පුංචි කෝච්චියේ අවසන් නැවතුම ‘සුද්දන්ට මල් දුන්න’ රාගල

 ඡායාරූපය:

පුංචි කෝච්චියේ අවසන් නැවතුම ‘සුද්දන්ට මල් දුන්න’ රාගල

පුංචි කෝච්චිය නානුඔය උඩපුස්සල්ලාව දුම්රිය මාර්ගයේ සුන්දර ඉසව් පසු කොට යමින් තම ගමනාන්තය බවට පත් කර ගත්තේ රාගල නගරයයි. එකල මෙන්ම මෙකලද බොහෝ දෙනෙකු පවසන්නේ මෙරට තිබූ ලස්සනම මෙන්ම දුෂ්කරම දුම්රිය මාර්ගය වූයේ මේ දුම්රිය මාර්ගය බවයි. අධික බෑවුමක් සහිත පටු දුම්රිය මාර්ගය ඔස්සේ එකල පුංචි කෝච්චි රාගලට පැමිණියේ හුදෙක් සුද්දන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලීමටය. සාමාන්‍ය මගීන්ට ගමන් කිරීමට තිබුණේ පෙට්ටි දෙකක් පමණි.

ආර්. එම්. පොඩිමහත්තයා 1924 වර්ෂයේදී මෙලොව එළිය දුටු, පුංචිකෝච්චියේ අවසන් නැවතුම්පළ දක්වා ගමන් කළ ජීවමාන සාක්ෂිකරුවෙකි.

“මම ඒ දවස්වල අපේ සීයත් එක්ක එක දවසක් රාගල නානුඔයේ ඉඳලා කෝච්චියේ ආවා. මට මතක විදිහට සත දොළහක් වගේ තමයි ටිකට් එකට ගත්තෙ.” රාගල නගරයෙත් පුංචි කෝච්චි ගමනේ අතීත මතකයන් වෙත අප රැගෙන යමින් පොඩි මහත්තයා, පැවසුවේය. දැන් ඔය ග්‍රාමීය බැංකුව එහෙම තියෙන බිල්ඩින් එක තමයි ඉස්සර ස්ටේෂන් එක. ඊට එහා පැත්තේ තියෙන්නේ ගුඩ්ෂේඩ් එක. මම ඉපදුණේ නුවර. පනස් ගණන්වල තමයි රාගල පදිංචියට ආවේ. අපේ සීයා කොරෙනෙල් කෙනෙක්. එයාත් එක්ක උසාවියට ආව දවසක තමයි මම කෝච්චියේ රාගලට ආවේ.” ඔහු තම ගමන සනාථ කරමින්ම පැවසීය.

පැරණි නටබුන්

අද වන විට අක්‍රමිකවත්ව වුවත් රාගල නගරය ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගරයක් බවට පත්ව ඇති අතර එකල කෝච්චි ගමන නතර වීමත් සමගම එම ගොඩනැගිලිම භාවිතා කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කළේය. පසුව දුම්රිය ස්ථානය ඉදිරිපස බස් නැවතුම්පළක් වශයෙන් භාවිතා කළ අතර දුම්රිය ස්ථානයට මදක් ඈතට වන්නට බස් නැවතුම්පළක් ඉදිකොට ඇත. මේ වන විට ඒ බස් නැවතුම්පළ වෙනුවට නව බස් නැවතුම්පළක් ඉදිකොට ඇති අතර පැරණි දුම්රිය ස්ථානය කඩමණ්ඩියක් බවට පත්ව ඇත. ඉදිරිපස ඇති පැරණි රේල්පීලි පමණක් අතීතයේ මෙහි දුම්රිය ස්ථානයක් පැවති බවට සාක්ෂි දරයි. එසේම රාගල නගරය ආසන්නේ එකල දුම්රිය ස්ථානයට භාවිත කළ බොහෝ ගොඩනැගිලි මෙන්ම තවත් සාධක අදද දැක ගැනීමට තිබීම විශේෂත්වයකි.

