සමනල හීන අතරේ යකඩ හීන නඩත්තු කරන තන්තිරිමලේ නිමේෂිකා

 ඡායාරූපය:

සමනල හීන අතරේ යකඩ හීන නඩත්තු කරන තන්තිරිමලේ නිමේෂිකා

කට ඇති පුතෙකුත් රුව ඇති දියණියකුත් සිටීම පරපුරටම වාසනාවක් බව පරම්පරා කිහිපයකට ඉහත ජීවත් වූ මාපියෝ සිතූහ. එකී සිතිවිල්ලේ සරල අරුත කය වෙහෙසා වැඩ කළ හැකි එඩිතර පුතණුවන්ගෙන් සහ මල් වන් සොඳුරු සියුමැලි දියණිවරුන්ගෙන් පවුලක් සම්පූර්ණ වන බවය. එහෙත් කාලය මවා ඇති අපූරු වෙනස්කම් හමුවේ විශ්වයම ගම්මානයක් බවට පත්වී තිබියදී දැන් අප හමුවේ ඇත්තේ තවදුරටත් පිරිමි දරුවන් ගැහැනු දරුවන් වෙන්කොට සිතන්නට බැරි කාලයකි. එම නිසාම පිරිමි වැඩ - ගැහැනු වැඩ වෙන්කොට සිතූ කාලයද වේගයෙන් නික්ම යමින් තිබේ. එකී කියමන සනාථ කරමින් 'පිරිමි වැඩක්' කරට ගත් අපූරු දියණියක ගැන සොඳුරු කතාවක් අපට පසුගියදා තන්තිරිමලය ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.

ඇය අපට හමුවූයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලේ ප්‍රධාන මාර්ගයේ පිල්ලෑව, 15 කණුව, තන්තිරිමලේ නෙළුවිල ග්‍රාම සේවා වසමට අයිති ප්‍රදේශයක පිහිටි ගරාජයකදීය. "තනුජා මෝටර්ස්" යන නමින් ප්‍රකට එම ගරාජයේ හිමිකරු ජී. ඒ. මංජුල සිල්වා (46)ය.

වාහන ටින්කරින්, තීන්ත ආලේපන ආදී සියලුම වාහන අලුත්වැඩියා කටයුතු සඳහා කාලයක සිට කාගේත් විශ්වාසය දිනාගෙන සිටින මංජුලගේ ගරාජයේ තවත් සුවිශේෂ බවක් අපේ නෙත ගැටිණ. ඒ වාහන වැඩ සඳහා මංජුලට අත් උදව් දෙන්නට හෝ වැඩ කරන්නට පිටතින් ගත් කිසිදු සේවකයෙක් එම ගරාජයේ නැතිවීමයි. ගරාජයේ සියලු වැඩ කටයුතු සඳහා මංජුලට උදව් උපකාර කරන්නේ ඔහුගේ බිරිය වන කේ. එම්. චන්ද්‍රා කුමාරි ඇල්ලේවෙල සහ ඔවුන් දෙපළගේ බාල දියණිය වන 18 හැවිරිදි තනුජා නිමේෂිකාය. මේ දිනවල පවතින දැඩි හිරු රශ්මියද නොතකා ඔවුන් දෙදෙනා මංජුල හා හරි හරියට වැඩ කරමින් සිටියහ. මව ගරාජයෙහි වූ ත්‍රී රෝද රථයක තීන්ත ආලේප කිරීම සඳහා එය වැලි කඩදාසියකින් කපමින් සිටි අතර දියණිය නිමේෂිකා තනිවම තවත් ත්‍රී රෝද රථයක තීන්ත ආලේප කරමින් සිටියාය.

අවුරුදු 18ක් වැනි හිරිමල් යෞවනයේ පසුවන බොහෝ යුවතියෝ තම සුකොමල දෑත්වල ග්‍රීස්, තෙල් ඇතුළු 'මජන්' තැවරෙනවාට අකමැතිය. කෙල්ලන් තබා බොහෝ විට ඒ වයසේ සමහර කොල්ලන් පවා අත පය සොලවා වැඩක් කරන්නට කම්මැලිය. එහෙත් නිමේෂිකාට එහි වගක් නැත. ඇය හරිහරියට යකඩ ගොඩවල් සමඟ හැප්පෙමින් වැඩ කරන ආකාරය බලාඉන්නට ලස්සනය. හුරුබුහුටිය. අපි ඇගේ කාරියට බාධා නොකර ඇගේ පියා සමඟ කතාවට වැටු‍ණෙමු.

"මගේ උපන් ගම මාතලේ. මගේ කලින් ගරාජ් එක තිබුණෙත් එහේ. මට මේ විදිහේ වාහන ටින්කරින් සහ පේන්ටින් වැඩ ගැන අවුරුදු 25ක විතර පළපුරුද්දක් තියෙනවා. මට දුවලා තුන්දෙනෙක් ඉන්නවා. එක දුවෙක් විවාහවෙලා ඉන්නේ මාතලේ. අනිත් දුව විවාහවෙලා තන්තිරිමලේ අපි මේ ඉන්න ගමේ පදිංචියට ආවා. දුව බලන්න මේ ගමට යන එනකොට මම දැක්කා මෙහෙට වාහන ගරාජයක් නෑ කියන එක. ඊටපස්සේ තමයි මම තීරණය කළේ මේ පාර අද්දර තැන කුලියට අරගෙන වැඩපොළක් පටන්ගන්න. අවුරුදු හයකට කලින් එහෙම පටන්ගත්ත ගරාජයට මම අපේ බාල දුවගේ නම දැම්මා "තනුජා මෝටර්ස් " කියලා. ඉස්සරත් මට නෝනයි දුවයි ගරාජ් එකේ වැඩවලට උදව් කරනවා. ඒත් දැන් දුව එයාගේ අම්මටත් වැඩිය දක්ෂ විදිහට මේ වැඩ කරනවා. තනිවම වාහනයක් ගලවලා පේන්ට් වැඩ කරලා ආපහු සවි කරන්න තරම් දැනුමක් දුවට තියෙනවා. ටින්කරින් වැඩත් පුළුවන්. ඒ වගේම වාහන පදවන්නත් පුළුවන්. මම මගේ දුව ගැන ආඩම්බර වෙන්නෙ ඒ නිසාම විතරක් නෙවෙයි"

මංජුල මහතා කතාව නවතා දියණිය වැඩ කරන දෙස බැලුවේය. ඔහුගේ දෙනෙත්වලින් දෝරගලන්නේ පිය සෙනෙහස බව ඒ බැල්ම නිහඬවම කියාපාන්නා සේය. ඔහු යළි අප වෙතට හැරුණේ පිය සෙනෙහසින් තෙත්වූ දෙනෙතිනි.

"මට මේ දරුවා ගැන ආඩම්බර මේ මොන දේ කළත් අධ්‍යාපනයටත් ඒ වගේම දක්ෂ නිසයි. එයා සාමාන්‍ය පෙළ ඉහළින් සමත්වෙලා දැන් කලා අංශයෙන් උසස් පෙළට ඉගෙන ගන්නවා. දුව අදටත් මට කියන්නේ තාත්තේ මට රජයේ රැකියාවක් කරන්න නොලැබුණත් මම මේ ගරාජය කරගෙන ඉන්නවා කියලයි. ඉගෙනීමේ කටයුතුවලින් පස්සේ රජයේ රැකියාවක් ලැබුණත් සේවකයන් දාලා හරි ගරාජය කරන්න තරම් ආශාවක් ඇයට තියෙනවා. අනිත් එක ගැණු ළමයෙක් වුණාම මේ වයසේදි මේ වාගේ යකඩ ගොඩවල් එක්ක ඔට්ටු වෙයිද? මේ විදිහට ග්‍රීස්, ඔයිල් ගාගෙන ඉන්න කැමති වෙයිද? ඒ වගේම තමයි දුව කවදාවත් කවදාවත් අපි මේ කරන රස්සාව අඩු තක්සේරුවකට ලක් කරලා "තාත්තේ අපි වෙන දෙයක් කරමු, මට නම් බැහැ මේ වාගේ දේවල් කරන්න" කියලා නැහැ. එයා මේ හැම දෙයක්ම කරන්නේ හරිම ආශාවෙන්. ඉස්කෝලෙ ඇරිලා ආවට පස්සේ හවස හතර පහ වෙනකම්ම ගරාජ් එකේ වැඩ කරනවා. ඊට පස්සේ තමයි පතපොතේ වැඩ, පාඩම් වැඩ කරන්නේ. නමුත් ඇය පාසලේ කටයුතු කිසිම දෙයක් අතපසු කරගන්නේ නැහැ. ඒවාත් හොඳින් කරනවා. ඉගෙන ගන්නත් ඒ වගේම දක්ෂයි."

