අවුරුදු 54ක් ඉස්කෝලෙ ගිය 'හෝඩියේ ටීචර්'

 ඡායාරූපය:

අවුරුදු 54ක් ඉස්කෝලෙ ගිය 'හෝඩියේ ටීචර්'

"මම මුලින්ම ඉස්කෝලේ ගිහින් තියෙන්නේ අක්කගේ තනියට. ඒ අවුරුදු තුනේදී. දෙවෙනුව ඉගෙන ගන්න ගියා. තුන්වෙනුව උගන්වන්න ගියා. කොහොම හරි මම අවුරුදු පනස් හතරක් ඉස්කෝලේ ගිහින් තියනවා. මට ඒ දවස්වල වැලිගම ශ්‍රී සුමංගලේ ළමයි කිව්වේ හෝඩියේ ටීචර් කියලා" සීලවතී කරුණාරත්න ගුණසේකර ගුරු මාතාව තමන් හඳුන්වාදෙමින් පැවසුවාය. මාතර වැලිගම ගොඩේ වලව්වේ පදිංචිව සිටින ඇය දරුවන් හය දෙනෙකුගේ මවකි. සිය දිවිමඟෙහි 105 වන කඩ ඉම අබියස සිටින ඇය උපත ලබා ඇත්තේ 1913 නොවැම්බර් 27 වැනිදාය.

සීලවතී ගුරු මාතාව ගේ මව පිලානේ නෝනහාමි විජේවික්‍රමයි. පියා මාවැල්ලේ දොන් නන්දියෙස් කරුණාරත්න ගුණසේකරයි. හත්දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්සිය අපේ කතාවේ කතා නායිකාවයි.

ඇයට වයස අවුරුදු හතරක් ගත වෙද්දී මව මෙලොව හැර ගිය අතර පියා වයස අවුරුදු 102ක් ජීවත් විය. ඇගේ වැඩිමහල් සහෝදරියක්ද අවුරුදු 102 ක් ආයු වළඳා ඇති අතර ඇය මීට වසර දහයකට පමණ පෙර මිය ගොස් තිබේ. ඇගේ පවුලේ හත් දෙනාගෙන් මේ වන විට ජීවතුන් අතර සිටින්නේ ඇය පමණකි.

පාසල් ගමන

සහෝදර සහෝදරියන් හත්දෙනෙකු සමඟ හැදී වැඩුණු සීලවතී මාතාවට කුඩා අවධියේම පාසල් යන්නට වරම් ලැබී තිබේ. ඇය පළමුවෙන්ම ගොස් ඇත්තේ ගාල්ල, ඉමදුව, කොඹළ පාසලටයි. ඒ මීට අවුරුදු 102 කට පෙරය. එකල පාසල් යෑම සදහා නිශ්චිත වයස් සීමාවක් නොතිබුණත් සාමාන්‍යයෙන් වයස අවුරුදු හය, හත වන තෙක් ළමයකු ගෙදර තබා ගැනීම සිරිත විය. ගැහැනු ළමයින් පාසල් යැවීම කෙරෙහි දෙවරක් සිතන දෙමාපියන් සිටි ඒ වකවානුවේ කරුණාරත්න ගුණසේකර පවුලේ දරුවන්ට එම තත්ත්වය අදාළ නොවූයේ කරුණාරත්න ගුණසේකර මහතා දැන උගත් කෙනෙකු වූ නිසාය. රෙජිස්ටාර් වරයකු ලෙස රැකියාව කළ ගුණසේකර මහතා තම දරුවන් සමාජයේ ඉහළට ඔසවා තැබීම සඳහා විශේෂ කැපවීමක් කර තිබේ.