මිනීපෙට්ටියක් රු. 55යි

පොඩි මහත්තයා නවසිය පනහ දශකයේදී තම වාසභූමිය බවට රාගල නගරය පත් කර ගන්නේ ඔහුගේ පියා සමග රාගල සිංහල විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පැමිණීමෙනි. ඔහු ඉන්පසු රාගල නගරයේ ලී බඩු වෙළෙඳ සැලක් සහ මල් ශාලාවක් පවත්වාගෙන යන අතර එය සුවිශේෂ වන්නේ රාගල නගරයේ මෙන්ම නුවරඑළිය නගරයේ තිබූ එකම මල් ශාලාවේ හිමිකරුවා ඔහු වීම නිසාය.

“ඒ දවස්වල රාගල නුවරඑළියේ තිබූ මල් ශාලාවල් විතරයි පැත්තටම තිබුණේ. ලී බඩු සාප්පුත් එහේමයි. අපි ඒ දවස්වල මිනී පෙට්ටියක් දුන්නේ රුපියල් පනස් තුනට. දැන් වගේ ඒ කාලේ අපි මිනී එම්බාම්කළේ නැහැ. කොටින්ම කියනවා නම් මම මල් ශලාව කළාට මිනියක් දැකලාවත් නැහැ. ඒ දවස්වල මිනිස්සු ඇවිත් පෙටිටි අරන් යනවා, එච්චරයි. දැන්නේ මේ හැම දෙයක්ම මල් ශාලාවෙන් කරන්නේ.

පැට්‍රල් එම්බාම්

මෘත ශරීර කල්තබා ගැනිමට අද නවීන ක්‍රම භාවිතා කළද එදා ඉන්ධන භාවිතයෙන් වතු ජනතාව මෘත ශරිර කල්තබා ගත් බව පොඩිමහත්තයා පවසයි.

“ඒ දවස්වල වතුවල අය කරන්නේ මැරුණ කෙනා පෙට්ටියට දාන්න ඉස්සරවෙලා ටිකක් ඉන්දවලා කටට පුනීලයක් දලා පැට්‍රල් කාලක් විතර පොවන එක. තව ගම්වල මොනවදෝ බෙහෙතක් හදලා මිනියට පොවලා කල්තියා ගත්තා. ඒ මොනවද කියලා ඒ අය අපිට කිව්වේ නැහැ. අසූ ගණන්වල දියනිල්ලේ නාය ගිහින් 19 දෙනෙක් මැරුණා. ඒ අයටත් පෙට්ටි දුන්නේ අපි. ඒ රුපියල් පනස් පහ ගානේ. අනික ඒ දවස්වල ලී බඩුත් හරි ලාබයි. අපි කොස් ඇඳක්ම දෙන්නේ රුපියල් තිස් පහටනේ.”

තවත් බොහෝ සොඳුරු මතකයන්ද සමග ඔහු පවසයි.

පුංචි කෝච්චයේ ගමන් කළ සාක්ෂිකරුවන් සොයා ගැනීම බොහෝ සෙයින් අසීරු කටයුත්තක් වුවද රාගල හන්දියේ සැගවුණු අතීතයන් සොයා යන ගමනේදී ඒ අත්දැකීම විඳි ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු මුණ ගැසීම නම් වාසනාවකි. 1928දී ඉපද 1943 වර්ෂයෙදී රාගල නගරයේ වෙළද සැලක සේවයට පැමිණි ආර්. එම්. කරුණාදාස මහතාද ඒ අතීතයේ සාක්ෂිකරුවෙකි.

“මම ඒ දවස්වල විනෝදෙට එක පාරක් නුවරඑළියට කෝච්චියේ ගියා සතදහයක් දීලා. මිනිස්සුන්ට යන්න එච්චර පෙට්ටි තිබුණේ නැහැ. පෙට්ටි දෙකයි තිබුණේ. අනිත් පෙට්ටි ඔක්කොම බඩු පෙට්ටි. මම හිටගෙන තමයි නුවරඑළියටම ගියේ.”

රුපියල් හැත්තෑවේ රන් පවුම

අද එක් එක් නම්වලින් පාරිභේගිකයන්ගේ සියලු අවශ්‍යතා සුපුරාගත හැකි සුපිරි වෙළෙඳසැල් හන්දියක් ගානේ දකින්නට තිබුණද එදා සුද්දන්ට තම අවශ්‍යතා සපුරා ගන්නටද සුපිරි වෙළෙඳසැල් තිබුණු බව කරුණාදාස මහතා පවසයි.

“මම වැඩ කළේ රාගල හන්දිය ළඟ තිබුණ සිල්ලර බඩු කඩේක. ඒ දවස්වල අපේ කඩෙන් තමයි මේ පැතිවල හිටපු සුද්දෝ බඩු ගත්තේ. අපේ කඩේ හරියට දැන් තියෙන කාර්ගිලිස් එක වගේ ඕනෙම බඩුවක් තිබුණා. ටවුමේම කඩ දහයක් පහළොවක් විතර තමයි තිබුණේ. මම පස්සේ තනියම කඩයක් දා ගත්තා. ඒ දවස්වල බඩු හරි ලාභයි. හාල්, පොල්, සීනි හැමදේම සත ගණන්. දවසට රුපියල් හාරසියයක විතර තමයි බිස්නස් කරන්නේ.

“මම ඒ දවස්වල මුදු තුනක් හැදුවා පවුම ගානේ. එක පවුමක් රුපියල් හැත්තෑවයි. මුද්ද හදන්න වැඩ කුලිය රුපියල් දහයයි. ඔක්කෝම රුපියල් අසූවයි වුණේ. පස්සේ මම ගේ හදනකොට සල්ලි මදිවෙලා ඒ මුදු තුනම රුපියල් තුන්සිය පනහකට වික්කා. මම දැන් මගේ කඩ ඔක්කොම දරුවන්ට දීලා ගෙදර ඉන්නවා.”

සුද්දන්ට මල් දුන්න රාගල

රාගල හන්දියත්, නගරයත්, ඒ ආශ්‍රිත ප්‍රදේශයත් එකල ප්‍රසිද්ධව පැවතියේ සුද්දන්ට මල් සැපයූ නගරය ලෙසයි. අද වන විට විශාල වශයෙන් රාගල නගරයේ මල් වගාව සිදු නොවුණද ඒ අවට ඇති රත්නායක පතන, පළල් පතන ආදී ප්‍රදේශවල මල් වගාව විශාල වශයෙන් සිදු කරනු ලබන අතර පුංචි කෝච්චිය පැවති කාලයේත් ඉන්පසු දුම්රිය භාණ්ඩ ප්‍රවාහන සේවය පැවති කාලයේත් ඉහත ප්‍රදේශයන්ගේ සරුවට වැඩුණු මන්සකාන්ත මල් රාගල හන්දියෙන් ප්‍රවාහනය කළ නිසා එකල ‘සුද්දන්ට මල් දුන්න නගරය’ලෙස රාගල හඳුන්වන්ට ඇති බවටද සාධක පවතී.

“කෝච්චිය දිගට තිබුණට ඒ දවස්වල හරවන්නේ එන්ජින් එක විතරයි. දැන් පරණ බස් හෝල්ට් එක තියෙන තැනට ටිකක් එහායින් තමයි කෝච්චිය හැරෙව්වේ. එතන එන්ජින් එක නවත්තලා රවුමක් කරකවනවා. අපි බලාගෙන ඉන්නවා.” හැත්තෑ අට හැවිරිදි එස්. එම්. සිරිවර්ධන මහතාද රාගල හන්දිය ගැන කියන්නට එක් විය. “අපි ඒ දවස් වල පොඩි ළමයි ඉතින් කෝච්චිය හරවනවා බලන්න එනවා මට මතකයි.”

කොට කලිසම් ඇඳි සාජන්

එකල රාගල අවට ඇති සරුසාර තේ වතු පාලනය කරන ලද්දේ සුදු ජාතිකයන් විසිනි. ඔවුන් තම ගමන් අවශ්‍යතා පසුරා ගත්තේ බොහෝ දුරට අශ්වයන් යොදා ගනිමිනි. අද රාගල පොලිස් ස්ථානය පවතින්නේ එදා තිබූ අශ්වගාලකය. එසේම සමාජිකයන් හත් අට දෙනෙකුගෙන් ආරම්භකරන ලද රාගල පොලිසියේ එකල ස්ථානාධිපතිවරයා කොට කලිසම ඇඳි සාජන්වරයෙකු බව සිරිවර්ධන මහතා පවසයි.

බොහෝ හන්දිවල මෙන්ම රාගල හන්දියේද විශාල ත්‍රීවීල් පාක් එකක් දැක ගත හැකිය. කේ.ජී. ශ්‍රියානන්ද එහි උරුමකරුවෙකි.

“අපේ ත්‍රීවිල් පාර්ක් එකේ ත්‍රීවීල් අසූවක් විතර තියෙනවා. අපේ සංගමේ ලේකම් මම. අපි හැමදාම රෑ නවය දහය වෙනකම් දුවනවා. මේ පැත්තේ එළවළු වගාවත් හොඳට කරනවා. මල් වගේම පෙයාස්වලටත් රාගල හරි ප්‍රසිද්ධයි. ඒ වුණාට හැමදාම ටවුමට එන අය විතරයි ඉන්නේ. අපිත් හැමදාම ඒ අයම තමයි දා ගෙන යන්නේ. වතුවල පඩි දවසට විතරක් ටිකක් වැඩිපුර සෙනග ටවුමට එනවා. ඒත් ඉතින් එකම මුහුණු ටික තමයි. ඉතින් ඒ කාලේ තිබුණා වගේ ආපහු පුංචි කෝච්චියවත් මේ පැත්තට එනව නම් ගොඩාක් හොඳයි. ටවුන් එකත් තව ගොඩාක් සංවර්ධනය වෙන්න ඕනේ” යැයි ඔහු පවසයි.

රාගල පෙයාස්

ඇපල් වගාව මෙන්ම පෙයාස් වගාව එදා සිට රාගල සරුවට සිදු කෙරුණු අතර අද වන විට රාගල හන්දිය ආසන්නයේ පෙයාස් වගාව සිදු නොවුණද අවට ගම්මානවල මේ දිනවල පල බර වූ පෙයාස් වගාව දැක ගත හැකිය. මේ දිනවල මෙරට පෙයාස් අස්වැන්න වෙළෙඳපොළට පැමිණෙමින් පවතියි. රාගල සහ රහංගල නමින් පෙයාස් ප්‍රභේද දෙකක් මෙම ප්‍රදේශවල දැකිය හැකිය. අසූව දශකයේදී නුවරඑළියේ පෙයාස් වගාව විනාශ වූ අතර රාගල කඳුපන්ති අතර තිබූ පෙයාස් වගාව පමණක් ඉතිරි විය. අද ‘රාගල පෙයාස්’ නමින් එම පෙයාස් වගාවන්ද, පසුව ගොවි ජනසේවා දෙපාර්තමෙන්තුව මගින් හඳුන්වා දුන් ‘රහංගල’ නම් බද්ධ පෙයාස් වගාවන්ද රාගල අවට සරුවට වැඩී තිබෙනු දැක ගත හැකිය. ඔබටත් මගතොටේදී මේ දිනවල රාගල පෙයාස් ගෙඩියක රස බැලිය හැකිය.

[චන්දන තිලක් ද සිල්වා]

මාතෘකා