“ආතා වැටුණු ඇල්ලෙන්” නාලා රණුගල්ලේ වන බැද්දේ කඳවුරු රාත්‍රියක්

 ඡායාරූපය:

“ආතා වැටුණු ඇල්ලෙන්” නාලා රණුගල්ලේ වන බැද්දේ කඳවුරු රාත්‍රියක්

අලුත් දවසකට ඉර පායන කොට අපි හිටියෙ වැද්දන්ගේ රටේ… මහියංගනේ. උදේම ලකලැහැස්ති වෙලා මහියංගනේ ටවුමට ආව මිනිස්සුන්ට අපිව පේන්න ඇත්තේ වැද්දෝ වගේ… මොකද අපි හිටියේ තෙහෙට්ටුවෙන්…. පෙරදා රැයේ කොළඹින් අරඹපු ගමනට පැය හත අටක් ගෙවෙන කොට අපිට හොඳ ගණන්…

ඒත් එහෙමයි කියල අලුත් දවසක නැවුම් පුසුඹ ඉව නොකර ඉන්නේ කොහොමද?

සොරබොර වැව ළඟට ගිහින් පිටවානෙන් නාගත්තු අපි ළගම තිබ්බ පෙට්ටි කඩේකින් පිට්ටු කෑල්ලක්, රොටියක් කාලා බඩගින්න නිවාගත්තා…

දැන් අපි යන්නේ කොහෙද?

සිතියම අඳින්න භාරවුණේ හර්ෂට… මුලින්ම බිබිලට… එතැනින් පස්සරට… ඊටත් පස්සේ රණුගල්ලට

රණුගල්ල තියෙන්නේ පස්සරත්, පැල්වත්තත් අතර. ඌව පළාතේ පැරණි ගමක්… වසරේ ඕනෑම කාලයක කඳවුරු බඳින්න සුදුසු කඳු යායකට මැදි වුණු ප්‍රදේශයක්… රාවණා කතන්දරවලත්, දුටුගැමුණු කතන්දරවලත් නිතර කියැවෙන ප්‍රදේශයක්… ගොඩක් දෙනා අතර ප්‍රචලිත නැතත්, වෙනසකට එක්ක සංචාරයේ යන කුඩා කණ්ඩායමකට උචිත ගමනාන්තයක්…

අපේ කණ්ඩායමත් දහයකට වැඩි නෑ… වාහන දෙකක්… වැඩි අරුමෝසම් නැති සරල සුන්දර සහෘද කැලකගේ සංචාරයක්…

අරුණෝදය තැවරිලා තිබුණු කාපට් පාර දිගේ ආඳාඋල්පොත, රිදිමාලියද්ද පහුකරගෙන, අපි බිබිලට එද්දි බුටෑවේ රටේ රාල එතැන.

කැරැල්ලට සක්‍රීයව දායක වී මේජර් ජනරාල් ඩග්ලස්‌ සිල්වෙස්‌ටර් විල්සන් නැමැති ඉංග්‍රිසි ජාතිකයා රාජකාරියක යෙදි සිටියදී මරණයට පත් කිරීමට දඩුවම් වශයෙන් බූටෑවේ රටේ රාල ඉංග්‍රීසින් විසින් ඝාතනය කළේ 1818 ඔක්තෝබර් 20දා. ඒ බිබිලේ කොටබෝවේදී. බිබිලට ආසන්නයේදී ඝාතනය වූ කොහකුඹුරේ රටේ රාල අද ජීවමාන පිළිරුවක්ව ඉන්නේ බිබිල නගරය මැද…

තාමත් කාපට් අතුරා නැති, එහෙත් ඉබි ගමනින් සංවර්ධනය වන පාරදිගේ අපි ඊළගට ගියේ පස්සරට…

