“භූතයෙක්” හදා පේටන්ට් අයිතිය ගත් දිගාමඩුල්ලේ ඉන්ජිනේරුවා

 ඡායාරූපය:

“භූතයෙක්” හදා පේටන්ට් අයිතිය ගත් දිගාමඩුල්ලේ ඉන්ජිනේරුවා

"කන්ට අදින්ටා පිටරටින් එන තුරු, මුහුදට දත නියවන්නා...." යැයි ලක්ෂ්මි භායි එදා කීවේ අනාගතය ගැන බොහෝ දෑ දැන ගෙන විය හැකිය. ඒ තරමට ශ්‍රී ලාංකිකයා යනු විදේශීය ආනයනිත නිෂ්පාදන හා භාණ්ඩ තම දිවියෙහි අනිවාර්ය අංගයන් බවට පත් කරගෙන සිටින පිරිසකි.

අලුත් දේ තනන්නට හැකි වුවත් ඒවාට වටිනාකමක් නො දී පිටින් ගෙනෙන දේ අගයන රටක් බවට ලංකාව පත්වෙමින් තිබේ. එවන් වටපිටාවක් මැද ලංකාවට ගැළපෙන ආකාරයට බීජ සිටුවීමේ යන්ත්‍රයක් නිපදවමින්, එයට පේටන්ට් බලපත්‍රයක් ලබා ගනිමින්, ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ විස්මිත නිර්මාණ කරන අපූරු මිනිසෙක් පසුගියදා අපිට හමුවිය.

හෙතෙම සැබවින්ම අපූරු මිනිසෙකි. ඔහු විවිධ ජීවනෝපායන් කර ඇත. ඒවා එකිනෙකට වෙනස්ය. එම කර්තව්‍යයන්හි විශේෂඥවරයකු වන ඔහු කාලයක් තිස්සේ එම අංශන්හි ලද දැනුවත්භාවය නව නිර්මාණයන් සඳහා ඉවහල් කරගත් පුද්ගලයෙකි. ඔහු අවසානයට නතර වන්නේ දේශීය කෘෂිකර්මාන්තය ළඟය. එයද උඩු යටිකුරු කරවන පෙරළියක් කරන්නට සමත් වූවෙකි මේ. මේ දිගහැරෙන්නේ ඔහුගේ කතාවයි.

අම්පාර දේවාලහිද ගල්කන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්. එම්. ජයවර්ධන මහතා අපිට මුණගැසුණේ ඔහුගේ වැඩබිමේදීය. කොක්නහර මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරමින් සිටිදි ඔහු පාසල් ජීවිතයට තිත තැබුණේ සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සමයේදීය. ඒ පියාගේ හදිසි වියෝව නිසාය. පාසල් ගමනට ආයුබෝවන් කියූ ඔහු ඒ වෙනුවට වඩු වැඩ කරන්නට පටන් ගත්තේය. වසර කිහිපයක් යද්දි ඔහු වඩු වැඩෙන් නිපුණතාවයක් පෙන්වමින් කටයුතු කරන්නට විය. පසුව එයටද ආයුබොවන් කියූ ඔහු අම්පාර හාඩි කාර්මික ආයතනයෙන් කාර්මික පාඨමාලාවක් හදාරන්නට විය.

පසුව මෙම උත්සාහවන්ත තරුණයා අම්පාරෙන් කොළොම්පුරයට පා තැබුවේ තවත් අලුත් දෙයකට අත ගසන්නටය. ඔහු වසර 09ක් තිස්සේ කොළඹට වී නවකතා ඇතුළු විවිධ මාදිලියේ පොත් පත් සිය ගණනකට පරිගනකයෙන් ලිපි සකස් කරන්නට විය. ඒවාට අවශ්‍ය ග්‍රැෆික් නිර්මාණයන් කරන්නට වූවේය. මේ සියල්ලම සඳහා ඔහුට ගුරුවරයෙක් නොවූ අතර බොහෝ දෙනෙක් වැඩ කරන ආකාරය බලා ඔහු තනිවම එම දේවල් පුරුදු පුහුණු විය. මෙසේ කාලයක් තම රැකියාව කළ ජයවර්ධනට හදිසියේ තම රැකියාවට සමුදෙන්නට සිදුවිය. එහෙත් එය එය ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් වන බවක් ඔහු දැනගෙන සිටියේ නැත. ඔහුගේ කොළඹ ගමනට තිත තැබුණේ අම්පාර නිවසේ අසනීපව ජීවත් වූ ඔහුගේ මව රැක බලා ගැනීමට අවශ්‍ය බැවිනි.

