‘සන්තිපරං’ භාෂා පර්යේෂණයක් : චම්මින්ද වෙලගෙදර

 ඡායාරූපය:

‘සන්තිපරං’ භාෂා පර්යේෂණයක් : චම්මින්ද වෙලගෙදර

කෙටිකතා රචකයෙකු, නවකතාකරුවකු සහ විචාරකයකු ලෙස මෙරට පාඨක ප්‍රජාව අතර පිළිගැනීමට පාත්‍රව සිටින සම්මානලාභී ලේඛක චම්මින්ද වෙලගෙදර රචනා කළ අලුත්ම නවකතාව ‘සන්තිපරං’ ය. එය පසුගිය සැප්තැම්බර් 12 වැනි ආනන්ද කුමාරස්වාමි මාවතේ මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි. ෆාස්ට් පබ්ලිෂින් ආයතනයේ සුරස ප්‍රකාශනයක් ලෙස පළ වූ ඒ පිළිබඳව අප ඔහු සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි, මේ.

‘සන්තිපරං’ නවකතාව ඔබ හඳුන්වාදෙන්නේ කෙසේද?

මේ නවකතාවට මම පාදක කරගත්තේ නුවර කලාවියයි. කාල වකවානු වශයෙන් ගන්නවා නම් වර්ෂ 1800 සිට වර්ෂ 1873 දක්වා කාල පරාසය තුළ නුවර කලාවිය පසුබිම් කරගනිමිනුයි කතා පුවත විහිදෙන්නේ. බ්‍රිතාන්‍යයන් විසින් 1873 දී නුවර කලාවිය භූගෝලීය වශයෙන් උතුරුමැද කලාපය ලෙස බෙදා වෙනස් කළා. ඒ කාල වකවානුවේ නුවර කලාවියේ ජනතාව භාවිත කළ ව්‍යවහාර භාෂාව මම මේ නවකතාවට යොදාගෙන තිබෙනවා. ඒ භාෂාව පිළිබඳව මම කළ ස්වීය සොයාබැලීමක්, නැත්නම් පර්යේෂණයක් ඔස්සේ මට දැනුණු භාෂාව අද ඉන්න ජනතාවට හඳුන්වාදීමක් මේ නවකතාවෙන් කෙරෙනවා.

මෙය ක්‍රම ක්‍රමයෙන් වියැකී යන බස් වහරක්. මේ බස් වහරේ කිසියම් අලංකාරයක් තියෙනවා. ඒ ජනතාව කතා කරලා තියෙන්නේ හදවතින්මයි කියලා මට හිතෙනවා. ඔවුන් තවත් කෙනෙකුට කතා කරන්නේ ‘මයෙ ඇත්තො’ නැත්නම් ‘ඔබ ඇත්තො’ කියලයි. ඒක හරිම ළෙන්ගතු, හෘදයංගම බස් වහරක්. මෙවැනි බස් වහරක් ඔස්සේ ඔවුන් අපේකම රැකගත්තා. අන්න ඒ නිසාම මේ පිළිබඳව හැදෑරීමක් කරන්න මම පෙළඹුණා. ඒ හැදෑරීමෙන් පසුව නිර්මාණකරුවකු වශයෙන්, නිර්මාණ කිරීමට දඟලන පුද්ගලයකු වශයෙන් මේක නවකතාවක ස්වරූපයෙන් ඉදිරිපත් කරන්න ඕන කියලා මට හිතුණා. එහි අවසන් ඵලය විදියටයි ‘සන්තිපරං’ බිහි වෙන්නෙ.

නවකතාවට ‘සන්තිපරං’ වැනි නමක් යොදාත්තේ ඇයි?

