දරුවන්ට හැදෙන හිසේ අමාරු

 ඡායාරූපය:

දරුවන්ට හැදෙන හිසේ අමාරු

උපදෙස්- ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ළමා රෝග අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය- වෛද්‍ය මනෝරි ගමගේ

වර්තමානයේ පවතින තරඟකාරී අධ්‍යාපන රටාව තුළ හිසරදය නිරන්තරයෙන් වැළදෙන රෝගී තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. වැඩි වශයෙන්ම ඇස්වල රෝගාබාධ සහ මානසික ආතතීන් හේතුවෙන් දරුවන් හට හිසරදය ඇතිවන අවස්ථා සුලබව දක්නට ලැබෙනවා. ඇතැම් අවස්ථාවල දරුවන්ට ඇතිවන හිසරදය තත්ත්වය ගණන් නොගෙන සිටීමෙන් ජීවිතය අනාරක්ෂිත තත්ත්වයට පත්වීම දැක ගන්න පුළුවන්. හිසෙහි ඇති වන අධික වේදනාව දරා ගැනීමට නොහැකිව අධ්‍යාපනය පවා කඩා කප්පල් කර ගන්නා දරුවන්ගේ මව්පියන්ටද එම දරුවන්ගේ අනාගතය පිළිබඳව බියක් ඇති වී තිබෙන බව බොහෝ අවස්ථාවලදී දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

හිසරදය තත්ත්වය දීර්ඝ කාලීන වීමට ඉඩ නොදී ඉක්මනින් දරුවා වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීම වඩාත් වැදගත් වන්නේ ඒ නිසයි. දරුවන්ට ඇතිවන හිසරද තත්ත්වයන් මොනවාද? එවැනි තත්ත්වයකදී මව්පියන් කළ යුතු දෑ මොනවාද? යනාදී කරුණු ඇතුළත් මෙම සාකච්ඡාව දෙමාපියන්ට වැදගත් වනු ඇත.

දරුවන්ට ඇති වන හිසරද තත්ත්වය යනු කුමක් ද?

දරුවන්ටද වැඩිහිටියන්ට මෙන්ම හිසෙහි ඇතිවන වේදනාව හිසරදය ලෙස හඳුන්වනවා. නමුත් සමහර අවස්ථාවලදී දරුවන්ට මෙය නිසි ආකාරයෙන් වේදනාවක් ලෙස ප්‍රකාශ කරගත නොහැකි වනවා. එවැනි අවස්ථාවලදී අධික ලෙස හැඬීම, හිස බර ගතියෙන් මෙන් සිටීම, වෙනදා මෙන් ක්‍රියාකාරී නොවී නිතරම නිදාගෙන සිටීමට උත්සාහ කිරීම ආදී ‍රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබනවා.

දරුවන්ට හිසරදය තත්ත්වය ඇති වීමට බලපාන හේතු මොනවා ද?

දරුවන්ට හිසරදය ඇතිවීම විවිධ හේතු නිසා සිදුවන්න පුළුවන්. එහිදී හිසට හා මොළයට සෘජුව සම්බන්ධ හේතු හා සෘජුව සම්බන්ධ නොවන හේතු ලෙස වර්ග කළ හැකියි. හිසට , මොළයට සෘජුව සම්බන්ධ හේතු ලෙස ආසාදන තත්ත්වයන් වන මොළයේ උණ, මෙනින්ජීය ප්‍රදාහය, ඉරුවාරදය, මොළය ආශ්‍රිතව ඇති ගැටිති ( space occupying lesions )ආදිය හඳුන්වාදිය හැකියි.

සෘජුව සම්බන්ධ නොවන හේතු ලෙස අනෙකුත් ආසාදන තත්ත්ව (ඩෙංගු, වෛරස් උණ ආදී ආසාදන, කෝඨරක ප්‍රදාහය (Sinusitis ), අධික රුධිර පීඩනය, ඇස් පෙනීමේ ඇති වන දුර්වලතා, නිසි වේලාවට අවශ්‍ය ප්‍රමාණයට ජලය හෝ ආහාර ලබා නොගැනීම පෙන්වා දීමට පුළුවන්.

සමහර විට දත් කුහර ඇති විට ඒවායේ අසාදන තත්ත්ව නිසා හිසරදය ඇති විය හැකියි. එමෙන්ම අධික වෙහෙස, මානසික විවේකයක් නොමැති නිසාද හිසරදය ඇතිවිය හැකියි.

මේ අතරින් ආසාදන තත්ත්ව නිසා ඇති වන හිසරදය ඉතාම කෙටි කාලීනව ඇති වන අතර, මොළය ආශ්‍රිත ගැටිති, ඉරුවාරදය , පෙනීමේ දුර්වලතා ආදී හේතු නිසා ඇතිවන හිසරදය සාමාන්‍යයෙන් නිතර නිතර දිගු කාලීනව පවතින රෝග ලක්ෂණයක් වනවා.

