එන පොට හොඳ නැත

 ඡායාරූපය:

එන පොට හොඳ නැත

එන පොට හොඳ නැතැයි ලියන්නට සිදු වීම හොඳ දෙයක් නොවේ. නමුත් ලියන්නට සිදුව තිබේ; මහජන සුබ සිද්ධිය පිණිසය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක යනු ජෝකරයෙකැයි මතයක් සමාජගත වී පැවතිණ. මෙය තීව්‍රත්වයට පත් වූයේ තාජුඩීන් ඝාතනයේදීය. එය හදිසි අනතුරකින් සිදු වූවකැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පුන පුනා ප්‍රකාශ කළේය. ඒ වන විට ඝාතනය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදු කර නොතිබිණ. ඉහළින් එල්ලවූ බලපෑම් නිසා එසේ වූ බව දැන් අනාවරණය වෙමින් පවතී. තාජුඩීන් ඝාතනය ගැන ප්‍රමාද වී හෝ පරීක්ෂණයක් සිදු කිරීම නිසා එම තත්වය උදා විය. එකල සුදු වෑන්වලින් ප්‍රසිද්ධියේ පැහැර ගෙන යෑම් සිදු විය. සැකකරුවෝ අත්අඩංගුවේදී ඝාතනයට ලක් වූහ.

ඒ පිළිබඳ පොලිස් නිවේදනය ගිරවකු මෙන් ප්‍රකාශ කරන ලද්දේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසිනි. ආණ්ඩුවේ මතය පොලිසියේ මතය විය. පොලිසියට මතයක් නොවීය.

කෙටි මං සෙවීම

යුද ජයග්‍රහණයෙන් උදම් වී සිටි ආණ්ඩුව විරුද්ධ මත දරන්නන් නිහඬ කිරීම සඳහාද අත්අඩංගුවට ගත් සැකකරුවන් මර්දනය කිරීම සඳහා ද පිළිගත් නීතියට පටහැනි ක්‍රියාමාර්ග අනුගමනය කළේය. ආරක්ෂක ලේකම්වරයාගේ අනුහස මේ බොහෝ කටයුතුවලට බලපෑ බව පෙනෙන්නට තිබිණ.

ශ්‍රී ලංකාවේ අධිකරණයට ආවේණිකවූ නඩු ප්‍රමාදය අපරාධකරුවන්ට යම් අස්වැසිල්ලක් විය. මේ නිසා අධිකරණ ක්‍රියාවලිය වේගවත් වන තුරු බලා නොසිට කරදරවලින් නිදහස් වීමේ කෙටි මාර්ග සෙවීම කෙරෙහි නීතිය කරවන්නන්ගේ අවධානය යොමු වූ බව පෙනේ.

මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ අපරාධවලට චෝදනා ලැබූ පුද්ගලයන් අත්අඩංගුවට පත් වූ පසු ඝාතනය කිරීමය. ඝාතනයට ලක් වීමේ හේතුව ප්‍රහසනයක ආකාරයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි.

ඒ අනුව සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ආයුද ඇති තැන් පිළිබඳ ප්‍රකාශ කිරීමෙන් පසුව සැකකරු ආයුද සඟවා ඇති ස්ථානයට ගෙන යති. සැඟවූ ආයුදයක් ගෙන පොලීසියට පහර දීමට යෑමේදී පොලිසිය ආරක්ෂාව සඳහා සැකකරුට වෙඩි තබයි.

පොලිසියේ ප්‍රබන්ධ කලාව

කල් යන විට පොලිසියේ ප්‍රබන්ධය හාස්‍යයට ලක්වන තත්ත්වයක් උදාවිය. එනිසා නව ප්‍රබන්ධයක් නිර්මාණය කෙරිණ. එහිදී සිදුවන්නේ සැකකරු අත්අඩංගුවට ගෙන රැගෙන යන අතරතුර මාංචු පිටින් පොලිසිය සමඟ පොර බදා ජලාශයකට පැනීමය! එහිදී සැකකරු හුස්ම හිර වී මිය යයි. මෙයද අතේ පත්තු වන කෙප්පයකි. මෙහිදී අධිකරණයේ හැසිරීමද හාස්‍යජනකය.

මහෙස්ත්‍රාත්වරයා මිනිය පරීෂාකර බලා හුස්ම හිරවීම හෝ වෙනත් හේතුවක් අනුව මරණය සිදුවූ බවට නිගමනය දෙයි. ඉන්පසු සියල්ල අවසන්ය. මෙය ඉතා සරල හා පහසු ක්‍රමයකි.

"නඩු අහල වැඩක් නෑ. ඕකුන් මරන එකමයි හොඳ"

මහජන ප්‍රසාදයද ලැබේ. මෙහි තවත් නොපෙනෙන කතාවක් තිබේ. එනම් ඇතැම් අපරාධකරුවන් සමඟ පොලීසියටද "ඩීල් "පවතී. නඩු විභාගයකදී මේවා එළියට ඒම භයානක වන හෙයින් ඉක්මනින් එලොව යැවීමෙන් ප්‍රශ්නය විසඳේ. පසුගිය ආණ්ඩුවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එල්ලවූ චෝදනා අතර මානව හිමිකම් කඩවීම්ද ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවේ පොලිසියට ඒ සම්බන්ධයෙන් ඇත්තේ බරපතළ චෝදනාවකි.

ක්‍රෑරත්වය

අත්අඩංගුවට පත්වන විත්තිකරුවන්ට එරෙහිව ක්‍රෑරත්වය මුදා හැරීම පොලීසියේ පුරුද්දකි. ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් චිත්‍රය අඳුරු එකක් වීම ජාත්‍යන්තර වශයෙන් කොන් වීම කෙරෙහිද බලපෑවේය. ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා යහපාලන ආණ්ඩුවේ නායක දෙපළ සෑහෙන වෙහෙසක් ගත්හ. එහි ප්‍රතිඵල ලැබෙමින් පවතී. ඇඟලුම් අපනයන කෝටාව නැවත ලැබීම හා යුරෝපා සංගමය මාළු අපනයන තහනම ඉවත්කර ගැනීම පිටුපස අප්‍රමාණ පරිශ්‍රමයක් පවතී. එසේ තිබියදී පොලිසියේ නරනාටක නැවත වරක් රඟදක්වන්නට පටන්ගෙන තිබීම රජය බැරෑරුම්ව සලකා බැලිය යුත්තකි.

මාතරින් පටන් ගැනීම

මාතර රන් භාණ්ඩ අලෙවි සැලක් කොල්ල කෑමේ සිදුවීමේදී අපරාධකරුවන් අතින් පොලිස් නිලධාරයකු මරුමුවට පත් විය. පොලිසිය සැකකරුවකු අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ආයුද පෙන්වීම සඳහා සැකකරු පොලිසිය සමඟ කිරළ කැලේට ගියේය. ඔහු තම මල්ලෙන් බෝම්බයක් ගෙන පොලිසියට පහර දීමට යෑමේදී පොලිසිය කළ වෙඩි තැබීමෙන් මිය ගියේය. වත්මන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර සුපුරුදු පිළිවෙත අනුව මෙය ප්‍රකාශ කරන විට පැරණි නාටකය යළි රඟ දැක්වෙන බව පෙනිණ. එදා මෙබඳු නාටක රඟ දක්වන ලද්දේ ආණ්ඩුවේ සම්බන්ධයද ඇතිවය. මෙදා රජයේ අනුදැනුමකින් තොරව පොලීසිය නාඩගම් නැටීම එකම වෙනසයි. නාට්‍යය එකය. එදා අධ්‍යක්ෂවරයෙක් සිටියේය. මෙදා එහෙම කෙනෙක් නැතිව පොලීසිය තනිව නාට්‍යය කරගෙන යයි.

