කෝච්චියේ අලි හැපෙන ලෙඩේට ඉලෙක්ට්‍රොනික් බෙහෙත් දෙන දොස්තර සරත් විමලසූරිය

 ඡායාරූපය:

කෝච්චියේ අලි හැපෙන ලෙඩේට ඉලෙක්ට්‍රොනික් බෙහෙත් දෙන දොස්තර සරත් විමලසූරිය

වෛද්‍යවරයා හා ඉන්ජිනේරුවා යනු සමාජයේ පරමාදර්ශී ඉලක්ක ද්විත්වයකි. එහෙත් එකම පුද්ගලයෙකු තුළ මේ චරිත ද්විත්වයම පිහිටීම අතිශය දුර්ලභය. දශක ගණනාවක් රෝගීන්ට වෙන වෙනම ප්‍රතිකාර කළ ඔහු මේ වන විට සමස්ත සමාජ දේහයම සුවපත් කිරීම සඳහා වෙහෙසෙයි. ඒ ඉන්ජිනේරුවරයෙකු ලෙසය. ඔහු නමින් සරත් විමලසූරියයි.

අලි ඇතුන් දුම්රියේ ගැටී මරණයට පත්වීම පසුගිය මාස කිහිපය තුළ ලංකාවේ මිනිසුන්ගේ හදවත් කම්පා කළ සිදුවීමක් විය. රජය ඒ වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කළ අතර ඒ කමිටු නිර්දේශ පවා අභිභවන අන්දමේ නිර්මාණශීලී සහ විද්‍යාත්මක ක්‍රමයක් සොයා ගැනීමට මේ වෛද්‍යවරයා සමත් වී ඇත. ඒ පිළිබඳව ඔහු රැස සමඟ කතාබහට එක් වූවේය.

ඔබ වෛද්‍යවරයෙක්. ඒත් කරන්නේ ඉන්ජිනේරු වෘත්තියට අදාළ කාර්යයන්. මිනිස්සුන්ට ප්‍රතිකාර කරන එක පැත්තකින් තියලා සමාජ දේහයට ප්‍රතිකාර කරන්න හිතුවෙ ඇයි?

මගේ ඇඟේ තියෙන්නේ ඉන්ජිනේරු වෘත්තිය. මං මුලින්ම රේඩියෝ එකක් හැදුවේ අවුරුදු දහතුනේදී. මගේ සෙල්ලම් බඩු පවා මමමයි හදා ගත්තේ. අම්මලා බය වුණා මං කාර්මිකයෙක් වෙයි කියලා. එයාලගෙ උවමනාවට වෛද්‍යවරයෙක් වුණේ. අවුරුදු 55දී විශ්‍රාම යනතුරු මම වෛද්‍ය වෘත්තියේ යෙදුණා. මම තවමත් අන්තර්ජාලය හරහා ඉලෙක්ට්‍රොනික විද්‍යාව ඉගෙන ගන්නවා. මැරෙනකම් මේ කාලේ යොදවන්නේ රටේ තියෙන දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සොයාගන්න.

අලි මිනිස් ගැටුම් ලංකාවේ අද ඊයෙක තියෙන දෙයක් නෙවෙයි. ඒත් නිරපරාදේ අලි මියයන එක අපරාධයක්. ඔබ ඒ සඳහා විසඳුමක් සොයා ගන්නවා?

ඔව්. මෑතකදි අලි කිහිපදෙනෙක් දුම්රියට බිලි වුණා. ඒක ඛේදවාචකයක්. මම ඒ ගැන විසඳුමක් කල්පනා කළා. මේ වෙද්දි මම ඒ ක්‍රමය හොයාගෙන අවසන්. ඒත් කනගාටුවට කාරණාව වෙන්නේ මම හොයාගත්තු දේ අත්හදා බලන්න මට අවස්ථාවක් උදා නොවුණු එක. මම ඒ ගැන අදාළ බලධාරීන්ට ලියුම් ලියලා මේ ගැන හැකිතරම් දැනුම් දුන්නා. කවුරුවත් ඒ ගැන මට පිළිතුරක් එවලා නැහැ අද වෙනකම්. මේක සුදුසුද නැද්ද කියන දේ හොයලා බලන්නවත් කිසි කෙනෙක් ඉදිරිපත් නොවුණු එකයි මට තියෙන ගැටලුව. අනාරක්ෂිත දුම්රිය මාර්ගවල වාහන ගැටී මිනිසුන් මිය යෑම වැළැක්වීමට මම ස්වයංක්‍රීය රේල් ගේට්ටුවක් නිපදෙව්වා. එය පරීක්ෂා කිරීම සඳහාවත් දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත්තේ නෑ.

අලි ඇතුන් ශරීරයෙන් විශාල වුණාට ඉතා සංවේදී සත්ත්ව විශේෂයක්. මොවුන් පළවා හැරීම සඳහා ඔබ යොදාගන්නා ක්‍රමයේ තාක්ෂණය ගැන කිව්වොත්?

අලි ඇතුන් අධික ආලෝකය සහ කෙටි සංඛ්‍යාත ශබ්ද තරංග අප්‍රිය කරනවා. රේල් පාරේ අලි ඉන්න ප්‍රදේශවල දුම්රිය මාර්ගයේ ඩෙසිබල් 120ක තියුණු ශබ්දයක් නිකුත් කළ හැකි උපකරණ සහ දැඩි ආලෝකයක් නිපදවන බල්බ මා නිපදවා තිබෙනවා. අලින්ට පෙනෙන්නේ රතුපාට සහ කොළපාට පමණයි. ඒ උපකරණවලට GSM තාක්ෂණය මඟින් සම්බන්ධ වන ඉලෙක්ට්‍රොනික සන්නිවේදන උපකරණයක් දුම්රියවල සවි කරනවා. අලි ඉන්න ප්‍රදේශවලට දුම්රියක් එද්දි කිලෝ මීටර් 10ක් වගේ ඈතක ඉඳලා දුම්රියේ සවිකර ඇති උපකරණ මඟින් ස්වයංක්‍රීයව ශබ්ද සහ ආලෝකය නිකුත් කරන උපකරණ ක්‍රියාත්මක කරනවා. මේවා රේල්පාර දෙපස ආවරණය කළ යුතු ප්‍රදේශයේ පරතරයක් ඇතිව පේළියට සවිකළ යුතුයි. එවිට ඒ ආසන්නයේ අලි ඉන්නවනම් ඉවත් වෙනවා. අලි ඒ ආසන්නයට ගමන් කරමින් සිටිනවා නම් උන් දුම්රිය මාර්ගයට එන එක නවතිනවා. දුම්රිය එම ප්‍රදේශය පසු කළාම ඒ සංඥා ස්වයංක්‍රීයව නවතිනවා. සුපුරුදු පරිදි ආයෙත් පාර මාරුවෙන්න ඒ සතුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දුම්රිය එන විට මාර්ගයේ අලි නොසිටීම පමණයි විය යුත්තේ. දුම්රිය මාර්ගය දෙපස ගස් කපා දැමීම හෝ අලි වැටක් ගහලා ඒ සතුන්ගේ වාසභූමි අවහිර කරන එක නෙවෙයි කළ යුත්තේ.

ඔබ අලි මිනිස් ගැටුම නැවැත්වීම වෙනුවෙන් කරපු එකම දේ මේක නෙවෙයි නේද?

නැහැ. මම මේ වෙද්දි ගල්ගමුවේ අලි ප්‍රශ්නය සියයට හැත්තෑ පහක් විසඳලා තියෙනවා, ඒ අලි වැටවල් හදලා දීලා. මට ඒ ගොවියෝ ලියුම් පවා එවලා තිබුණා, 'මහත්තයෝ දැන් තමයි අපි නිදාගන්නේ' කියලා. ගල්ගමුවේ විතරක් නෙවෙයි අලි කරන දේපළ විනාශය, බවබෝග විනාශය මුළු ලංකාවෙම නවත්වන්න මට පුළුවන්. ඒ විදුලි වැට පරතරය අඩුව සවි කිරීමෙන් වල් ඌරන්, රිලවුන්, ඉත්තෑවන් ආදී සතුන්ගෙනුත් බේරෙන්න පුළුවන්. මේ වෙද්දි මම පෞද්ගලික විදුලි වැටවල් 480කට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා තියනවා. ඒ එක විදුලි එනජයිසරයක් අක්කර 50කට සෑහෙනවා. චීනෙන් ගෙන්නනවනම් එක විදුලි වැටක් හැත්තෑ පන්දාහක් වගේ වෙනවා. ඒත් මම දෙන්නේ තිස් පන්දාහක් වගේ මුදලකට. මගේ එනජයිසරයට රජය ප්‍රමිති සහතික ඉල්ලුවත් ප්‍රමිතියක් නැති බාල එනජයිසර් පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය මිලදී ගන්නවා. රජය මේ කුඩා විදුලි වැට ව්‍යාපෘතියවත් භාර ගන්න එක විතරයි මට වෙන්න ඕන.