‘සන්තිපරං’ කියලා කියන්නේ පාලි පාඨයක් ඇසුරින් සකසාගත් නමක්. මගේ පොත් රාශියකටම මම මේ වගේ පාලි පාඨ යොදාගත්තා. ඒ සියල්ලක්ම ගත්තේ ධම්මපදයෙන්. ධම්මපදය මගේ අත්පොතක්. එය මම කාලයක් තිස්සේ නිතර පරිශීලනය කරන කෘතියක්. මේ නම ගත්තේ සුඛ වර්ගයේ එන ගාථාවකින්. මේ ගාථාවෙන් ඉදිරිපත් වන බුදුන් වහන්සේගේ දර්ශනයේ සඳහන් වන ආකාරයට කිසියම් ශ්‍රාවකයෙකුගේ, නැත්නම් බෞද්ධ දර්ශනය ඔස්සේ ගමන් කරන සැදැහැවත් පුද්ගලයෙකුගේ අවසාන පරම සැපත හෙවත් සන්තිපරං වන්නේ නිර්වාණයයි. මේ නවකතාවේ කථා නායකයා ගොවියෙක්. ඔහුගේ පරම සැපත හෙවත් සන්තිපරං වන්නේ ජලය ලබාගැනීමයි. වියළි කලාපයට ජලය ගෙන ඒමට මේ ගොවියා සටන් කරනවා. ඔහු ඒ සටනෙන් ජයගන්න නිසා එය අර්ථවත් කරන වචනයක් විදියට සන්තිපරං නම නවකතාවට යොදාගැනීම සුදුසුයි කියලා මට හිතුණා.

ඔබ මේ සඳහා පර්යේෂණයක් කළ බව සඳහන් කළා?

ඔව්. මේ නවකතාව සඳහා පර්යේෂණයක් අවශ්‍ය වුණා. එය භාෂාව පිළිබඳව කළ පර්යේෂණයක්. භාෂාව විතරක් නෙවෙයි, ඒ කාලයේ තිබුණු පරිපාලන ක්‍රමය, ජනතාවගේ ජීවන තත්ත්වය වැනි කරුණු පිළිබඳව හදාරන්නත් මට අවශ්‍ය වුණා. නවකතාවට පාදක කරගෙන තියෙන කාලය සහ සමාජ පසුබිම තුළ ජනතාව ජීවත් වුණේ මොන වගේ තත්ත්වයන් යටතේද කියල දැනගන්න මම උත්සාහ කළා. බ්‍රිතාන්‍යයින් ලංකාව යටත් කරගත්තාට පස්සෙ ඔවුන් තමන්ගේ පරිපාලන දිස්ත්‍රික්කවල පරිපාලන කටයුතු කළේ කොහොමද කියලාත් මම සොයා බැලුවා.

මේ කාලය වෙනකොට අනුරාධපුර දිසාව, ඒ කියන්නේ නුවර කලාවියේ මගේ නවකතාවට පසුබිම් වන භූගෝලීය ප්‍රදේශය කන්ද උඩරටින් බොහොම දුරස්ථව වෙන් කරලා තිබුණු තැනක්. ඒකට හේතු කිහිපයක් බලපෑවා. ආර්ථික හේතු සහ ගමනාගමනය හා සම්බන්ධ යම් යම් කරුණු ඒ අතර තිබුණා. ලාභ ඉපැයීමේ පරමාර්ථයෙන් කටයුතු කළ සුද්දා නුවර කලාවිය දෙසට හෙළුවේ අඩවන් වූ බැල්මක්. ඔවුන් බොහෝ විට ස්ථානගත වුණේ වෙළෙඳ භෝග වගා කළ හැකි කෘෂිකාර්මික ප්‍රදේශවල පමණයි. එහෙත් නුවර කලාවියේ තිබුණේ වී වගාව පමණයි.

