රජුගේ මඟුල් ඇතු දිරි සිඳී වැටුණු තැන ඇතා වැළලූ හන්දිය

 ඡායාරූපය:

රජුගේ මඟුල් ඇතු දිරි සිඳී වැටුණු තැන ඇතා වැළලූ හන්දිය

උගත් ගොවීන්ගෙන් ඇරඹුණු සමඟිපුර

රාවණා පුරාවෘත්තයට ඈඳෙන කූරවත්ත

අල ගබඩාවේ ඇරඹූ පාසල

රාගල කඳු පන්තියේ එක් කඳුමුදුනක එළවළු වගාවෙන් සශ්‍රීක වූ සුන්දර ගම්මානයකි. වලපනේත් ඌවෙත් මායිමේ පිහිටි මේ ගම්මානය සමඟිපුර ලෙස ප්‍රසිද්ධය. රාගල නගරයේ සිට කඳු මුඳුනේ පිහිටි සමඟිපුරට ප්‍රවේශවන්නට කිලෝමීටර් පහක පමණ දුරක් ගමන් කළ යුතු අතර ගම්මානයට පිවිසීමට ඇති හන්දිය ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ ‘ඇතා වැළලූ හන්දිය’ නමිනි.

රජ මාවත

අතීතයේ කන්ද උඩරටත් ඌව වෙල්ලස්සත් යා කළ මාර්ගය රජ මාවත ලෙස හැඳින්වූ අතර එකල රජ මාවත වැටී තිබුණේ සමගිපුර ආසන්නයෙනි. කන්ද උඩරට සිට ඌව වෙල්ලස්ස දක්වාම මාර්ගයේ ගිමන් හරින්නට එකල අම්බලම්ද තනා තිබුණි. සමගිපුර ආසන්නයේත් රූපහා, පදියපැලැල්ල, රිකිල්ලගස්කඩ, හඟුරන්කෙත ආදී තැන්වල අදද එම අම්බලම් දැකිය හැකිය.

ඇතා වැළලූ තැන

විමලධර්මසූරිය රජතුමා කන්දඋඩරට සිට සිය මඟුල් ඇතු පිට බදුල්ලේ පැවති යුද්ධයකට යන අතර එහිදී රජතුමාගේ මඟුල් ඇතු තුවාල ලබන අතර අපසු උඩරටට යන ගමනේදී සමගිපුර ගම්මානයට පිවිසීමට ඇති තුම්මන්හන්දියෙදී ඇතා මියගියේය. රජතුමා එම ස්ථානයේ විශාල වළක් කප්පවා ඇත් සිරුර සියලු ආභරණ සමගම වැළලු බවත් එතැන් පටන් මෙම හන්දිය ඇතා වැළලූ හන්දිය ලෙස හඳුන්වන බවත් සමඟිපුර ජනප්‍රවාදයයි.

උගත් තරුණ ගොවි සංවිධානය

1968දි ඩඩ්ලි සේනානායක මහතා රට පුරා තරුණ ගොවිජනපද පිහිටු වීමේ වැඩ සටහනට සමගාමීව සමගිපුරද උගත් තරුණ ගොවි ගම්මානයක් ආරම්භ කළ බව එහි ආරම්භක සමාජිකයකු වන එච්.එම්. හේරත් මහතා පවසයි. ‘‘මම ඉස්සර හිටියේ කුරුපනාවෙල. ඒ දවස්වල වලපනේ සමාන්‍ය පෙළ සමත් වුණ හතළිස් දෙනෙක් තෝරගෙන මේ සමඟිපුර තරුණ ගොවි ගම්මානයක් ඇති කළා. එතකොට තමයි මමත් මෙහාට ආවේ ඒ 1968දී.”

1968ට ඉහතදී මෙම ප්‍රදේශයේ රජයේ අර්තාපල් ගොවිපළක් තිබී ඇති අතර එය අභාවයට යෑම නිසා මෙම රැකියා විරහිත තරුණ පිරිස යොදවා නැවත එම ගොවිපළ ඇති කිරීමට රජය පියවර ගෙන ඇත. එෙස්ම වලපනේ නන්දෙසින් ෙතා්රාගත් තරුණ පිරිස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාහන දෙකකන් සමඟිපුරට රැගෙනවිත් ඇත.

