උගුරේ ආසාදනවලින් ආරක්ෂා වෙන හැටි

 ඡායාරූපය:

උගුරේ ආසාදනවලින් ආරක්ෂා වෙන හැටි

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්දන හේවගේ

කුණු, දුහුවිලි කියන්නේ පරිසරයේදී නිරතුරුවම දකින්න ලැබෙන දෙයක්. ඒ කුණු දුහුවිලි මිනිසුන්ගේ නාස් කුහර තුළින් ශරීරය තුළට ඇතුළු වීමෙන් උගුරේ ආසාදන තත්ත්වයන් ඉක්මනින් ඇති ‍වෙනවා. ඉන්පසු බොහෝ දෙනෙකුට තමන්ගේ එදිනෙදා වැඩ රාජකාරි කිරීමට පවා අපහසු වනවා. උගුරේ ආසාදන තත්ත්වයන් යනුවෙන් හඳුන්වන්නේ කුමන තත්ත්වයක්ද, උගුරේ ආසාදන තත්ත්වයන් ඇති වීමට බලපාන හේතු යනාදිය පිළිබඳ දැනුවත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

උගුරේ ආසාදන තත්ත්වයක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

උගුරේ ඇතිවන යම් වේදනාවක් දැවිල්ලක් හෝ වෙනයම් අපහසුතාවක් විශේෂයෙන්ම ගිලීමත් සමඟ මෙම තත්ත්වය දැඩි වන්නේ නම් එය උගුරේ අමාරුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. උගුරේ අමාරුව සාමාන්‍යයෙන් ඇති වන ස්ථානය අනුව බෙදා වෙන් කිරීමට පුළුවන්. එක් වර්ගයක් නම් සෙම් ගෙඩි ලෙස අප හඳුන්වන උගුරේ පිටුපසට වන්නට දිවේ මුල් කෙළවර දෙපැත්තෙහි ඇති ප්‍රධාන වසා ග්‍රන්ථිවල ආසාදනයක් (Tonsillits) ලෙස හඳුන්වන්න පුළුවන්. එමෙන්ම උගුරේ බැරැන්ඩි වීම, කතා කිරීමේදී හඬ පිට නොවීම වැනි ලක්ෂණ පෙන්වන ස්වරාලයේ ප්‍රදාහයන් (Laryngitis) තවත් ප්‍රභේදයක් ලෙස පෙන්වා දිය හැකියි. උගුරේ අනෙකුත් ස්ථානයන්හි ඇති වන ප්‍රදාහයන් (Pharyngitis) තවත් වර්ගයක් ලෙස පොදුවේ දක්වන්න පුළුවන්. උගුරේ අමාරුවට ප්‍රධාන වශයෙන් විෂබීජ හේතු වන අතර විෂබීජ නිසා ඇතිවන උගුරේ අමාරුව උගුරේ අසාදනයක් ලෙස සරලව දැක්වීමට හැකියි.

උගුරේ අසාදන තත්ත්වයක් ඇති වීමට බලපාන හේතු සාධක මොනවා ද?

උගුරේ ආසාදන තත්ත්වයන්ට හේතු ගණනාවක් මුල් වෙන්න පුළුවන්. විෂබීජ එයට එක් හේතුවක් වන අතර වෛරස් ඉන් ප්‍රධාන වෙනවා. ඊට අමතරව බැක්ටීරියා ආසාදන පවා මෙම තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. කලාතුරකින් දීලීර (Fungus) වර්ග උගුරේ ආසාදන තත්ත්වයන්ට හේතුවෙනවා. විශේෂයෙන් ප්‍රතිශක්තිය හීන රෝගීන්ගේ උගුරේ අමාරුවට දිලීර හේතු කාරක වනවා. ඊට අමතරව උගුරේ අමාරුවට වායු ගෝලයේ ඇතිවන විවිධ වායු දුෂක ලෙස හඳුන්වන රසායන ද්‍රව්‍ය ආශ්වාස කිරීමත්, ප්‍රතිශක්තිය හීන වීමත්, සෙනඟ අධිකව රැස්වන වාතාශ්‍රය අඩු තැන්වල නිතර ගැවසීමත්, උස් හඬින් නිතරම කතා කිරීමට සිදුවීමත් ආදිය හේතුවනවා.