"මගේ තාත්තා, අම්මා මැරුණට පස්සේ තව විවාහයක් කර ගත්තේ නැහැ. මොකද අපි ගැන බලන්න ඕනෑ නිසා. මට මතකයි මම අක්කත් එක්ක ඉස්කෝලේ යනවා. ඒ යන්නේ අක්කගේ තනියට. කොඹළ ඉස්කෝලෙට තමයි ගියේ. මම සමහර දවස්වලට අක්කගේ පන්තියේ ඉඳගෙනම අක්කලට උගන්වන දේවල් අහගෙන ඉන්නවා. සමහර දවස්වලට සෙල්ලම් කරනවා. ගෙදර ඉඳලා සැතපුම් තුනක් විතර පයින් යන්න තියනවා ඉස්කෝලෙට. කැලේ මැදින් තමයි යන්න තියෙන්නේ. කුරුල්ලෝ, එක එක ජාතියේ සත්තු අපි යන පාර දෙපැත්තේ ඉන්නවා. මම ඉතින් නැවතිලා මේ සත්තු දිහා බල බල ඉන්නවා. එතකොට අක්කා කියනවා කොටියා එනවා කියලා. මම ඉතින් දුවගෙන ගිහින් අක්කට මාව වඩන් යන්න කියනවා."

ඇගේ වසර සියයකට එහා මතකය අපූරුය. කවියක් මෙන් සොඳුරුය. ඇය ඒවා විස්තර කරන්නේ සුරංගනා කතාවක, දරුවන් වශී කරගන්නා සුරඟනක මෙනි. ජීවිතයේ වැඩිම කලක් දරුවන් ඇසුරේ ගත කිරීමෙන් ඈ ලැබූ පරිචය ඒ හැම වචනයකම, හැම අංගචලනයකම තැවරී ඇත.

උප්පැන්නයේ රහස

"තව කාරණයක් තියනවා කියන්න මගේ උප්පැන්නේ ගැන. මම ඉපදිලා තියෙන්නේ 1912දී. නමුත් තාත්තා රෙජිස්ටාර් වුණත් උප්පැන්නේ ලියලා තියෙන්නේ 1913දී. නැත්නම් ඇත්තටම මගේ වයස අවුරුදු 106 යි." ඇගේ උප්පැන්නය, ඇගේ වැඩිමහල් දියණිය වන ගීතා අමරසේකර මහත්මිය මට පෙන්වූවාය. අතින් ලියා තිබූ එහි පියාගේ රැකියාව ලෙස 'මාවැල්ල හවුපෙ කොටඨාසයේ උප්පැන්න හා මරණ රෙජිස්ටාර්' ලෙස සඳහන් වෙයි.

සීලවතී මාතාව අකුරු කළ එකල හෝඩිය, පහළ බාලාංශය, ඉහළ බාලාංශය ලෙසද තිබිණි. එහෙත් සීලවතී මාතාව හෝඩියට පෙර පහේ ඉගනුම ලබා තිබේ. ඒ පෙර කියූ ලෙස සිය සහෝදරියගේ තනි රැකීමට ගොසිනි.

"හෝඩිය මගේ ජීවිතේ අමතකම නොවන වචන අතරින් එකක්. ඒ කාලේ වැඩිපුර තිබුණේ ඉංග්‍රීසි අධ්‍යාපනය. මම මුලින්ම කොඹළ විදුහලේ ඉගෙනුම ලැබුවා. දෙවෙනුව කනංකේ විදුහලේ. තුන්වෙනුව ඉගෙනුම ලැබුවේ උණවටුන විදුහලේ. මම ඉගෙන ගන්න දක්ෂයි. ඒ නිසා මට උගන්නපු ගුරුවරුත් මට ආදරෙයි. මුල ඉඳලම මගේ ආසාව තිබුණේ ගුරුවරියක් වෙන්න තමයි. ඒකට බාධා කරන්න කවුරුත් හිටියේ නැහැ. මම මගේ ඉලක්කයට ගියා. මම අවසානේ සමත් වෙලා තෙලිජ්ජවිල දම්පැල්ල විදුහලේ හෝඩියේ ළමයිට ඉගැන්නුවා."

හෝඩියේ ටීචර්

ඉංග්‍රීසි අධ්‍යාපනය හේතුවෙන් එකල දරුවන් ගුරුවරුන් අමතා ඇත්තේ 'ටීචර්'නමිනි. ඇය වැඩි කාලයක් හෝඩියේ පන්තියට ඉගැන්වීම හේතුවෙන් දරුවන්ටද, පසුව වැඩිහිටියන්ටද ඇය 'හෝඩියේ ටීචර්' විය.