නම ලැබුණු හැටි

අද සමගිපුර වශයෙන් හදුන්වන මෙම සුන්දර ගම්පියස අතීතයේ ඇටවළලු තැන වශයෙන් හදුන්වා ඇති අතරෙ එය ඇතා වැළලූ තැන වශයෙන්ද හදුන්වා ඇත. ගම්මුන්ගේ ඉඩම් ඔප්පුවල සදහන්ව ඇත්තේද ඇටවැළලූ තැන්න වශයෙනි. එය යම්තාක් දුරට අතිත ජනප්‍රවාද තහවුරු කිරීමක් බව සිතිය හැකිය.

‘‘අපි මෙහෙට එනකොට මේවා කැලෑ. අපි හතළිස් දෙනාම අවුරුදු දෙකක් විතර එකට හොස්ටල් එකේ හිටියේ. අපිට කෑම බීමත් රජයෙන්ම දුන්නා අපි ගොවිපළේ වැඩ කළා. පඩිය දවසට එකයි පනහයි. එතකොට මෙහේට නමක් තිබුණේ නැහැ. අපි ඔක්කොම එකට සමඟියෙන් හිටිය නිසා අපිම මේ ගමට සමඟිපුර කියලා නම දැම්මා. ඒ දවස්වල හරි සුන්දරයි.” අතීතය සිහිපත් කරමින් හේරත් මහතා පවසයි.

කුසපත් ඇදීම

අවුරුදු දෙකක් යනකොට අපි 24 දෙනයි සමඟිපුර ඉතිරි වුණේ අනිත් අය යන්න ගියා. පස්සේ රජයෙන් අපිට අක්කර එකයි කාල ගාණේ මේ ඉඩම් බෙදලා දුන්නා. ඒ කළෙත් කුසපත් ඇදලා. තුණ්ඩු 24ක ඉලක්කම් ලියලා. ඉඩම් ටිකත් වෙන් කරලා ඒ තුණ්ඩු උඩ දැම්මා අපිට අහුල ගන්න කියලා. මට හම්බ වුණේ අට. ඒ ක්‍රමයෙන් කාටවත් අසාධාරණයක් වුණේ නැහැ. අද වෙනකොට ගමේ පවුල් එකසිය තිහක් විතර ඉන්නවා. හේරත් මහතා පැවසීය.

සීතා දෙවියගේ කොණ්ඩ කූර

විමලධර්මසූරිය රජ සමයටත් වඩා අතීතයකට දිව යන ජනප්‍රවාදයන් රැසක්ම සමඟිපුර හා අවට ප්‍රදේශවල පවතී. රාගල කඳු පන්තියේ ඇති මහතුඩුගල කඳු මුඳුනෙහි රාවණා රජුගේ මතෘ ශරීරය ඇති බවට මතයක් පවතින අතර ඒ හා සමාන්තර උසකින් එම කඳු පන්තියේම අනිත් පස පිහිටි සමඟිපුරද ඒහා සම්බන්ධ කතා පුවත් පවතී. කූරවත්ත, සමඟිපුර ආසන්නයේම ඇති තවත් කුඩා ගම්මානයක් වන අතර සීතා දේවිය එම ගම්මනය ආසන්නයෙන් දිය ස්නානය කොට ගසක් උඩ තම හිස රැඳි කූර රැඳවූ බවත් එම ස්ථානය කූරඅත්ත වී පසුව කූරවත්ත වූ බවට ජනප්‍රවාදයයි. එසේම සමඟිපුර කඳු මුඳුනේ අතීත ජනප්‍රවාද හා බැදුණු ගල් ගුහා මෙන්ම තවත් සාධකද පවතී.

යුද්ධයේ සැහැසි බව

මැණිකේ දිසානායක මහත්මිය 1970 වර්ෂයෙදී ඇතාවැළලූ හන්දියෙන් සමගිපුරට පිවිසෙන්නේ නව දිවියකට මුල් පියවර තබමනි. ඒ ඇයට දහ අටවන විය සපුරනවාත් සමගය. දරුදෙදෙනෙකුගේ මවක වන ඇයට හදිසි අනතුරකින් තම ස්වාමියා අහිමි වන අතර කිසිවෙකුත් නොසිතු නිමේසයක අයගේ වැඩිමහල් දියණියද සැහැසි යුද්දයේ බිල්ලක් බවට පත් වන්නේ ඇගේ ජීවිතයම කඩා බිද දමමිනි.

