ගෙන්දගම් පොළොව මැද වින්දනීය අපේ ගම

 ඡායාරූපය:

ගෙන්දගම් පොළොව මැද වින්දනීය අපේ ගම

හතර අත දිවෙන කාපට් ඇතිරිලිත් අහස සූරන කොන්ක්‍රිට් මැදුරුත් අතර නිස්කලංක ඉසව්වක් සොයා ගත හැකිද? විසිරුණු කඩි ගුලක් සරි මිනිස් වග ජීවිත අරගලය උදෙසා දාඩිය මුගුරු හලන අඩවියක සංසුන් අඩවියක් සොයාගත හැකිද?

ඕනෑම කතරක කෙම් බිමක් නැතත්, සමහරක් කතර මැද කෙම් බිම් හමුවේ.

එසේම සෑම කොන්ක්‍රිට් පුරයක නැතත් කලාතුරකින් කොන්ක්‍රීට් පුරයක අසිරිමත් ගම්මාන හමුවේ.

ගෙන්දගම් කොලොම්තොට එහෙම හමුවන අපූරු ඉසවුව 'අපේ ගම'නම් වෙයි. මෙකල කොන්ක්‍රීට්‌වලින් ඉදිවූ ගෙවල් දොරවල් බහුලව තිබුණද අතීතයේ බහුලව පැවැතියේ මැටි බිත්ති ගොමගෑ බිම සහිත පිදුරු හෝ පොල් අතු හෙවන ලද ගෙවල් දොරවල්ය. එවැනි ගෙවල් දොරවල් සහිත ප්‍රදේශවලට කීවේ ගම කියාය. සත්තකින්ම අපේ ගම සුන්දර අන්දරයකි. හුදී ජන පහන් සුවය උදෙසා ගොඩ නැඟූ 'අතීතකාමී' චමත්කාර ඉසව්වකි.

ගැමි පරිසරයත් ඊට ආවේණික ගැමි ලක්‌ෂණත් ගැමියන් සහ ඔවුන්ගේ චර්යාවන් ඇදහීම් කර්මාන්ත ඇතුළු සියලු අංගයන්ගෙන් යුක්තව අපේ ගම ඉදිවී තිබේ. ගමට ගොඩවදින ආගන්තුකයෙකුට එහි ගැමි ගෙය විවෘතය. කොට්‌ටපිල මත හිඳගෙන දොඩමලුව යෙහෙකිය. පහසුය. හෘදයාංගමය. තුරුපත්වල හරිත පැහැ මුසුව එන මඳනළ සිහිලැල්ය.

"අපේ ගමට සීමා මායිම් නැහැ. තාප්ප නැහැ. හරිම සුන්දරයි. අව්‍යාජයි. අපේ ගමට අවුරුදු හාරපන්සීයකට එහා ලොකු ඉතිහාසයක්‌ තියෙනවා. අපේ පැරැන්නන් ජීවත් වුණු ජීවන රටාව තමා මෙතැනින් දේශීය ජනතාවට මෙන්ම විදේශීය සංචාරකයින්ට පෙන්වන්න හදන්නේ."

කොට්ටපිළෙහි වාඩිලා ගන්නා ඔබට එහෙම කියා දෙන්නේ සොඳුරු ගැමියෙකි. හෙතෙම 'අපේ ගම'ත් සමඟ බද්ධ වූ ආත්මයක් අව්‍යාජ ගැමිකමින් පොහොසත් 'මහ ගමරාළ' මාමාය. නමින් සේමසිංහ බණ්ඩාරලාගේ කරුණාරත්න මහගමරාළය.

කන්දේ ගෙදර පිල් කණ්ඩියේ හිඳගෙන ඔහු අප හා දොඩමළුවූයේ අපේ ගමට ආවේණික අපූර්වත්වය ගැනයි. එහි වටිනාකම ගැනයි. ඒ සියල්ලටමත් වඩා අපෙන් ගිලිහී යන අපේකම අපේ දරු පැටවුන් වෙනුවෙන් ඉතිරි කරගැනීමට ගන්නා වූ අවංක උත්සාහය ගැනයි. හරිත පැහැයෙන් දිදුලන පරිසරයෙන් විඩාබර දෙනෙත් සනසාගනිමින් ගතෙහි දැවටෙන සිසිල් මඳන ෙළ් සුවය විඳගනිමින් අපි මහගමරාළ මාමාගේ වදන් වැල් අල්ලා ගතිමු.

"මම කුරුණෑගල වැව් ගම්මානයක මහ ගමරාළ පරම්පරාවකින් පැවත එන ගැමියෙක්. ගැමිකම මගේ ලේවලට කාන්දුවෙලා තියෙන දෙයක්. හැත්තෑව අසූව දශක වෙද්දි අපිට ගම කියන දේ අහිමි වෙන්න පටන්ගත්තා. 2013 අවුරුද්දේ ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනයෙන් පස්සේ තමයි මම මේ අපේගමට සම්බන්ධ වෙන්නේ. අපේ ගැමි සංස්කෘතියෙන් ගිලිහී යමින් තිබුණ මැද මිදුල සංකල්පය යටතේ තමයි අපේ ගම ගොඩනැගුවේ.