"ඒ කාලේ ගුරු පුහුණු මධ්‍යස්ථානය තිබුනේ පානදුර වලානේ. අපේ පන්තියේ හිටියා ළමයි තිහක් විතර" ඇයගේ ප්‍රකාශයත් සමඟ මට සිහිපත් වූයේ රැස දිගාසිරි චාරිකාවේදී මීට පෙර අපට මුණගැසුණු ගම්පහ මිනුවන්ගොඩ ජීවත්වන මිලිනෝනා ගුරු මාතාවයි. ඇය ඊයේ (10) දිනයේ 106 වන උපන් දිනය සැමරූ අතර ඇය පිළිබඳව විමසා සිටි අවස්ථාවේදී සීලවතී මාතාව කියා සිටියේ ඇය පිළිබඳව මතකයක් තිබෙන බවයි. මිලි නෝනා ගුරු මාතාවගෙන් සීලවතී මාතාව පිළිබඳව මා දුරකථනයෙන් විමසූ විට, තමන් ඇය හඳුනන බව ඇය සතුටින් පැවසුවාය. සියවස් තුන්කාලක් තරම් පැරණි මිතුරියෝ රැස නිසා යළි මුණගැසිණි. දෙන්නාම කියා සිටියේ එකල සිටියේ රණසිංහ නමැති විදුහල්පතිවරයකු බවයි.

"මම පුහුණුවෙන් පස්සේ උණවටුනේ ඉස්කෝලේ ඉගැන්නුවා. විවාහයෙන් පස්සේ තමයි වැලිගම සුමංගල විදුහලට ගියේ. ගුරු වෘත්තියට ආයුබෝවන් කියනකම්ම සුමංගල විදුහලේ තමයි වැඩ කළේ. ඒ වගේම මම මගේ ළමයි හයදෙනාටම උගන්වලා තියනවා. මට කියන්න බැරි වුණා. මට අමරසේකර ටීචර් කියලත් කියනවා. මගේ ගෝලයෙක් තමයි එඩ්වින් ආරියදාස. ඒ වගේම සරණපාල ජයසූරිය, ආරියසිරි විතානගේ, ගුණසේකර කේ. පතිරණ මේ අයත් මගේ ගෝලයෝ."

පිය විප්පයෝගය

හෝඩියේ ටීචර් විවාහ වන්නේ වැලිගම සිද්ධාර්ථ විදුහලේ සේවය කළ ගුරුවරයකු වූ කන්ද උඩ ලොකුගේ මෙන්ඩිස් අමරසේකර මහතා සමඟය. ඔහු 1948 පමණ වැලිගම සිද්ධාර්ථ විදුහලේ වැඩබලන විදුහල්පතිව සිටියේය. මේ විවාහය සිදු වන්නේ 1943 ජනවාරි මාසයේදීය. මේ ගුරු යුවළගේ කැදැල්ලට දරුවන් හයදෙනෙකු එක් වූ අතර ඉන් පස්දෙනෙකුම ගැහැනු ළමයින්ය. මින් වැඩිමලා වන්නේ ගීතා අමරසේකර මහත්මියයි. මේ වන විට හැත්තෑ පස්වෙනි වියේ පසු වන ඇය, ක්‍රමසම්පාදන අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂිකාවක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටී. ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. දෙවැනි දියණිය වූ ලාලනී අමරසේකර මහත්මියගේ වයස මේ වන විට හැත්තෑ තුනකි. තෙවැන්නිය පුෂ්පා අමරසේකර උපාධිධාරී ගුරුවරියක ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටී. සිව් වැන්නිය චිත්‍රා ලක්ෂ්මී අමරසේකර මහත්මියද විශ්‍රාමික ගුරුවරියකි. පස්වැන්නිය වූ තලතා නන්දනී අමරසේකර මහත්මියගේ වයස මේ වන විට හැට නවයකි. ඇයද ගුරු වෘත්තියට සමු දී සිටී. මේ පවුලේ බාලයා වූ චම්පික අමරසේකර විදේශගතව සිට පැමිණ මේ වන විට මෙරට රැකියාවක් කරයි.

"දරුවෝ මගේ වටේ ඉන්නවා. නමුත් ලොකු දුවට යන්තම් අවුරුදු හත කිට්ටු වෙද්දී මගේ මහත්තයා නැති වුණා. මට පුංචි කාලෙ වූ දෙයම මගේ දරුවන්ටත් වුණා. ඊට පස්සේ දරුවෝ බලාගෙන රැකියාව කරන්න මට ලොකු වෙහෙසක් ගන්න සිද්ධ වුණා. මගේ අක්කගේ දුව මගේ ගෙදර නවත්ත ගත්තා. එයත් ගුරුවරියක්. ඒ කාලේ උදේ, සවස දෙකේම ඉස්කෝල පවත්වනවා. මම උදේ ඉගැන්නුවා. එයා සවස ඉගැන්නුවා. මේ අතර ගෙදර උයන්න පිහන්න කෙනෙකුත් හිටියා. මේ නිසා මට තාම හරිහැටි උයන්න බැහැ. දැන් ඉතින් කවදා ඉගෙන ගන්නද?" ගුරුතුමිය වෙන කෙනෙකු නම් ලෙහෙසියෙන් නොකියන රහසක් හෙළි කරමින් පැවසුවාය.

චාරිකා මතක

ගමන් බිමන් යෑමට ප්‍රිය සීලවතී මාතාව, කුඩා කල විනෝද ගමන් ගිය අයුරු කියා පෑවේ මා පුදුමයට පත් කරවමිනි.

"ඒ කාලේ අද වගේ පාරවල් තිබුණේ නැහැ. අපේ අයීයට තිබුණා ඉසෙඩ් කාර් එකකුයි, එක්ස් කාර් එකකුයි, කාර් දෙකක්. මේ දෙකේ අපි ට්‍රිප් ගියා. රටේ හැම තැනම ගියා. කාර් එකේ අපි ගියාට දෙන්නෙක් ඉස්සරහින් යනවා පොලු කැති අරගෙන පයින්. මොකද පාර හදලා දෙන්න. ඊළඟට මම ලොකු වෙලා රැකියාව කරද්දී අහසිනුත් ගියා. ඒ දවස්වල රජයේ සේවකයන්ට වොරන්ට් එකක් කියල දුන්නා කෝච්චියෙන් යන්න. මේවා තුනක් එකතු කළාම ප්ලේන් එකෙන් යන්න පුළුවන්. එහෙම දෙපාරක් ප්ලේන් එකෙන් යාපනේ ගිහින් තියනවා. අන්තිමට යාපනේ ගියේ 1958 වගේ කියලයි මට මතක. අපි ප්ලේන් එකේ ගිහින් බැස්සේ පලාලිවල. පස්සේ මුළු යාපනේම ඇවිද්දා. දවස් තුනක් විතර ගත කරද්දී තමයි සිංහල, දෙමළ කෝලාහල පටන් ගත්තේ. අපි ප්ලේන් එෙක්මයි නැවත කොළඹ එන්න හිටියේ. නමුත් අන්තිමට කෝච්චියේ නැඟලා ගෙදර අවා. ඒ වගේම තමයි මම 1996 ඕමාන්වල අවුරුද්දක් විතර හිටියා. ලංකාවේ මම නොගිය තැනක් නැහැ."

දගාසිරි රහස

"මට පොඩි කාලේ බත් කවද්දී මම මුලින්ම කරන්නේ මාළු කෑල්ල අතට ගන්න එක. ඊට පස්සේ බත් කවල ඉවර වුණාම මම ඒ මාළු කෑල්ල පිඟානට දානවා. මම දන්නා කාලේ ඉදලා උම්බලකඩවත් කාලා නැහැ. එළවළුයි , බතුයි විතරයි. අද මට අවුරුදු 105ක් වෙලත් මට කාගේවත් ආධාරයක් නැතිව ඇවිදින්න පුළුවන්. මම හිතන්නේ මම කාටවත් හිංසාවක් කරලා නැහැ. එකයි මගේ මේ ආයුෂ වැඩි වීමේ රහස".

[ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න]

මාතෘකා