මගේ ලොකු දුව පෙරාදෙණිය කැම්පස් එකෙන් උපාධිය අරගෙන 1999දි කොළඹ ගියා සර්වෝදයේ පත්වීම ගන්න. එදා ගල්කිස්ස පොලිසියේ ඕ.අයි.සී. මහත්තයාගේ වාහනේට මරාගෙන මැරෙන බෝම්බයක් බැදගෙන ගෑනු කෙනා පනින කොට මගේ දුවත් එතන ඉඳලා, ඒ පනින ගෑනු කෙනා අල්ලලා තියෙනවා වාහනේට පනින නිසා. එයා මේ මොකුත් දන්නේ නැහැ. අන්තිමට යුද්දෙට කිසිම සම්බන්ධයක් නැති මගේ දුව මට නැති වුණා. මොකටද තවත් ජීවත් වෙන්නේ කියලා මට හිතුණා. එත් මම මගේ පුතා වෙනුවෙනුත් එයාගේ දරුවො වෙනුවෙනුත් ඒහැම දේම දරා ගෙන ජීවත්වෙනවා.

අල ගබඩාවේ පාසල

සමඟිපුර ආරම්භ වී ජන ගහනය වර්ධනය වීමත් සමගම පාසලක අවශ්‍යතාවද ගම්මුන්ට තදින් දැනුණ අතර එහිදී උගත් තරුණ ගොවීහු තම දරුවන්ට අකුරු කරවීමේ කාර්යයද අරඹූහ. ‘‘අපේ මත්තයාත් තව ගමේ අය තුන් හතරදෙනෙකුත් එකතු වෙලා අල ගබඩාවේ ඉස්සරලාම ඉස්ෙකා්ලේ පටන් ගත්තා. ඒ අයම තමයි ඉගැන්නුවේත්. පස්සේ ඒක රජයට පවරගෙන පිටින් ගුරුවරු එව්වා. අපේ අයට සුදුසුකම් තිබුණත් පත්වීම් දුන්නේ නැහැ. තව මේ ගමේ හැම දෙයක්ම ගොඩ නගන්න මමත් මහත්තයාත් එක්ක එකතු වෙලා වැඩ කළා” තම දුක්බර මතකයෙන් අත්මිදේමින් කුමාරි දිසානායක මහත්මිය පැවසුවාය.

කාෂිකාර්මික ජීවිතය

සමගිපුර ඇත්තන් ගෙන් බහුතරය කෘෂිකර්මාන්තය තම ජීවිකාව කරගත්තෝය. බැලු බැලු හැම තැනම සරුවට වැඩුණු අර්තාපල්, කැරට්, ලීක්ස්, බීට්, ගොවා වගාවන් දැකිය හැකිය. අතීතයෙදී ටී.කේ.එම්. සුදුබන්ඩා මහතාද ගොවිතැනට උරදෙන්නට ඇතා වැළලූ හන්දියෙන් සමඟිපුරට පිවිසුණ ඇත්තෙකි.

ටැක්ටරේන් ගිය පික්චර් ගමන

අතීතයේ සමගිපුරට පැවති ප්‍රධාන ගැටලුව ප්‍රවාහන අපහසුතායි. මෙහි වැසියන්ට තම සියලු අවශ්‍යතා සපුරා ගන්නට රාගල නගරයට කන්දෙන් බැස යා යුතුම විය. ආපසු එන විට කිලෝ හතළිහක පනහක බරක් කරතබාගෙන කන්ද නැගීම අති දුෂ්කර කාර්යයකි. හැත්තැව දශකයෙදී ගම්මානයට ටැක්ටරයක් ලැබෙන්නේ එවැනි පසුබිමකය. ‘‘ඉරිදාට ගමේ ගෑනු, පිරිමි, ළමයි ඔක්කොම ටැක්ටරේ රාගල යනවා පික්චර් බලන්න. ඒ දවස්වල ටිකට් එක සත පනස් පහයි. දහයයි තිහ තමයි බලන්නේ. ඒ කරලා ඔන කරන බඩු මුට්ටුත් අරගෙන එන්නෙ. මට මතක විදිහට හාල් සෙරුවක් සත විසිපහයි.” සුදු බණ්ඩා මහතා පවසයි.