වී වගාව පවා මේ වෙනකොට විනාශ වෙලා තිබුණා. සුද්දා 1848 කැරැල්ලෙන් පසුව බැලුවේ ඉදිරියේදී තමන්ට තර්ජන එල්ල විය හැකි ප්‍රදේශ පාලනය කළ හැකි ආකාරයන් ගැනයි. ඉදිරි කාලයේදී තමන්ට විරුද්ධව කැරැල්ලක් ඇති වෙන්න ඉඩ තිබුණු එකම ප්‍රදේශය වෙල්ලස්ස නෙවෙයි, නුවර කලාවිය බව ඔවුන් දැනගත්තා. ඒ නිසා නුවර කලාවියෙන් කිසියම් අර්බුදයක්, ගැටලුවක් හෝ තර්ජනයක් එල්ල වීම වැළැක්වීම සඳහා ඒ ප්‍රදේශය විනාශ කිරීමේ අරමුණින් ඔවුන් වැව් තිස් ගණනක් කඩා බිඳ දැම්මා.

නුවර කලාවිය කියන්නේ වැව් ඔස්සේ ගොඩනැගුණු ප්‍රදේශයක්. එදා ජන ජීවිතයේ ප්‍රදීපස්ථම්භය වුණේ වැවයි දාගැබයි. වැව් කඩලා විනාශ කරලා දාලා ඔවුන් ඒ ප්‍රදීපස්ථම්භයේ කොඳුනාරටිය බින්ඳා. ප්‍රධාන වැව් තිස් ගණනක් කඩනකොට ඒ ආශ්‍රිතව තිබුණු පොඩි වැව් හෙවත් සුළු වැව් පවා විනාශ වෙලා ගියා. ඒ විනාශවීමේ අවසන් ප්‍රතිඵලය වුණේ නුවර කලාවියේ ජන ජීවිතය විනාශ වී යෑමයි.

මේ විනාශයට විරුද්ධව නැගී සිටින්න ජනතාවට අවශ්‍ය වුණා. ප්‍රදේශයට ජලය ලබාගන්න ඔවුන් අරගල කළා. ජලය ගේන්න කරපු මේ අරගලය තමයි මම මේ නවකතාවට පාදක කරගන්නේ. ඒ තත්ත්වය යටතේ මට සිද්ධ වුණා මේ භූගෝලය, ඉතිහාසය, සමාජ ක්‍රම සහ මිනිස්සුන්ගේ පැවැත්ම පිළිබඳව සොයා බලන්න. මගේ පරීක්ෂණය තුළ මතු වූ විශේෂ සහ අවශේෂ කරුණුවලින් පාඨකයින්ට අලුත් දෙයක් ලැබේය කියන දේවල් පමණක් ඉදිරිපත් කරන්න මම උත්සාහ ගත්තා.

ඒත් මෙහි පාඨකයාට දුරස්ථ අත්දැකීම් සහ නුහුරු භාෂාව නිසා නවකතාව කියවීම ආයාසකරයි?

අපි සමහර වෙලාවට සිංහල භාෂාවෙන් නොලියැවුණු ගීත අහනවා. ඒ භාෂාව බෙංගලි හෝ බංගලි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ගීත ඉන්දියානු රාගධාරී සංගීතය ඇසුරු කරගත්ත නිර්මාණ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් චෙකොස්ලොවෙකියාවේ ගීතයක් වෙන්නත් පුළුවන්. එහෙත් එවැනි නිර්මාණවල අපට යම් සමීපතාවක් දැනෙනවා. මේ ගීතවල භාෂාව සහ සංගීතය අපට ආගන්තුක වුණාට ඒ වැයෙන රිද්මයන් අනුව අපේ හදවතේ ස්වර තන්තු උද්දීපනය වෙන අවස්ථා තියෙනවා.

නැවත ඇසෙන විට අපට ඒවායේ යම් හුරු බවක් දැනෙනවා. අන්න ඒ වගේම, සිංහල භාෂාවෙන් කතා කරන අපට මේ වචන සම්පූර්ණයෙන් හුරු නැති වුණත් ඒවායේ රිද්මය සහ ස්වරය අපේ හදවතට දැනෙනවා. මේ වචනවල කිසියම් වෙනසක් දැනුණත් ඒවායේ තියෙන මූලයත් එක්ක මුල් අර්ථය අපට දුරස්ථ වෙන්නෙ නැහැ කියලා මට හිතෙනවා.