“ගන්න තියෙන දේවල් මෙතැනින් ගන්න.. ආයෙ කෑම බීම ගන්න තැනක් නෑ….” ඒ හඬ හර්ෂගෙන්…

අතරමඟ හමු වෙන පුංචි පුංචි වෙළෙන්දන්ගෙන් බඩ ඉරිඟු, කෙසෙල් ගෙඩි, පේර කාලා, තැඹිලි බීලා හිටපු අපිට දවල් කෑමට බත් ඕන වුණේ නෑ…

රණුගල්ලට අපි යන කොට හවස දෙකට විතර ඇති… රාවණා රජ්ජුරුවන්ගේ කතන්දරත්, ඔහුට සම්බන්ධ උමං ගණනාවකුත් සහිත මේ ගමේ සමහර තැන් ගුප්තයි. තනියම ඇවිද යන්න දෙගිඩියාවක් ඇති වන තැන් එමටයි.

අපි මුලින්ම ගියේ “ආතා වැටුණු ඇල්ලට”.මැණික් ගඟේ ඉහත්තාවෙන් ගලන පුංචි දොළ පාරක තමයි මේ දිය ඇල්ල හමුවෙන්නේ… ප්‍රධාන පාර අයිනේ ඉඳන් යන්න තියෙන දුර කිලෝමීටර් භාගයක් විතර….

අඩි තිහකට වඩා උස දිය ඇල්ල අපූරු එකක්… ඒත් එතැන තියෙන්නේ හුදකලා බවක්… දිය ඇල්ල දකින්න නම් දිය ඇල්ලට මුදුනෙන් වතුර පාරෙන් මාරු වෙලා දිය ඇල්ල අද්දරින්ම පල්ලම් බහින්න ඕන… ඒක ටිකක් අභියෝගාත්මක වැඩක්… ඒත් අභියෝගය ජයගත් පසු දකින්නට ලැබෙන දසුන බොහොම අපූරු එකක්… මාසෙක දෙකක විතර නියඟය දිය ඇල්ලේ සුන්දරත්වය ටිකක් විතර අඩුකරලා තිබ්බත්, ආගන්තුකයින් වුණු අපිට ඒක දැනුණේ නෑ...

නිදහසේ පැයක් වුණත් බලා ඉන්න පුළුවන් සුන්දරත්වයක්… ඇස් දෙක වහගෙන දිය ඇල්ලේ ශබ්දය කන්දෙකෙන් විතරක් විඳිද්දි දැනෙන්නේ පුදුම හැඟීමක්… කලාතුරකින් පමණක් මිනිස් කටහඬ ඇහෙන ඒ ඉසව්ව භාවනාවටත් නරකම නෑ….

දිය ඇල්ලෙන් පහළ තියෙන තටාකය ආරක්ෂිත එකක්… පළපුරුදු ජලක්‍රීඩා උපදේශකයෙකු වුණු ශාලික Eternal Traveller ආයතනය වෙනුවෙන් අපිට ලබාදී තිබුණු ජීවිතාරක්ෂක උපදේශකයෙක්… ඔහුගෙන් ලද සහතිකයත් සමඟ හිතේ හැටියට නාගත්තේ, ඇති පදම් ඇවිද්දත් දිය ඇලි ගාව නාන්න, ආරක්ෂාව සහතික කළ අවස්ථාවන් අපට නොලැබෙන නිසා….

නෑමෙන් පස්සේ කැලෑ ගමනක අත්දැකීම… නිතර නොදකින සමනළයින්, කුඩා කෘමීන්ගේ දසුන් නරඹමින් දිය දහරේ ඉහත්තාවට යන ඒ ගමන ටිකක් විතර අසීරුයි… ලිස්සා ගියහොත් අඩි පනහක හැටක ප්‍රපාතයක නතර වන්නට සිදුවන පටු පාරක ගිය අපට අතර මැදදි හමුවුණේ කිසිදු විටෙක දහවලකදී නොදකින අමුත්තෙක්…

“අන්න බස්සෙක්…”

අපේ නඩයේ සාමජිකාවක් වුණු නවෝදාට පෙනුණු දසුන, පළමුව විශ්වාස නොකළත්, දෙවනුව විශ්වාස කරන්නම සිදුවුණේ අපේ දෑස් අපට අවිශ්වාස කළ නොහැකි නිසා……

තවත් ටික දුරක් යන විට පුවක් ගහක කුරුල්ලන් විසින් රටාවට තැනූ බෙන රාශියක් දැකගන්නට ලැබණා… වන ගැබ මැද අඩියෙන් අඩියට දකින ආගන්තුක දසුන් විඳිමින්, සියොත් නද අසමින් අඩහෝරාවක ගමනක්… අවසානයේ දොළ පහරක්… සීතල දොළ පහර අවසානයේ නිල්වන් කුඹුරු යායක්...වටේටම කඳු යායක්…පිටසක්වලකට ගියා වගේ…

“අන්න තල මලක් පිපිලා…..”

“තල මල පිපුණහම ගහ මැරෙනවා….”

කුඹුරු යාය කෙළවර උස් බිම, විනිවිද පෙනෙන දොළ පහරට යාබදව… ඔව් එතැන තමා නැවතුම….. ඉක්මනින්ම බිම වාඩි වෙලා…. උඳුපියළිය බිස්සෙ දිගාවෙලා කඳු යායට මැද්දෙන් කුරුල්ලෙක් වගේ අහස දිහා බලාගෙන ඉන්න එකත් අපූරු වැඩක්…

“මෙතන තමයි අද අපි කෑම්ප් කරන්නේ…” හර්ෂගේ මෙහෙයවීමේ හඬ යළිත්…Eternal Traveller වෙනුවෙන් රණුගල්ල නවාතැනේ පහසුකම් සපයන්නේ හර්ෂ. අප එහි ආගන්තුක සත්කාර විඳින්නන් බවට පත්වුණා….

“බුත්තල ඉඳන් එළාර යුද්දෙට මහියංගනේට ගිය දුටුගැමුණු සේනාව ගිහින් තියෙන්නේ මේ වෙල් යාය මැදින්… පරණ අම්බලමක නටබුන් මෑතක් වෙනතුරුම ඔය වෙල් යායේ තිබුණා… ”

ඊළඟ මොහොතේ සාමූහික රාජකාරියක්… කූඩාරම් ඇටවීම… කෙනෙක් උදළු තැටියකින් බිම මට්ටම් කරනවා… තවත් කෙනෙක් කූඩාරම් කණු පුරුද්දනවා… ඊළඟට කූඩාරම නිසි පරිදි අමුණා බැදීම… පැය භාගයකදි කූඩාරම් සූදානම් වී අවසන්…

නැඟගෙන එන ඇසළ සඳ පොහොයට ඇති දුර සතියකට වඩා අඩු බව කියද්දි… හීනි සාමීචියක හඬ කුඩාරම් බිමෙන් ඇහෙන්න ගන්නවා… පුරුද්දක් විදියට රා නොබිව්වට, ළපටි තෙලිජ්ජ ටිකකට බෑ කියන්නේ කොහොමද? මේ දැන් ගහෙන් බාපු බඩු… කිතුල් පිහියත් ඉනේ ගහගත්තු සෝමෙ මාමා වගාඩම්බර පෑවේ, තමන්ගේ නිෂ්පාදනයේ තත්ව සහතිකය තහවුරු කර ගැනීමට...

හෙමි හෙමින් නැඟෙන කළුවරත් එක්ක පන්දම් සහ ලන්තෑරුම් එළිය වැඩි වෙද්දි, ගිනිමැළය පණ ගහල ඇවිළෙද්දි, මැවෙන්නේ චමත්කාර ජනක දසුනක්… ඒක ජීවිතේට අමතක නොවන සුන්දර චිත්‍රයක්… හැබැයි දෑහටම දැකපු...

