ගෝලීයකරණය සහ රුපියල

 ඡායාරූපය:

ගෝලීයකරණය සහ රුපියල

ඇමෙරිකන් ඩොලරය නැඟීම තවදුරටත් සජීවීය. ඩොලරය බොහෝ රටවල ආර්ථිකවලට ප්‍රහාර එල්ලකරන තත්ත්වයට පත්ව ඇත. එහි ක්ෂේත්‍ර පරිමාණය පිළිබඳවද සීමාවක් නිශ්චිත භාවයක් දක්නට නොලැබේ. ජාත්‍යන්තර තලයෙහි ගෝලීයකරණ ආර්ථික ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය, ඉන්දුනීසියාව, පිලිපීනය රටවල ආර්ථික කැලඹීමට පත්කර ඇත. එහෙත් සැබැවින්ම ගෝලීයකරණ ආර්ථික තත්ත්වයන් පිළිබඳව තත්ත්වානුරූපී විවරණයක් මෙතෙක් සිදුවී නැති බව, ලෝක ගෝලීය ආර්ථිකයන් අධ්‍යයනයෙහි නිරත ශාස්ත්‍රඥයන් වැඩි දෙනෙකුගේ අදහසයි.

ගෝලීයකරණය විසිවැනි සියවසේ අග භාගයේ සර්ව කාර්ය උද්‍යෝග පෘඨයක් ලෙස ලොව පුරා ප්‍රචලිත වූයේ ය. සමාජවාදය පදනම්වූ සංවෘත ආර්ථික යැයි සැලකු රුසියාව සහ චීනය පවා ඊට සරිලන පරිදි වෙනස්විය. එබැවින් ගෝලීය ආර්ථික තත්ත්වයන් නව සියවසේ ප්‍රමුඛතම ප්‍රරෝචනකාරක ප්‍රතිරූපය බවට පත්වූයේ එබැවිනි. ධනවාදී ආර්ථික මොඩලයේ නව මුහුණුවරක් ලෙස නිර්මණය වූ ගෝලීය තත්ත්වයන් ලෝකයේ බහුතර දියුණු රටවල් පවා අතික්‍රමණය කිරීම අරඹා ඇත. ඊට සරිලන පරිදි හැඩගැසීමට දියුණු රටවල් පවා කටයුතු කරමින් සිටින අවදියකට පිවිස ඇත. ගෝලීය තත්ත්වයන් යටතේ චීනය වැනි රටවල් ඉදිරියට ඒමත් සමග ඊට එරෙහිව ඇමෙරිකාව විසින් ගත් ආරක්ෂණ ක්‍රමවේදයත් සමග එය රටවල් රැසක ආර්ථිකයන්ට තර්ජනයක් වී ඇත. ඉන්දියාව වැනි විශාල ආර්ථිකයන් තුළ පවා කැලඹීමට හේතුවිය. ඒ සමඟම ගෝලීය ආර්ථිකයේ යහපත හා අයහපත පිළිබඳව ලොවපුරා මහා පරිමාණ විවාදයක් ඇරඹීම මෙන්ම ගෝලීයකරණ සංකල්ප විවිධ පාර්ශ්ව ක්‍රමෝපායිකව විමර්ශනය කරමින් සිටිති.