ඉන්පසු ඔහු තවත් අලුත් වැඩකට අත ගසන ලදී. අම්පාර යනු අතීතයේ පටන් ඉතා සශ්‍රීක අන්දමින් මහා පරිමාණ ලෙස වී ගොවිතැන පැවැති ප්‍රදේශයකි. ජයවර්ධනට නිරන්තරයෙන් දකින ඇසෙන කෘෂිකර්මාන්තයෙහි වෙනසක් කිරීමට ඔහුට අවැසි විය.

ගොවීන්, ‘භූතයා’ ලෙසින් හඳුන්වන ගොයම් මඩින යන්ත්‍ර දෙකක් ලංකාවට ප්‍රථමයෙන් ගෙන්වූ කාලයයි. ඔහු එයින් එක් යන්ත්‍රයක් මිලදී ගෙන අම්පාරට පැමිණියේය. ගමේ සියල්ලන්ටම එයින් ලැබුණේ විශාල ප්‍රතිලාභයකි.

ජයවර්ධනටද මේ හේතුවෙන් හොඳ ආදායමක් ලැබුණි. ඔහු එතැනින් නතර වන්නට සූදානම් වූයේ නැත. ඔහුට අවශ්‍ය වුණේ තවත් එවැනි නිෂ්පාදනයක් කරන්නටය. ඔහු කුඩා කාර්මික වැඩබිමක් ආරම්භ කරමින් තමන් මිලදී ගත් භූතයා හොඳින් පරික්ෂා කරන්නට විය. ඒ සඳහා අවැසි බඩු බාහිරාදිය ඉතා දුෂ්කරව සපයාගත්තේය. මේ සඳහා ඔහුට ටික කලක් ගත විය. මෙසේ කල්යත්ම ඔහුගේ ප්‍රයත්නය සඵල විය. ඔහු අලුතෙන් ඉතා සාර්ථක ආකාරයේ ගොයම් මඩින යන්ත්‍රයක් හෙවත් භූතයෙක් නිරමාණය කරන්නට වුවේය. මේ නිර්මාණයත් සමඟ ඔහුගේ කාර්මික ඥානය ගැන සියල්ලෝම මවිතයට පත්වූහ.

"අනේ ජයවර්ධන මල්ලියේ ඉරිඟු ඉන්දන්න ගියාම එපා වෙනවා, කට්ටිය හොයලා. පුළුවන් නම් ඉරිඟු ඉන්දන මැෂින් එකක් හදන්කෝ" යැයි කිහිප දෙනෙක් නිතර දෙවේලේ ඔහුට පවසා සිටින්නට වුහ.

ඒ අනුව ඔහු දිගින් දිගටම කල්පනා කරමින් ඒ වෙනුවෙන් සැලසුම් සකස් කරන්නට විය. මාස දෙක තුනක් යද්දී ඔහුගේ කාර්යය සාර්ථක විය. දුටුවන් මවිත කරමින් බීජ සිටුවීමේ යන්ත්‍රයක් ඔහුගේ දෑතින් නිම විය. එසේ නිර්මාණය කළ යන්ත්‍රයට ඔහු පේටන්ට් බලපත්‍රයද ලබා ගත්තේය.

"මේ යන්ත්‍රයෙන් ඉරිඟු, මුං ඇට, කව්පි වගේ ඇට වර්ග, එකවර පේළි නවයක් ඉන්දන්න පුළුවන්. අවශ්‍යතාව අනුව ඇට පේළි පහක් හයක් වුණත් ඉන්දන්න පුළුවන්. මෙම යන්ත්‍රයෙන් වළ හෑරිලා, ඒ එක්කම බීජ සහ පොහොර වැටෙනවා. ඊට පස්සේ ඒ වළ වැහෙනවා. ඉන් පසුව ඒ වළේ වහපු පස් ටික තද වෙනවා. මේ ආකාරයෙන් ක්‍රියාවන් රැසක් මෙම යන්ත්‍රයෙන් සිදු වෙනවා.

“එකවර බීජ කිලෝ 20ක් මේ යන්ත්‍රණයට පුරවන්න පුළුවන්. ඒ වාගේම පොහොර කිලෝ 75ක් එකවර දමන්න පුළුවන්. වළකට වැටෙන පොහොර ඇට ප්‍රමාණය බීජ ප්‍රමාණය තමන්ට ගැළපෙන පරිදි සකසා ගන්න පුළුවන්. ඒ සමඟ තමන්ට කැමති ආකාරයෙන් පේළි අතර පරතරය වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මෙම යන්ත්‍රය තමන්ට හැකි අකාරයෙන් වෙනස් කිරීමේ හැකියාව තියෙනවා.