මම වෙනුවට අපි කියන සංකල්පය තමයි ගැමියා තුළ තිබුණේ. එකට කාලා බීලා එකට වැටිලා හතුරෙකුගේ වුණත් දුකට පිහිට වුණ අපූරු ළෙන්ගතුකමකින් මනුස්සකමකින් පිරුණු ගැමියො එදා ගම්වල ජීවත්වුණේ. ගම කියන සංකල්පය ටිකින් ටික නැතිවෙද්දි අපට නැතිවුණේ ගම විතරක්ම නෙවෙයි. ඒ මනුස්සකමත් සමාජයෙන් තුරන් වෙලා යනවා. ඊටත් වඩා ලොකුම ඛේදවාචදකය අපේ දරු පැටවුන් අපේකම, ගම ගැන කිසිම දෙයක් නොදන්න උන් බවට පත්වෙනවා. හැල්මේ දුවන අධ්‍යාපන ක්‍රමයයි සමාජ ක්‍රමයයි එක්ක ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඉගෙනගන්න අපේ දරුපැටවුන් ගහකොළ, සතා සිවුපාවා සොබාදහම අඳුනන්නේ නැහැ.

අනිත් කෙනා ගැන හැඟීමක්, මනුස්සකමක් නැති රට ගැන හැඟීමක් නැති, බැඳීම් නාඳුනන කෘත්‍රිම අනාගත පරපුරක් තමයි මේ විදිහට ගියොත් අපේ රටට ඉතිරි වෙන්නේ. දරුවන්ට ඒ දේවල් නිවැරදිව කියලා දෙන්න සමහර දෙමාපියන්ට, ගුරුවරුන්ට පවා හරිහැටි දැනුමක් නැහැ. ඒක තවත් අවාසනාවක්. මේ දේවල් ගැන හිතලා අපේ අනාගත පරපුරට ගම ගැන සුන්දර මතකයක්, නිවැරදි දැනුමක් ලබාදෙන්න තමයි අපේ ගම මේ විදිහට ඉදිකරන්න මූලික අඩිතාලම වැටුණේ."

ඒ අඩිතාලම සවිමත් අඩිතාලමක් බව අපේ ගම පුරා දිස්වේ. ගමට ආවේණික "ගමයි පන්සලයි වැවයි දාගැබයි" සංකල්පය අපේ ගමට පිවිසෙන කුඩා දරුවකුට වුව පහසුවෙන් වටහාගත හැකිය. සැබැවින්ම අපේ ගම යනු ගමක සැබෑම අනුරුවකි. මහගමරාළ ගෙදර, ගුරු ගෙදර, වෙද ගෙදර, බෙරකාර ගරුන්නාසෙගෙ බෙර ගෙදර, කුඹුල් ගෙදර, කම්මල, ගමේ කඩේ සහ කන්දේ මාමාගේ ගෙදර පමණක් නොව වී අටුව, කුකුල් කොටුවද අපේ ගම තුළ වේ.

එමෙන්ම ගමක හදවත වැවද අපේ ගම සුන්දර කරයි. සාම්ප්‍රදායික බුලත් කොටුව, පිංතාලිය, සංහිඳ පමණක් නොව අද කාලයේ දරුවන්ට දකින්නට වරම් නැති පුරාණ ගැමි නිවසක උපකරණ, ආම්පන්න අපේ ගමේ වේ. පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් හැල්මේ දුවවන ඇතැම් ගුරුවරුන්, දෙමාපියන් ඒ ප්‍රශ්න පත්‍රයේ හමුවන බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු 'අපේ ගම' තුළින් දරුවාට සොයාගත හැකි බව නොදනිති.

අපේ ගම තුළ ඇත්තේ එදා ගොවිතැන මුල්කරගත් සාම්ප්‍රදායික ගමයි. 'අපේ ගමට'ගොඩවදින නූතනයින්ට අතීත ගමෙහි ගමගෙදර තුළදී අතීතයේ ගැමි ගෙදරක භාවිත කළ සියලු ගෘහ උපකරණ දැකගත හැකි ය. කටුමැටි ගසා, පොල් අතු සෙවෙණි කළ නිවෙසේ සිසිලද අඩුවක් නැතිව විඳගත හැකිය. එළවළු කො‍රටුව, හේන, දඬුවැට, ගස මත බැඳි පැල, කමත මේ සියල්ලම දෑසින් දැකබලා ගන්නට හැකි පරිසරයක් අපේ ගම තුළ වේ.