විවෘත ආර්ථික ප්‍රතිපත්තිය සහ ගෝලීයකරණය සහ සම්බන්ධතාවයක් සහිතය. විවෘත ආර්ථික ක්‍රමයන් ලිබරල් දේශපාලන දර්ශනය මත ගොඩනැඟී ඇත. ලිබරල්වාදය 15 වන ශත වර්ෂයෙන් පසුව යුරෝපයේ ක්‍රමයෙන් වැඩීගිය ධනවාදී ආර්ථික රටාව තුළින් බිහි වූ නව දේශපාලන දර්ශනයක් ලෙස සැලකෙයි. ලිබරල්වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර බලවත් වෙනසක් දක්නට නොලැබේ. ඒ අනුව පෞද්ගලික නිදහස, මානව අයිතිවාසිකම්, භුක්තිවිඳීම, සම්බාධක සහිත ආර්ථික නිදහස, රාජ්‍ය සුබසාධනය, දේශපාලන පක්ෂ ක්‍රමය, සර්වජන ඡන්ද බලය, නිදහස් මැතිවරණ ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදයටත් - ලිබරල් වාදයටත් පොදු ලක්ෂණය. ලෝකය තුළ නව ලිබරල් දෘශ්ටිවාදය මගින් නිදහස් වෙළඳාම, ගෝලීයකරණ තත්ත්වයන් ක්‍රියාත්මක විය. මෙය ව්‍යාප්තවීමට මුල් වූයේ සුබසාධනවාදය යටතේ රාජ්‍යයට දැරීමට සිදුවන අධික වැය නිසාවෙන්, අධික වියදම නිසාවෙන්, ආර්ථිකයට ඔරොත්තු නොදෙන නිසාවෙනි. ඒ හේතුව නිසා සුබසාධන සංකල්පය අර්බුදයට ලක්විය. ලිබරල්වාදයේ ආරම්භය 16-17 සියවස්වල දී බව ජෝන්ලොක්ගේ අදහස්වලින් පැහැදිලි වුවත් ආරම්භ වු කාලය පිළිබදව අදහස් දැක්වීම විවාදාත්මකයි. රාජ්‍යයේ ස්වභාවය අනුව ලිබරල්වාදී මතය ප්‍රධාන අවධි තුනකි. "නිර්බාධවාදී රාජ්‍ය"යේ ස්වරූපය අනුගමනය කළ අවධිය සම්භාව්‍ය ලිබරල්වාදී අවධිය ලෙසත්, “සුබසාධන රාජ්‍ය අවධිය” නූතන ලිබරල්වාදී රාජ්‍ය අවධිය ලෙසත්, නවතම මුහුණුවර “අවම රාජ්‍ය” නව ලිබරල්වාදය රාජ්‍ය ලෙසත් සැලකේ.

අවම රාජ්‍ය සංකල්ප අදහස බිහිවන්නේ 20 වන ශතවර්ෂ අගභාගය තුළය. අවම රාජ්‍ය යනු අඩුවෙන්ම පාලනය කරන රාජ්‍ය ක්‍රමයයි. ශ්‍රී ලංකාවේ විවෘත අර්ථික ප්‍රතිපත්තිය දශක හතර තුළ රටක් වශයෙන්, ආර්ථික වශයෙන් ලබා ඇති ප්‍රගතිය හෝ අගතිය හෝ විමසා බැලීමට සුදුසු අවකාශයක් දැන් උදා වී තිබේ.

පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ ආර්ථික ගෝලීයකරණයට පසුබිම සපයනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයයි. ඔවුන් හඳුන්වාදුන් තේ, කෝපි, කුරුඳු, බෝග ආශ්‍රිත වතුවගාව ආශ්‍රීත අපනයන ආර්ථිකය ගෝලීය තත්ත්වයට නතුවීමේ මූල බීජය විය.

ජේ.ආර්. ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික පිළිවෙත හඳුන්වා දුන්නේ ලෝක ආර්ථික ප්‍රවණතා හා එහි අනාගත ප්‍රතිඵල ගැන හොඳින් විමසා බලා යැයි සිතන්නට පුළුවන. ඉන්දියාව සිය ආර්ථිකය විවෘත කිරීමට පෙර ශ්‍රී ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේය. මේ පිළිබඳ විවේචන පවතින්නේ වුවද ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ ජේ.ආර්. කල්-යල් බලා නිසි අවස්ථාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ බවය.

ගොලීය ආර්ථික තත්ත්වයන් ලොව පුරා ව්‍යාප්ත විය. ඊට රුසියාව, චීනය, යුගොස්ලෝවේකියාව වැනි දැවන්ත සමාජවාදී රාජ්‍ය ද නතුවිය. චීනය යථාර්ථවාදී පිළිවෙතකට ගොඩවී ජය ලැබුහ. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ධනවාදී නාමික රාජ්‍යයන් පවා අභිබවමින් සිටියි. ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වාදී වසර 40ක් ගත වී ඇත. 1948-1977 දක්වා ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය ඒකාධිකාරි ධනවාදය ක්‍රියාත්මක විය. එය ධනවාදයේ එක් මුහුණුවරකි. ඒකාධිකාරී ධනවාදය එනම් සුබසාධන ධනවාදය ලෙසද හැඳින් වේ. 1970 දශකය වනවිට සුබසාධන ධනවාදී ක්‍රමය අර්බුදයට ලක්විය. එයට විකල්පයක් ලෙස නව කොන්සවෙටිව්වාදය නොහොත් නව ලිබරල් ධනවාදය බිහිවිය. එය ආරම්භකයින් රැසක් අතරින්, ඇමෙරිකාවේ ජනාධිපති රොනල්ඩ් රේගන්, බ්‍රිතාන්‍ය අගමැති මාග්‍රට් තැචර්, ලෝක බැංකුවේ සභාපති රොබට් මැක්නමාරා, ඉදිරි පෙළ සිටි අතර, ඔවුන් විසින් නව ලිබරල් ධනවාදී ආර්ථික දෘශ්ඨිවාදය ඉදිරිපත් කළේය. ඊට සමගාමීව යුරෝපා සහ ආසියාතික රටවල් රැසක් ද මෙම ආර්ථික ප්‍රතිපත්තිය වැලඳගන්නා ලදි. ආසියාකරයේ සිංගප්පූරුව, ජපානය, කොරියාව, මැලේසියාව වැනි රටවල් විවිධ මුහුණුවරින් මෙම ආර්ථික ප්‍රතිපත්ති තම රටවල්හි ක්‍රියාත්මක කර ඇත.

1978-1994 කාලය තුලදී නව ලිබරල් ධනවාදය එජාප පාලන කාලය තුල ක්‍රියාත්මක විය. මෙම නව ලිබරල් දෘෂ්ටිවාදය තුළින් සකස් කරගත් ආර්ථික උපක්‍රම තුළින් දැනුදු ආර්ථිකයේ වැඩිබරක් උසුලන මහැවැලි ව්‍යාපාරය, නිදහස් වෙළඳ කලාප, ඇගළුම් නිෂ්පාදනය වැනි අපනයනාභිමුඛ කර්මාන්තය බිහිවීම සිදුවිය. නමුත් එවකට මෙරට ක්‍රියාත්මක වූ 88 දකුණේ කැරැල්ල සහ උතුරේ ත්‍රස්තවාදයේ බලපෑමෙන් ප්‍රතිඵල සීමා කිරීමට හේතුවිය. විවෘත ආර්ථිකය තුළින් අනෙකුත් රටවල් අත්කරගත් ප්‍රගතිය ශ්‍රී ලංකාවට ලැබුනේ නැත. මේ තුළ දේශපාලන අවස්ථාවාදය ක්‍රියාත්මක විය. රුසියාව - චීනය වැනි රටවල් සිය ආර්ථිකයන්හි ප්‍රායෝගික ප්‍රතිසංස්කරණය කරද්දී, ශ්‍රී ලංකාවේ සමාජවාදී ආවෘත ආර්ථික ප්‍රතිපත්තිවල න්‍යායන් පමණක් දැක තිබු සමාජවාදීන් චින්තකයන් විසින් දියත්කළ දේශපාලනය හේතුවෙන් වැඩවර්ජන, උද්ඝෝෂණ, තරුණ කැරලි විශාල ප්‍රතිරෝදයක් විය. ඒ හේතුවෙන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට දැඩි ප්‍රහාරයක් එල්ල විය. නිදහසේ ක්‍රියාත්මක වූ සිංගප්පූරුව, ජපානය, කොරියාව, මැලේසියාව, හොංකොං රටවල් දියුණු රාජ්‍යයන් දක්වා පරිවර්තනය විය.