ක්‍රම ක්‍රමයෙන් වියැකී යන භාෂාවේ තිබුණු සමුදයාර්ථය සහ හදවතට ආමන්ත්‍රණය කරන ගතිය එදාට වැඩිය අදට ඕනෙ කියලාත් මට දැනෙනවා. අපි අද කතා කරන්නේ ‘අන්කල්’ සහ ‘ආන්ටි’ වගේ වචනවලින්. මේ වචනවල කිසිම ළෙන්ගතුමක් හෝ ලෙහි ගුණයක් තියෙනවා කියලා මට හිතෙන්නේ නැහැ. මේවා හරි කෘත්‍රීම වචන. හැබැයි ‘මයෙ හූරා‘, ‘මයෙ අප්පා‘ කියලා කියනකොට හරි ළෙන්ගතු හැඟීමක් දැනෙනවා.

මේ නවකතාව රචනා කිරීම සඳහා ඔබට කොපමණ කාලයක් ගත වුණාද ?

පර්යේෂණය කරලා නවකතාව ලියන්න අවුරුදු දෙකක්, තුනක් පමණ කාලයක් ගත වුණා. හැබැයි මේ නවකතාව නැවත නැවත් සකසන්න ඊට වැඩිය කාලයක් ගියා කියලා මට හිතෙනවා. මගේ වෙනත් කිසිම නවකතාවක මම මේ තරම් සෝදුපත් කියවීමක් කළේ නැහැ. වචන සම්බන්ධ ගැටලුව වරින් වර මතු වුණා.

අකුරු ඇමුනුම් කරන අයට මේ වචන නුහුරුයි. ඒ නිසා මම ලියන වචන නෙවෙයි අන්තිමට යතුරු ලියනය වෙලා තිබුණෙ. එකම වචනය හත් අට සැරයක් හදන්න සිද්ධ වුණු අවස්ථාත් තිබුණා. ඒ නිසා මේ නවකතාවේ සෝදුපත් කියවීම හත් අට සැරයකට වඩා කළා.

ඔබේ ලිවීමේ ක්‍රියාවලිය කෙබඳුද?

මම වෘත්තියෙන් බැංකුකරුවෙක්. මේ වන විට වෘත්තියෙන් ඉසිඹු ලැබූ පුද්ගලයෙක්. මගේ රැකියාව බැංකුකරණය වුණාට මගේ ආත්මය වුණේ ලිවීම සහ කලාවයි. ඒ නිසා ලිවීමේ ක්‍රියාවලිය සැම විටම මට ඉතාම ආස්වාදජනක කටයුත්තක්. මොන පීඩන අවස්ථාවක වුණත් ලිවීමේ අපහසුතාවක් මට ඇති වුණේ නැහැ. මම බොහෝ විට ලියන්නේ ලෝකයා නිදන මහා රාත්‍රි කාලයේදියි.

මට රාත්‍රී කාලයේ දිගු වේලාවක් අවදියෙන් ඉන්න පුළුවන්. රාත්‍රීන් දෙක තුනක් වුණත් මට එක දිගට අවදියෙන් ඉන්න පුළුවන්. මම ඒ වෙලාව බොහෝ අවස්ථාවලදී ලිවීම සඳහා යොදා ගත්තා. තාක්ෂණයත් එක්ක මගේ තියෙන ගනුදෙනුව අඩුයි. ඒ නිසා පරිගණකයෙන් ලිවීමට වඩා මට පහසු අතින් ලිවීමයි. අතින් ලියනකොට සිතුවිලිත් එක්ක කරන ගනුදෙනුව සාධාරණව සිදු වෙනවා කියලා මට හිතෙනවා.

