නැසී ගිය මතක යට ගිනිදළු අලුත් කරන මන්නාරම සමූහ මිනී වළ

 ඡායාරූපය:

නැසී ගිය මතක යට ගිනිදළු අලුත් කරන මන්නාරම සමූහ මිනී වළ

මන්නාරමේ සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනී ව‍ෙළන් මේ වන විට මිනිස් ඇටසැකිලි එකසිය පහළොවක් හමු වී තිබේ. ඒවා අතරින් ඇටසැකිලි අනූ හයක් සමූහ මිනීවළෙන් ගොඩ ගෙන පරීක්ෂණ කටයුතු සඳහා යවා තිබේ.

මේ ඇටසැකිලි සංඛ්‍යාවෙන් දොළහක්ම කුඩා ළමුන්ගේ ඇටසැකිලි බවට කැණීම් සිදු කරන පිරිස තහවුරු කරගෙන සිටිති. එමෙන්ම මළ සිරුරු අසල තිබී හමු වූ කාන්තා පළඳනා හා ආභරණ නිසා මේ සමූහ මිනීවළේ දමා ඇත්තේ පිරිමින් පමණක් නොවන බවට සාධක සොයාගෙන තිබේ.

කාන්තා හා ළමා ඇටසැකිලි මේ ස්ථානයෙන් හමු වූයේ නම් අනිවාර්යෙන්ම මේ මිනීවළේ දමා ඇත්තේ ආරක්ෂක අංශ සාමාජිකයින් හෝ එල්. ටී. ටී. ඊ. සාමාජිකයින් නොවන බව ස්ථිරය. එසේ නම් මන්නාරමේ සතොස ගබඩාව අසළින් හමු වූ මේ සමූහ මිනීවළේ සිටින්නේ සාමාන්‍ය වැසියෝය. නමුත් ඒ සාමාන්‍ය වැසියෝ කවුරුන්දැයි යන්න මෙතෙක් කිසිවෙකුටත් නිශ්චය කළ නොහැක.

සමූහ මිනීවළකට මිනී දමන්නට නම් කවරෙකු හෝ මිනිසුන් පිරිසක් මරා දැමිය යුතුය. ඒ මරාදැමීම මේ ස්ථානයේදීම සිදුවූවක් වන්නට ඉඩ තිබේ. එසේත් නොමැතිනම් වෙනත් ස්ථානයක මිනිසුන් මරා දමා ඔවුන්ගේ මළසිරුරු මේ ස්ථානයේ වළක් හාරා ඒ වළ තුළට දැමිය යුතු වෙයි.

දැන් ප්‍රශ්නයක් වී ඇත්තේ මිනිසුන් මරා දැමූ අන්දම නොව මේ මිනිසුන් මරා දමන ලද්දේ කවුරුන්දැයි යන කාරණයයි.

මන්නාරමේ පිහිටි මේ සමූහ මිනී වළ තුළ සිටින්නේ අනිවාර්යෙන්ම සාමාන්‍ය වැසියන් පිරිසක් බව ඉතාම පැහැදිලිය. ඔවුන් මරා දැමිය යුත්තේ මහා යුද සමයේදී යුද්ධයට සහසම්බන්ධ වූ ප්‍රධාන පාර්ශ්වයන් දෙකෙන් එක් පාර්ශ්වයක් විය යුතුය.

වසර ගණනාවක්ම පැවති මහා යුද්ධයට ප්‍රධාන පාර්ශ්වයන් දෙකක් සෘජුවම සම්බන්ධ වූවත් ඒ පාර්ශවයන් දෙකෙහි අනු පාර්ශ්වයන් විශාල සංඛ්‍යාවක් වෙයි. රජයේ ආරක්ෂක අංශ සම්බන්ධයෙන් ගෙන බැලුවහොත් ත්‍රිවිධ හමුදාවක් පොලිසියක් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවක් වශයෙන් වෙන්වුණු පාර්ශ්ව ගණනාවකි. ඔවුන් යුද්ධයට සහසම්බන්ධ වූවා මෙන්ම බොහෝ කලක් ඉන්දීය සාමසාධක හමුදාවද මේ පළාත්වල යුද කටයුතුවලට සහභාගී වූහ. මේ නිසා ආරක්ෂක අංශ යැයි කියා එක් අනුපාර්ශවයක් පිළිබඳව පමණක් සැකයෙන් බැලීමට කිසිඳු අවසරයක් නොමැත.

ඊළඟට යුද්ධයට සම්බන්ධ වූ අනෙක් ප්‍රධාන පාර්ශ්වය එල්. ටී. ටී. ඊ. සංවිධානයයි. උතුරු නැගෙනහිර පළාත්වල ආයුධ සන්නද්ධව සිටි සෑම සංවිධානයක්ම මුලින් එල්. ටී. ටී. ඊ. සංවිධානය සමග කටයුතු කළ පිරිස් වෙති. ඒ අන්දමට කටයුතු කළ ආයුධ සන්නද්ධ දෙමළ සංවිධාන සංඛ්‍යාව සුළුපටු නොවන නිසා ඔවුන්ගේ සංවිධාන එකින් එක නම් කිරීම ඉතා දුෂ්කර කාර්යයකි.

