ඇත්ත නොදැන ගහන කයිවාරු

 ඡායාරූපය:

ඇත්ත නොදැන ගහන කයිවාරු

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 10 වැනිදා ඉතා වැදගත් කතාවක් කළා. පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ‘‘ජාවාරම්කාරයින්්ට ඕන විදිහට වැඩ කරන්න දෙන්නේ නැහැ’’ කියලයි. එහි දී ජනාධිපතිවරයාගේ චෝදනාව වුණේ දොඩම් ගෙඩියේ සිට සියඹලා කරල දක්වා පලතුරු ලංකාවට ආනයනය කරන ජාවාරම්කාරයින් සමඟ ඇතැම් නිලධාරීන් සහ දේශපාලනඥයින් ද කඳවුරු බැඳ ගෙන සිටින බවයි. මේ ජාවාරම්වලට තිත තැබීමට කාලය පැමිණ තිබෙන බව ජනාධිපතිවරයා එහි දී අවධාරණය කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට කලකට පෙර ‘‘ව්‍යවසාය ශ්‍රී ලංකා’’ සමාරම්භ උත්සවයේ දී ද මෙවැනි දැඩි ප්‍රකාශයක් කළා. එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ ලංකාව ව්‍යවසායකයින්ගේ පාරාදීසයක් කිරීමට නම් සරුංගලයේ සිට සෙරෙප්පු කුට්ටම දක්කා අසීමිතව ආනයනය කරන බොහෝ දේ නවතා දැමිය යුතු බවයි. එවැනි පියවරක් ගන්නේ නැතිනම් ණය ගත් දේශීය ව්‍යාවසායකයින්ට වෙළෙඳපොළ අහිමි වීම මඟින් ව්‍යවසාය ශ්‍රී ලංකා ව්‍යාපෘතිය අසාර්ථක වනු ඇතැයි ජනාධිපතිවරයා කියා සිටියා.

ජනාධිපතිවරයා ද ඇතුළු ආර්ථික විශේෂඥයින් විසින් දිගින් දිගටම අවධාරණය කරන මේ කරුණ කිසිවකුට පහසුවෙන් බැහැර කළ නොහැකියි. ඒ මේ අසීමිත ආනයනය කිරීම් දේශීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තය කෙරෙහි පමණක් නොව විදේශ ණය, විදේශ සංචිත, විදේශ විනිමය අනුපත ඇතුළු සමස්ත ආර්ථික ක්‍රියාකාරීත්වය කෙරෙහිද ප්‍රබල බලපෑමක් කරන නිසයි.

ජාවාරම්කාරයින්ගේ ආර්ථික

මේ තත්ත්වය අපට පහසුවෙන් වටහා ගත හැකියි. මේ ලියුම්කරු සමඟ වරක් ආරියශීල වික්‍රමනායක මහතා පවසා සිටියේ මෙරටට මෝටර් රථ ආනයනය කිරීමට වැයවන මුදලට වඩා වැඩි මුදලක් ජංගම දුරකථන ආනයනය කිරීම සඳහා වැය වන බවයි. රජයට හෝ රේගුවට මේ පිළිබඳ නිල සංඛ්‍යා ලේඛන නොමැති වුවත් නගරයක් නගරයක් පවා, හන්දියක් හන්දියක් පවා ඇති ජංගම දුරකථන අලෙවිසැල් දෙස බලන විට අපට මේ තත්ත්වය පහසුවෙන් අවබෝධ කර ගත හැකියි.

ජනගහනයටත් වඩා ජංගම දුරකථන (2017 දී පුද්ගලයන් සියයකට ජංගම දුරකථන සම්බන්ධතා ප්‍රමාණය 131.5කි* ඇති රටක, මෝස්තරයෙන් මෝස්තරයට ජංගම දුරකථන මාරු කරන ප්‍රජාවක් සිටින රටක ඒවා ආනයනය සඳහා වැය වන මුදල සහ එම දුරකථන සේවා (පණිවිඩ හා අන්තර්ජාල සේවා* සඳහා විදේශ සමාගම්වලට ගෙවන සේවා ගාස්තුව ගැන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකි නම් මේ තත්ත්වය තව දුරටත් වටහා ගැනීමට පහසු අවස්ථාවක් ලැබෙනවා.

මේ තත්ත්වය අපට කුඩා දරුවන් භාවිත කරන සෙල්ලම් බඩුවල සිට තරුණියන්ගේ සුලභ භාවිතයට එක්වන විවිධ විසිතුරු ආභරණ දක්වා ද යොමු කළ හැකියි. අද නගරයක් නගරයක්, හන්දියක් හන්දියක් පවා තරුණියන් ඉලක්ක කොටගත් විසිතුරු ආභරණ වෙළෙඳාම හරහා රටින් ඇඳී යන විදේශ විනිමය ප්‍රමාණය ද අති විශාල බව පැහැදිලි කරුණක්.

මේ තත්ත්වය අපට යම් පමණකට සංඛ්‍යාත්මකව වටහා ගත හැකියි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2017ට අනුව ශ්‍රී ලංකාවට 2013 දී ආනයනය කළ ‘‘අනෙකුත් පාරිභෝගික භාණ්ඩ ’’ යටතේ කාණ්ඩ කර ඇති රබර් නිෂ්පාදිත ආනයනය රුපියල් මිලියන 11, 345ක් වුණා. එය 2017 වන විට රුපියල් මිලියන 14, 373 දක්වා වර්ධනය වෙලා තිබෙනවා.

විශේෂයෙන් සඳහන් කිරීමක් නැති ‘‘අනෙකුත් ’’ කාණ්ඩය යටතේ වන පාරිභෝගික භාණ්ඩ ආනයනය 2013 දී රුපියල් මිලියන 69, 471 සිට 2017 වන විට රුපියල් මිලියන 144, 428 දක්වා දෙගුණයකටත් වඩා වැඩි අගයකින් වර්ධනය වෙලා තිබෙනවා. මේ තත්ත්වය තුළ සරුංගලයේ සිට සපත්තු කුට්ටම දක්වාත්, චංගුමී කොණ්ඩකටුවේ සිට නළාව දක්වාත් ලංකාවට සිදුවූ ජාවාරම්කාර ආනයනය තව දුරටත් වර්ධනය වූ ආකාරය අපට පහසුවෙන් හඳුනා ගත හැකියි.

ඇඟළුම් ආනයනය

ලංකාවෙන් විදේශ විනියම පිට කරන තවත් ප්‍රධාන අංශයක් වශයෙන් මසා නිම කළ ඇඳුම් පැළඳුම් ආනයනය සඳහන් කළ හැකියි. සිංහල - හින්දු අලුත් අවුරුද්ද, නත්තල ඇතුළු ප්‍රධාන උත්සව සමයන්වල දී දැවැන්ත ලෙස තායිලන්තය, සිංගප්පූරුව ආදි රටවලින් අසීමිතව ආනයනය කරන ඇඟළුම් හේතුවෙන් දේශීය නිෂ්පාදකයින් දැඩි තර්ජනයකට ලක්ව සිටින බව ඉතාම පැහැදිලි කරුණක්.

ඒ සමඟ ඇඟළුම් ආනයනයට වැය වන අසීමිත විදේශ විනිමය ගෙවුම් ශේෂය මත ද දැඩි බලපෑමක් කරන බව ප්‍රකට කරුණක්. මේ තත්ත්වය මත රජයට පසුගිය දා ආනයනික රෙදි පිළි සඳහා සියයට 15ක වැට් බද්දක් පැනවීමට පියවර ගත්තා.

මේ හදිසි වැට් බද්ද සමඟ මෙරටට ආනයනය කළ ඇඟළුම් කන්ටේනර් 200ක් වරායේ සිරවී ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා මැසිවිලි නැඟුවා. ආණ්ඩුවට රුපියල අවප්‍රමාණය වීම පාලනය කර ගත නොහැකි යැයි වහසි බස් දොඩවන බන්දුල ගුණවර්ධන මහතාගේ මේ ‘ගොරකා - දඩමස් න්‍යාය’ මඟින් අපට ඉතාම පහසුවෙන් ජාවාරම්කාර ආර්ථිකයේ පසුබිම වටහා ගත හැකියි.

පුංචි කාර් කතාව

පසුගිය තෙවසර තුළ සිදු වූ ආර්ථික වර්ධනයට සමගාමීව රථවාහන ආනයනය වේගයෙන් ප්‍රසාරණය වුණා. එය වත්මන් ආණ්ඩුව අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තියේ සාර්ථකත්වය විදහා දක්වන අවස්ථාවක් වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය සංඛ්‍යාත්මකව පැහැදිලි කළහොත් 2013 දී මෝටර් රථ ආනයනය සඳහා වැය කළ රුපියල් මිලියන 75, 419ක මුදල 2017 දී රුපියල් මිලියන 117.811 දක්වා වේගයෙන් වර්ධනය වුණා.

 මේ තත්ත්වය තුළ වේගයෙන් ප්‍රසාරණය වන ගෙවුම් ශේෂ හිඟය සමඟ මෝටර් රථවාහන ආනයනය සීමා කිරීමට ආණ්ඩුවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදු වුණා. එහෙත් ආණ්ඩුවේම තීරණයට විවිධ පාර්ශ්ව වෙතින් දැඩි විවේචන එල්ල වුණා. පසුගිය දා මේ ගැන මැසිවිල්ලක් පුංචි කාර් ආනයනකරුවන් වෙතින්ද ඉදිරිපත් වුණා. ඒ ආණ්ඩුව පසුගිය දා පුංචි කාර් සඳහා පැනවූ බද්ද නිසා ඒවා ආනයනය දැඩි ලෙස දුර්වල වී ඇති බවයි. එහි දී ඔවුන් කියන්නේ අසීමිත ලෙස කුඩා මෝටර් රථ ආනයනය හරහා විදේශ විනිමය ගලා යාම පාලනය කර ගැනීමට රජයට හැකියාව ලැබුණ ද තමන්ගේ ව්‍යාපාර මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති බවයි.

එහෙත් මෙහි දී පැන නගින ප්‍රශ්නය වන්නේ වඩා වැදගත් වන්නේ සමස්ත ජාතික ආර්ථිකය රැක ගැනීම ද නැතිනම් ආනයනකරුවන් කිහිප දෙනකු රැක ගැනීම ද යන කරුණයි. අද රට හමුවේ නිර්මාණය වී තිබෙන ආර්ථික ගැටලූ රැසකට පදනම මේ ජාවාරම්කාරයින්ගේ ආර්ථික ක්‍රියාකාරීත්වය බවට සැකයක් නැහැ. අද සංවේදී ආර්ථික අභියෝගයක් බවට පත්ව ඇති ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණයට වීම කෙරෙහි ඉහත සඳහන් කළ ජාවාරම්කාර ආර්ථිකය ප්‍රධාන හේතුවක් වී තිබෙන බව පැහැදිලි කරුණක්.

රුපියල අවප්‍රමාණය වීම

ශ්‍රී ලංකාව මේ වන විට අඛණ්ඩව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීමේ (ඩොලරයක් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය ඉහළ යාම) තත්ත්වයකට මුහුණදීලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් පුරා (1978 දී විවෘත ආර්ථිකය හඳුන්වා දුන් සමයේ සිට ක්‍රියාත්මක වන්නේ ‘‘පාවෙන විනිමය අනුපත ක්‍රමයක් ’’ නිසා මෙය අනපේක්ෂිත හෝ අලුත් තත්ත්වයක් නොවෙයි. උදාහරණයක් විදිහට 2013 දී ඇමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 130.75ක් ගෙවිය යුතු වුණා. එය 2014 දී 131.04 දක්වාත්, 2015 දී 144.06 දක්වාත්, 2016 දී 149.8 දක්වාත් 2017 දී 152.85 දක්වාත් වෙනස් වුණා. 2018 සැපැම්බර් මාසයේ දී එය රුපියල් 164 දක්වා ඉහළ ගොස් තිබෙනවා. බන්දුල ගුණවර්ධන මහතා නිතර නිතර අවධාරණය කරන ආකාරයට පසුගිය වසර හතර තුළ රුපියල අවප්‍රමාණය වූ ප්‍රතිශතය සියයට 5.5ක් වැනි අගයක් වුණා. මේ අවප්‍රමාණය වීම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන මහතා ඍජුව චෝදනා කරන්නේ ආණ්ඩුවටයි.

ගොරකා දඩමස් කිරීම

එහෙත් රුපියල අවප්‍රමාණය වීම පිළිබඳ කරුණ අධ්‍යනය කිරීමේ දී බන්දුල ගුණවර්ධන මහතා කරන්නේ ‘‘ගොරකා දඩමස් කිරීමේ අවස්ථාවාදී උත්සාහයක්’’ බව අපට පැහැදිලි පෙනී යනවා.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සහ ආර්ථික විශේෂඥයෝ කියන්නේ වත්මන් ගෝලීය ආර්ථික හා දේශපාලන ප්‍රවණතා හමුවේ රුපියල යම් පමණකට අවප්‍රමාණය වීමක් දැකිය හැකි බවයි. එහෙත් එය ආර්ථික අර්බුදයක් කරා ගමන් නොකරනු ඇති බවට ඔවුන් සහතික වෙනවා. තම දේශීය මුදල් වේගයෙන් අවප්‍රමාණය වීමේ අර්බුදයකට ඉන්දියාව, ඉන්දුනීසියාව ඇතුළු කලාපීය රාජ්‍ය රැසක් මේ අවස්ථාවේ මුහුණ දී සිටිනවා. විශේෂයෙන් ඉන්දීය රුපියල දැඩිව අවප්‍රමාණය වීමකට ලක්වෙමින් තිබෙනවා.