දීර්ඝ කාලීන හිසරදය තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර බලපෑම් මොනවාද?

ඉහත පැහැදිලි කළ පරිදි දිගු කාලීනව පවතින හිසරදය ඉතා ඉක්මනින් හඳුනාගත යුතුයි. ප්‍රතිකාර නොකළහොත් අහිතකර බලපෑම් ඇති විය හැකි හේතු පවතිනවා. ඒ අතරින් කිහිපයක් නම් ඉරුවාරදය, මොළය ආශ්‍රිත ගැටලු, පෙනීමේ ගැටලු, අධික රුධිර පීඩනය මෙන්ම මානසික ආතතිය ආදිය දැක්වීමට පුළුවන්. මේ සියලුම හේතු නිසා දරුවාගේ එදිනෙදා කටයුතු කෙරෙහි බලපෑම් ඇතිවන අතර අධ්‍යාපන කටයුතු අඩාළ වීමට පුළුවන්. එපමණක් නොව ජීවිතයට පවා තර්ජනයක් වීමට පුළුවන්. එම නිසා දිගු කාලීනව පවතින හිසරදය සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ඉක්මනින්ම උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත් වනවා.

දරුවාට හිසරදය තත්ත්වයක් ඇති බව දැනගත් විට මව්පියන් කළ යුතු දෑ මොනවාද?

හිසරදය පවතින බව දැනගත් විට ඒ සඳහා බලපෑ හේතුව සොයා ගැනීම ඉතාම වැදගත් වනවා. එහිදී නිරෝගී දරුවකුට හිටිහැ‍ටියේම ඇති වන හිසරදය, උණ, වමනය ආදී රෝග ලක්ෂණ සමඟ පවතී නම් බොහෝ විට එය ආසාදන තත්ත්වයක් නිසා ඇතිවන තත්ත්වයක්. මෙම ආසාදන තත්ත්වය ඉතාම සරල වෛරස් උණක් හෝ දරුණු මොළ‍යේ උණ තත්ත්වයක් පවා සිදු වීමට පුළුවන්. එම නිසා හිසරදය සමඟ ඇතිවන අනෙක් රෝග ලක්ෂණ පිළිබඳව සැළකිලිමත් විය යුතු වනවා. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වනවා.

දරුවා දීර්ඝ කාලීනව වරින් වර හිසරදය පෙන්නුම් කරන විට ඒ සමඟ ඇති අනෙක් රෝග ලක්ෂණ පිළිබඳවද අවධානය යොමු කළ යුතුය. හිසරදය සමඟ ඇතිවන වමනය, ක්‍රම ක්‍රමයෙන් උග්‍රවන හිසරදය, වෙනත් ස්නායු ආශ්‍රිත රෝග ලක්ෂණ පවතී නම් , මොළය ආශ්‍රිත ගැටිති පිළිබඳ අවධානය යොමු කළ යුතු වනවා. විශේෂයෙන් මෙහිදී හිසරදය බහුලව ඇතිවන්නේ උදෑසන කාලයේදීය.

එසේම ඇස් පිළිබඳ ගැටලු ඇතිවීම, හිසරදය සමඟ දරුවා පොත් කියවීමේ මෙන්ම අධ්‍යාපන කටයුතු කරගෙන යාමේදී ගැටලු පෙන්නුම් කිරීමට පුළුවන්. මේ නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉතා ඉක්මනින් යොමු කිරීම ඉතාම වැදගත් වනවා.

තම දරුවාට හිසරදය තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මොනවාද?

හිසරදයට බලපෑ හේතුව හඳුනා ගැනීම ඉතාම වැදගත් වනවා. එහිදී අදාළ හේතුවට අනුව නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම මඟින් හිසරදය වළක්වා ගන්නට පුළුවන්. උදාහරණ ලෙස අසාදන තත්ත්ව සඳහා ප්‍රතිකාර කිරීම, ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබා ගැනීම, මානසික ආතතිය අවම වන ලෙස කටයුතු කිරීම ආදිය දැක්වීමට පුළුවන්.

මෙයට අමතරව නිසි පරිදි අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම නිසා දරුවන්ට වෙනත් කිසිදු හේතුවක් නොමැතිව පවා විටින් විට හිසරදය ඇති විය හැකියි. එම නිසා වෛද්‍ය පරීක්ෂණයකින් පසු වෙනත් හේතුවක් හඳුනා ‍නොගත් දරුවන්ට නිසි පරිදි ජලය පානය කිරීමට උනන්දු කිරීමෙන්ද හිසරදය වළක්වා ගැනීමට පුළුවන්.

සාකච්ජා සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා