැත්ම කියන එක.

හැම ප්‍රකාශනයක්ම කලාත්මකද යන්න සලකා බැලිය යුතුයි
- සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම

කලාකරුවෙකුගේ කලාත්මක ප්‍රකාශන නිදහසේ සීමාවක් තියෙන්න බැහැ කියන ස්ථාවරයේ තමයි මම කවදත් ඉන්නේ. හැබැයි හැම ප්‍රකාශනයක්ම කලාත්මක ප්‍රකාශනයක් වෙනවාද කියන එක වෙනම සලකා බැලිය යුතු කරුණක්. කලා කෘතියක තියෙන කලාත්මක ගුණ නුගුණ පාඨක, ප්‍රේක්ෂක සහ විචාරක කණ්ඩායම් විසින් සංවාද කළ යුතු විෂයක්. අන්තවාදී කණ්ඩායම්වල වුවමනාවේ හැටියට කලාවට වාරණ පැනවීම මම කොහොමත් අනුමත කරන්නේ නැහැ. කලාකරුවාගේ ප්‍රකාශන, සමාජය විවිධ ලෙස නිර්වචනය කරනවා. එය ස්මාජයේ විවිධ ගැටීම් සඳහා මූලය කරගන්නත් හේතු කරගන්න අවස්ථා තියෙනවා. ඒ නිසා තමන් කළ ප්‍රකාශනය නිවැරදි නම්, කොන්ද කෙළින් තබාගන සමාජයෙන් පැන නඟින ඕනෑම ප්‍රශ්නයකට මුහුණදීමට කලාකරුවාට හයියක් තිබිය යුතුයි කියලා මම හිතනවා.

ICCPR පනත අවභාවිත කිරීමක්
- නීතිඥ තුෂාර ද සිල්වා

ICCPR පනත විදියට සාමාන්‍යයෙන් හඳුන්වන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ගෙන ආවේ බොහොම උත්තරීතර අරමුණු ඉලක්ක කර ගෙන. ශක්තික සත්කුමාර ලේඛකයාට මේ පනත යටතේ නඩු පවරා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඒ උතුම් පරමාර්ථ අවභාවිත කිරීමක්. නීතිය තේරුම් ගන්නේ නැතිකම මෙයට එක හේතුවක්. සාහිත්‍ය, කලා ක්ෂේත්‍රය ගැන අවබෝධයක් නැතිකම තවත් හේතුවක්. ලෝරන්ස්ගේ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකතාව ගැනත් ඒ කාලේ එංගලන්තෙ මේ විදියටය ප්‍රශ්න ඇති වුණා. එහිදී ඩෙනිං සාමිවරයා ඒ තත්ත්වය විග්‍රහ කරමින් විශිෂ්ට නඩු තීන්දුවක් දුන්නා. ඒවායින් අපේ ජනතාවටත් ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. මේ ගැන අධිකරණයටත් වගකීමක් තියෙනවා. අධිකරණ පොලීසියේ රබර් මුද්‍රාවක් විය යුතු නැහැ. මේ සිද්ධිය ගැන මීට වඩා වගකීමක් හිතන්න ඕන. මේ ගැන රටේ පැහැදිලි කතිකාවක් ඇති වීමෙන් විතරයි මේ වගේ අවාසනාවන්ත දේවල් නැති කරන්න පුළුවන් වෙන්නෙ.

ප්‍රකාශන නිදහස කියන්නේ වල්බූරු නිදහස නෙවෙයි
- මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

කතාවක් තියෙනවා ඔබේ නිදහස පවතින්නේ මගේ නහය දක්වා පමණයි කියලා. ප්‍රකාශන නිදහස කියන එක නම් අර්ථකථනය කරන්න අමාරුයි. ලේඛනයට නම් පිළිගත් සම්ප්‍රදායන් සහ නීති රීති තියෙනවා. ඒවා කිසිවක් නැතත් කලාකරුවෙකුට ස්වයංවාරණයක් තියෙන්න ඕනේ. මිනිස්සුන්ට කලා මාධ්‍යයකින් හානියක් වෙනවා නම් ඒක වැරදියි. එහෙම ප්‍රකාශන ලංකාවේ විතරක් නෙමෙයි. ලෝකෙත් තහනම් කරලා තියෙනවා. ප්‍රකාශන නිදහස කියන්නේ වල්බූරු නිදහස කියන එක නෙමෙයි. කලාකාරයාට නිදහස ඕනේ කියලා එයාට පිස්සු නටන්න බැහැ. කලාකාරයා කියන්නේ සමාජයටම අදාළ පුද්ගලයෙක්. සමාජයෙන් වියුක්ත කෙනෙක් නෙමෙයි. ඒ නිසා කලාකරුවෙකු තුළ යම් සීමා තහංචි තියෙන්න ඕනේ.

[රසිකා හේමමාලි] [නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා