බණ්ඩාරනායක මැතිතුමා සමඟ ඔක්තෝබරයේම විවාහපත්ව ඔක්තෝබරයේදීම අවසන් ගමන් ගිය : සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

 ඡායාරූපය:

බණ්ඩාරනායක මැතිතුමා සමඟ ඔක්තෝබරයේම විවාහපත්ව ඔක්තෝබරයේදීම අවසන් ගමන් ගිය : සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පසුකලෙක ලෝකය පුරා ප්‍රකට වූයේ ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීමේ වාර්තාව පිහිටුවමිනි. වර්ෂ 1940 ඔක්තෝබර් 4 වැනිදා එවකට පළාත් පාලන අමාත්‍යවරයාව සිටි හොරගොල්ලේ වලව්වේ ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා සමඟ විවාහ දිවියට පත් බළන්ගොඩ රත්වත්තේ වලව්වේ සිරිමාවෝ කුල කුමරිය සමඟින්ද ඉතිහාසයේ නව පිටුවක් ලියන්නට එකතු වූවාය.

එකල රට ඉංග්‍රීසීන්ගේ පාලනය යටතේ තිබුණද සිංහල මහාභිමානී ප්‍රභූ පරපුරක කුල කුමරුවකු වූ බණ්ඩාරනායක ඇමැතිතුමා මෙසේ උඩරටත් පහතරටත් එක් කළාක් බඳු විවාහ බැම්මෙන් බැඳී නව දිවියක් ඇරඹූ නමුදු සිරිමාවෝ කුල කුලවමිය යුග දිවිය පටන් ගත් තැන පටන් සිය කුලාභිමානය පසෙක දමා පොදු ජන සේවයේ නිරත වූ අමාත්‍යවරයකුගේ බිරිඳකගේ භූමිකාව නිරූපණය කළේ නිහතමානීවය. ඒ බව එකල එම පවුල ඇසුරු කළ විද්වත් ලේඛකයන් සමාජ සේවීන් පසුව ලියා කියා ඇත.

විවාහ වූ මුල් යුගයේ දැනට ලයනල් වෙන්ඩ්ට් රඟහල අසල වූ බංගලාවක් කුලියට ගෙන ජීවත් වූ බණ්ඩාරනායක යුවළට එහිදී මුල් දියණිය වූ සුනේත්‍රා ලැබුණු පසුව ශ්‍රීමත් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහමුදලිතුමා රොස්මීඩ්හි පිහිටි දෙමහල් බංගලාව මිලදී ගෙන ඔවුන්ගේ නිවහන ලෙස ජීවත් වන්නට පරිත්‍යාග කරන ලද්දේය. චන්ද්‍රිකා, අනුර දරු දෙදෙනා උස් මහත් වූයේ එම මන්දිරයේය. එම මන්දිරය ස්වදේශී ධනවතකු විසින් සාදවන ලද්දකි.

සුරතල් දරු තිදෙනකුද හදා වඩා ගනිමින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය රොස්මීඩ්හි මන්දිරයේ කාලය ගත කරන සමයේ එතුමිය සිය ස්වාමියා වූ බණ්ඩාරනායක ඇමැතිතුමාගේ සමාජ සේවා කටයුතුවලට සිය අනුග්‍රහය නොඅඩුව සපයමින් ගෘහණියක, බිරිඳක වශයෙන් විය යුතු යුතුකම්ද මැනවින් ඉටුකළාය. ඒ ගමන්ම එවකට සිටි සිසී කුරේ මෙනවිය සමඟ මහිලා සමිති ව්‍යාපාර කටයුතුවලද යෙදුණාය. සිය ස්වාමියා වූ බණ්ඩාරනායක ඇමැතිතුමා බලවත් සේ ප්‍රිය කළ චරකයෙන් නූල් කැට ගෙන අතරේදි වියන මැෂින්වලින් වියන ලද රෙදිපිළි නිෂ්පාදන දියුණු කරන්නට මහිලා සමිති ව්‍යාපාරය මගින් එතුමියද හැකිතාක් දිරිදී කටයුතු කළාය. එය පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් බණ්ඩාරනායක මැතිතුමාටද බලවත් සවියක්ද විය.

බණ්ඩාරනායක ඇමැතිතුමා තම නිලමය රාජකාරී ලත් පොදු මහජනතාව වෙනුවෙන් පෞද්ගලිකවත් කටයුතු කරද්දී දිවා රෑ කාල වේලාව නොබලා තම සෞඛ්‍ය තත්ත්වය ගැනවත් නොබලා කටයුතු කරද්දී ඒ ගැන විශේෂයෙන් තම සැලකිල්ල යොමුකර එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සොයා බලන්නටද එතුමිය හුරු පුරුදුව සිටියාය. සමහර විට බණ්ඩාරනායක මැතිතුමාගේ ශරීර සනීපය පිණිස කුඩා දරුවකුට සලකන අන්දමින් කටයුතු කරන්නටද මැතිනිය සිය සිත යොමු කළාය. කිසියම් දවසක තම සැමියාට මේ රටේ නායකත්වය හිමිවනු ඇතැයිද එම තත්ත්වය ලබාගනු පිණිස එතුමාගේ මනස පමණක් නොව ශරීර සුවතාව පිළිබඳවද තමන් මුල් විය යුතු යැයි සිතා කියා කටයුතු කළ බණ්ඩාරනායක මැතිනියගේ එම කාර්යභාරය සමහරුන්ගේ විමතියටද හේතු විය.

බණ්ඩාරනායක ඇමැතිතුමා සිය රාජකාරී නිසි ලෙස ඉටුකරමින් දේශීය නායකයන් සමඟ ගැවසෙන්නටද, පිටරටින් පැමිණි සම්භාවනීය අමුත්තන් හමුවෙහි සිය අද්විතීය කථිකත්වයේ දස්කම් දක්වමින් ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසියෙන් ඔවුන් මවිතයට පත් කරන විටදී සිරිමාවෝ බණ්ඩාරනායක කුලවමිය ඒ උදාර පුරුෂයාගේ සෙවණැල්ල ලෙස පසුපසින් සිට එතුමාගේ ප්‍රගතිය ඉත සිතින් ප්‍රාර්ථනා කළාය.

වර්ෂ 1956 අප්‍රේල් 13 වැනිදා - අලුත් අවුරුදු දින ලංකාවේ පොදු මහජනතාව බණ්ඩාරනායක මැතිතුමා ලංකාවේ හතර වැනි අගමැති හැටියට පත් කළේ දහසකුත් එකක් බලාපොරොත්තු රැසක් අරමුණු කරගෙනය. එතුමෝ සිංහල, බෞද්ධ ජාතික සංස්කෘතික හැඟීමකින් යුතුව සිය මහජන රජය මගින් නව ලොවක් විවර කළහ. වසර ගණනාවක් ඉක්ම යත්ම බලලෝභී ආත්මාර්ථකාමී පුද්ගලයන් රැසකගේ ග්‍රහණයට පත් වූ බණ්ඩාරනායක අගමැතිතුමෝ බිහිසුණු ලෙස ඝාතනය කරනු ලැබුවේය.

මුළු රටක, ජනතාවකගේ අනාගතය වෙනස් කරලීමේ හැඟීම් ඇතිව පොදු ජන සේවයේ නියැළි මහා පුරුෂයකුගේ අවසානය එසේ විය. එහෙත් මේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රාර්ථනා මල්පල ගන්වනු සඳහා ඔවුන්ගේ සුහද කාරුණික ආරාධනය පිළිගෙන- සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය සිය සදාදරණීය ස්වාමියාගේ අභාවයෙන් කලකට පසුව දෙනෙතේ රැඳි කඳුළු දහරා වියළාගෙන තම රටේ ජනතාවගේ පොදු මෙහෙවර උදෙසා පොදු ජන රැස්වීම් වේදිකාවට අවතීර්ණ වූවාය. විරුද්ධ වශයෙන් බලපෑ සියලුම දේශපාලන උරුමක්කාරයන් සියල්ලක්ම පසෙකට වීසිකර දමමින් වර්ෂ 1960 ජූලි 21 වැනිදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කොටුවේ අග්‍රාණ්ඩුකාර මන්දිරයේදී එවකට එහි සිටි ශ්‍රීමත් ඔලිවර් අර්නස්ට් ගුණතිලක අග්‍රාණ්ඩුකාර උතුමාණන් වෙතින් ලංකාවේ අග්‍රාමාත්‍ය පදවිය ලැබුවාය. එය මෙරට පමණක් නොව ලෝකයේම දේශපාලන විද්වතුන් පවා මවිතයට පත්කළ ගරු ගාම්භීර පත්වීමක්ද විය.

රජගෙදර දිවුරුම් දීමෙන් අනතුරුව නව අග්‍රාමාත්‍යවරිය මුලින්ම ගියේ බම්බලපිටියේ වජිරාරාමයටය. සිය කුඩා පුත් අනුර බණ්ඩාරනායක දරුවාද සමඟ එතුමිය ගිය හැම තැනකදීම මහජනතාව ඔල්වරසන් හඬ නඟමින් ඉහළින්ම පිළිගත්හ. වජිරාරාමයේදී ප්‍රභූ කාන්තාවක් විසින් සමන්පිච්ච මල් වට්ටියක් පිරිනමා එතුමිය පිළිගනු ලැබිණ. එහිදී එතුමිය මල් පහන් පූජා කොට තෙරුවන් පිහිට පැතුවාය. එහිදී අති පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමිපාණන් ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කර එතුමියට සුබ පැතූහ. පැවිදි, ප්‍රභූ හා සාමාන්‍ය ජනතාව එහිදී බලවත් සතුටකින් යුතුව සිටිනු දක්නා ලද්දේය.

මේ සුවිශේෂ අවස්ථාව වෙනුවෙන් අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නායක හිමියෝ අනුශාසනාවක්ද කළහ.

"කාන්තාවකට අගමැතිකම දැරිය හැකි දැයි පසුගියදා ඇති වූ ප්‍රශ්න දැන් විසඳී ඇත. හොඳ කල්පනාව, ගුණවත්කම හා අධිෂ්ඨානය ඇත්නම් කිසිම කටයුත්තකට ස්ත්‍රී පුරුෂ භේදයක් නැත. බණ්ඩාරනායක මැතිනිය කෙරෙහි මහජනතාව තබා ඇති බලවත් විශ්වාසය නිසාම මෙම තත්ත්වය එතුමියට ලැබිණ. එම නිසා පොදු මහජනතාවගේ සුබසෙත පිණිස දසරාජ ධර්මයෙන් රට පාලනය කිරීම වටිනේය. එයට මුළු රටේම මහා සංඝරත්නයේ ආශීර්වාදයත්, ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදයත් මහජන ආශීර්වාදයත් ඔබතුමිය වෙත පිරිනැමෙන බව කිව හැකියි." යනුවෙන් මඩිහේ මහ නායක හිමියෝ වදාළහ.

එතුමිය තරුණියක ලෙස කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ උසස් අධ්‍යාපනය ලබමින් සිටින යුගයේ නිවාඩුවක් සඳහා බළන්ගොඩ රත්වත්තේ වලව්වට පැමිණ සිටියදී එතුමියගේ කේන්දරය බැලූ වයෝවෘද්ධ වැඩිහිටියකු කියා සිටියා යැයි කියන්නේ අපූරු කතාවකි.

"අහන්න දෙයක් නෑ දිසා හාමුදුරුවනේ, අපේ මේ පුංචි කුමාරිහාමි මතු දවසක කලෙක ලංකාව පාලනය කරන එක ස්ථිරයි..."

"මොනවා? එහෙම දෙයක් වෙන්න අපේ කුමාරිහාමි ඒරොප්පෙ වික්ටෝරියා මහේසිකාවගේ පවුලෙ කෙනෙක්යැ? " යැයි එවිට එහි සිටි රත්වත්තේ මහ ළමාතැනී කියා සිටියේ එකල එය කිසිසේත් විශ්වාස කළ හැකි දෙයක්ද නොවූ බැවිනි.

දශක ගණනාවක් ගෙවී ගියාට පසු එතුමිය රටේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයකුගේ බිරිඳක්ව, විරුද්ධ පක්ෂයේ නායකයකුගේ බිරිඳක්ව, රටේ අගමැතිවරයාගේ බිරිඳක්ව - එතුමාගේ හදිසි අභාවයෙන් පසුව ලෝකයේ ප්‍රථම අගමැතිනිය බවට පත්වෙමින් ලංකාවේ පාලනය සියතට ගත් මහා රැජිනිය බවට පත්වූවාය. දෛවයේ බලපෑම කිසිවකුට කිසි ලෙසකින් හෝ වළකන්නට බැරි බව එයින්ද ඔප්පු කෙරිණ.

මෙසේ සක්‍රියවම දේශපාලන කාර්යභාරයට මුල්වූ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනියට පසුකලෙක කොතෙක් බාධක, හිරිහැර, කරදරවලට මුහුණ දීමටද සිදුවිය. එහෙත් එතුමිය මහත් සේ පුරුෂ ධෛර්යය ගෙන පුරුෂයන් දස දෙනෙකුගේ බලය ලබා ගත්තාක් වැනිව සිය රට පාලනය කිරීමෙහි චිත්ත ශක්තිය වඩවා ගත්තාය.

තම ස්වාමියා වූ බණ්ඩාරනායක මැතිතුමාටත් වඩා ඉදිරියට ගොස් සමාජ ප්‍රශ්නවලට ස්ථිරසාරව තීරණ නිගමනවලට පත්ව කටයුතු කිරීමෙහි ලා එතුමිය පෑ දස්කම් එකල සමහර ප්‍රවීණ දේශපාලනඥයන්ගේ මවිතයටද හේතු විය. එහෙයින්ම දශකයක් හමාරයක් ගතවන තුරු එතුමිය ලෝකයේ පොදුජන ප්‍රධානීන් අතරද සමඅසුන් ගැනීමෙහි දේශපාලන ප්‍රඥාවකින් යුක්ත වූවාය.

බණ්ඩාරනායක අගමැතිතුමියගේ දේශපාලන ජීවිතයේ අග්‍රඵලය ලෙස හැඳින්විය හැක්කේ ලෝකයේ සෙසු රටවල රාජ්‍ය නායකයන් එකට එකතු කළ නොබැඳි සමුළුවයි. වර්ෂ 1972දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමුළු ශාලාවේදී මුළුදුන් එම සමුළුව පැවැත්වීම නිසා එතුමිය තුළ පැවති අධිෂ්ඨාන ශක්තිය, කාර්ය ශූරත්වය හා ලොව සෙසු ජන නායකයන් හා සමඟ ඇතිකර ගන්නා ලද සුහද ඇසුර මනා ලෙස විදහා දැක්විණි.

ලොව නොබැඳි ජාතීන් එකම හුයකට බැඳ පෙන්වා එතුමිය ලත් ජයග්‍රහණය බලලෝභී බවින් නොයෙකුත් මතවාදී පිල්වලට බෙදී ගත කරන රටවල්වලට ගසන ලද අතුල් පහරක් මෙන් විය. ඔවුහු එයින් මේ පුංචි ලංකාවේ පාලන භාරය දරන මහිලාවගේ වික්‍රමය සිතින් මනසින් විඳ දරා ගෙන එය ඉතිහාසයට එක්කළහ.

තවත් දශක ගණනාවක් ගෙවී යද්දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට නොයෙකුත් ජීවිත පෙරළිවලටද මුහුණ දීමට සිදුවිය. එමෙන්ම පරාජය අත්දකින්නටද සිදුවිය. එසේම තම බාල දුවණිය පක්ෂයේ නායකත්වය ලබා තමන් මෙන්ම රටේ අග්‍රමාත්‍ය තනතුරටද පත්වනු දැකීමේ අවස්ථාවද හිමි විය. එපමණක්ද නොව ඉන්පසු එම බාල දුවණිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනිය මුළු රටේම ජනතාවගේ ජනාධිපතිනිය හැටියට පත්වීම දැකගන්නටද එතුමිය වාසනාවන්ත වූවාය. අවසානයේ එතුමිය යටතේද යළි සිරිමාවෝ මැතිනිය අග්‍රමාත්‍ය පදවියද දැරුවාය.

පසුව අග්‍රාමාත්‍ය පදවියෙන් විශ්‍රාම ලබා සිටින එක් දිනෙකදී එතුමිය මහ මැතිවරණයකදී සිය ඡන්දය පාවිච්චි කිරීමට අත්තනගල්ලේ සංඝබෝධි විද්‍යාලය කරා ගියාය. එහිදී සිය ඡන්දය පාවිච්චි කළ එතුමිය සිය වැඩිමහල් දියණිය වූ සුනේත්‍රා බණ්ඩාරනායක මැතිනිය සමඟ යළි රොස්මීඩ් මන්දිරය බලා පිටත් වූවාය. එසේ එතුමිය රැගත් මෝටර් රථය කඩවත ප්‍රදේශයේ ගමන් ගන්නා විට එතුමියගේ සෞඛ්‍ය තත්ත්වය වෙනසක් වීම නිසා සුනේත්‍රා මැතිනිය, පෞද්ගලික ආරෝග්‍යශාලාවක් අසල රථය නතර කොට රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා රථය වෙත ගෙන්වා බණ්ඩාරනායක මැතිනිය පෙන්වූවාය. එතුමිය පරීක්ෂා කළ වෛද්‍යවරයා කියා සිටියේ සුළු වේලාවකට පෙර එතුමිය අභාවප්‍රාප්ත වී ඇති බවය.

මෙසේ එතුමිය අභාවයට පත්වූයේ දශක ගණනාවක් පොදුජන සේවයට උපහාරයක්ද වශයෙනි. ඔක්තෝබර් මාසයකම බණ්ඩාරනායක අගමැතිතුමා සමඟ විවාහයට පත් සිරිමාවෝ මැතිනිය ඔක්තෝබර් මාසයේදීම අභාවයට පත් වූයේද දෛවයේ උරුමයක්ද ලෙසිනි. මෙතෙක් කල් ගත වුවද බණ්ඩාරනායක අගමැතිනිය රටේ පොදු ජනතාව උදෙසා කළ කී දේ අදටත් මහත් භක්තියෙන් යුතුව මතකයට නඟාගන්නා පොදු මහජනතාව එතුමියට නිරතුරුව පින්පෙත් දෙති.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා