සැමියාත් දරුවාත් සොය සොයා ඇවිදින නූතන පටාචාරා

 ඡායාරූපය:

සැමියාත් දරුවාත් සොය සොයා ඇවිදින නූතන පටාචාරා

ඇය මට හමු වූ වාර අපමණය. මා ඇය මඟ හැර ගිය අවස්ථා ඊටත් වැඩිය. ඇස් නිලංකාර වන ගිනි කාෂ්ටකයේ පාවහන් යුගලක්ද රහිතව උමතු එකියක සේ මහ මඟ ඇවිද යන සුලෝෂනා දන්නා කියන හැමෝගෙන්ම අසනුයේ අතුරුදහන් වූ තම එකම පුතු ගැනය.

සුලෝෂනාගේ එක් අතක කොටින්ගේ වෙඩි උණ්ඩයට බිලි වූ සිය සැමියාගේ සේයාරුවකි. නාඳුනන තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගිය තම තරුණ පුතුගේ සේයාරුව අනෙක් අතේය. ඇය ඉල්ලන්නේ, මරා දැමුණු සැමියා වෙනුවෙන් යුක්තියත්, අතුරුදහන් වූ පුතුගේ ජීවිතයත්ය. එය යථාර්ථයක් වන්නේ කවදාදැයි අප නොදනිමු.

“මම අවුරුදු නවයක් තිස්සේ පුතාව හොය හොයා ඇවිදිනවා. පුතා මිය ගිය කෙනෙක් විදියට සලකලා මරණ සහතිකයක් නිකුත් කරලා වන්දියක් දෙන්න පුළුවන් කියලා රජය කිව්වත් ඒක ගන්න මගේ හිත වාවන්නෙ නැහැ. මගේ හිත කියන්නෙම පුතා කොහේ හරි ඉන්නවා කියලා...”

ඒ 1987 වසරේ ඔක්තෝබර් මාසයේ අඳුරු රාත්‍රියකි. එවකට සුලෝෂනලා පදිංචිව සිටියේ ත්‍රිකුණාමලය මිහිඳුපුර ගමේය. දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවකු වු සුලෝෂනාගේ සැමියා සේවය නිමකර නිවසට පැමිණ දරුවන් දෙදෙනා සමඟ ඇඳෙහි වැතිර සිටියේය. සුලෝෂනා මුළුතැන්ගෙයි වැඩක නිරතව සිටියාය. හදිස්සියේම නිවසට කඩා වැදුණු මුහුණු වසා ගත් ආයුධ සන්නද්ධ පිරිසක් යම් අයකු පිළිබඳ විමසා සිටියේය.

“එයාලා ඇහැව්වේ මහත්තයාගේ මල්ලි ගැන. ඒ ආවේ කොටි සංවිධානෙ අය කියලා අපි දැන ගත්තා. මොකද අපේ ගමේ කොටි සංවිධානයට උදව් කරන අයත් එයාලා එක්ක ඇවිත් හිටියා. අපි එයාලට කිව්වා එයා මෙහේ නැහැ කියලා. එතන හිටිය කෙනෙක් මට කිව්වා බොන්න වතුර ටිකක් අරගෙන එන්න කියලා. මම කුස්සියට ගිහින් වතුර අරගෙන එද්දී මහත්තයයි ආපු අයයි නැහැ. මම අහල පහළ අයට කෑ ගහලා කියද්දී ටිකක් ඈතින් වෙඩි සද්දයක් ඇහුණා. මට එච්චරයි මතක. මට සිහිය එනකොට මහත්තයාගේ බොඩි එක ගෙදරටත් ගෙනල්ලා. ඒ වෙනකොට අපේ ගෙවල් ඉස්සරහට වෙන්න තිබුණේ ඉන්දීය සාම හමුදාවේ කඳවුරක්. එයාලා වෙඩි තියලා මැරිලා හිටිය මහත්තයගේ සිරුර ජීප් එකකින් ගෙදරට ගෙනත් දාලා. ඊට විනාඩි දහයකට කලින් දරුවෝ දෙන්නා එක්ක සෙල්ලම් කර කර හිටිය මහත්තයාගේ නළලට වෙඩි තියලා ලේ ගල ගලා තිබුණේ. දරුවෝ දෙන්නා තාත්තට වෙච්ච දෙයක් නොදැන ආපහු එයාගේ තුරුලට යන්න හදනවා.”