1977- 2018 කාලය දශක හතරකි. මෙම කාලය සමානව ශ්‍රීලනිපය සහ එජාපය ප්‍රමුඛ කොටගත් සන්ධාන විසින් පාලනය කොට ඇත. මෙම අවධිය තුළ ශ්‍රී ලංකාව අනුගමනය කළේ ධනවාදී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය වුවත්, ඒ කාලය තුළ එක ආර්ථික දැක්මක් සහිතව විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක විමට අවශ්‍ය පරිසරය රට තුළ පැවතියේ නැත. වරින්වර ඊට දේශපාලන අවස්ථාවාදීත්වය එරෙහි විය. වාමාංශික උන්නතිකාමී දේශපාලනය හමුවේ වරින්වර රට අසථාවර විය. ඒ හේතුවෙන් රටට නිවැරදි විදෙස් ආයෝජන ගලා ආවේ නැත. එම ආයෝජන ඉන්දියාව, දකුණු කොරියාව, හොංකොං, මැලේසියාව වැනි රාජ්‍යයන් වෙත ඇදී ගියේය. මෙම ආර්ථික මොඩලයට වරින්වර විවිද මුහුණුවර ආරෝපන වූ අතර, 2005-2015 මහින්ද රාජපක්ෂ පාලනය කාලය තුළ ඊට එක් කළේ අධිකාරිත්ව - ජාතිකවාදයේ දෘෂ්ටිවාදයයි. රාජපක්ෂ පාලනයේ සිත්ගන්නා සුළු කරුණ නම් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් තුළ කටයුතු කරමින් ජනතාවට පෙන්වන්නේ වෙනකකි. ජනතාව වෙත තොරතුරු ගලායාම රාජ්‍ය බලපෑම යොදාගනිමින් වලක්වා, සිය වාර්ගික ප්‍රජාවන් ආරක්ෂා කිරීමට යැයි සඳහන් කරමින් ස්වෝත්තමවාදීන්ගේ චින්තනයක් ප්‍රකට කරමින් එය පාලනයේ මූලික ආර්ථික මෙන්ම දේශපාලන න්‍යාය විය. දැඩි රාජ්‍ය ආරක්ෂණවාදී ක්‍රමවේදයක් සහිතව රට නොව තම ප්‍රතිරූපය ප්‍රවර්ධනයවන ආර්ථික කුලුණු ගොඩ නඟමින් කඩිනම් ප්‍රතිලාභ රහිත වරායවල්, ගුවන්තොටුපොළවල්, ක්‍රිඩාංගන, සම්මන්ත්‍රණශාලා ගොඩ නැගුවේය. විදෙස් ණය මගින් සම්පාදිත මෙම ඉදිකිරීම් හේතුවෙන් මෙම කාලයේ අපනයන ආර්ථිකය කඩාවැටිනු අතර වෙළෙඳ හිඟය දිගින් දිගටම වර්ධනය වී විදෙස් සංචිත ප්‍රමාණය හීන විය. දිගින් දිගටම ආනයන වියදම ඉහළයන මට්ටමින් ප්‍රමාණවත් අපනයන ආදායමක් උත්පාදනය කිරීමට අසමත් වීම හේතුවෙන් වර්තමානයේ මුහුණදී ඇති ගෝලීයව ඩොලරයේ නැඟීමට මුහුණදීමට අසමත් වී ඇත. මෙරට අපනයන ක්ෂේත්‍රයේ වර්ධනය වෙමින් පැවති ඇඟලුම් කර්මාන්තය ජී.එස්.පී. සහනය අහිමිවීමත් සමඟ රාජපක්ෂ පාලන කාලය තුළ කඩා වැටීමක් සිදුවිය. 2015න් පසු ජී.එස්.පී. සහන ලැබුනත් තවමත් අපනයන අදායම ඉහළ යාමට සමත් වී නැත. මහා පරිමාණ සියළු අයෝජන ප්‍රතිලාභ රහිත විය. වරාය ගුවන්තොටුපොළවලින් කිසිඳු ආදායම් රට තුළට ගලා ආවේ නැත. මහින්ද රාජපක්ෂ රජයට විසින් ලබාගත් ණයවලට වාරික ගෙවීම ආරම්භ කිරීමට නියමිතව තිබුනේ 2017 වසරේදීය. එම තත්ත්වයට පෙර සූදානමක් වශයෙන් වසර 2කට පෙර ජනාධිපතිවරණ 2015 වර්ෂයේ පැවැත්විණ.

ඉන්දියන් සාගරයේ මැද ඉන්න ශ්‍රී ලංකාව කීර්තිමත් විදෙස් වෙළෙඳාමකට උරුමකම් කියන රටකි. ආර්ථිකයන් ගෝලීයකරණයේ ප්‍රතිඵල අත්විඳිමින් සිටින ශ්‍රී ලංකාව උපායමාර්ගිකව වාසි අත්කරගැනීමේ මාවතකට ප්‍රවිෂ්ට විය යුතුය. ඉන්දියාව, ඉන්දුනීසියාව, පාකිස්ථානය වැනි අපට තරඟකාරී ආර්ථිකවල මුදල අවප්‍රමාණයවන විට ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගත නොහැක. එසේ නොවුවහොත් ඉන්දියාවෙන්, ඉන්දුනීසියාවෙන්, පාකිස්ථානයෙන් ආනයන කරන භාණ්ඩවල මිල පහල යාම හේතුවෙන් තවදුරටත් ආනයන ඉහලයාමේ අවධානමක් මතුවෙයි. රුපියල එම රටවලට සාපේක්ෂව අවප්‍රමාණය වීමෙන්, ආනයන භාණ්ඩවල මිල ඉහලයාම දේශීයව නිපදවන භාණ්ඩවලට ඉල්ලුම ඉහළගොස් ආනයන සීමාවීමක් සිදු වෙයි. ඉන් ප්‍රත්‍යක්ෂ වන්නේ ලෝකයේ රටවල මුදල අවප්‍රමාණය වනවිට ශ්‍රී ලංකාවේ රුපියල පමණක් ස්ථාවරව තබා ගන්නාවට වඩා වෙන රටවලට සාපෙක්ෂව තරඟකාරී විනිමය අනුපාතිකයක් පවත්වා ගැනීම වැදගත් බවයි. ඒ වාගේම වර්තමාන රජය අපනයන උපාය මාර්ගිකව වර්ධනය කිරීමේ වැඩසටහනක් අපනයන සංවර්ධන මණ්ඩලය හරහා අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීම වැදගත්කමක් තිබෙන කාරණයක් වශයෙන් පෙන්වා දිය හැකියි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මඟින් නව ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීම දීර්ඝකාලීන විසඳුමක් ලෙස ගත හැක.

ගෝලීයකරණ ක්‍රියාවලියේ යථාර්ථය තුළ අහිතකර ප්‍රතිඵල නැතුවාම නොවේ. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් අර්බුදය මෙම ගෝලීයකරණ සන්ධර්භයේ එක් අහිතකර කාල පරිච්ඡේදයකි. උක්ත කරුණු සියල්ල සම්පිණ්ඩනය කළ විට ගෝලීයකරණය සෑම රටකම ආර්ථිකයන්ට සාධනීය - නිශේධනීය අයුරින් බලපෑම් කරණු ලබන සංසිද්ධියක් බවත්, එහි සෙවණැලි ශ්‍රී ලංකා ආර්ථිකය තුළ පිළිබිඹුවන බවත්, එය ප්‍රත්‍යක්ෂවන අවධියක් පසුකරමින් ඇත.

[චන්දන එදිරිමාන්න]

මාතෘකා