අක්කර 19ක භූමියක් පුරා පැතිරුණු අපේ ගම පුරා ඇවිද මේ සියල්ල දැක බලාගෙන ගමේ කඩේ පිල්කන්ඩියේ හිඳගෙන වැලි තලප කෑල්ලක්, හැලපයක් කා කිතුල් හකුරු කෑල්ලක් සමඟ කඩේ නැන්දා පොල්කටුවකලා පිළිගන්වන බෙලි මල් වතුර ඩිංගිත්තක් බොන විට සිතට දැනෙන සැහැල්ලුව කියා පළක් නැත. එය අත්විඳ බැලිය යුතු දෙයකි.

" 1982 හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අගමැතිව සිටි කාලයේදී හස්‌ත කර්මාන්ත ශීල්පීන්ගේ හැකියාවට අත දෙමින් විදේශීය දේශීය කර්මාන්ත දැකබලා ගැනීමට අවස්‌ථාව සැලසීමයි ඒ කාලේ සිදු වුණේ. මේ භූමිය දෙදහස්‌ දහතුන දක්වා පැවතුණේ ජනකලා කේන්ද්‍රයක්‌ ලෙස. 2014 අවුරුදේ අපේ ගම විදිහට මේ පරිශ්‍රය නිර්මාණය වුණත් ඊට පසුව මේ හැම දෙයක්ම හිතාගන්න බැරි විදිහට ජරාජීර්ණ වුණා.

ගොඩනඟා තිබූ කිසිම දෙයක් නිසි නඩත්තුවක් සිදුකරලා තිබුණේ නැහැ. 2016දී අපේ ගම සංස්කෘතික අමාත්‍යංශය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතට පත්වුණාට පස්සේ තමයි මේ හැමදේම ආයෙමත් මේ තත්ත්වයට ගොඩනඟන්න පුළුවන් වුණේ. ඒ සඳහා සෑහෙන මහන්සියක් දරන්න සිදුවුණා. මුදල් ගැන හිතන්නේ නැතුව අපි හැමදෙනාම ඒ වෙනුවෙන් මහන්සි වුණා. අපේ ගම ව්‍යපෘතිය භාර කළමනාකරු විදිහට කටයුතු කරන ට්‍ර මහත්මයා ඒ වෙනුවෙන් විශාල මහන්සියක් දරනවා.

වෙලාවකට එතුමා මෙතන වැඩ කරන කෙනෙක්ටත් වඩා ගොඩක් මහන්සිවෙලා වැඩ කරනවා. ඒ අපේකම හඳුනන අපේකම වෙනුවෙන් කැපවුණු කෙනෙක් නිසයි. මම හිතන්නේ අපේ ජනාධිපතිතුමත් සැබෑ ගැමිකමින් පිරුණු සුන්දර ගැමියෙක් වීම නිසා මේ හැමදෙයක්ම මේ තරම් ලස්සනට කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා"

මහගමරාළ මාමාගේ කතාවට විරාම තබා අපේගමට යාබද ශිල්ප ගම්මානය දෙසට ඇවිද ආවෙමු. පළු, වීර රුක් සෙවනේ පහස ලබන ලී, මැටි,කළුගල්, පිත්තල ආදී විවිධ කර්මාන්තවල සැබෑ සුවඳ ඒ දෙසින් හමාඑයි. එළිමහන් රඟහල මෙන්ම උත්සව ශාලා සඳහා පහසුකම් සපයන 'වලව්ව'ද ස්වාභාවික සෞන්දර්යයෙන් අනූනය.

එම නිසාම අපේ ගමේ අසිරිය විඳගන්නට දිනපතා විශාල පිරිසක් එහි පැමිණෙන අතර මේ වන විට ලක්ෂ 30ක් 40ක් ජනතාවක් අපේ ගමේ අසිරිය විඳගෙන තිබේ. එහි පැමිණෙන විදේශිකයන් පාරම්පරික හෙළ කුලසිරිත්, කලා ශිල්ප, කර්මාන්ත හා සංස්කෘතිකාංග කැටිවුණු බිමෙහි සැරිසරන්නේ රොබට් ෙනාක්ස් දුටු එදා හෙළදිව සියැසින් දකින්නාක් වැනි හැඟීමකින් විය යුතුය.

මීට වසර පන්සීයකට පෙර මෙරට පැවැති සාම්ප්‍රදායික ගමක අසිරිය එලෙසින්ම දකින්නට හැකිවීම අපේ ගමෙහි ඇති අපූර්වත්වයයි. අතීත රජදරුවන්ගේ අභිමානවත් රාජධානියක් ලෙසින් පැවැති ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කේන්ද්‍ර කර ගනිමින් බත්තරමුල්ල නගරයට අලුත් වටිනාකමක්, චමත්කාරයක් එක්කර දුන් 'අපේ ගම' අනාගත පරපුර වෙනුවෙන් සුරැකිය යුතු අපූරු දායාදයකි. සොබාදහමටත් අපේකමටත් ආදරය කරන කාටත් ඒ චමත්කාරය විඳින්නට කිසිදු තහංචියක් නොවේ.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

ඡායා [රුක්මාල් ගමගේ]

මාතෘකා