මීට අමතරව ඔබේ නිෂ්පාදන මේ වෙද්දි වෙළෙඳපොළේ නැද්ද?

මම නිෂ්පාදනය කරලා තියෙන ද්විත්ව ක්‍රියාකාරී සුළං විදුලි ජනකයට සහ බහුකාර්ය පෑනට පේටන්ට් බලපත්‍ර කිහිපයක් ලැබිලා තියෙනවා. ඒත් ඒ පෑන හදන්න ලංකාවේ කම්පැනියක් නැහැ. ලංකාවේ ආයතනයකට මම දුන්නම ඒක චීනෙට විකුණලා තිබුණා. මම ලංකාවට ඒක ගෙනත් විකුණන එක නැවැත්තෙව්වා. ඒත් ඒ තාක්ෂණය චීනෙ දැන් තියෙනවා. පේටන්ට් ගත්තත් ලංකාවේ තත්ත්වේ ඕකයි.

ඔබ වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා කරන ලද නිර්මාණය තුන්වෙනි ලෝකයේ රටවලට අපනයනය කළහැකි අන්දමට උසස් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණය භාවිතා කර නිපදවූවක්. එහෙත් ඒ වෙනුවෙන් තවමත් නිසි ඇගයීමක් ලැබී නැහැ නේද?

ඒක මගේ අලුත්ම නව නිර්මාණය. විදුලිය බිඳවැටීමකදී රෝහල්වල රසායනාගාර තුළ ගබඩා කර ඇති ලක්ෂ ගණනක් වටිනා බෙහෙත් ද්‍රව්‍ය, එන්නත් වර්ග, රුධිරය, අක්මා වකුගඩු ආදී ශරීර කොටස් වීසිකර දමන්න වෙනවා. ඒකට විසඳුමක් විදියට විදුලිය බිඳ වැටීම්, ශීතකරණය අක්‍රිය වීම වැනි අවස්ථාවලදී දුරකථන පණිවිඩයක් සහ එස්. එම්. එස් පණිවිඩයක් මගින් අදාළ නිලධාරීන්ට දැනුම් දෙන විදියේ නිර්මාණයක් මම සිදුකළේ. ඒ එස්. එම්. එස් පණිවිඩයේ ශීතකරණයේ දැනට පවතින උෂ්ණත්වය පවා සටහන් වෙනවා. විදුලිබලය යථාවත් වූ පසු එයත් දුරකථන පණිවිඩයක් සහ දැනට පවතින උෂ්ණත්වයත් එස්. එම්. එස් පණිවිඩයක් මගින් දැනුම් දෙනවා. ඒත් මට මෙතනදි විශාල අසාධාරණයක් වෙනවා.

අසාධාරණය සිදු වෙන්නේ කුමන පාර්ශ්වයකින්ද?

මම මේ නිර්මාණය කරලා මාතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමාට පෙන්නුවා. ඔහු කැමති වුණ නිසා මාතර පොල්හේන බෙහෙත් ගබඩාවේ එකක් සවිකරන්න පුළුවන් වුණා. ඒක හොඳට ක්‍රියාත්මක වෙනවා. මම ඊළඟට ගියේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ශීතකරණ භාර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ නිලධාරියාට එය පෙන්වීමට. ඒත් ඔහු එය පරික්ෂාකර බැලීමටවත් උනන්දු වුණේ නැහැ. ප්‍රමිති සහතිකයක් නැතිව පරික්ෂාකර බැලීමටවත් ඔවුන් කැමති නැහැ.

ප්‍රමිති සහතිකයක් ලබා ගැනීමට ඔබ උත්සාහ කරන්නේ නැත්තේ ඇයි?

ඇයි නැත්තේ. මෙම උපකරණ සඳහා අවශ්‍ය ප්‍රමිති සහතිකය සහ උපදෙස් ලබා ගන්න මම ශ්‍රී ලංකා, ප්‍රමිති ආයතනය, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය යන ආයතන වලට ගියා. දවස් ගාණක් රස්තියාදුවෙලා ප්‍රමිති ආයතනයේ පහළ නිලධාරියකු හමුවෙන්න මට පුළුවන් වුණා. ඉලෙක්ට්‍රොනික් පර්යේෂණාගාරයක් හෝ නියමිත ඉන්ජිනේරුවන් නොමැති නිසා ඉලෙක්ට්‍රොනික් උපකරණ සඳහා එම ආයතනය ප්‍රමිති සහතික ලබා නොදෙන බව මට කිව්වා. ඉතින් මම අසරණයි.

ඔබ වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවරයෙක් පමණක් නොවෙයි විශ්‍රාමික හමුදා නිලධාරිවරයෙක්ද වෙනවා. එක ජීවිත කාලයක් ඇතුළේ හදිසියේ කෙනෙක්ට ලැබෙන අවස්ථාවක් ඒක. හමුදාවට බැඳෙන්නේ ඇයි?

ඒක ලොකු කතාවක්. මගේ නව නිපැයුම් නිසාම තමයි හමුදාවට බැඳෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ ලුතිනන් කමාන්ඩර් කෙනෙක් විදියට. ඒ කාලේ යුද්ධය බොහොම තදින් ක්‍රියාත්මක වුණා. මම මැෂින් තුවක්කු නවීකරණය කිරීම කළා. සතුරන්ගේ පණිවිඩවලට සවන්දීමට සහ ඩෝරා බෝට්ටුවලට විශේෂ ඇන්ටෙනා සාදා දුන්නා. කිලෝමීටර් 15ක් දුර යවා ආපසු ගෙන්වා ගත හැකි නියමුවකු රහිත බෝට්ටුවක් පවා නාවික හමුදාව වෙනුවෙන් නිපදවා දුන්නා. යුද්ධය නිමවීමත් එක්ක මම හමුදා සේවයෙන් විශ්‍රාම ගියා.

ඔබට මතක් කරන්න බොහෝ අය ඇති?

මම දකුණු පළාතේ. මම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. මහින්ද දේශප්‍රිය කියන්නේ පාසලේ මගේ සමකාලීනයෙක්. මේ වෙලාවේ මගේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්ව මතක් කරනවා. ඉස්සර මට ඉංග්‍රීසි බැහැ. ඉතින් මාව හදලා ගත්තු ජෝතිල සර්, මිචෙල් සර්, ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ අයන්න කියලා දුන්නු මහින්දරත්න සර් ඇතුළු මට උගන්වපු සියලුම ගුරුවරුන්ට ස්තුති කරනවා. මගේ බිරිඳ ෂාමනී වික්‍රමසිංහ, දුවලා දෙන්නා වෙන සයුරි රන්දිමා සහ සඳලි චාමිකාට විශේෂ ස්තුතියක් කරන්න ඕන. ඒ අය නිදහසක් දුන්නේ නැත්නම් අද මට මේ වගේ නිර්මාණ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

නව නිපැයුම්කරුවෙකු ලෙස ඔබට ඉල්ලීමක් කරන්න තියෙනවද?

ලංකාවේ බොහෝ නව නිපැයුම්කරුවන් බිහිවෙනවා. ඒත් ඒ කිසි කෙනෙකුට අවශ්‍ය පිළිගැනීම ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඉලෙක්ට්‍රානික් උපකරණවලට ප්‍රමිතියක් ලබා දෙන්න රජය කටයුතු කරනව නම් ඒක විශාල හයියක් වේවි. ප්‍රමිති ආයතනය තුළ ඉලෙක්ට්‍රොනික් උපකරණ නිපදවීම සඳහා අවශ්‍ය පහසුකම් හා විද්‍යාගාර සකස්කළ යුතුයි. මම ලංකාව තුළ දැවෙන බොහෝ ගැටලුවලට විසඳුම් හොයාගෙන තියෙනවා. ඒ ගැන දැනුම් දෙන්න එක වතාවක් ජනාධිපතිතුමා හමුවෙන්න අවස්ථාවක් ලබාදෙන්න කියලා මම ඉල්ලන්න කැමතියි.

[නදී මාණික්කගේ]

ඡායා [මාලන් කරුණාරත්න]

මාතෘකා