ඒ අසරණයෝ තම බඩගින්නට මැටි ගිලිති

 ඡායාරූපය:

ඒ අසරණයෝ තම බඩගින්නට මැටි ගිලිති

හයිටිය කැරිබියන් මුහුදේ කියුබාවට පහතින් ඇති දූපත් රාජ්‍යයක් වන අතර එය එක්කෝටි අසූපන්දහසක ජනතාවකට හිමිකම් කියයි. විටින් විට පැමිණෙන ස්වාභාවික ව්‍යවසනවලින් හෙම්බත් වු හයිටිය නිතරම නාය යන සහ පස සෝදාගොස් නිසරු වූ භූමියකි. එය තව තවත් තීව්‍ර වන්නේ මිනිසුන් විසින් ඉවක් බවක් නොමැතිව ගොවිතැන සහ අඟුරු සඳහා රටේ ඉතිරිව ඇති වනාන්තරේද කපා දමනා විටය. එම නිසා වසරේ වැඩිම කාලයක් ඔවුහු නියඟෙන් පීඩා විදින අතර දැන් ගොවිතැන යනු ඉතා දුෂ්කර කාර්යයකි.

1980 වසරවලදී හයිටියේ පාලකයෝ මීට පිළිතුරක් ලෙස සියලු ධාන්‍ය වර්ග හා එළවළු තම රටට අපනයනය කිරීමට පටන් ගත්තෝය. ඔවුහු ඉන් සිය අපනයන තීරුබදු ඉහළ දමාගත් අතර ජනතාව අතර තාවකාලික ජනප්‍රියත්වයක් ලබමින් සිටියෝය. එහෙත් මේ එළවළු පවා අපනයනය කිරීම හේතුවෙන් දේශීය ගොවියා සිය ගොවිතැන අතහැර දැමු අතර 1990 වන විට අපනයන වියදම ආනයන ආදායමට වඩා තුන් ගුණයකින් ඉහළ ගොස් හයිටිය ණය කන්දක් බවට පත් කළේය. දැන් හයිටියේ පාලකයා මුහුණ දෙමින් සිටින්නේ සාගින්නෙන් පෙලෙන සිය ජනතාවගේ මාරාන්තික උද්ඝෝෂණ රැල්ලකටය. 2008දී එය හයිටි අගමැති ඉවතට තල්ලු කර අතර පස්දෙනෙකු මිය යාමෙන් අවසන් විය.

මේ වනවිට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂි සංවිධානයට අනුව හයිටියේ ආහාර සදහා වු අපනයනය වියදම 80% කින් ඉහළ ගොස් ඇත. ඉන්ධන හිඟය නිසා සියලු ගුවන් ගමන් සීමා කර ඇති අතර බොහෝ අන්තර්ජාතික ගුවන්යානා හයිටි ගුවන් තොටුපොළ මගහරිමින් ගමන් කරති. මේ ඉන්ධන මිල සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි තරමට ඉහළය. නවතම තොරතුරු අනුව අද වන විට හයිටියේ තුනෙන් දෙකක ජනතාව ඉන්නේ උග්‍ර ආහාර අර්බුදයකය. එය සංඛ්‍යාත්මකව මිලියන 3කට ආසන්න වේ. රැකියා විරහිතභාවය 50% දක්වා ඉහළ අගයක් ගන්නා විට සෑම හයිටි මිනිසුන් තුන්දෙනෙක්ගෙන් එක් අයෙකු උපයන්නේ යන්තන් එක් දිනකට ඩොලර් 2ක් පමණි. මේ සියලු හේතු නිසා ඔවුහු කුසගින්න රැවටීමට, මගඇරීමට උත්සාහ ගනිමින් සිටිති. ඊට උපක්‍රම සොයති.

අතීතයේ හයිටියේ ගැබ්බර මවුවරුන් හට තම බිළිඳා නීරෝගීව බිහි කිරීම උදෙසා මැටි විශේෂයක් ගුලිකොට ගිල්වනු ලැබීය. එය යම් ප්‍රමාණයක බටර් රසයක් හා ලුණු රසකින් යුක්තය. අද දවසේ හයිටියේ තුනෙන් එකක් ගිල දමන්නේ මේ මැටි ගුළිය.

එය විශේෂිත මැටි වර්ගයකි. පළමුව ඒවා හොඳින් වතුර දමා කලතා තලපයක් වන තුරු අතින් කාල් ගායි. ඉන්පසු ඒවා රොටියක හැඩයට සකසා චණ්ඩ හිරු රැසින් වෙලා ගනී. දැන් ඒ මැටි රොටිය පපඩමක් මෙන් කටස් ගා හැපිය හැකිය. ඔවුහු ඒවාට කියන්නේ මැටි ‍කේක් යනුවෙනි. ඒ මැටි පස් ඇති ප්‍රදේශයට දැන් අයිතිකරුවෝ සිටිති. ඔවුහු ඒ මැටි ඒවා කේක් බවට පත් කරන මිනිසුන්ට ‍විකුණති. මැටි මිලට ගත් ඔවුහු ඒවා මැටි කේක් බවට පරිවර්තනය කොට ජනතාවට විකුණති. හයිටි ඡනතාවගේ කුසගින්න නිවන එකම මාර්ගය බවට දැන් එය පත්වී හමාරය. කිසිසේත් පෝෂ්‍යදායක හා සෞඛ්‍ය සම්පන්න නොවන මේ ආහාරය නිසා කුඩා දරුවන්ගේ කුස ඉදිරියට නෙරාවිත් ඉදිමී ඇත. කුසගින්නට ඒවා ප්‍රශ්න නොවනා අතර හයිටියේ බඩගිනි සටන් අද වන විට වීදිවල උග්‍රවී ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩ සටහනට අනුව හයිටියට ඉදිරියට එළැඹෙන්නේ ඛේදජනක කාලයකි. ඉදිරි වසර තුළ හයිටිය සාගින්නේ රාජ්‍යයකට උරුමකම් කියනු ලබයි. මේ වන විටත් හයිටියෙන් පලා යන ජනතාව දිනකට දහස ඉක්මවයි. ඔවුහු උත්සාහ ගන්නේ දුපතේම අනිත් පස ඇති ඩොමිනිකන් රාජ්‍යයට හෝ ඇමෙරිකා එක්සත් ජනපදයට ගොස් ජීවිතයේ ඉතිරි කාලය ගත කිරීමට වුවත් බොහෝ මිනිසුන් නවතින්නේ මුහුදු පත්ලෙන් සහ සරණාගත කඳවුරුවලිනි. එකී සරණාගත කදවුරුවලින් ඔවුහු පෙරළා හයිටියට ගාල් කරති. එය එක තැන කැරකෙන චක්‍රයක් බඳුය. එහෙත් හයිටි මිනිසා සිය පලා යාම නතර කර නොමැත. මක් නිසාද කුස ගින්දර ඒවා අහන්නේ නැති නිසාය.

[උපාලි ජයසිංහ]

මාතෘකා