පළමුවැනි ඩෙලිකා රිය

‘‘අපේ තාත්තා තමයි මේ ගම දියුණු කරන්න ව්‍යාපාරික වශයෙන් ගොඩාක් වැඩ කළේ. තාත්තා ගමේ එළවළු අරගෙන කොළඹ පැටේව්වා. තාත්තා තමයි ගමට ඉස්සරලාම රුපියල් අසූදාකට ඩෙලිකා වෑන් එකක් ගෙනාවේ. මට මතකයි තාත්තා එකෙන් කොළඹට එළවළුත් ගෙනිච්චා. ඒ දවස්වල ගත්ත ඩෙලිකා එක අවුරුදු දහයකටත් වැඩිය පාවිච්චි කරලා රුපියල් අසූදාහටම වික්කා.” හතළිස් දේ හැවිරිදි ධම්මික දිසානායක මහතා පවසයි.

තරුණ ගැටලු

ඒ කාලේ විසිහතර දෙනෙකුට දීපු ඉඩම් ටිකේ දැන් පවුල් එකසිය තිහක් විතර ඉන්නවා. මේ ගම් හරි දුෂ්කරයි මේ ගමන් අපහසුව නිසා. ගමේ තරණ පිරිස මේ ගොවිතැනට හරි ආදරෙයි. ඒ අය ඒකට කැමතියි. කොහෙන්වත් රස්සාවල් ඉල්ලන්නේ නැහැ. වගා කරන්න ඉඩම් තමයි ඉල්ලන්නේ. ඉස්සර රජයෙන් තරුණයන්ට ඉඩම් දුන්නාට දැන්නම් තරුණයන්ට එක බිම් අඟලක්වත් දෙන්නේ නැහැ. එක අපිට ලොකු ප්‍රශ්නයක්.

දුෂ්කර ගමන් මග

නගරයෙන් ඈත්ව කඳු මුඳුනක පිහිටීම නිසාම සමඟිපුර ඇත්තන්ට බොහෝ දුක් විඳින්නටද සිදුව ඇත. මේ වන විට රාගල නගරයේ සිට ගම්මානයට පිවිසීමට ඇති මාර්ගයෙන් වැඩි කොටසක් කාපට් අතුරා සංවර්ධනය කොට ඇති අතර නගරයේ සිට ගමට පිවිසෙන්නට නම් බස් පහසුකම් තවමත් සකස් වී නොමැත. ඌවත් වලපනේත් යා කළ හැකි කෙටිම මාර්ගය සමඟිපුර හරහා වැටී ඇති අතර එය ඌව පරණගම හා සම්බන්ධ වෙයි. මේ වන විට ඌවට අයත් කොටස සම්පුර්ණයෙක්ම කාපට් අතරා සංවර්ධනය කොට ඇතත් වලපනේට අයත් කිලෝමීටර් දෙක තුනක කොටසක් දැඩි අබලන් තත්වයේ පවතී. එම කොටස සංවර්ධනය වුවහොත් මේ ගම්මානයත් අවට ප්‍රදේශයත් කඩිනමින් සංවර්ධනය වනු ඇත.

සංවර්ධනය වන හන්දිය

රාගල සිට කඩින් කඩ කාපට් අතුරා ඇති මාර්ගය ඇතා වැළලූ හන්දියෙන්ම අවසන්ව ඇති අතර එතන පිහිටි සිව් මං හන්දියෙන් ගම්මානයට පිවිසීමට මාර්ග දෙකක් ඇත. අනිත් පසට දිවෙන මාර්ගය රජමාවතයි. මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඇතා වැළලූ හන්දියේ තවත් ඇතකු වැළලීමට හැකි තරමේ වතුර වළක්ද නිර්මාණය වී තිබේ. මාර්ග සංවර්ධන කටයුතු නිසි පරිදි නිම වුවහොත්, අවට කඳු පන්ති සිසාරා හමන සිසිල් මඳ පවනක පහස විඳිමින් ඇතා වැළලූ හන්දියෙන් සමඟිපුට පිවිසීම කාට වුවද සොඳුරු අත්දැකීමක් වනු ඇත.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා