කැරලිකාරයාගේ සැලරිය කීයද?

 ඡායාරූපය:

කැරලිකාරයාගේ සැලරිය කීයද?

"මොනතරම් හම්බ කළත් මේ තියෙන වියදම්වල හැටියට හැරෙන්නවත් බෑ"

"මාසේ සැලරි එක සැලරි හම්බ වෙලා සතියෙන් ඉවරයි. ආයෙමත් ඉතින් රෝල තමයි"

මාස් පඩි ගන්න බොහෝ දෙනෙක් කියන්නේ ඔය වගේ කතා.

ලෝකයේ බොහොමයක් මිනිසුන් ජීවත් වෙන්නේ මාසික වැටුප නඩත්තු කරගෙන. ඒ වගේම ලෝකයේ බොහොමයක් වැඩ වර්ජන, අරගල සිදුවන්නේත් 'ජීවන වියදමට' සරිලන විදියට 'වැටුප්' වර්ධක ලබාදෙන්න කියා ඉල්ලමින්. ඒ තරමට 'වැටුප' කියන දේ මිනිස් ජීවිත එක්ක බැඳී තිබෙනවා.

රැකියාවක් තෝරා ගන්නකොට මුලින්ම බලන්න කියන්නේ 'හොඳ සැලරි එකක්' ලැබෙනවාද කියලයි. ඒ තරමට 'වැටුප' කියන කාරණය සුවිශේෂයි.

මාසයකට රුපියල් කෝටි තුන්සියයක වැටුපක් ගන්න කෙනෙක් ඉන්නවා කියලා කීවොත් සමහරවිට ඔබ පුදුම වේවි. එය විශ්වාස කළ නොහැක්කක් ලෙස සලකා ඉවත දමන්නටත් ඉඩ තිබෙනවා. එහෙත් පුදුමයක් වුණත් ඇත්ත ඒක තමයි. ඊට කිට්ටු වැටුප් ගන්න තව බොහෝ දෙනා නැතිවා නොවේ. නමුත් ඔහු තමයි අංක එකේ ඉන්නේ!

මේ වැටුප ගෙවන්නේ ලොව ප්‍රකට 'ඇපල්' ආයතනය මඟින්. එහෙම ගෙවන්නේ ඔවුන්ගේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ටිම් කුක්ට.

ටිම් කුක් කියන්නේ ඇපල් සමාගමට සම්පතක්. ඔහු ඇපල් එක්ක එකතු වෙන්නේ 1998දී. ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ පෞද්ගලික ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් තමයි ඔහු ඊට එක්වෙන්නේ. 1976 අප්‍රේල් පළමුවෙනිදා ඇපල් සමාගම ආරම්භ කරන්නේ ස්ටීව් ජොබ්ස් 'ස්ටීව් වොස්නියැක්' එක්ක එකතු වෙලයි. ඇපල් සමාගම ගොඩනඟන්න වොස්නියැක් ස්ටීව්ට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. ස්ටීව් ජොබ්ස් අලුත් අලුත් ආයතන බිහිකරන්නෙක්. වරක් ඇපල් සමාගමෙන් ඉවත්ව වෙනත් සමාගම් ගණනාවක් බිහිකළ ඔහු යළිත් ඇපල් සමාගමට එක්වී එය ලෝක ඉතිහාසයේ මෙතෙක් බිහිවූ වටිනාම වෙළෙඳ සමාගම බවට පත් කළා. ඇපල් නාමය ලොව විශිෂ්ටතම වෙළෙඳ නාමය ලෙසටත් පත් කළා. තමන්ගේ සමීපතම මිතුරා ආයතනයෙන් නික්ම ගියාම 'ස්ටීව් ' ආයතනයට 'වැඩකාරයෙක්' හොයනවා. එහෙම හොයන ඔහුට 'ටිම් කුක්' හමුවෙනවා.

ඇපල් සමාගමේ ලෝක ව්‍යාප්ත මෙහෙයුම් කටයුතු භාරව කටයුතු කළ ඔහු ඇපල් සමාගමේ අයිෆෝන්, අයිපෑඩ් වැනි නිර්මාණ ඉතා ඉහළ ප්‍රමිතියකින් චීනය වැනි පිරිවැය අඩු රටවල නිෂ්පාදනය කිරීම හා එම නිෂ්පාදන සඳහා අවශ්‍ය දහසකුත් එකක් අධිතාක්ෂණික උපාංග සැපයෙන සැපයුම් දාමය (Supply Chain) නිර්මාණය කළ තැනැත්තා ලෙස හැඳින්වෙනවා.