ඔබේ මීට පෙර කෘති සඳහා ලැබුණු ප්‍රතිචාර ගැන ඔබ තෘප්තිමත්ද?

ඉතාම තෘප්තිමත්. මගේ සමහර පොත්වලින් මම මුද්‍රණ වාර්තා තියලා තියනවා කියලා මම කියන්නෙ නැහැ. හැබැයි මගේ පොත් මුද්‍රණ වාර හය හත ගිහිල්ලා තියෙනවා. ඒ ගැන මම වැඩිය හිතන්නේ නැහැ. මම උනන්දුවක් දක්වන්නේ ඒ පොත් කියවපු අය මට ලබාදෙන ප්‍රතිචාර ගැනයි. ඒ ප්‍රතිචාර මට හරි වැදගත්. මම ජනප්‍රිය තලයේ ලේඛකයෙක් නොවෙන්න පුළුවන්. හැබැයි මගේ පොත් කියවන බහුතරයක් සහ ඒ පොත්වලට ඇළුම් කරන පිරිසක් ඉන්නවා කියලා මම දන්නවා.

ඔබේ නිර්මාණකරණය සඳහා සම්මාන ඉවහල් වෙනවා යැයි සිතනවාද?

පෞද්ගලික වශයෙන් මට සම්මාන වැදගත් කියලා මම මෙතෙක් සලකලා නැහැ. මම ලිව්වා මිසක් සම්මාන ගැන හිතුවේ නැහැ. සම්මානයක් දුන්නොත් මම භාරගන්නවා. ඒත් මම කවදාවත් පස්සෙන් ගිහිල්ලා සම්මාන අරගෙන නැහැ. මම ලියන්නේ මගේ තෘප්තිය සඳහායි. එය මුදල් ඉපයීම සඳහා කරන දෙයකුත් නෙවෙයි.

බහුතරයක් මගේ කෘති කියවනවා නම් එය මට ලැබෙන සම්මානයක් හැටියට මම සලකනවා. ලෝකඩ කෑල්ලක් ගෙනැල්ලා ගෙදර තියාගන්නවාට වැඩිය, ලක්ෂ ගාණක් ගන්නවාට වැඩිය මට වැදගත් වන්නේ වැඩි පිරිසක් මගේ කෘති කියවන එකයි.

අද සාහිත්‍ය සම්මානවල ප්‍රමිතිය පහළ වැටිලාද?

එවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා නම් එයට හේතු වන්නේ සම්මානය හා බැඳුණු දේශපාලනය, අලෙවිකරණය හෙවත් මූල්‍යමය සහ ආර්ථික තත්ත්වයන් වැනි සාධකයි. සම්මානයක් කියලා කියන්නේ සමහර වෙලාවට කෙනෙක් දිනාගැනීමට කරන අවමානාත්මක ප්‍රචාරයක් විය හැකියි. ඇතැම් විට සම්මානයක් පිරිනමන්නේ තමන්ගේ කෙනෙක් ලියපු පොතක් ඉදිරියට ගන්න වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොත ලියපු පුද්ගලයාගේ සිවිල් බලය හෝ දේශපාලන බලය ඒ සඳහා හේතු වෙනවා වෙන්න පුළුවන්.

අද සම්මාන තේරීම අත ඔසොවා තීරණ ගන්නා සහ පොත් තෝරන සමීක්ෂකයින් පොත් කියවන්නේ නැතිව සම්මාන සඳහා තේරීම් කරන තත්ත්වයට ඇවිල්ලා කියනවා. කෙසේ වෙතත් මෙවැනි හේතු නිසා සම්මානයේ ප්‍රමිතිය පහළ වැටුණාට පස්සෙ අවමානයට පාත්‍ර වූ පොත් හොඳයි කියන ප්‍රමිතියක් ඇති වෙනවා. එය නරක පූර්වාදර්ශයක්.

සාකච්ඡා කළේ [අජිත් නිශාන්ත]

මාතෘකා