ඇමතිගේ ප්‍රකාශය

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා මාතර සිදුවීමේදී පොලීසියට දැඩි විවේචනයක් එල්ල කළේය. එදා පැවතුණේ යම පාලනයක් වුවත් මෙදා පවතින්නේ යහපාලනයක් බව ඔහු පොලීසියට මතක් කළේය. එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙය තඹේකටවත් ගණන් නොගෙන දණ්ඩ නීති සංග්‍රහයේ 93,96 වගන්ති උපුටමින් ඝාතනයට නීතිමය වලංගු බව ලබා දුන්නේය. මින් හැඟෙන්නේ "උඹලා මොන යහපාලනේ කළත් පොලීසියේ වැඩ කෙරෙන්නේ අපට ඕනෑ හැටියටයි" කීම නොවේද?

අලුත්ම සිදුවීම පෑලිගොඩ පොලීසියෙනි.

දඬුගම් ඔයට පැනීම

කඳාන වැලිගම්පිටියේදී තරුණ මවක් ඝාතනය කිරීමේ චෝදනාවට සැක පිට නොච්චියාගමදී පුද්ගලයකු අත්අඩංගුවට ගැනිණ. ඔහු පෑලියගොඩ පොලීසියට ගෙන එමින් සිටියදී පොලීසිය සමඟ පොරබදා මාංචු පිටින් දඬුගම් ඔයට පැනීමෙන් මියගොස් තිබේ. මෙයද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉදිරිපත් කළ කතාවකි!

2015 දී ආණ්ඩු වෙනසක් සිදු වූ බව පොලිසිය නොදන්නවා විය යුතුය. නොඑසේ නම් පොලිසිය තවමත් පැරණි නායකයන් තම නායකයන් ලෙස පිළිගන්නවා විය යුතුය.

පොලිසියේ වැරදි සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතී.

කෙසේ වෙතත් පොලිසියේ මේ හැසිරීම ආණ්ඩුවේ සෞඛ්‍යයට එතරම් හොඳ නැත. ඒ නිසා කල් නොයවා ඊට නිසි පියවරක් ගැනීම ආණ්ඩුවේ වගකීමය.

2016 වසරේදී පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණු දෙදරු පියකු පහරකෑමෙන් මියයෑමේ සිදුවීම ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේ එවැනි සිදුවීම් යහපාලන ආණ්ඩු පාලනය යටතේ සිදු නොවෙතැයි සාමයට කැමැති ජනතාව ඉමහත් බලාපොරොත්තු තබා සිටි හෙයිනි. එහෙත් ඒ බලාපොරොත්තු කඩවන ලකුණු පෙනේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට හිංසා කිරීම තම අයිතිවාසිකමක් ලෙස සැලකීමට ඇතැම් පොලිස් නිලධාරීහූ පුරුදු වී සිටිති.

පොලිස් කූඩුව තුළදී මියයන හෝ තුවාල ලබා රෝහල් ගත කෙරෙන සංඛ්‍යාවෙහි අඩුවක් නොපෙනෙනුයේ එහෙයිනි. මෙහිදී පොලිස් කබාය තුළ සිටින පරපීඩකයා පොලිස් කූඩුව තුළදී නිදහස ලබයි.ම්ලේච්ඡ යුගයේ සිට පැවත එන යටපත් වූ ක්‍රෑරත්වය පණ ලබයි. කායික පීඩා පැනවීමට අමතරව ලිංගික හිංසන දක්වා ක්‍රෑරත්වය අවදි වන අවස්ථා තිබේ. පොලිස් පුහුණුවේදී ඔවුන්ට ලැබෙන මනෝවිද්‍යාත්මක දැනුම අතුරුදහන් වෙයි. මෙය ඉතා අශෝභන චිත්‍රයකි.

ධර්මචක්‍රය පැලඳගත් හිංසකයකුගේ නාමකාය සමාජගත වීම එතරම් හොඳ තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් වසරකට පොලීසියේ අකටයුතුවලට එරෙහිව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දෙදහසකට ආසන්න වේ. මෙහිදී පොලිස් කොමිසමට පැවරෙන වගකීමද විශාලය. මෙය කොමිසමට පමණක් තනිව කළ හැක්කක් නොවේ. ඒ සඳහා සමාජයේ විවිධ ස්ථරවල සහයෝගය අවශ්‍ය වේ. මේ පිළිබඳ කතිකාවතක් ගොඩනැඟීම කාලීන අවශ්‍යතාවකි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා