තාක්ෂණය සහ ගුණ ධර්ම දෙකම දරුවන්ට අවශ්‍යයි

 ඡායාරූපය:

තාක්ෂණය සහ ගුණ ධර්ම දෙකම දරුවන්ට අවශ්‍යයි

ගුරුවරයකු වීමට හැම කෙනෙකුටම බැරිය. ගුරුවරු අතරේත්  හොඳම ගුරුවරයකු වීම ඊටත් වඩා අසීරුය. ගුරුවරයකු  ලෙස වෘත්තීය ජීවිතය අරඹා ගුරු උපදේශකයකු ලෙස වසර 15ක් කටයුතු කර විදුහල්පති ධුරය දක්වා ඉහළට ගමන් කළ අයකු විදුහල්පති ධුරය දැරූ වසර හතරේම අඛණ්ඩව හොඳම විදුහල්පතිවරයකු  ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ බුහුමනට පාත්‍රවීම විශේෂත්වයකි. බොහෝ දෙනකු නගරයේ සුව පහසු ජනප්‍රිය පාසල් සොයායද්දී ඔහු වඩාත් ප්‍රිය කරන්නේ  දුෂ්කර පාසල්වල සේවය කිරීමටය. ගුරු වෘත්තියට එවැනි අපූර්වතම වටිනාකමක් දුන් ඔහු මේ වන විට නිකවැරටිය කඩිගාව මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරන  ජයසුන්දර මුදියන්සේලාගේ මුදියන්සේ ජයසුන්දර මහතාය. 


ඔබ ගුරු වෘත්තියට අවතීර්ණ වීමට  විශේෂ හේතුවක් තිබුණද? 
පාසැල් අවධියේ සිට නිතර ඇස ගැටෙන ගුරුවරුන් නිසා කුඩා කාලයේ ඉඳන්ම ආසාවක් ඇති වුණා ලොකු වෙලා ගුරුවරයෙක් වෙන්න ඕනේ කියලා. ඊට අමතරව වෙනත් විශේෂ කාරණාවක් නැහැ.


ගුරුවරයකු විදියට මුල්ම පත්වීම ලැබෙන්නේ කොයි කාලයේද? 
1987 වසරේදී තරග විභාගයක් තිබ්බා. ඒ විභාගයට ලක්ෂ ගාණක් සහභාගී වුණත් ඒකෙන් තෝරා පත්කර ගත්තේ පන්දාහක් වගේ සුළු සංඛ්‍යාවක් පමණයි. නමුත් ඒ සුළු පිරිස අතරට මම තේරී පත්වෙලා තිබුණා. ඒ අනුව මට ගුරුවරයෙක් විදියට මුල්ම පත්වීම ලැබෙන්නේ 1989 වසරේදී. 


ඒ කාලයේ  ඒ පාසල පැවතුණේ කුමන ආකාරයෙන්ද?
මුළු පාසලටම තිබ්බේ පන්ති අටක් පමණයි. නමුත් ගුරුවරුන් හිටියේ හතරදෙනයි. එක පන්තියකට ළමුන් 12ක් පමණ හිටියා. එකම ගුරුවරයා විෂයයන් කිහිපයක් ඉගැන්වීම ඒ කාලයේ සුලබ වශයෙන් දක්නට ලැබුණා. බොහෝ විට ගුරු හිඟය නිසා පන්ති කාමර කිහිපයක් එක්කර ඉගැන්වීම් කටයුතු සිදු කළා. 