දියණිය ගැන මෙන්ම ජීවිතයට අත්වැලක් වන සිය දයාබර බිරිය ගැනත් මංජුල මහතා කතාකළේ සොම්නසිනි.

"මගේ බිරිඳත් එහෙමයි. ගරාජයට අල්ලපු කාමරයක තමයි අපි ඉන්නේ. ගෙදර උයන පිහන වැඩ කරලා විවේකයෙන් ඉන්න කිව්වට එයා විවේක ගන්නේ නැහැ.හැම වේලාවේම මගේ වැඩ කටයුතු පහසු කරන්න එයත් වැඩ කරනවා. සේවකයෙකුටත් වඩා නෝනයි දුවයි මට දෙන මේ සහයෝගය ගැන මම හිතෙන්නේ මගේ පෙර පිනකට ලැබුණු දෙයක් කියලයි. මම වැඩ කරන හැටි බලාගෙන ඉඳලම තමයි ඒ දෙන්නම මේ වැඩ පුරුදු පුහුණු වුණේ"

එවැනි බිරියක සහ දියණියක ලද සැමියකුගේ, පියකුගේ සිතෙහි වන අභිමානය කියන්නට වදන් නොසෑහෙනු ඇත. එම නිසා ඔහුගේ හඬට විරාම තබා අපි ඔහුගේ බිරිය චන්ද්‍රා කුමාරි වෙතට හැරුණෙමු.

"අපේ දුවට සහජයෙන්ම හිතලා වැඩ කිරිමේ පුදුම හැකියාවක් සහ උනන්දුවක් තියෙනවා. කිසිම දේකට කම්මැලි නැහැ. අම්මා කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නේ මේ වගේ දියණිවරුන් අද අපේ රටේ හරිම අඩුයි කියලා විතරයි. කවුරුහරි මෙතැනට වාහනයක් අරගෙන ආවම අපි තුන්දෙනාගෙම එකම ඉලක්කය ඉක්මනින්ම වාහනේ හදලා ප්‍රමාදයක් නැතිව ඒක ඒ අයට බාරදෙන එකයි."

අම්මාගේත් තාත්තාගේත් නොමඳ සෙනෙහසට ලක්වී සිටින හැඩත් වැඩත් දෙකම ඇති තනූජා නිමේෂිකා දියණිය සමඟ කතා නොකළහොත් මේ සටහන අසම්පූර්ණය.