“දවසකට අක්කරයක් සිටුවන්න කම්කරුවන් 08ක් අවශ්‍ය වෙනවා. ඒකට රුපියල් දොළොස්දාහක් වැය වෙනවා. නමුත් මෙම යන්ත්‍රයෙන් දිනකට අක්කර 08ක් ඉතා පහසුවෙන් සිටුවීමට හැකියාව තියෙනවා. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න තියෙන්නේ ට්‍රැක්ටරයට සවිකරලා. අක්කරයට රුපියල 3500ක් තමයි මේ වන විට අපි බීජ සිටුවන්නට අය කරන්නේ. අපි ලංකාව පුරා බොහෝ ප්‍රදේශවල බීජ සිටුවීම සිදු කරනවා.

“මේ යන්ත්‍රයක් අප නිෂ්පාදය කර අලෙවි කරන්නේ රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දාහකට. මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් යන්ත්‍ර 07ක් මිල දී ගෙන තිබෙනවා. මේ යන්ත්‍රයෙන් බීජ සිටෙව්වම වල් මර්දනය කරන්න ලේසියි. මම මේ වෙද්දි තව නව නිපයුම් කිහිපයක් කරලා තියෙනවා. ඒ පිළිබඳ ඉදිරියේදි තොරතුරු ලබා දෙන්නම්" යනුවෙන් ජයවර්ධන මහතා අපත් සමඟ පවසා සිටියේය.

මිනිසුන් ගැටලුවලට දිගුකාලීන විසඳුම් වෙනුවට කරන්නේ කෙටිකාලීන විසඳුම් සෙවීමය. එහි ප්‍රතිඵලයක් වන්නේ සියල්ලන්ම කොන්දේසි විරහිතව මාස් පඩි පතා රැකියාවන්හී නිරත වීමය. ඒ නිසාවෙන් වර්තමානයේ ගමක වගාවක් කිරීමට මිනිසුන් සොයා ගැනීම ඉතා අපහසුය. අද ජීවත්වන තරුණයෝ තාක්ෂණික මෙවලම් කරේ තබා ගෙන බෝක්කු උඩ නිකරුණේ රස්තියාදු වුවද වගා බිමකට බසින්නට සුදානම් නැත. එවන් තත්ත්වයක් යටතේ මෙම නිර්මාණයේ වටිනාකම මෙපමණයි කිව නොහැකිය. ඒ නිසා වගාවන් සඳහා ශ්‍රම දායකත්වය සොයා ගැනීම අපහසු යුගයක දිගාමඩුල්ලට අභිමානයක් ගෙන දුන් ජයවර්ධන මහතාගේ මේ විස්මිත නිර්මාණය මේ වන විට ඉරිඟු ඇතුළු ඇට වර්ග සිටුවන ගොවීන්ට මහත් ලාභදායි මෙන්ම වැඩ පහසුවෙන් කරගැනීමට හැකිවීම තුළ ගොවීන් අතර ඉතා හොඳ ඉල්ලුමක් ඇති වෙමින් තිබේ.

ඒ නිසා සෑම වසරකම බඩ ඉරිඟු වගා කරන ගොවීන් ජයවර්ධන මහතාව සොයා එන්නේ බීජ සිටුවීමේ යන්ත්‍රයෙන් තමන්ගේ වගා බිමෙහි බීජ සිටුවා ගැනීම සඳහාය. ඒ අතරවාරයේ විවිධ ප්‍රදර්ශනවලටද මෙම යන්ත්‍රය ඉදිරිපත් කරන බැවින් එය දකින ගොවි මහත්වරුන්ගෙන් මෙම යන්ත්‍රයට ඇත්තේ විශාල ඉල්ලුමකි.

මෙවන් විශිෂ්ට නව නිර්මාණ කරන දක්ෂයෝ බොහෝ පිරිසක් ලංකාව පුරා විසිරී සිටිති. නමුත් ඔවුන්ගේ එම නිර්මාණයන් දියුණු කර රටේ සංවර්ධනයට යොදා ගැනීමට නිසි වැඩපිළිවෙලක් නොමැතිකම නිසා මෙම නව නිර්මාණකරුවෝ තමන් වෙහෙස මහන්සියෙන් නිපදවූ එම නිර්මාණ සමඟින් අසරණව සිටිති.

මෙවන් අති දක්ෂයෝ බොහෝ දෙනකු ලංකාව හැර යති. එම දස්කම් ලෝකයේ වෙනත් රටවලට ලබා දෙන්නේ එය අපේ රටට වැඩක් නොවන නිසාය. එයින් අපේ රට ප්‍රයෝජනයක් ගන්නේ නැති නිසාය. එනිසා මෙවන් විස්කම් නිර්මාණ කරන අය අප රැකගත යුතුය. එම නිර්මාණ දියුණු කිරිමට සහය විය යුතුය.

මේ යන්ත්‍රය සඳහා ඔබටත් තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම්,

071-5216016

දුරකතනයෙන් ජයවර්ධන මහතාගෙන් තොරතුරු ලබා ගත හැකිය.

[එස්. අමරබන්දු]

මාතෘකා