යුද ගැටුම් පැවති සමයේ සිදු වූ බොහෝ ඝාතන පිටුපස රජයේ ආරක්ෂක අංශ සිටින බවට ජනතාව චෝදනා කළද සුලෝෂනාගේ සැමියා වන ආරුමුගම් සිවානන්දන් වෙඩි තබා ඝාතනය සිදුකළේ කොටි බව සුලෝෂනා සැක හැර කියන්නීය.

“අපේ ගමේ ඉස්සරහ කෑල්ලේ ඉන්නේ සිංහල අය. මහත්තයා මරන්න හදද්දී සිංහලෙන් කෑ ගහලා කියලා තියෙනවා කොටි මාව මරන්න හදන්නේ බේර ගන්න කියලා. මහත්තයා සිංහල අයව ආශ්‍රය කරන හින්දා හමුදාවට ඔත්තු දෙනවා කියන සැකේට මහත්තයා මැරුවා කියලා තමයි කොටි කියලා තිබුණේ.”

සැමියා මරා දැමීමෙන් පසු දරුවන් දෙදෙනා සමඟ දිවි කතරේ තනි වූ සුලෝෂනාට අන් සරණක් නොමැති තැන දරුවන් දෙදෙනා සිය මව භාරයේ තබා විදේශ ගත වන්නීය. නැවත ඇය ලංකාවට පැමිණෙනුයේ, සැමියාගේ විශ්‍රාම වැටුප ලැබීම ආරම්භවීමත් සමඟය.

“මහත්තයා කොටි මරද්දී දුවට අවුරුදු හයයි, පුතාට අවුරුදු හතරයි. මට මාසෙකට පැන්ෂන් එක විදියට රුපියල් 2000ක් ලැබුණා. ඒක මදි නිසා මම ගෙවල්වලත් ගිහින් කුලී වැඩ කළා. පුතාට පොඩි කාලේ ඉඳන් හතිය තිබ්බා. ඒ නිසා පුතා 8 පන්තියට විතරයි ඉස්කෝලේ ගියේ. ඒ වෙන කොට කොටි අරගෙන යයි කියන බයට මම දුවව කොන්වන්ට් එකක බෝඩ් කරලා ඉස්කෝලේ ඇරියේ. අවුරුදු 20දී විතර පුතා වැඩ පුරුදු වෙන්න කියලා ගැරේජ් එකකට ගියා. ඒ වෙන කොට අපි භාරතී පුරම් ගමේ හිටියේ. දවසක පුතා වැඩට ගිහින් හවස ගෙදර ඇවිත් නිදා ගෙන ඉද්දී නිල් පාට ට්‍රක් එකක ආපු පිරිසක් පුතාව අරන් ගිහින් තියෙනවා. මම ඒ වෙලාවේ ගෙදර හිටියේ නැතත් දුව ගෙදර ඉදලා තියෙනවා...”

නිල් පාට ට්‍රක් රථයකින් භාරතීපුරම් ගමට පැමිණි පහළොස් දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සුලෝෂනාගේ පුතු සිවානන්දන් ප්‍රභාකරන් ඇතුළු පිරිසක් මෙසේ පැහැරගෙන යන්නේ 2008 වසරේ පෙබරවාරි මස 05 වන දින සවස 6.45 පමණය.

“ඒ වෙලාවේ මගේ දුව ගෙදර නනා ඉඳලා තියෙන්නේ... දුව දිය රෙද්ද පිටින්ම මගේ මල්ලී ගෙනියන්න එපා කිය කියා පස්සෙන් ගිහින් තියෙනවා. එයාලා දුවට දෙමළෙන් සිංහලෙන් කියලා තියෙනවා කටඋත්තර අරන් එවනවා කියලා. සමහරක් අය ‘පලයං බැල්ලී’ කියලා එළවලා.. දැකපු අය හැමෝම කිව්වේ එයාලා කරුණා පාටි එකේ අය කියලා.”

 

මවකට පුතකු තරම් වටින වස්තුවක් තවත් මෙලොව තිබිය නොහැක. පුතුගේ පැහැර ගැනීමෙන් පසු සුලෝෂනා ත්‍රිකුණාමලයේ නොගිය පොලිසියක් නොගිය කඳවුරක් නැත. එසේම සුලෝෂනා ප්‍රදේශයේ නොගිය දේවාලයක්, කෝවිලක් නැති තරම්ය. ඒ හැම ස්ථානයකින්ම ඇයට කියන්නේ එකම කථාවකි. ඒ ඉතා ඉක්මනින් පුතු ගෙදර එවන බවකි.