"තාත්තා මේ වැඩ කරනවා අපි පොඩි කාලේ ඉඳලා දැක්කා. පොඩි පොඩි වැඩවලට ඒ කාලේ ඉඳන් උදව් වුණා. ඒ නිසාම ඒ වැඩ ගැන ආශාවකුත් ඇතිවුණා. එහෙම වැඩ කරලා මේ වෙද්දි මට තනිවම වැඩ කරන්න තරම් හැකියාවක් ලැබුණා. මගේ තාත්තයි අම්මයි දුක් විඳලා කරන රැකියාවට මටත් පොඩි කාලයේ සිට ශක්තියක් ලැබීම ගැන මම ලොකු සතුටකින් තමයි ඉන්නේ. මම සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙනගත්තේ බිල්ලෑව මහා විද්‍යාලයේ. සාමාන්‍ය පෙළ සම්මාන හතරක් එක්ක විෂයන් හතක් සමත් වුණා. ඊටපස්සේ උසස් පෙළ කරන්න මම තන්තිරිමලේ විමල ඥාණ මහා විද්‍යලයට ඇතුල් වුණා. මම දැන් කලා අංශයෙන් උසස්පෙළ හදාරනවා. ඉගෙන ගන්න වැඩ මම කරන්නේ හරිම ආසවෙන්. ඒ වගේම තමයි මේ වැඩත්. මම කිසිම වෙලාවක හිතන්නේ නැහැ මේවා ගෑනු ළමයෙක් නොකළ යුතු වැඩ කියලා. මට නම් මේ ගරාජ් එකේ කරන සමහර දේවල්වලින් පාසලේ කටයුතුවලට අවශ්‍ය දැනුම වගේම හිතන්න පුළුවන් බුද්ධියත් ලැබෙනවා. මගේ පාසලේ යාළුවෝ වගේම ගොඩාක් අය දන්නවා මම ගරාජ් එකේ වැඩ කරනවා කියලා. නමුත් ඒ අය මේ ගැන අවතක්සේරුවකින් කතා කරන්නේ නැහැ. ඒ වාගේම මේ පැත්තේ මිනිස්සු ගතකරන්නේ තරමක් දුෂ්කර ජීවිත. ඒ නිසා ඔවුන් දන්නවා ජීවිතය කියන්නේ කොයිතරම් අමාරු කටයුත්තක්ද කියලා".

නිමේෂිකා දියණියගේ ඒ ජීවන දැක්ම ඇය තරමට සොඳුරුය. හුරුබුහුටිය. එනිසාම ඇගේ වදන් අසා සිටීමද ඇය වැඩ කරන අයුරු බලාසිටීම තරමටම ප්‍රියජනකය.

"උසස්පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයට යාම තමයි මගේ බලාපොරොත්තුව. විශ්ව විද්‍යාලයේදිත් මේ වගේ අංශයකින් ඉදිරියට යන්නත් කැමතියි. නමුත් මම දන්නෙ නෑ ඒ සඳහා ක්‍රමවේදයක් තියෙනවාද කියලා. එහෙම යන්න බැරි වුණත් මට මේ වෘත්තිය කරගෙන තාත්තවයි අම්මවයි බලාගෙන නිදහසේ සතුටින් ඉන්න එක තමයි මගේ බලාපොරොත්තුව. අපේ රටේ ඉන්න මගේ වයසේ ඉන්න අනික් අයටත් මට කියන්න තියෙන්නේ ඉගෙනීමට අමතරව මොනවා හරි වෘත්තියක් පුරුදු පුහුණු වෙනවා නම් අද කාලේ හැටියට ඒකට ලොකු වටිනාකමක් තියෙනවා කියලයි."

නිමේෂිකාගේ වදන් තුළ ගැබ්වී ඇත්තේ ඇගේ වයසේ බොහෝ දෙනෙකුගේ ජීවිතයට ගත හැකි ආදර්ශයක් නොවන්නේද? මාපියන්ගේ දහදිය කඳුළින් උගත් අධ්‍යාපනයේ වටිනාකම් පසෙක තබා නිකරුණේ මහමඟ රස්තියාදු වන ඇතැම් තරුණ දූ පුතුන්ට නිමේෂිකා වැනි දිරිය දියණියන්ගෙන් උගත හැකි පාඩම් බොහෝය.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්] [සමන් විජය බණ්ඩාර] ඡායාරූප [සමන් විජය බණ්ඩාර] මාවනැල්ල විශේෂ

මාතෘකා