ලංකාවේ තත්ත්වය ගැන අවධානය යොමු කිරීමේ දී ලංකාවේ ආනයන වේගයෙන් ප්‍රසාරණය වීම මේ සඳහා ප්‍රධාන හේතුව බව ඔවුන් පෙන්වා දෙනවා. විශේෂයෙන් ජනාධිපතිවරයා ද පෙන්වා දුන් පරිදි ජාවාරාම්කාරයින් හරහා සිදුවන ආනයන මේ අතර ප්‍රමුඛ වෙනවා. ඒ වගේම පසුගිය තෙවසරක කාලය තුළ අඛණ්ඩව සිදු වූ ගංවතුර, නියං තත්ත්වයන් යටතේ ආනයන පුළුල් වීම ද, සංචාරක කර්මාන්තය ප්‍රසාරණය වීම, ඉදිකිරීම් කර්මාන්තයේ සිදුවන වේගවත් ප්‍රසාරණය හා ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ යාම සමඟ සිදුවන ආනයනික භාණ්ඩ පාරිභෝජනය කිරීමේ නැඹුරුව ද ආනයන විශාල වශයෙන් වර්ධනය වීමට හේතුවෙලා තිබෙනවා.

ඉහත සඳහන් තත්ත්වය තුළ අපට පැහැදිලි වන්නේ පසුගිය කාලය තුළ රටේ ඇති වූ ආර්ථික වර්ධනයට සමගාමීව මෙන්ම ස්වභාවික ආපදා හේතුවෙන් ද ආනයන වියදම් විශාල ලෙස වර්ධනය වූ බවයි. මේ තත්ත්වය බන්දුල ගුණවර්ධන මහතා කියන ආකාරයේ ආණ්ඩුවේ නොහැකියාව හෝ අසාර්ථක ආර්ථික කළමනාකරණයක් නොවෙයි. උදාහරණයක් ලෙස මෝටර් රථ, අන්තර් භාණ්ඩ සහ ආයෝජන භාණ්ඩවල ආනයන වර්ධනය දැක්විය හැකියි. ආර්ථික වර්ධන තත්ත්වයක් තුළ හැරෙන්නට අන්තර් හා ආයෝජන භාණ්ඩ ආනයනය ඉහළ යාමක් සිදුවන්නේ නැහැ. එහෙත් සමස්ත ආනයනවලින් සියයට 54.5 හා 23.3ක් (2017දී) නියෝජනය කරන අන්තර් භාණ්ඩ හා ආයෝජන භාණ්ඩවල දැකිය හැකි වන්නේ 2014ට සාපේක්ෂව දැවැන්ත වර්ධනයක්.

මහින්ද රාජපක්ෂ යුගයේ දී, 2013 දී අපනයන ආදායම රුපියල් මිලියන 1, 344,054ක් වන විට ආනයන වියදම රුපියල් මිලියන 2,323,128ක් වුණා. හිඟය (වෙළෙඳ ශේෂය* රුපියල් මිලියන -979, 074ක් වුණා. ඒ අගය 2017 දී අපනයන රුපියල් මිලියන 1, 732, 440 දක්වා වර්ධන වුවත් ආනයන වියදම රු.මි. 3,198,572ක් වීමෙන් හිඟය - 1,466,133ක් දක්වා වර්ධන වුණා.

මෙහිදී අපට පැහැදිලිව පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ යුගයට සාපේක්ෂව (2014දී) 1,453,176ක් වූ අපනයන ආදායම 2017දී රුපියල් මිලියන 1,732,440 දක්වා වර්ධන වූ බවයි. මේ අනුව අපට පැහැදිලිව පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව තම අපනයන ආදායම් ද වේගයෙන් වර්ධනය කර ගනිද්දී ආනයන වියදම් සම්බන්ධ ගැටලුවකට මුහුණ දුන් බවයි. අද කුඩා මෝටර් රථ, ඇඟළුම් ඇතුළු ආනයන සඳහා බදු පැනවීම මඟින් ආණ්ඩුව අධෛර්යමත් කරන්නේ මේ ඍණාත්මක තත්ත්වයයි.

රුපියල අවප්‍රමාණය වීම දේශපාලන වාසියට යොදා ගනිමින් ගොරකා - දඩමස් කරන බන්දුල ගුණවර්ධන ඇතුළු අවස්ථාවාදීන්ගේ සැබෑ තත්ත්වය අපට මේ අනුව පැහැදිලිව වටහා ගත හැකියි. මෙහිදී විශේෂයෙන් අවධාරණය කළ යුත්තේ ජනාධිපතිවරයා කියන ආකාරයට විදේශ විනිමය කාබාසිනියා කරන ජාවාරම්කාරයන්ට මෙන්ම දේශපාලන අවස්ථාවාදීන්ට ද මේ රටේ ආර්ථිකය දඩබිමක් කර ගැනීමට ඉඩ නොදිය යුතු බවයි.

[චින්තක බණ්ඩාර කරල්ලියද්ද]

මාතෘකා