වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

පැහැදුල සඟරාව ශිෂ්‍ය නිර්මාණ එකතුවකි. එහි මංගල කලාපය නිකුත්ව ඇත.

මප/මහ/ කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ පැහැදුල කලා කවය වෙනුවෙන් ප්‍රියන්ත ජයරත්න විසින් මෙය සංස්කරණය කරනු ලැබ ඇත.

ඔවුන් දිරිගැන්වීම පිණිස සඟරාවෙහි ඇතුළත් ලිපියක් මෙහි පළ කෙරේ.

වොල්ගා නදී තෙරෙන් බිහි වූ ගෝර්කි

"මා වැඩියෙන් පොත් කියවූ තරමට ඒ පොත් මා ලෝකයට වඩවඩාත් ළංකොට බැඳ තැබුවේය. ජීවිතය මට වඩවඩාත් ප්‍රාණවත් විය. පැහැදිලි විය. අර්ථවත් විය."

මේ කියමන ලෝකය පුරා තම නම කීර්තියට පත්කළ සෝවියට් දේශයේ ශ්‍රේෂ්ඨ කතුවරයකු වූ මැක්සිම් ගෝර්කිගේය.

"හොඳ පොතක් කියවීමට ලැබීම විශාල සතුටකි."

ගෝර්කි තම ප්‍රංශ මිතුරු ලේඛකයකුට ලියා යැව්වේය. ගෝර්කිගේ ළමා විය මෙන්ම තරුණ කාලයද අතිශයින්ම දුක්බර, කටුක එකක් විය. ඔහු ළමයින් හා තරුණයන් ගැන විශේෂ අදහස් විටින් විට ප්‍රකාශ කළේය.

1868 මාර්තු 16 දා වොල්ගා නදිය අසබඩ පිහිටි නිෂිනි නොවුගොරොද් නම් නගරයේ ගෝර්කි උපන්නේය. ගෝර්කිගේ මව්පියන් ඔහුට තැබූ නම වූයේ ඇලෙක්සි මැක්සිමෝවිච් පෙෂ්කෝව්ය.

කම්කරුවකු වූ ගෝර්කිගේ පියා මෙන්ම දුප්පත් පාරු පදවන්නකුගේ දුවක වූ ඔහුගේ මවද ඔහු කුඩා කාලයේදී මිය ගොස් ඇත. නපුරු සීයාත් කාරුණික ආච්චීත් ළඟ ගෙවුණු ගෝර්කිගේ ළමා කාලය අතිශයින්ම දුක්බර විය. ඒ නිසා ඔහු හැදුණු වැඩුණු මිනිසකු වූ පසු ළමයින් යනු සියලු දෙනාගේම අවධානය හා දයාව ලැබිය යුතු පිරිසක් බව අවධාරණය කළේය. නපුරු සීයාගේ පීඩනවලින් මිදී ඔහු වරක් දෙවරක් නිවසක මෙහෙකාර කොලුවකු ලෙස ජීවත් විය. එහිදී ඔහුට දයාව නොලැබිණ. ඔහු අපහසුවෙන් කියවූ පොත් ස්වාමි දුව විසින් පුළුස්සනු ලැබිණි. මහපාරවල ඉබාගාතේ යමින් ජීවිතය උදෙසා දස දුක් වින්ද මේ මිනිසා, තම ළමා කාලයේදීත් ඉන් පසුවත් ලද පීඩාවන්ගෙන් සිත ඔද්දල් කර නොගත්තේය. නිසි ලෙස අධ්‍යාපනය ලබන්නට සමාජය වරම් නොදුන්නද කරදර බාධක පසු කරමින් නොයෙකුත් ග්‍රන්ථ රචනා කිරීමට සමත් වූ මැක්සිම් ගෝර්කි 1930 ජූනි මස මෙලොවින් සමුගත්තේ ලෝක සාහිත්‍ය කෙතට විශාල හිදැසක් ඉතිරි කරමිනි.