“උප්පුවේලි පොලිසියෙන් කිව්වා මාස හයකින් පුතා ගෙදර එවයි කියලා. සී. අයි. ඩී. එක කිව්වෙත් ඒකමයි. ඒත් ඒ මාස හය මේ වෙනකම් ආවේ නැහැ. මේ වෙන කොට පුතා අරගෙන ගිහින් අවුරුදු නවයකුත් වෙන්න ආවා... ”

මෙම පැහැර ගැනීමෙන් මසකට පමණ පසු අසල්වාසියකු සුලෝෂනාගේ පුතු වු සිවානන්දන් තවත් පිරිසක් සමඟ සුදු වෑන් රථයකින් පැමිණ ත්‍රිකුණාමලය නගරයේ රැඳී සිටිනු දැක තිබේ. එහිදී අසල්වාසියා දුටු සුලෝෂනාගේ පුතු පැලඳ සිටි කැප් තොප්පියෙන් මුහුණ සඟවා ගත් බවත්, ඔහු සමඟ සිටි අනෙක් අය කරුණා කණ්ඩායමේ අය බවත් අසල්වාසියා සුලෝෂනා හමුවේ හෙළි කර ඇත.

එම සිදුවීමෙන් තවත් මාස පහකට පමණ පසුව තම සහෝදරයා ට්‍රක් රථයක නැඟී ත්‍රිකුණාමලය දෙසට ගමන් කරනු සුලෝෂනාගේ දියණිය ඇස ගැටී තිබේ. එහෙත්, ඇයට සිය සහෝදරයාට කතා කිරීමට ඉඩක් ලැබී නැත.

පුතු අතුරුදහන් වී වසර නවයක් ගත වී ඇතත් සුලෝෂනා අදටත් තම පුතු සොයන්නීය. දන්නා කියන හැම අයකුගෙන්ම පුතු ගැන අසන්නීය. සැමියා හා දරුවන්ගේ වියෝවෙන් පටාචාරා පිස්සියක වූවාසේ සුලෝෂනාද උමතු වී ඇත. ඇය මේ වන විටත් මානසික ප්‍රතිකාර ලබමින් සිටියි.

එළැඹෙන සැප්තැම්බරයේ ජිනීවාහිදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සැසිය ඉලක්ක කර ගනිමින් මේ වන විට උතුරු නැඟෙනහිර ප්‍රදේශයන් තුළ අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය යැයි හඳුන්වා ගන්නා පිරිසක් නොනවතින උපවාසයක් අරඹා තිබේ. ඒ පසුපස සිටින්නේ, වෙනත් අරමුණු වෙනුවෙන් පෙනී සිටින සංවිධානාත්මක පිරිසක් බව පැහැදිලිය. උපවාසයේ යෙදෙන වැඩි පිරිසකගේ චෝදනාව වී ඇත්තේ තම ඥාතියා පැහැර ගත්තේ හෝ මරා දැමූයේ ආරක්ෂක අංශ බවයි. එහෙත් සුලෝෂනා එසේ නොකියයි. නමුදු ඇය එම උපවාසයේ යෙදී සිටියි. ඇයට අවශ්‍ය සාධාරණයයි.

“මේ වෙන කොට දුව කසාද බැඳලා මගෙන් වෙන් වෙලා ගිහින්... එයාට මං ගාව හැමදාම ඉන්න බැහැනේ. එයත් මල්ලි ගැන දුකින් ඉන්නේ. මම දන්න කියන හොඳයි කියන හැම තැනකින්ම සාස්තර අහනවා. ඒ හැම තැනින්ම කියන්නේ ‘පුතා ජීවතුන් අතර ඉන්නවා, ඒත් එයාට අතීතය අමතක වෙලා ඉන්නේ’ කියලයි. මම තාමත් බලාගෙන ඉන්නේ මගේ පුතා ඉන්න තැනකින් ඉක්මනටම මාව හොයා ගෙන එයි කියලා...”

සුලෝෂනා අතුරුදහන් පුතුගේ සේයාරුව මහත් සෙනෙහසින් ළැමැදට තුරුලු කර ගනිමින් මුමුනන්නීය.

සටහන සහ ඡායා [මංගලනාත් ලියනආරච්චි]

මාතෘකා