මාරිස්ටෙලාලා සුසන්තිකාලා සහ තවත් අය නිදොස් කොට නිදහස් කළ යුතුය

 ඡායාරූපය:

මාරිස්ටෙලාලා සුසන්තිකාලා සහ තවත් අය නිදොස් කොට නිදහස් කළ යුතුය

යොවුන් ඔලිම්පික් තරගාවලියේ පදක්කමක් දිනාගත් මාරිස්ටෙලා නමැති පාසල් ශිෂ්‍යාව පසුගිය සෙනසුරාදා දිවයිනට පැමිණියේ ඈ දිනූ පදක්කමද කරේ දමාගෙනය. ඇගේ ජයග්‍රහණය ඉතා ඉහළින් අගය කළ යුතු වන අතරම ඈ වෙනුවෙන් අවංක සුභාශිංසන පළ කළ යුතුය.

ඈ පිළිගැනීම සඳහා වැඩි බරක් ඇති අය පැමිණ නොසිටි බව ඇතැම්හු කීහ. එසේම, මාරිස්ටෙලාද දිවයිනට පැමිණ සිය ජයග්‍රහණය ගැන කී කුමන හෝ කතාවකින් අප රූපවාහිනී ප්‍රවෘත්තිවල දැක්කේ අරවා නෑ, මේවා නෑ, අරක දුන්නෑ, මේක දුන්නෑ, ඉන්න තැනක් නෑ ආදී වශයෙන් වන නැතියාව බැරියාව සහ අයිතිවාසිකම් ගණනාවක් ඉල්ලීමේ අදහස් දැක්වීමක් හා සමාන කොටසකි.

පාසල් ශිෂ්‍යාවක් වූ ඈ මින් පෙරද දැන්ද ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණයන් කිහිපයකටම හිමිකම් කියා ඇති බව සත්‍යයකි. නමුත්, එවැනි ජයග්‍රහණයන් ලැබීම ආණ්ඩුව විසින් අහවල් අහවල් දේ ඈ වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉටුකිරීමට බැඳියාවක් ජනිත කරවන විධි විධානයක් ඉස්මතු කරන්නේදැයි ප්‍රශ්නකාරීය.

රට වෙනුවෙන් දිනුමක් ගෙනා හෝ රටට කීර්තියක් ගෙනා අයකුට රටේ ජනතාව, රටේ ව්‍යවසායකයන් හෝ රජයේ ආයතන හෝ පුද්ගලයන් විසින් ස්වේච්ඡාවෙන් හා කැමැත්තෙන් යම් යම් තෑගි බෝග ලබා දෙන බැව් අප ඉතිහාසය පුරාම දැක ඇත. නමුත්, ඒ කිසිවෙක් කලින් ගිවිසගත් හෝ පොරොන්දු වූ යම් දෙයක් හැර අරකත් ඕනේ, මේකත් ඕනේ ආදී වශයෙන් කප්පම් ඉල්ලීමකට ලක් විය යුතුදැයි යන්න නොදනිමි. මේ තත්ත්වය කටුනායක ගුවන්තොටුපළේදී පමණක් ඉස්මතු වූ දෙයක්ම නොවේ.

මාරිස්ටෙලා පදක්කම ගත් බව ආරංචි වූ මොහොතේ සිටම ඇතැම් මාධ්‍ය නාළිකාවන්ගේ පරම පිවිතුරු අභිප්‍රාය වූයේ ආණ්ඩුව හෝ අහවල් අය අහවල් අහවල් දේ දෙන්නට පොරොන්දු වූ බවත් ඒවා නොදුන් බවත් ඒවාද තවත් ඒවාද දිය යුතුය යන පණිවිඩය ඇගේ අහිංසක මවුපියන්ගේ කටින් කියවා ගැනීමය. තම දියණියගේ ජයග්‍රහණයේ ප්‍රීතිය අනෙක් අය සමඟ බෙදා ගැනීමට ඒ මවුපියන්ට අවස්ථාව සලසා දීම වෙනුවට වෛරී හැඟීමක් වැපිරීමේ චේතනාන්විත වෑයමක් යටකී මාධ්‍ය සගයන් විසින් දැරූ බව බලාගෙන සිටින විට අපි දුටුවෙමු.

මෙහි ඉතාම නරක තත්ත්වය නම්, මෙවැනි දර්ශන දකිමින් හැදෙන වැඩෙන හා තරග සඳහා ඉදිරිපත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නුදුරු අනාගතයේදී ක්‍රීඩාවේ ජීව ගුණය පසෙකලා ඕනෑම ක්‍රීඩාවක් සූදුවක් ලෙස කිරීමට ඇති හැකියාවයි. අප දන්නා ක්‍රීඩකයන් හෝ ක්‍රීඩාව රුපියල් සත මත හෝ වරදාන වරප්‍රදාස හමුවේ තීන්දු නොවන්නකි. නමුත්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිතිවිලි තුළ ක්‍රීඩාව හෝ ජයග්‍රහණ ගැන ඇත්තේ මෙවැනි ආකල්පයක් නම් සියල්ල මුදල් හෝ වෙනත් වරප්‍රසාද මත තීන්දු වන ක්‍රීඩා පසුබිමක් නිර්මාණය වීම වළක්වාලිය නොහැකි වනු ඇත.