[ඉෂාකා හංසනී]


මමත් ඔය විභාගය ලියුවා මතකයි...

අපේ පුංචි නාට්‍ය වේදිකා ගත කරලා අවසන් වුණු විගසම අපි එකිනෙකා අත් අල්ලාගෙන සතුට බෙදා ගත්තා. මොහොතකට අපි අපේ කූඹි රාජ්‍යයේ ඔටුනු පැලඳුවා. ආදර්ශවත් රාජ්‍යක් පිහිටුවූවා. ඒ මොහොතේ අපිට ඇත්තටම අමතක වුණා අපේ ඒ සතුටේ හඬ ඊළඟට වේදිකාවේ රඟ දැක්වෙන නාට්‍යයට බාධාවක් කියලා. මට මතක් වුණේ ජයලත් මනෝරත්න සර් කියන කතාවක්. වේදිකාව උඩ ඉන්න අපිට මහ පොළවේ ඉන්න අයට වඩා ගොඩක් දේ පෙනෙනවා. පැහැදිළිව... හොඳින්.

ඒ හැම දෙයක්ම අවසන් වෙලා. අපි ඇඳුම් මාරු කරගන්න සූදානම් වුණු මොහොතේ එක පාරටම දුකින් හඬන හඬක් කාමරය පුරා පැතිරෙන්න වුණා. “කවුද අඬන්නේ....? ඇයි මොකද වෙලා තියෙන්නේ...?” හැමෝටම මේ අඬන කෙනා ගැන විමතියක්. කාමරය කෙළවරක කේනුල මල්ලී එයාගේ අම්මාගේ පපුවට හිස තියාගෙන අඬනවා. ඒ දුක අපි හැමෝටමත් දැනෙන තරම්. “ඇයි මල්ලී අඬන්නේ...?” කාට වුණත් ඉබේම ඇස්සවෙන ප්‍රශ්නය මමයි කලින්ම ඇහුවේ. ඒත් එක්කම මල්ලීගේ හැඬීම තවත් වැඩි වුණා වගේ දැනෙන්නේ. ටික වෙලාවකට කලින් කූඹි පැටියෙකුගේ චරිතය අපූරුව හැඩ කළ මේ පුංචි සහෝදරයා දැන් වේදනාවෙන්. අපේ සතුට වේදිකාවට ඉහළින් තියන කවුළුවෙන් පියාඹලා ගියා වගේයි. කවුරුවත් කිසිම කතා බයක් නැතිව බලාගෙන ඉන්නවා.

“පුතේ මල්ලීගේ විභාග ප්‍රතිඵල ඇවිත්.”

“ඉතින් නැන්දා මල්ලී අඬන්නේ ඇයි...?”

“අනේ පුතේ... මල්ලී පාස් වෙලා නැහැනේ. මම අද උදේම දන්නවා මල්ලීට ලකුණු මදි කියලා. නාට්‍ය රඟපාන එකත් නොකර ඉඳියි කියලා කිව්වේ නැහැ.” නැන්දා අන්තර්ජාලයෙන් උදෙන්ම ප්‍රතිඵල බලන්න ඇති. ඒත් මල්ලීගේ හිත රිදවන්න ඇති අකමැත්ත නිසා මේ වන තුරු නොකියා ඉඳලා.

මගේ මතකය අවුරුදු කිහිපයක් පරණ මතකයක් හොයනවා. අපේ පංතියේ හිටිය හැම යාළුවෙක්ම හතර වන ශ්‍රේණියේ අන්තිම වාරය වෙන තුරුම එකා වගේ සහෝදරකමින් එකට බැඳිලා හිටියා. ඒත් පහේ පන්තියට ගිය දවසේ ඉඳන් අපි අතරේ ඇඳුනුකමක් නැහැ වගේ දැනෙන්න වුණා. ඇත්තටම පංතියේදී වත් එකිනෙකා කතා බහ කරන එක අඩු වෙලා ගියා. වෙනදා යාළුවෙකුට පාසල් එන්න බැරි වූ දවසකට පහුවදාට අතපසු වුණු පාඩම් කියලා දෙන්න විතරක් නෙවෙයි සටහන් පොත දෙන්න තරම් ළෙන්ගතු වූ අය පොත දෙන්න බැහැ කියන්න තරම් ඈතකට යන්න ගියා. වැරදීමකින්වත් තමන් සවසට සහභාගි වෙන අමතර පංතිය ගැන යාළුවාට කියන්නවත් බොහෝ අයට අමතක වෙලා ගියා. ඒ විතරක්ද? එහෙම අපේ කවුරුන් හරි පාසලට නෑවිත් හිටියොත් පාසල පටන් අරන් විනාඩි කීපයක් යන්න කලින් ඒ හැමෝගෙම අම්මලා දුරකතන ඇමතුමක් ගන්න අමතක කළේ නැහැ. “අක්කා, පුතා අද ඉස්කෝලේ ආවේ නැහැ නේද... ඇයි මොකක් හරි අසනීපයක් ද...? මම හෙට පොත් ටික එවන්නම්. ලියා ගන්න කියන්න, අද ගෙදර වැඩ.” ඒත් පහේ පන්තියේ දී ඒ වගේ ආදරණීය ඇමතුම් දෙමාපියන්ගෙන් ඈතටත් යන්න ගියා. හැමෝම නොපෙනෙන තරඟයකට දුවන්න ගත්තා. ඒ හැම දේකටම වැඩියෙන් අපූරු දෙයක් වුණේ පෙරහුරු ප්‍රශ්න පත්‍රයක් දුන්න දවසට යි. එදාට ගොඩක් අම්මලා ඒ පුතාගෙන් අහලා තියෙන්නේ ඉස්සල්ලාම යාළුවාගේ ලකුණු කීයද කියලයි. දරුවන් පාසල් ඇරිලා එළියට එනතුරු එක කුඩයක හෙවනේ උන්නු ඒ අය වෙන් වෙන් ව හුදකලාවේ.

මට අමතක නොවෙන ම අත්දැකීම විඳින්න ලැබුණේ විභාගයට කලින් දවසෙයි. අපි හැමෝම ගුරුතුමිය පංසලට එකතු කරන් ගියේ ඒ ආශිර්වාදයත් වැදගත් නිසා වෙන්න ඇති. ඒත් එදා ඒ හැම තැනකම සිය ගණනක් අපේ යාළුවන් පෝළිම්වලට එකතු වෙලා. සමහර කෙනෙකුට තමන්ගේ කාණ්ඩය මග හැරිලා. අන්තිමට තනිකමින් වගේම බය නිසා හඬන සහෝදර සහෝදරියන් ඒ හැම තැනකම දකින්න පුළුවන් වුණා. මම මගේ ගුරුතුමිය අපහසුවෙන් එහා මෙහා ගිහින් හොයා නොගත්තා නම් මමත් එදා ඒ කොටසටම එකතු වෙලා. මේ විදිහට එදා කාලය ගෙවිලා විභාගය ලියන දවස ගෙවිලා ගියා. මාස කිහිපයක් ඈතින් හිටි හැම යාළුවෙක්ම වෙනදා වගේම අත්වැල් අල්ලාගෙන සෙල්ලම් කරන්න, ආ ගිය තොරතුරු කියන්න පටන් ගත්තේ අමතක වුණු දේ පවා මතක් කරමින්. ඒ සතුට අපිට දීලා විභාගය යන්න ගිහින්. ප්‍රතිඵල ආපු දවසත් හරිම හැඟුම්බර දවසක්. හැම දේකටම වැඩියෙන් සමහර අම්මලා අඬන විදිහ දකින්නයි මම අකමැති වුණේ. ඇත්තට ම ඒ සමහර කෙනෙක් එදා ඇඬුවේ දුකින්ද, සතුටෙන්ද...? ඊළඟ දින කීපය ගෙවිලා ගියේ ඒ ප්‍රතිඵල එක්ක.

මාස තුනකට පසු අලුත් පාසල් වාරය පටන් ගත්තා. අපි හැමෝටම ඒ අපූරු විභාගය අමතක වෙලා ගිහින්. කිසිම කෙනෙක් නිකමටවත් “පුතා ඔයා ශිෂ්‍යත්ව විභාගය සමත්ද.? කියන දේ තබා, පුතා ඔයා ශිෂ්‍යත්ව විභාගය ලියුවා ද...?” කියලාවත් අහන්නේ නැහැ. කේනුල මල්ලීත් ඉක්මනින්ම අපේ කූඹි රාජ්‍යට ආපහු ඒවි. සතුටින් හිනා වෙන්න.

මමත් ඒ විභාගය ලියුවා මතකයි...

[චමත්ක කවීන්


වර්ණ තවරමින්, රේඛාවන් අදිමින්, තමන්ට දැනෙන, හැකි දෑ ළමයි අඳිති. අඳින කොළය කුඩා වන තරමට ළමයා අඳින දේද කුඩා වේ. ළමයා බිත්තියක අදින්නේ අතපය විහිදාගෙන නිදහසේය. පාසැලේදී හෝ ටියුෂන් පන්තියේදී A- 4 කොළයට කොටුවෙන ළමයා කුරුමිට්ටන් අඳින්ට පෙළඹේ.

මේ තත්වය නිර්මාණ කරණයේදී තිබිය යුතු නිදහස ළමයා තුළින් ඉවත් කර දැමීමක්. කුඩාවට අඳින ළමයාට ලොකුවට ඇඳීම වධයක්ද වේ. මේ ඇබ්බැහිය ළමයාගේ අනාගතයට සුදුසු නොවේ.

මේ දැරියගේ නිර්මාණය බලන්න. එය නිදහස්ය. ඇයගේ තරමට හැඩතල, වර්ණ යොදැ ඇති අයුරු රසවත්ය. අපි මේවා රසවිඳිය යුත්තේ අපේ දැනුම මත පිහිටා නොවේ. පන්තියක්ම නොවන චිත්‍ර පන්තිය දෙමාපියන් හා සංවාදයේ යෙදෙන්නේ මේ රසවිඳීමේ පුරුද්දට ඔවුන්ද ඇබ්බැහි කරගැනීම සදහාය. මේ ගැන ඔබටත් යමක් කියන්ට ඇත්නම් පහත ඊ ලිපිනයට ලියන්න. [email protected]

චිත්‍රය නිර්මාණය කලේ ‍

නේලි රුවන්පතිරණ

**************

වැලිමිදුල පිටුවට ඔබ එවන නිර්මාණ අතරින් හොඳම නිර්මාණය සඳහා සතිපතා ‘රන්පෑන‘ ත්‍යාගය වශයෙන් අගනා පොතක් පිරිනැමේ. මේ සඳහා පොත් ලබාදෙන්නේ ‘සන්ථව‘,‘සූරිය‘,‘ග්‍රැෆිකෙයා‘ යන ප්‍රකාශන ආයතනයි. ඔබේ චිත්‍ර, කවි, රචනා, කෙටිකතා සහ වෙනත් ලිපි, පන්තිභාර ගුරුතුමාගේ/තුමියගේ අනුමැතිය ඇතිව පහත ලිපිනයට එවන්න.

වැලිමිදුල සංස්කාරක,

රැස කතුමඩුල්ල,

ලේක් හවුස්,

ඩී.ආර් විජේවර්ධන මාවත,

කොළඹ 10.

 

මාතෘකා