මීට අමතරව එල්. ටී. ටී. ඊ. සංවිධානය විසින් විවිධ රටවලින් කුළී පදනම මත බඳවාගත් කුළී හමුදාවක්ද එකල උතුරේ සිටියහ. ඔවුන්ගේ මළ සිරුරු පවා ඇතැම් ප්‍රහාරවලදී ආරක්ෂක අංශවලට හමු විය.

මේ අනුව බලන විට ඝාතනය කොට මන්නාරමේ සමූහ මිනීවළේ දමන ලද මිනිසුන්ගේ මිනීමැරුම්වලට වගකිවයුත්තන් සොයා ගැනීම ඉතා අසීරු වෙයි.

සමූහ මිනීවළක සිටින පිරිසගේ මිනීමරුවන් සෙවීමද ඉතා දුෂ්කර කාර්යයකි. එමෙන්ම ඒ වළේ මිහිදන් වූ පුද්ගලයින් කවුරුන්දැයි යන්න ඉඳුරාම හඳුනාගැනීම ඊටත් වඩා දුෂ්කර කාර්යයකි.

උතුරු පළාතෙන් හමු වූ මුල්ම සමූහ මිනීවළ මේ මන්නාරමේ සතොස ගබඩා සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනීවල නොවේ. යාපනයේ චෙම්මනි පළාතෙන් විශාල සමූහ මිනී වළක් හමු වූයේය. ඒ මිනීවළේ මිහිදන් වූවෝ කවුරුන්දැයි යන්න මෙතෙක් ඉතා පැහැදිලිව හඳුනාගැනීමට නොහැකි වූවා සේම එම ඝාතනයන් සිදු කළ පිරිසද සොයා ගැනීමට නොහැකි විය.

මන්නාරමේ තිරුකේතීස්වරන් ප්‍රදේශයෙන් මීට වසර හයකට පමණ ඉහතදී තවත් සමූහ මිනීවළක් හමුවිය. එහි තිබී මිනිස් ඇටසැකිලි අනූහයක් ගෙන ඒ ඇටසැකිලි අයත් පිරිස හඳුනාගැනීමට උත්සාහ කෙරිණි. එහෙත් එහි අවසානය එම මිනිස් ඇටසැකිලි අනූහයම තවමත් අනුරාධපුර රෝහලේ මුල්ලක ගොඩ ගසා තිබීම පමණි.

මේ තිරුකේතීස්වරන් සමූහ මිනීවළේ මිහිදන් වූ මිනිසුන්ගේ මිනීමරුවෝද සැඟවී සිටිති. ඔවුන් කවුරුන්දැයි මෙතෙක් සොයා ගැනීමට නොහැකි විය.

මේ දිනවල මුළු ලෝකයම කතා බහ කරන මන්නාරම සතොස තොග ගබඩාව අසලින් හමු වූ සමූහ මිනීවළේ මිහිදන් වූවන්ගේ ඉරණමද මීට වඩා වෙනස් නොවනු ඇත.

මේ පිරිස කවුරුන්දැයි හඳුනා ගැනීමට ඩී. එන්. ඒ. පරීක්ෂණයක් සිදු කළ යුතු යැයි මන්නාරම අධිකරණයේදී තීන්දු විය. නමුත් මේ මියගිය පිරිසගේ වයස් කාණ්ඩ හා මියගොස් ඇති කාල වකවානුව ඉතා නිවැරදිව හා පැහැදිලිව තීරණය කිරීමට නම් මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් කාබන් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඉන් අනතුරුව ගන්නා ලද තීරණයකි.

කෙසේ වෙතත් මේ කාබන් පරීක්ෂාව ඇමරිකාවේ ෆ්ලොරීඩා විශ්ව විද්‍යාලයේ රසායනාගාරය වෙත යවා සිදු කළ යුතු බවටද තීරණය වූයේය. ඒ අතරතුර එක දිගටම මිනිස් ඇටසැකිලි සමූහ මිනීවළෙන් මතුවීම නිසා ගොඩගත් ඇටසැකිලි ප්‍රමාණයද ෆ්ලෝරීඩා බලා යාම ප්‍රමාද විය.

ඒ මිනිස් ඇටසැකිලි මන්නාරම දිසා අධිකරණයේ ගබඩාවේ උර ගණනාවක බහා තැන්පත් කොට තිබේ. ඇතැම් විට මන්නාරමේ තිරුකේතීස්වරන් සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිලි අනූහයට අයත් වූ ඉරණමම මේ මිනිස් ඇටසැකිලිවලටද අයත් විය හැකිය.

යාපනයේ චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිලි ගෝතමාලා රාජ්‍යයේ රසායනාගාරයකට රැගෙන යාමට දෙමළ සංවිධාන කීපයක්ම ඒ අවධියේදී යාපනය මහාධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබුණි. ඒ සදහා මුදල් වියදම් කිරීමටද එම දෙමළ සංවිධාන ඉදිරිපත් වූවත් චෙම්මනි සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිලිද තවමත් අධිකරණයේ ගබඩා තුළ ගොඩගැසී තිබේ.

ඒ කෙසේ වෙතත් මන්නාරමේ අලුත්ම සමූහ මිනීවළේ කතාව ආරම්භ වන්නේ ඉතාම සුළු සිදුවීමකිනි.

මන්නාරමේ එමිල් නගරයේ සංවර්ධන කටයුත්තක් සදහා පස් අවශ්‍ය වූ අවස්ථාවක 2018 මැයි මස 25 වෙනිදා පස් රැගෙන එන ලද්දේ මන්නාරමේ සතොස තොග ගබඩාව අසල පැරණි ගොඩනැගිල්ලක් කඩා දැමූ බිමකිනි.

පස්ගොඩක් පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඇටකටු කැබලි ඇති බව දුටු කොන්ත්‍රාත්කරුවෝ මන්නාරම පොලිසියට ඒ බව පැමිණිලි කළහ. පොලිසිය පැමිණ ආරම්භ කළ පරීක්ෂණවලදී හෙළි වූයේ ඒවා මිනිස් ඇටසැකිලිවල කොටස් බවයි.

පොලිසිය වහාම කළේ මේ ඇටසැකිලි කොටස් කීපය එවකට මන්නාරම දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කළ ඇලෙක්ස් රාජා මහතා හමුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව විනිසුරුවරයා අදාල ස්ථානය පරීක්ෂා කොට බලා වගකිවයුතු නිලධාරීන්ගේ අධීක්ෂණය මත එහි කැණීම් කටයුතු සිදු කරන මෙන් පොලිසියට නියෝග කළේය.

ඒ අනුව 2018 මැයි 28 දා සිට හිටපු මන්නාරම මහෙස්ත‍්‍රාත් ඒ. ඩී. ඇලෙක්ස් රාජා මහතාගේ අධීක්ෂණ යටතේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව, මන්නාරම අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් හා පුරාවිද්‍යා නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද එක්ව මේ ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළහ.

දවසින් දවස එකිනෙක හමු වූ මිනිස් ඇටසැකිලි සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යද්දී මන්නාරම සතොස තොග ගබඩාව අසල ඇත්තේ සාමාන්‍ය මිනී වළක් නොව සමූහ මිනී වළක් බවට තහවුරු විය.

මන්නාරම දිසාවිනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ඇලෙක්ස් රාජා මහතාට ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසුව කැබිතිගොල්ලෑව දිසා අධිකරණයේ සිට මන්නාරම දිසා විනිසුරුවරයා ලෙස පැමිණි ජේ. ටී. ප්‍රභාකරන් මහතා මන්නාරම සමූහ මිනීවළේ කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක්ම ගන්නා ලදී. මාධ්‍යවේදීන්ට දිනකට දෙවරක් මේ සමූහ මිනීවළේ සිදුවන කටයුතු නිරීක්ෂණය කොට ඡායාරූප ගෙන ප්‍රවෘත්ති සැපයීමටද විනිසුරුවරයා අධිකරණ තීන්දුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් මාස තුනක් වැනි කෙටි කාලයකදී ප්‍රභාකරන් දිසාවිනිසුරුවරයාව කොළඹට මාරු කොට යවා තිබේ.

විනිසුරුවරයාට මේ ස්ථාන මාරුව ලැබීමට හේතුවද මේ සමූහ මිනීවළම බව මන්නාරමේ පුරවැසි කමිටුව ප්‍රකාශ කොට තිබේ. සිදුවීම් කෙසේ වෙතත් උතුරේ සමූහ මිනීවළවල්වලින් හමු වූ මිනිස් ඇටසැකිලිවලට අතීතයේදී අයත් වූ ඉරණමම, වර්තමානයේ මන්නාරම සතොස තොග ගබඩාව අසල සමූහ මිනීවළෙන් හමුවූ මිනිස් ඇටසැකිලිවලටද සිදුවන්නේ නම් සමූහ මිනීවළවල් සොය සොයා ඒවායෙහි කැණීම් කටයුතු සිදු කරන්නේ මන්ද යන ප්‍රශ්නය මෙහිදී විශාල ප්‍රශ්නයකි.

පැරණි මිනී වළවල් හාරන්නට හාරන්නට ගඳක් දැනෙනවා මිස ලැබෙන වෙනත් දෙයක් නොමැති බවට පැරණි කියමනක් තිබේ. මන්නාරමෙන් හමුවන මේ ඇටසැකිලිවලටද කිව හැක්කේ එයමය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා