ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගන්නා හැටි

 ඡායාරූපය:

ගෙවත්තෙන් උපරිම ප්‍රයෝජන ගන්නා හැටි

ඉඩකඩ ප්‍රමාණය සීමා සහිත වුවත් නැතත් ගතට සහ සිතට විවේකී බවක් ගෙනදෙන අලංකාර ගෙවත්තක් හිමිකර ගැනීම වඩාත් වටින්නේය. වර්තමානයේදී බොහෝ දෙනෙක් විශාල මුදලක් වැය කොට තම ගෙවත්ත අලංකාර කරගනිති. එහෙත් අදටත් ගම්බද ගෙවතුවල ස්වාභාවික සුන්දරත්වය රඳා පවතී. එපමණක් නොව මිනිසුන්ගේ කායික මානසික සෞඛ්‍යටද ඒවා හිතකර වේ. පහත දැක්වෙන්නේ එලදායී ආකාරයට ඔබේ ගෙවත්ත සකසා ගැනීමට උපකාර වන කරුණු කිහිපයකි.

ඉඩම සීමාකර ගැනීම , ආරක්ෂා කර ගැනීම සහ සුන්දර කරගැනීමට තාප්ප නැතහොත් වැටවල් යොදා ගැනීම බෙහෝ විට දක්නට ඇත. එහෙත් විශාල මුදලක් වැය කොට නිවස වටා තාප්පයක්ම බැඳගත යුතු නැත. ඔබ ජීවත් වන පරිසරය අනුව තාප්පයක් වෙනුවට ඒ සඳහා යොදා ගත හැකි විකල්ප අනන්තවත් ඇත. මේ සඳහා තමාගේ මනාපය සහ හැකියාව අනුව පහත ක්‍රමවලින් එකක් තෝරාගත හැකිවේ. ක්‍රෝටන් වර්ග, අන්දර, පැළ ඉණි හා වෙනත් කප්පාදු කර හැඩ වැඩ කරගත හැකි ශාක වැටවල් යෙදීම, කම්බි වැටවල් යෙදීම, ගඩොල් සහ බ්ලොක් ගල් ආදියෙන් කළ තාප්ප ආදිය යෙදීම.

කම්බි වැට යෙදීමේදී බටු, පතොක්, අන්නාසි පවුලට අයත් ශාක හණ වර්ග, මල් වර්ග භාවිත කළ හැකිය. ආරක්ෂාව සහ සෞන්දර්ය රැකෙන, සාමාන්‍යයෙන් ගෙදරක තිබිය යුතු සෞඛයට ගුණදායක ශාකයක් ලෙස දැක්වෙන කොහොඹ, අඹ, දෙල්, කොස්, තැඹිලි, කරාබු වැනි ස්ථිර භෝගද කෙසෙල්, ගස්ලබු වැනි පලතුරුද, බටු, මිරිස්, තක්කාලි, රම්පේ, කරපිංචා, ගොටුකොළ ආදිය පිළිවෙළකට සැලසුමක් සහිතව වගා කිරීමෙන් සෞන්දර්යය මෙන්ම ප්‍රයෝජනයක්ද ලබාගත හැකිය.

එසේම තණකොළ වගාව හා මල් වගාවට අමතරව ගොටුකොළ, විවිධ වර්ගවල හා වර්ණවල මුකුණුවැන්න තම්පලා ආදියද පිළිවෙළට පාත්ති වශයෙන් යොදා ගත හැකි අයුරු සිතා බැලිය යුතු වේ. ඒවා නිවසට ආසන්නයෙන් එක් පසෙක පිහිටුවිය හැකිය. අනෙක් පසින් හෝ ඉඩ ඇති ලෙසින් සකස් කර ගත් බඳුන්වල දෙහි, රම්පේ සේර, කරපිංචා වවා ගැනීම කළ හැකිය. නිවසට ආසන්න ඉතිරි කොටස්වල බටු, මිරිස්, තක්කාලි වැනි ඒවාද, අඹ, පැපොල්, පේර, දොඩම් කෙසෙල් වැනි පලතුරුද වවා ගැනීමට පුළුවන. නිවෙසට ඈතින් ඉඩමේ සීමාවන්ට ස්ථිර ගස් පොල්, තැඹිලි වැටට ඉහත දැක්වෙන පරිදි ශාක වර්ගද වවා වත්ත සැලසුම් කර ගත යුතුය. තවත් වැඩිපුර ඉඩකඩ තිබේ නම්, ධාන්‍ය අල, රනිල භෝග ආදියද යොදා ගැනීමට පුළුවන.

මල් හා වෙනත් භෝග සිටුවීමට කොහෙත්ම ඉඩකඩ නොමැති අවස්ථාවල දී පෝච්චි හෝ ඒ වෙනුවට සුදුසු පරණ ටින් වර්ග, බාල්දි, ප්ලාස්ටික් කෑන්, කිරි හට්ටි, බැටරි කේසස්, ආදිය යොදා ගැනීම කළ හැකිය.

නිවස තැනීම ආරම්භ කරන අවස්ථාවේ ඉඩමේ නොයෙක් ප්‍රයෝජනවත් අලංකාර ගස් තිබිය හැකිය. ඒවාට හානියක් නොවන අයුරින් ඒවායින් ලබාගත හැකි උපරිම එල ලැබෙන අයුරින් ගෙවත්ත සැලසුම් කළ යුතුය. එපමණක් නොව වැල් පෙනෙල, වැල් කොහිල, ඉරමුසු, කිරි අගුණ, ගිරා පලා, තම්පලා, හාතාවාරිය, රණවරා, පොල් පලා ආදිය ගෙවත්තේ වැවෙන ප්‍රයෝජනවත් ශාක ලෙස නම් කිරීමට පුළුවන.

උපදෙස්- නිල්වලා අධ්‍යාපන විද්‍යා පීඨයේ විසූ ගෘහ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී, කථිකාචාර්ය රාණි එදිරිසිංහ මහත්මියගේ

“ප්‍රායෝගික ගෘහ කළමනාකරණය’’ කෘතිය ඇසුරිනි

සටහන [මදාරා මුදලිගේ]

 

මාතෘකා