1960දී ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ උපන් ටිම්, ඇමරිකාවේ ඔබර්න් හා ඩියුක් සරසවිවල උපාධිධාරියෙක්. 2007දී ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි (Chief Operating Officer) ලෙස උසස්වීමක් ලද ටිම්, එවක රෝගීව සිටි ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් වෛද්‍ය ප්‍රතිකාර සඳහා නිවාඩු ගන්නා අවස්ථාවලදී වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්වෙනවා. ඔහු සතු උපායශීලී කළමනාකරණය සහ සූක්ෂ්ම මෙහෙයුම් රටාව ඇපල් සමාගම දිනෙන් දින ඉහළට ගෙන යෑමට සමත් වෙනවා. අයිමැක් (IMac), අයිපොඩ් (IPod), අයිටියුන්ස් (ITunes) මෘදුකාංගය, ලෝකයේ විශාල අලෙවියක් වාර්තා කළ සිල්ලර වෙළෙඳසල් ජාලය, ඩිජිටල් මීඩියා නිර්මාණයට හා කළමනාකරණයට නව ආරක පරිගණක වැඩසටහනක් හඳුන්වා දීම, රැහැන් රහිත රූපවාහිනි ක්‍රමය හා කේබල් රූපවාහිනි ක්‍රමය වෙනුවට අන්තර්ජාලය හරහා එය කළ හැකි නව ක්‍රමයක් හඳුන්වාදීම, 'ටච් ස්ක්‍රීන්' (අතට සංවේදී තිරයක්) සහිත ස්මාර්ට් දුරකථනය හඳුන්වාදීම, මැක්බුක් හා මැක්බුක් එයාර් හඳුන්වාදීම, පරිගණක මෘදුකාංග සීඩී/ඩීවීඩීවලින් ලබාදීම වෙනුවට අන්තර්ජාලය ඔස්සේ පළවන සඟරා හඳුන්වාදීම, කෘත්‍රිම පරිගණක බුද්ධිය පොදුජන භාවිතයේ ඇති උපාංගවලට එක් කිරීම (2011දී අයිෆෝනයට එක්කළ ඇපල් සිරි Apple Siri ඇප්ලිකේෂන් නම් මෘදුකාංගය), යනාදී නවමු තාක්ෂණික විප්ලවවල පේටන්ට් අයිතිය ජොකොබ්ස් සතුවන අතර ඒ සියල්ල ලොවට රැගෙන යාමේ 'මොළය' ටිම් කුක්. ඔහුට තිබුණේ වෙනස් 'අදහස්'. ඇපල් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ලෙස ඇපල් සමාගමේ කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වසා දැමූ ඔහු, ඒ වෙනුවට චීනයේ සිට ක්‍රියාත්මක වන තායිවාන සමාගමක් වන ෆොක්ස්කෝන්(Foxconn) සමාගමට ඇපල් නිර්මාණ නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුව පවරනවා. එයින් සුපිරි ප්‍රමිතියකින් හා අඩු පිරිවැයකින් යුතුව නිෂ්පාදන කටයුතු කරගැනීමට හැකිවීම නිසා ඇපල් සමාගම ඇමෙරිකාවේ ඉහළම ලාභයක් ලබන සමාගමක් බවට පත්වෙනවා.

සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණයට පත්වීමට වසර දෙකකට පමණ පෙර ඔහුගේ අක්මාව ආශ්‍රිතව දැඩි රෝගී තත්ත්වයක් නිර්මාණය වෙනවා. මෙහි අනතුරුදායක තත්ත්වය වී ඇත්තේ, ස්ටීව් ජොබ්ස්ගේ රුධිර වර්ගය ඉතා විරල එකක් වීම නිසා ඔහුට හැකි ඉක්මනින් අක්මාවක කොටසක් බද්ධ කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟීමයි. මතක තබාගන්න, ඔවුන්ගේ ආයතනයේ මුදල් සංචිතය ඇමෙරිකානු භාණ්ඩාගාරයටත් වඩා වැඩියි. ඇපල් සමාගමට $78.99ක් වෙද්දී ඇමෙරිකානු භාණ්ඩාගාරයේ තිබුණේ $75ක්. එහෙත් එහි හිමිකරුට පෑහෙන රුධිර වර්ගය සහිත අක්මාවක් සෙවීම දුෂ්කර වෙනවා. මේ අතරතුර එවකට ස්ටීව් ජොබ්ස්ගේ දෙවැන්නා ලෙස සේවය කළ ටිම් කුක්, සිය රුධිර වර්ගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහුගේ අක්මාව ස්ටීව් ජොබ්ස්ගේ අක්මාව සමඟ සැසඳෙන බව දැන ගන්නවා. වහාම ස්ටීව් ජොබ්ස්ගේ නි‍වෙසට ගිය ටිම් කුක් සිය ඉහළ නිලධාරියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා සිය අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කරනවා.

එහෙත්, ස්ටීව් ජොබ්ස් ඊට එක හෙළා විරුද්ධ වෙනවා.

ස්ටීව් ජෝබ්ස් පවසන්නේ, තමන් මරණය අබියස සිටින බවත්, ටිම් කුක් තවත් බොහෝ කාලයක් ජීවත් විය යුතු බවත්ය.