රෑට කැම නොකෑවත් අඩුවක් නොදැනෙන තරමට හිත පිරුණු දවසක් ගෙවාගෙන, පෙරදා රැයේ නොලබපු නින්දට හිලව් වෙන්න සුව නින්දකට එකතු වුණේ තවත් සුන්දර අලුයමක අවදිවෙන බලාපොරොත්තුවෙන්….

හීන ඔක්කොම හැබෑ වෙලා තියෙද්දි නින්දෙදි හීන දකින්නේ මොකටද?

ඒත් ඒ අරමුණ ඒ විදිහට ඉටු නොවුණේ, අවදි වනවිට අලුයම ගෙවී ගිහින් තිබූ නිසාවෙන්… දැහැටි කූරකින් දත කට මැදගෙන, දොළ පහරකින් මුහුණ හෝදගෙන එන සැබෑ ගැමි අත්දැකීමක මිහිර වින්දට පස්සේ අපිට ලැබුණේ කොළකැඳ විදුරුවක්…බටු කොළ, ඉරමුසු, උඳුපියළිය, රතුඵෑණු… අන්තර්ගතය නරකම නෑ.. කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක රස පදමට බිව්වහම අමෘතය වගේ තමයි…

වෙල් යාය වටේ ඇවිදිමින් සොදුරු දසුන් උකහා ගන්නට දඟලන ඡායාරූප ශිල්පීන්ට නිදහස ලබාදුන් අපි කඳවුරු බිමේ උදා සුවය වින්දා… ආදර හැඟුම් වෙනුවට සහෘද සිත් අභිමුව සනහස වපුරවමින් දොළ පහරේ සිලිසිලියත්, වන බැද්දේ ගුමු ගුමවත් සුලඟේ මුණුමුණුවත් නොඅඩුව විඳි අපි, ඊළඟ මොහොතේ ආපසු ගමනට සුදානම් වුණා…

උදේ කෑමෙන් පස්සේ මැණික් ගඟේ අතුගංගාවට පිවිසුණු අපි කුඩා දිය ඇලි ගොන්නක් මැදින් පල්ලම් බැස්සා…

ඒ අතරතුරදී අපට දැකගන්නට ලැබුණේ ගම් වැසියන් එක්ව කරන දේව පූජාවක්… රණුගල්ලේ පිහිටි පුරාණ පත්තිනි දේවාලය සහ කුඩා කතරගම දේවාලය පිහිටි බිමේ දී සිදුවූ එම පූජාවේ අවස්ථාද දැක බලාගත් අපි සැතැපුමක පමණ පාගමනකින් පසු යළිත් මහමඟට පිවිසුණේ සුන්දර මතක මංපෙතක ගෙවූ කාලය අවසන් කරමින්….

ඔබටත් තනිව හෝ කණ්ඩායමක් සමග ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක වෙනස් ආරක සංචාරයක් සංවිධානය කරගන්නට අවශ්‍ය නම් Eternal Traveller අප අමතන්න… එසේම ‘රැස’ පුවත්පත වෙනුවෙන් MegaaHike කණ්ඩායම සමග අපූරු සංචාරවල යෙදෙන්නට අවශ්‍ය නම් අපත් සමඟ එකතු වන්න… අපේ මීළඟ චාරිකාව අලගල්ල කන්දට…. Eternal Traveller අපේ සංචාර ගැන ඔබේ අදහසත් අපිට වැදගත්.... කතා කරන්න අපිට...

ප්‍රදීප් 076 66 42 607 / 077 90 16 752

දුලිප් 0777 043 804 / 0759 043 804

සටහන - ඥානේන්ද්‍ර ප්‍රදීප් පතිරණ [email protected]

ඡායාරූප - Eternal Traveller වෙනුවෙන් ප්‍රදීප් ලක්සිරි සමඟ ශාලික මධුශංඛ

මාතෘකා