තැන් තැන්වලට වැටුණ අමුතු වැසි

 ඡායාරූපය:

තැන් තැන්වලට වැටුණ අමුතු වැසි

මීට ටික කලකට ඉහත දී මුලතිව් ප්‍රදේශයට අයිස් වැස්සක් වැටුණි. ශ්‍රී ලංකාව වැනි ඝර්ම කලාපීය රටකට අයිස් වැස්සක් වැටීම අසාමාන්‍ය දෙයක් ලෙස සැලකේ. කෙසේ නමුත් උපනිවර්තන හා ධ්‍රැවාසන්න දේශගුණයක් ඇති රටවලට අයිස් වර්ෂා පතිතවීම එතරම් විරල නොවේ.

ලොව විවිධ ප්‍රදේශවලට අතීතය පුරා ඉතා අසාමාන්‍ය වැසි වැටී තිබේ. මින් සමහරක් විශ්වාස කිරීමට අපහසු තරමේ 'විකාර රූපී' ඒවාය. මේ එවැනි කිහිපයක් ගැන තොරතුරුයි.

ගෙඹි වර්ෂා

1873 දී ඇමෙරිකාවේ කැන්සාස් නුවරට ගෙම්බන් සහිත වර්ෂාවක් ඇදහැලුණි. මීට අමතර ව 1901 දී මිනසෝටා ප්‍රාන්තයට මෙන්ම, 1981 දී ග්‍රීසියටත් මෙවැනි ම 'ගෙඹි වර්ෂාවක්' ඇදහැලී ඇත. විශේෂත්වය වන්නේ ග්‍රීසියට වැටුණු මෙම ගෙම්බන් විශේෂය උතුරු අප්‍රිකාවට ආවේණික විශේෂයක් වීම යි.

බයිබලයට අනුව 'ගෙම්බන් අහසින් වැටීම' හඳුන්වන්නේ ප්‍රබල ශාපයක ලකුණක් ලෙස යි. කෙසේ නමුත් විද්‍යාත්මකව බලන කල ගෙම්බන් හෝ ඉස්ගෙඩියන් ගහන වර්ෂා ස්වභාවයේ ඇති විය හැකිය. ගෙම්බන් හා ඉස්ගෙඩියන් ඒ තරම් බරින් යුතු ජීවීන් නොවන අතර, ටොනාඩෝවක් වැනි ප්‍රබල සුළඟක් ජල ප්‍රභවයකට ඉහළින් නිර්මාණය වන විට ඇති වන ප්‍රබල ආකූල ප්‍රවාහ නිසා එම ජලතලය තදාසන්නව සිටින කුඩා, සැහැල්ලු වස්තූන් ඒත් සමඟ ඉහළට ඇදී යා හැකිය. සුළඟේ ප්‍රබලත්වය අඩු වන විට වැස්සක් ලෙස ඒවා නැවත පොළොවට ඇදී එයි.

මත්ස්‍ය වර්ෂා

ඉතිහාසය පුරා ම වරින් වර ලොව තැනින් තැන මත්ස්‍ය වර්ෂා ඇති වී තිබේ.

ශ්‍රී ලංකාව ද 2014 දී මත්ස්‍ය වර්ෂාවකට මුහුණ දුන්නේය. කෙසේ නමුත් මත්ස්‍ය වර්ෂා අතරින් වරෙක ඉන්දියාව මුහුණ දුන් මත්ස්‍ය වර්ෂාව විශේෂිත වූවක් වන්නේ එය ඉතා තදබල එකක් වීම නිසාය. එහි දී පොළොවට පතිත වූ සමහර මසුන් රාත්තල් 8ක් තරම් බරින් යුක්ත වූ බව පැවසේ.

1861 දී භූමිකම්පාවක් සිදුවීමෙන් අනතුරුව සිදු වූ මත්ස්‍ය වර්ෂාවක් ගැන සිංගප්පූරුවෙන් වාර්තා විය. මීට අමතරව 1948 වසරේ එංගලන්තයෙනුත්, 1966 දී ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරිනුත් මත්ස්‍ය වර්ෂා වාර්තා වී ඇත. 1989 දී ඕස්ට්‍රේලියාවේ ම ඉස්ප්විච් නුවරට තවත් මත්ස්‍ය වැස්සක් වැටුණි. මෙහි දී සාඩින් මසුන් 800ක් පමණ පොළොවට පතිත වූ බව සඳහන්ය.

මත්ස්‍ය වර්ෂා සිදුවන්නේ ද ජලතල ආසන්න ව දැඩි සුළං ප්‍රවාහ නිර්මාණය වීම නිසාය. ගෙඹි වර්ෂාවලට වඩා මත්ස්‍ය වර්ෂා සුලබ වන්නේ ඔවුන්ගේ අනාකූල හැඩය නිසා සුළං ප්‍රවාහ සමඟ ඉහළට ඇදී යෑම වඩා පහසු වීම හේතුවෙනි.

මකුළු වර්ෂාව

බ්‍රසීල ජාතිකයකු වන එරික් රීස් එක් වරෙක 'මකුළු වර්ෂාවක්' අත්දුටුවේය. ඔහු එය රූපගත කරගෙන අන්තර්ජාලයට පවා මුදාහරින්නට කටයුතු කළේය. මෙම වර්ෂාවේ දී පතිත වී ඇත්තේ 'එක්සිමස් ස්පයිඩර්' නම් ඉතා කුඩා මකුළු විශේෂයකු ය. මොවුන් සාමාන්‍යයෙන් ගොදුරු අල්ලාගැනීම සඳහා උස් ගස්වල දැල් බැඳීම සිදු කරන මකුළු විශේෂයකි. බ්‍රසීලයේ සමහර පෙදෙස්වල මොවුන් බහුල ව වෙසෙන අතර, මොවුන් රාශියක් ජීවත් වන ප්‍රදේශයක් ඔස්සේ හමා ගිය බලවත් සුළං ප්‍රවාහයක් හේතුවෙන් මොවුන් ගුවන්ගත වී නැවත පතිත වෙන්නට ඇති බැව් විශ්වාස කෙරේ.

මාංස සහ රුධිරය

මාංස කැබලි හා සමහර විටෙක රුධිරය ද අහසින් වැටුණු අවස්ථා ගැන ඉතිහාසයේ සඳහන් වේ. 1876 මාර්තු මස 3 වන දා ඇමෙරිකාවේ කෙන්ටකි ප්‍රාන්තය තුළ පිහිටි ඔලිම්පියා ස්ප්‍රින්ග්ස් නම් කුඩා නගරයට හදිසියේ 'මස් කැබලි' වර්ෂාවක් ඇදහැලෙන්නට පටන්ගත් අතර මෙහි දී අඟල් 2-4 ප්‍රමාණයේ දිග පළලකින් යුතු මස් කැබලි රාශියක් ඇදවැටී තිබේ. පසුව ඒවා මිනිස් ළදරුවකුට හෝ අශ්වයකුගේ පෙණහැල්ලක කොටස් බවට හඳුනාගැනුණි.

මේ අමුතු වර්ෂාව පිළිබඳ පර්යේෂණ සිදුකෙරුණු අතර එහි දී නිගමනය කෙරුණේ මාංස භක්ෂක කුරුලු රෑනක් විසින් මියගිය අශ්වයකුගෙ කොටස් අනුභව කොට ඉතිරිය රැගෙන යාමට තැත් කිරීමේ දී ඒවා බලවත් සුළං ධාරාවකට මුසු වී ගිලිහී යෑම නිසා මෙම වර්ෂාව පතිත වී ඇති බවය.

1890 වසරේ ඉතාලියෙන් රුධිරය සහිත වර්ෂාවක් වාර්තා විය. මෙම රුධිරය පක්ෂී රුධිරය බැව් හඳුනාගැනුණි. මීට අමතරව 1869 දී කැලිෆෝනියාවෙන් ද, 1841 දී ටෙනිසි ප්‍රදේශයෙන් ද රුධිරය හා මාංස මිශ්‍රිත වර්ෂා වාර්තා වී ඇත.

පණු වර්ෂා

2001 මාර්තු මස 4 වන දා එංගලන්තයේ පාපන්දු ක්‍රීඩා කරමින් සිටි කිහිපදෙනෙකුට පණු වර්ෂාවක් අත්දැකීමට හැකි විය. මෙහි දී බිම් පණුවන් කැදලි පිටින් පොළොවට පතිත වී තිබේ. සත්ත්වයින් වැනි ද්‍රව්‍ය ඇද හැළුණු අනෙකුත් අවස්ථාවල මෙන් නොව, මේවා වර්ෂාව සමඟ බිම පතිත වී නොතිබූ අතර පැහැබර කාලගුණයක් තිබූ එම දිනයේ එක්වරම මෙම පණුවන් පො‍ළොවට ළඟා වී තිබේ. 2007 දී මෙවැනි ම පණු වර්ෂාවක් ඇමෙරිකාවේ ලුසියානා ප්‍රාන්තයෙන් ද වාර්තා විය. මේ ආකාරයේ පණු වර්ෂා වියළි නමුත් ප්‍රබල සුළං ධාරා බිම පණුවන් වෙසෙන එළිමහන් තැනිතලා ඔස්සේ හමා යාම නිසා සිදුවන්නේයැ යි අනුමාන කරන මුත්, තවමත් එය හරිහැටි තහවුරු කරගෙන නැත.

මුදල් වර්ෂා

ජල බිඳුවලට අමතර ව අහසින් විවිධ වස්තූන් ඇදවැටීම ඒවා අත්දකින උදවියට එතරම් ප්‍රසන්න හැඟීමක් ජනිත නොකරන නමුත්, මේ වර්ගයේ වර්ෂා පිළිබඳ ව නම් තත්ත්වය එසේ වෙන්නේ නැත. 1957 වසරේ ප්‍රංශයේ කුඩා නගරයකට මුදල් නෝට්ටු වර්ෂාවක් වැටුණි. මේ සියල්ල ම පාහේ ෆ්‍රෑන්ක් 1000 නෝට්ටු විය. මේ ආකාරයට ම චිකාගෝ නුවරට ඇමෙරිකන් ඩොලරයේ නෝට්ටු වර්ෂාවක් ඇදහැලුණේ 1975 දීය.

1968 දී එංගලන්තයේ රැම්ස්ගේට් ප්‍රදේශයට පැන්ස වර්ෂාවක් ඇදහැලුණි. නැවතත් එරටින් මෙවැනිම 'වර්ෂාවක්' 1981 දී වාර්තා විය. මුදල් නෝට්ටු, මාංස, ගෙම්බන්, හා මත්ස්‍යයින්ට වඩා බොහෝ සෙයින් සැහැල්ලු නිසා මුදල් සහිත මල්ලක් වැනි යමක් ප්‍රබල සුළං ප්‍රවාහයකට හසු වී ගසාගෙන යෑම පහසුවෙන් සිදුවිය හැකිය.

[දිනිඳු ඒකනායක]

ලිපියේ හිමිකාරිත්වය 'Roar සිංහල' සතුය.

මාතෘකා