අක්මාවක කොටසක් පරිත්‍යාග කිරීමෙන් සිය සෞඛ්‍යයට කිසිදු හානියක් නොවන බවට කෙතරම් පැවසුවද, ස්ටීව් ජොබ්ස් ටිම් කුක්ගේ ඉල්ලීමට ඉඩ දී නැහැ. උත්සන්න වන රෝගී තත්ත්වය නිසා 2011 අගෝස්තු මාසයේදී ස්ටීව් ජොබ්ස් ඇපල් සමාගමේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වූ අතර, ඉන් සති කිහිපයකට පසු ටිම් කුක් ජොබ්ස් දැරූ ඇපල් සමාගමේ ප්‍රධාන විධායක තනතුරට පත්වෙනවා. වසරකට ඩොලර් මිලියන 9.22ක වැටුපක් ලබන ටිම් කුක්ගේ පෞද්ගලික වත්කම ඩොලර් මිලියන 785ක් ලෙස ඇස්තමේන්තු කොට තිබෙනවා.

ටිම් කුක්ගේ මූලික වැටුප 2014 පෙබරවාරි මාසයේ සිට සියයට 43කින් වැඩි වූ අතර, එය වසරකට ඇ.ඩො. මිලියන 9.2ක ඉහළ යෑමක් බවද පැවසෙනවා.

ජොබ්ස්ගෙන් පසුව 'ඇපල් බොස්' වෙන්නේ කුක්. නිතර කළු පාට ඇඟලුම් අඳින ඔහු අාධ්‍යාත්මික ජීවිතයට ආදරය කරන මිනිසෙක් ලෙස ප්‍රකටයි. අයින්ස්ටයින්ගේ ඡායාරූපයක්, ඇඳක් සහ පුටුවක් පමණක් සහිත නිවෙසක ඔහු අතිශය සරල ජීවිතයක් ගෙවනවා.

වරක් ඉන්දියාවේදී හිස මුඩු කොට අාධ්‍යාත්මික සමාධියක යෙදෙන ඔහු 'ෆෝචූන්' සඟරාවට අදහස් දක්වමින් පවසා ඇත්තේ තම ධනයෙන් වැඩි කොටසක් පරාර්ථකාමය වෙනුවෙන් යොදවන බවයි. මීට වසර පහකට පෙර වොරන් බෆට් සහ බිල් ගේට්ස් එකතුව විශේෂ පුණ්‍ය වැඩසටහනක් ආරම්භ කරනවා. කොහොම වෙතත්, 2016 වසරේදී ඇපල් සමාගමේ ආදායම් පුරෝකථනය කළ ප්‍රමාණයට නොලැබීම නිසා කුක්ගේ ආදායම ඇ.ඩො. මිලියන 1.53ක් ඔහුට එම වසරේදී අහිමිව ගොස් ඇති බවද පැවසෙනවා.

2016 වසරේදී ඇ.ඩො. බිලියන 215.6ක අලෙවියක් වාර්තා කර තිබුණද, එය ඔවුන් බලාපොරොත්තු වූ අලෙවියට වඩා පහළ අගයක් ගැනීම නිසා ටිම් කුක්ට හිමිවන්නේ 2015 වසරේදී ඔහු ලබාගත් වේතනයට වඩා ඇ.ඩො. මිලියන 1.53ක් අඩු වේතනයක්. ඒ එක්කම ඔහුට ලැබී ඇති දිරි දීමනා ඇ.ඩො. මිලියන 10.3 සිය 8.75 දක්වා අඩු වෙනවා.

ස්ටීව් ජොබ්ස් මියගියද තාමත් ඔහුගේ මූලිකත්වය ඒ විදිහටම තබාගැනීමට කුක් තීරණය කර තිබෙනවා. ජොබ්ස්ගේ 'ආත්මය' සමාගම පුරා සුරක්ෂිත බව ඔහු පවසනවා. අදටත් ජොබ්ස්ගේ කාර්යාල කාමරය ඔහු වෙනුවෙන්ම වෙන්කොට ඇති අතර, කුක් ගෙවන්නේ අතිශය සරල ජීවිතයක්. ඇපල් සමාගම නවතම උපාංගය එළිදක්වනදා ඔහු කලිසමට උඩින් දැමූ කමිසයකින් සැරසී වේදිකාවට එනවා. පරාර්ථකාමය වෙනුවෙන් තම ධනය වැය කිරීමට බලාපොරොත්තු වන ලැයිස්තුවට ඇතුළත් ධනකුවේරයන් අතර මොහුටත් 'අසුනක්' වෙන් වී තිබෙනවා.

ලෝකයක් හොල්ලන සමාගමක 'CEO' වූ ටිම් කුක්, ජීවිතය දිහා බලන්නේ උපේක්ෂාවෙන්. එහෙත් ආයතනය 'ගොඩ දැමීම' කියන කාරණයේදී ඔහු 'උපක්‍රමශීලී' කපටියෙක් බව සමහරු කියනවා. ලාභාංශ වැඩිකොට 'ඇපල්' ලොකුම විලාසිතාව කිරීම ඔහුගේ සිහිනයයි.

[පේෂල ගුණසිංහ]

මාතෘකා