එහෙම නම් ඔබට විවිධ අභියෝගවලටත් මුහුණ දීමට සිදුවෙන්න ඇති ? 
ඔව්. මුල්ම කාලයේ මම  අභියෝග රාශියකට මුහුණ දුන්නා. 1989 කාලය කියන්නේ වර්තමානය තරම් තාක්ෂණයත් එක්ක යා වෙච්ච යුගයක් නෙවෙයි. පාසලේ විදුහල්පතිවරයා පවා ගමේම පදිංචි, බොහෝ සාම්ප්‍රදායික විදියට හිතන පතන අයයි. එහෙම විදුහල්පතිවරුන් සමඟ සේවය කිරීම ඉතාමත් අපහසු කාරණයක්. ඒ නිසා පාසලේ ප්‍රතිඵල මට්ටමත් අඩුයි. සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරවෙලා කිසිදු වෙනස් ආකාරයේ වැඩ කටයුත්තක් කිරීමට ඔවුන් ඉඩ දෙන්නේ නැහැ. හැමදාම එකම රාමුවක පැවතුණ අධ්‍යාපන ක්‍රමයක් ඇතුළේ ඉගැන්වීම තමයි ඔවුන්ගේ අපේක්ෂාව වෙන්නේ. ඒ හේතුව නිසා සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් මිදී දරුවන්ට තාක්ෂණය සමඟ මුසු වුණු, සෑම දෙයක් පිළිබඳවම කුතුහලයකින් දකින දරුවකු බිහි කිරීම සිහිනයක් වෙලා තිබෙනවා. මම ඒ ක්‍රමය අනුමත කරන්නේ නැහැ. නමුත් දැඩි දුෂ්කරතා අපහසුතා සහ  හැල හැප්පිලි මැද්දේ මම පාසල වෙනුවෙන් උපරිම සේවයක් ඉටු කළා. අප දිනෙන් දින තාක්ෂණය සමඟ ඉදිරියට යා යුතුයි. එසේ කිරීමෙන් පමණයි අපට මේ රට සංවර්ධනය කිරීමේ හැකියාව තිබෙන්නේ. නැති නම් අපට ඉතිරි වන්නේ හැමදාම එක තැන පල් වෙච්ච අධ්‍යාපන රාමුවක් තුළ ඉගෙන ගත් හිස් මිනිසුන් පිරිසක් පමණයි. 


ඔබ ගුරුවරයෙක් ලෙස වසර කීයක් සේවය කළාද?
මම ගුරුවරයෙකු විදියට දුෂ්කර පාසල්වල වසර දහයක කාලයක් සේවය කළා. ඊට අමතරව ගුරු උපදේශකවරයෙක් ලෙස වසර පහළොවක් සේවය කර තිබෙනවා. 


මේ වන විට පාසල් කීයක ඉගැන්වීම් කටයුතු කර තිබෙනවාද?
මම මුලින්ම ගුරු පත්වීම ලැබිලා 1989 - 1993 වසර තුළ නිකවැරටියේ නෙළුම්ගල කනිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරුවරයකු ලෙස සේවය කළා. ඉන්පසු 1993 – 1997 කාලයේදී නිකවැරටිය මඟුරන්කඩවල කනිෂ්ඨ විද්‍යාලයේත් 1997 – 1999 කාලය තුළ නිකවැරටිය රස්නායකපුර මධ්‍ය මහා විද්‍යාලයේත් ගුරුවරයකු වශයෙන් සේවය කළා. 


විදුහල්පති ජීවිතයට මේ වෙද්දී වසර කීයක් වෙනවද?
මම විදුහල්පතිවරයෙක් විදියට පත්වෙලා මුලින්ම ආවේ නිකවැරටිය කඩිගාව මහා විද්‍යාලයට. ඒ 2014 වසරේදී. මේ වසරේ ඔක්තෝබර් මාසයේ 23 වැනිදාට මගේ විදුහල්පති ජීවිතයට වසර හතරක් සපිරෙනවා. 


නිකවැරටියේ පාසල් පමණක් තෝරාගන්න යම්කිසි විශේෂ හේතුවක් තිබෙනවාද? 
එහෙම කිසිම විශේෂ හේතුවක් නැහැ. මගේ ගම නිකවැරටිය. ඒ නිසා වෙන්න ඇති නිකවැරටියේ පාසල්වලටම මගේ අවධානය වැඩියෙන් යොමුවෙන්නේ.


ඔබ සේවය කිරීමට දුෂ්කර පාසල් පමණක් තෝරා ගන්නේ ඇයි?
මේ පැත්තේ ඉන්න බොහෝ දෙනා ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් බෙහෙවින් අඩු මට්ටමක තමයි ඉන්නේ. වර්තමානයේදී  තාක්ෂණයත් එක්ක මුසුවෙලා අධ්‍යාපනය ගොඩක් දුර ගිහින් තියෙනවා. මට ඕනේ මේ වගේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් සෑම අංශයකින්ම ඉදිරියට යවමින් ඔවුන්ගේ අධ්‍යාපන කුසලතා ඉහළ නංවන්නයි. අද කාලයේ නිසි අධ්‍යාපනයක් නැතිව කිසිදෙයක් කරන්න බැහැ. අධ්‍යාපනය බෙහෙවින් තරගකාරීත්වයට ලක්වෙලා තියෙන්නේ. නගරයේ පාසල්වලට සාපේක්ෂව මේ දරුවන්ටත් හොඳ ඉගෙනුම් පරිසරයක් ගොඩනගමින් සමාජයට ඵලදායී පුරවැසියන් බිහි කරවන්න තමයි මම දුෂ්කර පාසල් තෝරා ගන්නේ. මොකද මේ විදියට දහසක් දුෂ්කරතා, අපහසුතා මැද දරුවන් වෙනුවෙන් සේවය කිරීමට කැමැත්තක් දක්වන ගුරුවරු, විදුහල්පතිවරුන් සොයා ගැනීම ඉතාමත් අපහසු කාරණයක්. 


විදුහල්පතිවරයකු විදිහට ඔබ පාසල් දරුවන් හසුරුවාගැනීමට විශේෂ  ක්‍රමවේදයක් භාවිත කරනවාද?
 විදුහල්පති භූමිකාව කියන්නේ ගොඩක් අමාරු කාර්යයක්. මා ගුරුවරයකු ලෙස සේවය කරන කාලේ හිතුවේ විදුහල්පති කියන චරිතය ඇතුළේ කිරීමට තිබෙන වැඩ කොටස ඉතාම සීමාසහිතයි කියලා. නමුත් මම මෙම භූමිකාව කොතරම් දුෂ්කරයිද කියලා දැනගත්තේ විදුහල්පතිවරයකු වශයෙන් මේ පාසලට පත්වීම ලබලා ආපු මුල් කාලයේමයි. 


දරුවන් තුළ අධ්‍යාපන රුචිය වඩවන්න ඔබ සිදුකර ඇති වෙනස්කම් ගැන කියනවා නම්? 
මේ වගේ දුෂ්කර පාසල්වල ළමයි ආර්ථිකමය අතින් බොහෝ පහළ තත්ත්වයක් තමයි ඉන්නේ. ඔවුන් තුළ තාක්ෂණික මෙවලම් උපයෝගී කරගෙන අධ්‍යාපන කටයුතු කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක්  නැහැ. ප්‍රායෝගික මට්ටමින් දැනුවත් කරමින් ව්‍යාපාති සහ පර්යේෂණ කටයුතු සිදු කරමින් ගුරුවරු දැනුවත් කිරීමේ ක්‍රමයක් මගේ පාසල ඇතුළේ හඳුන්වා දී තිබෙනවා. මේ වෙද්දි පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකම් වැඩි කර තිබෙනවා. සාමාන්‍යයෙන් පාසලක උදෑසන ආගමික වතාවත්වලින් පසුව පැය භාගයක පමණ කාලයක් ශරීර සුවතා සඳහා වෙන් කරනවා. නමුත් අපේ පාසලේ ඉගෙනුම ලබන දරුවන්ගෙන් සියයට 95ක් පමණ උදේට පාසැලට එන්නේ පාපැදියෙන් නිසා ළමයින්ට අමුතුවෙන් ශරීර සුවතා කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ඒ නිසා වාර විභාගයේදී ගණිතය විෂය සඳහා 40ට අඩුවෙන් ලකුණු ගන්න  ළමයින් කාණ්ඩ කරලා ශරීර සුවතා සඳහා වෙන් කර ඇති පැය භාගයේදීත් ගණිතය විෂය ඉගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා 2016 වසරේදී සියයට 63ක්ව පැවති වාර්ෂික ප්‍රතිඵල මට්ටම 2017 වසරේදී සියයට 71 දක්වා වර්ධනය කර ගැනීමට අපට හැකි වුණා. ඒ අනුව මාස පහක් හයක් පමණ ඇතුළත ඉතා හොඳ ප්‍රතිඵල මට්ටමක් වාර්තා කිරීමට අපට හැකි වුණා. ඊට අමතරව දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අයුරින් පවත්වා ගැනීම සඳහා සෑම සිකුරාදා දිනකම උදේ වරුවේ ඩෙංගු මැඩලීම සඳහා ශ්‍රමදානයක් ක්‍රියාත්මක කෙරෙනවා. වත්මන් ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ ළඟම පාසල හොඳම පාසැල ව්‍යාපෘතියත් අපේ පාසල තුළ ක්‍රියාත්මක වෙනවා. 

 


විදුහල්පතිවරයකු ලෙස ඔබේ වෘත්තීය ජීවිතය තුළ දේශපාලන බලපෑම්වලට මුහුණ දී  තිබෙනවාද?
මගේ මේ වසර හතරක විදුහල්පති ජීවිතය ඇතුළේ මේ දක්වා කිසිම දේශපාලන බලපෑමක් එල්ල වෙලා නැහැ. 


දැනට  පවතින අධ්‍යාපන ක්‍රමය පිළිබඳව ඔබ සෑහීමකට පත් වෙනවාද? 
ඇත්තටම ඒ ගැන නම්  සෑහීමකට පත්වෙන්න බැහැ. වර්තමාන අධ්‍යාපන ක්‍රමය ඇතුළේ පවතින්නේ දැඩි තරගකාරීත්වයක්. දරුවන් යාන්ත්‍රික කිරීමක් පමණයි මේ ක්‍රමය යටතේ සිදුවන්නේ.

 
එහෙම නම් ඔබ සිතන අන්දමට පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුත්තේ කෙසේද?
දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යය මීට වඩා දියුණු කළ යුතුයි. ගුණධර්මවලින් පිරිපුන් දරුවන් බිහි කිරීම හොඳ ගුරුවරයකුගේ ලක්ෂණයක් ලෙස මම දකිනවා. මේ වෙද්දි ප්‍රායෝගික තාක්ෂණ කුසලතා විෂය පොත පතට පමණක් සීමා වෙලා. නමුත් විය යුත්තේ එම විෂය දරුවන්ට ප්‍රායෝගික වශයෙන් ඉගැන්වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමයි. එමඟින් දරුවන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට පුළුවන්. කියන දේ ලියන, ලියන දේ කියන දරුවන් පිරිසක් වෙනුවට ගුණධර්ම අතින් පොහොසත්, බුද්ධිමත් දරුවන් අප බිහිකළ යුතුයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ අන්තර් පුද්ගල සම්බන්ධතා ගිලිහිලා තියෙනවා. නමුත් තාක්ෂණය සමඟ ඉදිරියට යමින් අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව දරුවන්ට කුඩා කල සිටම ඉගැන්විය යුතුයි. එය යුගයේ අවශ්‍යතාවක් ලෙස මා දකිනවා. නැතිනම් එය ලොකු අඩුවක්. 


ඔබ වඩාත් සෑහීමට පත්වන්නේ ගුරුවරයකු ලෙස කළ සේවය ගැනද? නැත්නම් විදුහල්පතිවරයකු ලෙස සිදුකරන සේවය පිළිබඳවද? 
මම ගුරුවරයකු ලෙස කළ සේවයට වඩා විදුහල්පතිවරයෙකු ලෙස කළ සේවය පිළිබඳ සෑහීමකට පත්වෙනවා. නමුත් එක ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරයෙක් ගන්නා වැටුපටත් වඩා අඩු වැටුපක් තමයි විදුහල්පතිවරයකු වශයෙන් මම දැනටත් ගන්නේ. මම මුදල් ජීවිතය කර ගත්තේ නැහැ. විශේෂයෙන්ම මම මේ පාසලේ විදුහල්පතිවරයා ලෙස තේරී පත්වෙන්න මූලිකම හේතුව තමයි මේ පාසලේ විදුහල්පතිවරයකු නොමැති වීම. සිංහල, ගණිතය, ඉතිහාසය වැනි විෂය උගන්වන ගුරුවරුන් නොපැමිණෙන දවස්වලට මමත් දරුවන්ට ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. 


අධ්‍යාපනයේ ගුණාත්මක භාවය වර්ධනය කර ගැනීමට  රජයේ මට්ටමින් සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ ඔබ දකින්නේ කවරාකාරයෙන්ද?  
ජාතික පාසල්වල ගුරු මාරුවීම් කරන්න ගත්තේ වත්මන් ආණ්ඩුවෙන්. වසර 20කට වඩා එකම පාසලේ සේවය කළ ගුරුවරුන් පමණයි පවතින ක්‍රමවේදයට අනුව මාරු කරන්නේ. නමුත් මම සිතන ආකාරයට වසර පහක් එකම පාසලේ සේවය කළ ගුරුවරුන් මාරු කළොත් මීට වඩා අධ්‍යාපනික සංවර්ධනයක් අත්කර ගත හැකියි.   

 

 

මාතෘකා