නිදසුනක් ලෙස පාසල් ක්‍රීඩිකාවක් සිය ඉසව්ව කරන්නේ මුදල් හා ත්‍යාග මත පිහිටි ඒකායන අපේක්ෂාව මත නම්, දිනුවොත් ආණ්ඩුවෙන් ලැබෙන්නේ ලක්ෂ පහළොවක් හා ඔට්ටු තබන්නෙක් ඇය පැරදුණොත් ලක්ෂ විස්සක් දෙන්නම් යැයි යෝජනා කළොත් නියත වශයෙන්ම ක්‍රීඩාව, රට, තම කීර්තිය ආදිය සියල්ල පසෙකලා ලක්ෂ විස්ස තෝරා ගනු ඇත. එහෙයින් ජයග්‍රහණ හා සම්මාන වෙනුවෙන් පූර්වයෙන් යෝජනා කරන තරග තෑගි හෙවත් අල්ලස් දීම ආණ්ඩුව විසින්ද නවතා දැමිය යුතුය.

ජයග්‍රහණය කරන්නකුට සියලු දෙනාගේ කැමැත්තෙන් යම් ත්‍යාගයක් දීම සිදු කළ යුතු වුවත් රන් පදක්කමට අච්චරයි, රිදී පදක්කමට මෙච්චරයි ආදී වශයෙන් වන තෑගි කුට්ටි වෙන් කර තැබීම සූදුකාරයින්ගේ භූමිකාවම නොවන්නේද? ක්‍රීඩකයන්ගේ ආකල්පය මෙසේ නම්, එවැනි නිශ්චිත තෑගි මුදලක් අභිභවන ඕනෑම ඔට්ටු තබන්නකුට හෝ සූදුකාරයකුට තරගයේ තීන්දුව වෙනස් කිරීමේ හැකියාවක් ඇති නොවන්නේද?

තවද, යටකී පිළිගැනීමට පැමිණ සිටි සුසන්තිකා ජයසිංහ කී ඇතැම් දේ ඉහළින්ම අගය කළ යුතු වුවත්, ඒවා කීවේ සුසන්තිකා ජයසිංහ වන නිසාද සුසන්තිකා කියන ඕනෑම දෙයක් අභියෝගයට හෝ සමච්චලයට ලක් කළ යුතුය යන පදනමේ පිහිටා ලියන කියන අයගේ විවේචනයට ඈ නතු වූ නිසාද, යට කී සුසන්තිකාගේ අදහස් දැක්වීම විහිළුවක් බවට පත් විය.

එසේම ‘ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට’ කියන්නා වාගේ, සිය පදක්කම් ජයග්‍රහණයෙන් දාහත් අවුරුද්දකට පසුවද දාහත් වසරකට පෙර ජයග්‍රහණය වෙනුවෙන් විවිධ වරදාන වරප්‍රසාද ඉල්ලමින්, ඒවා ලබා දෙන ලෙස බලකරමින් ක්‍රීඩා අමාත්‍යවරයාද ක්‍රීඩා බලධාරීන්ද සමග මාධ්‍ය වේදිකාවේ නොසෑහෙන්නට වචන හරඹ පටලවාගත් ඇයට එවැන්නක් කියා සිටීමේ සදාචාරාත්මක හැකියාවක් ඇතිදැයි යන්න අනෙක් අතට පෞද්ගලිකවම අප හමුවේ ඇති ප්‍රශ්නයකි.

එසේම ‘අපි තමයි කෙරුමෝ. මම තමයි කෙරුමා. මම නැත්නම් බලාගන්න තිබ්බා ආදී වශයෙන් වන ස්වයං අධිතක්සේරු සෑම තැනකම ඇත. ඒ අධිතක්සේරුව ඉක්මවා ගොසින් ‘මා කළ කී කිසි දෙයක් මා හැර අන් කිසිවකුටත් කළ නොහැකි විය යුතුය’ යන පරම විශ්වාසයත්, එසේ කවුරුන් විසින් කරන කුමන දේ වුවත් මා කළ දේ තරම් වටිනාකමක් හෝ අගයයක් නොගන්නේ හෝ නොගත යුතුයැයි වන මනෝභාවයත් කුලියට තණකොළ කපන මිනිසාගේ සිට රට පාලනය කළ මිනිසුන් දක්වාම පැවතුණු හා පවතින තත්ත්වයකි.

මහපොළවේ සෑම බිම් අඟලකම පාහේ ඇත්තේ මේ තත්ත්වයයි. මෙම මානසිකත්වයෙන් පෙළෙන හිටපු ජනාධිපතිවරු ඇතුළු දේශපාලනඥයෝද හිටපු නායකයෝ ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයෝද අප දැක ඇත. ලෝක කුසලානයක් දිනාගත්තේ තමන් පමණක්ය යන කීර්ති නාමය රැක ගැනීම පිණිස අනේකවිධ හෑල්ලු ප්‍රකාශ කරන ක්‍රීඩකයෝ අප දැක ඇත. තමන්ගෙන් පසු තවත් කුමන හෝ නායකයෙක් ලෝක කුසලානයක් දිනා ගැනීම ඉතා ඉහළින් අගය කළ යුතු වුවත් එසේ දිනාගත් ඇතැම් ජයග්‍රහණ පවා, ‘මගේ එක තරම් ලොකු හෝ වටිනා එකක් නොවේ’ යැයි පොළොවේ පස් කමින් සපථ කරන්නට වෙර දැරූ අය අප දැක ඇත.

මා මෙහිලා ජපුර සරසවියේ කැන්ටිමේ කොළ බිත්තියේ කළු අකුරින් ලියා ඇති පාඨයක් උපුටා දක්වමි. එහි ඇත්තේ ‘අප මිනිසුන් තැනිය යුත්තේ අප සමඟ යාමට නොව, අප පසු කර යාමටයි’ යනුවෙනි. එහෙයින් ක්‍රීඩකයෝද දේශපාලනඥයෝද කලාකරුවෝද ආදී සියල්ලෝ මෙය සරණ යා යුතුය. එසේ නොවන්නට ඒ ඒ වෙලාවෙන්වලදී විවිධ දේ ගැන තමන්ගේ අදහස් දක්වන්නට ගොසින් තමන්ගේ කුහකත්වය හෝ අනෙකා තමා අභිභවා යතැයි යන බිය ඉස්මතු වීම නිසා කලක් තිස්සේ තමන් විසින් ගොඩනඟාගෙන තිබූ පිළිගැනීම, ගෞරවය හෝ පොරත්වය එක වාක්‍යයකින් දෙකකින් බිඳ වැටෙන්නට පුළුවන.

කෙසේ නමුත් මේ තත්ත්වයන් තවත් පැත්තකින් කියැවිය යුතුය. තරුණ කාලයේදී රට දැය වෙනුවෙන් ජයග්‍රහණයන් හා අභිමානයන් ගෙන දුන් නමුත්, වයෝවෘද්ධ සමයේ හරිහැටි ඉන්නට හිටින්නට තැනක් හෝ වේලක් හැර වේලක් කන්නටවත් වත්කමක් නැතිව පීඩා විඳින මිනිසුන් ගැනද අප කියවා ඇත. අසා දැක ඇත. නළු නිළියෝ ලොරි වෑන් කුලියට ගෙන බෝර්ඩ් එල්ලාගෙන හන්දි හන්දි ගානේ ආධාර එකතු කරන හැටි අප දැක ඇත.

ලොව දිනුවෝ සිය නිවසේ කුලිය ගෙවාගන්නට නොහැකිව නිවෙස්වලින් එළියට දමන්නට යන බවට වන ඉතා සංවේදී ප්‍රවෘත්ති විවිධ කාලයන්වලදී අප කියවා ඇත. සිය ලෙඩ රෝග වෙනුවෙන් බෙහෙතක් හේතක් ගන්නට මුදලක් නැතිව දුක් විඳින විරුවෝ අප දැක ඇත.

රට තුළ ඇත්තේ එවැනි තත්ත්වයක් නම් කල දුටු කල වළ ඉහ ගැනීමේ තත්ත්වයකට පෙළඹීම හා අනෙක් සෑම දේකටම වඩා ඒ ගැන උනන්දු වීමට යොමු වීම ගැන වරදක් කියන්නටද නොහැකිය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අයිපීඑල් ක්‍රීඩා කරන්නට යෑම ගැන විවේචනය ඉස්මතු වූ අවස්ථාවක, එසේ අයිපීඑල් කොන්ත්‍රාත්තුවක් අත්සන් කළ ක්‍රීඩකයෙක් කියා තිබුණේ පුළුවන් කාලේ හම්බකර ගත්තේ නැත්නම් වයසට ගියාම ජීවත් වෙන්නේ කොහොමද කියාය. බාල මහලු කොයි කවුරුන් තුළ වුවද මෙවැනි ආකල්ප නිර්මාණය වීමේ වරදක් නැත.

ක්‍රීඩාව යනු තවදුරටත් මයිකල් ජෝදාන් කියන ආකාරයේ විනෝදය පිළිබඳ කාරණයක් හෝ හේවුඩ් බ්‍රවුන් කියන ආකාරයේ චරිත සංවර්ධනයේ අංගයක් වන්නේද නැතිනම් පිල්-ලේෂ් කියන්නා වාගේ ඉතාම ලොකු ව්‍යාපාරයක් වන්නේද යන්න සිතා බැලිය යුතුය. එහෙයින් සානුකම්පිතව සලකා බලා මාරිස්ටෙලාලා මෙන්ම සුසන්තිකාලාද නිදොස් කොට නිදහස් කළ යුතුය.

මාතෘකා