එදා මෙදා රණ්ඩු වෙවී ගිය ආණ්ඩු

 ඡායාරූපය:

එදා මෙදා රණ්ඩු වෙවී ගිය ආණ්ඩු

ආණ්ඩු කරන එක ලේසි පහසු වැඩක් නොවේය. දේශපාලනය තෝරා ගන්නේම 'මතවාද' බොහෝ තිබෙන උදවිය නිසා ප්‍රශ්නද කෙළවරක් නැත.

'මම දේශපාලනයේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්' කියා කී ප්‍රේමදාස මහතාටත් ආණ්ඩු කරන එක සල්ලමක් වූයේ නැත. ඔහුට එරෙහිව පක්ෂයෙන්ම කැරලි මතු විය. 'මම එළිවෙනකම් ඇට බෝල ගහන්නේ නෑ... මං හොඳට දේශපාලනය දන්නවා’ යැයි කී හිටපු ජනපතිනි චන්ද්‍රිකාටත් ආණ්ඩු කරන එක පහසු වූයේ නැත. ඒ ආණ්ඩුවෙන් පලුවක්ම ගැලවී ගොස් ආණ්ඩුව පෙරළන තැනට පත් වනතුරු චන්ද්‍රිකාට කරන්නට දෙයක් නැති විය.

'දඟලන්න එපා, හැමෝගෙම ෆයිල් මම ගාව තියෙනවා' යැයි කී මහින්දට තමන්ගේම පක්ෂයේ මහ ලේකම් එළියට ගිහින් තමන්ව පරද්දනකම් කිසිවක් කරන්න බැරි විය. මෙහෙම බලනකොට දේශපාලනය අමුතු නාඩගමකි. මුල්ම ගැටුම තිබුණේ බණ්ඩාරනායක සහ ඩී එස් අතරය. ඩී එස් එක්ක ගැටුම ලොකුවට නොතිබුණාට ඩඩ්ලි එක්ක ගැටුම ‘ගජරාමෙට’ තිබිණි. ගැටුම නිමාවුණේ බණ්ඩාරනායක ශ්‍රීලනිපය හදන්න එජාපයෙන් නික්ම ගියාමය.

ඩඩ්ලි - ජේ ආර් ගැටුම

1956 මැතිවරණය තීරණාත්මකය. එවක කැලණිය ජේ ආර් ගේ ආසනය විය. පක්ෂ නායකයා ඩඩ්ලිය. මැතිවරණයේදී ඩඩ්ලිගේ සහයෝගය ජේ ආර්ට ලැබුණේ නැත. ඔහු සහයෝගය දුන්නේ ආර්. ජී. සේනානායකටය. ආර්. ජී. එක්‌සත් ජාතික පක්‌ෂයට එරෙහිව සංවිධානය වූ මහජන එක්‌සත් පෙරමුණට හිතවත්ව ක්‍රියා කළ අයෙක්ය. මැතිවරණය අතරේ ඩඩ්ලි, ආර්. ජී. ගේ මැතිවරණ වේදිකාවටද නැග්ගේය. ජේ ආර් ඉවසුවේය.

ජේ ආර් - ඩඩ්ලි ගැටුම දරුණුවට තිබුණේ 71දීය. ඒ වෙනකොට එජාපය සිටියේ පඹගාලක පැටලිලාය. අර්බුද වැහි වැහැලාය.

70 පැරදුණාම ජේ ආර් ගියේ උපක්‍රමශීලී ගමනක්ය. ඩඩ්ලිට ඕන වුණේ මැතිනිගේ ආණ්ඩුවට රිදෙන්න ගහන්නටය. ජේ ආර්ගේ පිළිවෙත ඊට වෙනස් විය. ඔහු වරක් කීවේ 71 කැරැල්ල ඒ වන විට ඇතිව තිබුණු බැවින්, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බිඳී යෑමේ තර්ජනයක්‌ පවතින හෙයින් රජය මුහුණදී සිටින දුෂ්කරතා සම්බන්ධයෙන් සංයමයෙන් ක්‍රියා කළ යුතුයි කියා සහ එසේම අගමැතිනිය ආරාධනා කරන්නේ නම් ආණ්‌ඩුවට සහයෝගය දිය යුතුයි කියාද ඔහු කීවේය.

“ඔබට ආරාධනාවක්‌ ලැබුණොත් රජයට බැඳෙන බව ඔබ කියා තිබේද?” යනුවෙන් වරක් ඔබ්සවර් පුවත්පත ජේ ආර්ගෙන් ඇසුවේය. ජේ. ආර්. කීවේ ‘අග්‍රාමාත්‍යවරිය එජාපයට ආරාධනාවක්‌ කළහොත් පක්‍ෂය එම ආරාධනාව පිළිගත යුතු යැයි මා අදහස්‌ කරන බව මා පවසා ඇත” කියාය.

අද සමහරු රනිල්ට කරන චෝදනාව ‘මහින්දට’ ළැදිය කියාය. එදා ජේ ආර්ටත් ඕකම කීවේය. අන්තිමට අවුරුදු 7කින් ‘මැතිනිගේ’ආණ්ඩුව හේදිලා ගියේය. ඒක කළේ ජේ ආර්ය. නමුත් ඩඩ්ලිලා චෝදනා කළේ ජේ ආර් මැතිනිගේ පදේට නටනවා කියලාය. ජේ ආර්ගේ නැටුමේ පදේ සමහරුන්ට තේරුණේ 77 හයෙන් පහකින් එජාපය දිනා විපක්ෂයෙනුත් ශ්‍රී ලනිපය දෙකට ඇදලා දැම්මාට පස්සේය. එදා මෙදාතුර එජාපය බිහිකළ බලවත්ම නායකයා ජේ ආර්ය.

‘රනිල් අරලියගහ මන්දිරයට ගිහින් මහින්ද සමඟ කළු කෝපි බීලා ඇවිත් ජොලියේ ඉන්නවා’ යැයි සමහරු රනිල්ගේ මුහුණටම කීහ. ‘ඩීල් කාරයා’කියා උදේ හවා මිමිණූහ.

එහෙත් ඔහු තීරණාත්මක අවස්ථාවේ ‘දේශපාලන’ ගේම් එක ගැහුවේය.

ඩඩ්ලි - ජෝන් ගැටුම

හිත යටින් විරසකකම් දේශපාලනයේ හැටිය. සර් ජෝන් සහ ඩඩ්ලි අතරද මෙහෙම නොහොද නෝක්කඩු තිබ්බේය. 1956 මැතිවරණ සමයේ සර් ජෝන්ගේ ක්‍රියාකාරකම් ගැන කලකිරී ඩඩ්ලි දේශපාලන කරළියෙන් පැත්තකට වී සිටියේය.

56 විප්ලවය කළේ බණ්ඩාරනායකය. හැබැයි ඒ ආණ්ඩුවේත් ‘ප්‍රශ්න’ තිබ්බේය. පිලිප් ගුණවර්ධන සහ විලියම් සිල්වා වැනි අමාත්‍යවරු ඉල්ලා අස් වූහ. 60 ආණ්ඩුවේ සිරිමා, සී පී ද සිල්වා අතර ගැටුම් තිබිණි.

සිරිමා ඇන්. ඇම්. ගැටුම

70 -77 ආණ්ඩුව හැදුවේ එදා මෙදා තුර ආකර්ෂණීයම ‘පොරොන්දු’ දීලාය. ලෝක ඉතිහාසයේ ඓතිහාසිකම පිම්මක් පැන්න ආම්ස්ට්‍රෝන්ටත් බැරි වූ සහල් හඳෙන් හෝ ගෙනත් දෙනවා කියා සමඟි පෙරමුණ බලය ඇල්ලීය. එහෙත් මැතිනිය හා ඇන් ඇම් අතර උග්‍ර ගැටුම් ඇති විණි.

ගැටුම කෙළවර වූයේ මැතිනියගේ නියෝගයෙන් ඇන් ඇම්ට මෙහෙම ලිපියක් යවමින්ය.

 

ජනාධිපති කාර්යාලය

ජනාධිපති මන්දිරය

කොළඹ – ශ්‍රී ලංකාව

ඉවත් කිරීම

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව වන මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96/(අ) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල යටතේ හා ප්‍රකාර. ආචාර්ය නානායක්කාර පතිරණගේ මාටින් පෙරේරා වන ඔබ මුදල් අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් ඉවත් කරමි.

1975 ක් වූ සැප්තැම්බර් මස දෙවෙනිදා අ:භ: 4.00ට කොළඹදි.

වි. ගොපල්ලව

ජනාධිපති.

සිරිමා අනුර ගැටුම

මැතිනිගේ පක්ෂයේ ඔටුන්න හිමි කුමරා වෙච්ච අනුර මැතිනිට එරෙහිව කැරලි ගැසුවේය. අන්තිමට පුතා කියා නොසිතා අනුරව පක්ෂයෙන් නෙරපන තැනට මැතිනිය කටයුතු කළාය.

ලලිත් ගාමිණී ප්‍රේමදාස ගැටුම

77 ජේ ආර්ගේ ආණ්ඩුව අලුත් නායකයින් තැනූ ‘වැඩ බිමක්’ය. ලලිත්, ගාමිණී, ප්‍රේමදාස, රනිල්, වැන්නන් කරළියට ආවේ 77 ආණ්ඩුවෙනි. ලලිත්, ගාමිණී, කේම්බ්‍රිජ්ය. දෙදෙනාම උගත්ය. ජනතා ආකර්ෂණයෙන් අනූනය. ජේ ආර් ගේ රජයේ මහවැලි ඇමතිවරයා ගාමිණීය. වෙළෙඳ, නාවික, ජාතික ආරක්‌ෂක ඇමැති ලලිත්ය. දෙදෙනාටම ‘ලොකු’ සිහින තිබිණි. ජේ ආර් ගාමිණීට මෙන්ම ලලිත්ටද ළබැඳි විය. නායකත්වයේ මාවත දෙදෙනාටම හදා දෙන්නට ඔහු සීරුවට වැඩ කළේය.

ඒ වන විට ප්‍රේමදාස රට පුරා ප්‍රකටය. දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහු විසල් වැඩ කොටසක් කරමින් සිටියේය. අන්තිමට තිදෙනා අතරම බල අරගලයක් විය. ඒත් ආණ්ඩුව හොඳට දිවුවේය.

ජේ ආර් - ප්‍රේමදාස ගැටුමත් කාටත් රහසක් නොවිණ. එජාපයේ ඉන්න අතර ප්‍රේමදාස ‘පුරවැසි පෙරමුණ’ හදන්නේ යටි අරමුණක් තියාගෙනය. මොන ගැටුම් තිබුණත් ජේ ආර් අන්තිමට ප්‍රේමදාසට එජාපයත්, ජනාධිපති අපේක්ෂකකමත් භාර දුන්නේය.

ලලිත් ගාමිණී දෙදෙනාම ප්‍රේමදාස ආණ්ඩුවේ ප්‍රබලයෝය. අගමැතිකම දෙදෙනාම බලාපොරොත්තු වූහ. ප්‍රේමදාස දිනවන්නට දෙදෙනාම භීෂණය නොතකා වේදිකා ගානේ ගිය අතර ‘හදවතින්ම’ මැතිවරණය උදෙසා කැප වූහ. අන්තිමට අගමැතිකම ලැබුණේ පැත්තක සිටි විජේතුංගටය. ගාමිණීලා ලලිත්ලා ‘ඉක්මන්’ ගමන් සොයා නික්ම ගිය අතර එය යුගයක් අනික් පැත්ත හරවන්නට සමත් විය. එහෙත් ආණ්ඩුව පෙරට ගියේය. ප්‍රශ්න පිට ප්‍රශ්න තිබ්බත් ඒ ආණ්ඩුවත් 94 වෙනකම් හෙල්ලුණේ නැත.

චන්ද්‍රිකා මහින්ද ගැටුම

94 චන්ද්‍රිකා ආණ්ඩුවේ චන්ද්‍රිකා මහින්ද අතර ගැටුම් තිබිණි. ‘කිචන් කැබිනෙට්ටුව’ කියා වෙනම එකක් තිබිණි. ඉඟුරු කල්ලිය කියා තවත් පිලක් තිබිණි. හැබැයි එක වැඩි ආසනයක් තියාගෙන චන්ද්‍රිකා වසර 12ක් ආණ්ඩු කළාය.

මහින්ද මංගල ගැටුම

මහින්දගේ ආණ්ඩුවේ මුල්ම ගැටුම ආවේ මහින්ද මංගල අතරය. තමන් දිනවන්නට සියලු ‘ගේම්’ ගැසූ මංගල නෙරපන්නට මහින්ද කටයුතු කළේය. අගමැතිකමට මහින්දගේ නම යෝජනා කළ ‘අනුර’ට පල නොකියා පලා බෙදුවේය. ප්‍රශ්න තිබ්බත් මහින්ද වසර 10ක් ආණ්ඩු කළේය.

එහෙම බැලුවම පක්ෂ ඇතුළෙත්, ආණ්ඩු ඇතුළෙත් ප්‍රශ්න නොතිබුණු කාලයක් නැත. ලෝකයේම හැටිත් ඕකය.

මේ තියෙන්නේ හැමදාම වෙන්ව ගිය පක්ෂ දෙකක් එකට යන ගමනක්ය. එහෙම ආණ්ඩුවක ප්‍රශ්න නැත්නම් ඒක පුදුමය.

මාතෘකා