විශේෂයෙන් කුඩා දරුවන් උගුරේ අමාරුව සඳහා ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පෙන්වනවා. එමෙන්ම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් පෙළෙන රෝගීන්ටද උගුරේ අපහසුතාවක් ඇති වන්නට පුළුවන්. මෙහිදී සඳහන් කළ යුතු තවත් දෙයක් වෙන්නේ ළමුන්ට ඇතිවන ස්ට්‍රෙප්ටොකොකස් (Streptococcus) බැක්ටීරියා විෂබීජය නිසා ඇතිවන උගුරේ අමාරුව සඳහා නිසි ප්‍රතිකාර නොකිරීමෙන් රූමැටික් උණ තත්ත්වය නිසා පසුකාලීනව හෘදයටද බලපෑම් ඇති විය හැකියි.

උගුරේ ආසාදන තත්ත්වයට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට යොමු විය යුත්තේ කුමන අවස්ථාවලදීද?

බොහෝ අවස්ථාවලදී උගුරේ අමාරු තත්ත්වයන්ට නිවසේදී සිදු කළ හැකි සරල ක්‍රම මඟින් සම්පූර්ණයෙන්ම සුව වන නමුත් සමහර අවස්ථාවන්වලදී විශේෂයෙන් කුඩා දරුවන්ගේ උගුරේ ආසාදන තත්ත්වයන් අධික උණත් සමඟ පවතී නම්, හුස්ම ගැනීමට හෝ ගිලීමට අපහසුතාවක් ඇති වේ නම්, මුඛය දෙපසින් ඛේටය වැගිරෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමුවීම වැදගත්. ඉහත සඳහන් කරුණුවලට අමතරව වැඩිහිටියන්ගේ උගු‍රේ ආසාදන තත්ත්වයන් සතියකට වඩා පවතී නම්, ඛේටය හෝ සෙම සමඟ ලේ පිටවේ නම්, කටහඬ වෙනස්වීම සති දෙකකට වඩා පවතී නම් හෝ නිතර නිතර උගුරේ අමාරුවක් ඇති වේ නම් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වනවා.

උගුරේ ආසාදන තත්ත්වයන් සඳහා නිවසේ දී සිදු කළ හැකි ප්‍රතිකාර ක්‍රමයන් තිබේද?

ඔව්. වෛරස් විෂබීජ ප්‍රධාන වශයෙන්ම උගුරේ අසාදනයන්ට හේතු වනවා. මෙය ප්‍රතිජීවක (Antibiotics) මඟින් සුව කළ නොහැකි අතර ඉතා සරලව නිවසේ දී අනුගමනය කළ හැකි ප්‍රතිකාර ක්‍රම මඟින් මෙවැනි තත්ත්වයන් බොහෝ විට සුව කර ගැනීමට පුළුවන්. උදාහරණයක් ලෙස නිවස තුළම විවේකීව ගත කිරීම, ලුණු වතුරෙන් උගුර සේදීම, ප්‍රමාණවත් තරම් දියර වර්ග පානය කිරීම, පැරසිටමෝල් වැනි වේදනා නාශක පාවිච්චි කිරීම ආදිය දක්වන්න පුළුවන්. උගුරේ ප්‍රදාහය ඇති වීමට හේතුකාරක වන දේවල් හඳුනා ගෙන ඒවායින් වැළකීමත් ඉතා වැදගත් වනවා.

උගුරේ ආසාදන තත්ත්වයන් ඇතිවීම වළක්වා ගැනීමට සිදු කළ යුත්තේ මොනවා ද?

මෙහිදී උගුරේ ආසාදන තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට අනුගමනය කළ හැකි හොඳම දෙය වන්නේ නිවැරදි සනීපාරක්ෂක ක්‍රම පිළිපැදීමයි. උදාහරණයක් ලෙස නිතර නිතර එදිනෙදා කටයුතුවලින් පසු අත් සේදීම, කහින විට හෝ කිවිසුම් යවන විට මුඛය ආවරණය කර ගැනීම, කන බොන විට දී තමන් පාචිච්චි කරන තේ කෝප්ප, හැඳි, ගෑරැප්පු ආදිය වෙනත් අය සමඟ හුවමාරු කර නොගැනීම, වැඩිපුර පොදු උපකරණ (පරිගණක යතුරු පුවරු, දුරකථන ආදිය) පරිහරණය නොකිරීම හෝ විෂබීජ නාශකවලින් පිරිසිදු කොට ඒවා භාවිත කිරීමත් වැදගත් වෙනවා.

සටහන [මදාරා මුදලිගේ]

මාතෘකා